කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ඉන්දීය පිලේ කසකාරයාගේ නොඇසූ කතාව

ඉන්දීය පිලේ කසකාරයාගේ නොඇසූ කතාව

ඉන්දීය ක්‍රිකට් විචාරකයන්ගේ අදහසට අනුව 29 හැවිරිදි මේ වමත් පිතිකරු අයි.පී.එල්. තරගමාලාවේ කදිම නිෂ්පාදනයකි. අයි.පී.එල්. තරගබිම දෙවනත් කරමින් ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරතවූ ධවාන්ට ඉන්දියාවේ පමණක් නොව අන්තර්ජාතික ක්‍රීඩාලෝලීන් අතර ද ලැබී ඇත්තේ අසීමිත ජනප්‍රියත්වයකි.

පෙරහැර එන බව අප දැනගන්නේ කස පුපුරන හඬිනි. ඒ බව අපට කියාදෙන්නේ ඉදිරියෙන්ම ගමන් කරන කසකරුවන්ය. ක්‍රිකට් කණ්ඩායම ආරම්භක පිතිකරුවන් ද එක් පැත්තකින් බැලූ විට නියම කසකරුවන්ය.

ඔවුන් මුලින්ම පැමිණ වැඩ දමා ශබ්ද කරද්දී පසුපසින් පෙරහැර එන බව අපි දැනගනිමු. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කටක් නුවර පැවැති පළමු එක්දින තරගයේ සිදුවූයේ ද ඒ ටිකමය.

ඉන්දියා ක්‍රිකට් පිලේ කසකරුවන් වන ශිකර් ධවාන් සහ අජින්ක්‍යා රහානේ ඉනිම ආරම්භ කොට පිටිය දෙවනත් කරද්දී පෙරහැර එන බව අපට දැනුණි.

සිතූ පරිදම කසකරුවන් දෙදෙනා එක්ව ඕවර 35ක දී ලකුණු 231 දක්වා ඉනිම ඇදගෙන ගියහ. දෙදෙනාම ශතක රැස් කළහ. අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 169කින් පරාජයට පත්විය.

ඉන්දියා පිලේ කසකරුවන් දෙදෙනාගෙන් වැඩිම අවධානය දිනාගෙන ඇත්තේ ශිකර් ධවාන්ය. ඔහු අසීමිත වේගයකින් පන්දුවට පහරදෙන්නකු බවට ප්‍රචලිතය.

ධවාන් යනු ඉන්දියාවේ පන්ජාබයේ උසස් කාත්‍රී කුලයට අයත් නමකි. මෝගල් අධිරාජයාගේ සමයේ රජුගේ වැදගත් රාජකාරී කටයුතු සිදුවූයේ කාත්‍රි කුලයට අයත්වූවන්ගෙනි. ධවාන් යනු ‘ධාවකයා’ හෝ ‘පණිවුඩකරු’ ලෙස අර්ථ ගැන්වෙන ‘සීක‘ නමකි. නමේ අරුතටම සරිලන වේගයෙන් ඔහු පන්දුවට පහර එල්ල කරන්නෙකි.

ඔහු හාපුරා කියා ඉන්දියා ටෙස්ට් පිල නියෝජනය කළේ වේගවත් පිතිහරඹයකින් පිටිය දෙවනත් කරමිනි. 2013 ඔස්ට්‍රේලියාවට එරෙහිව මොහාලි හී පැවැති තරගයෙන් ටෙස්ට් වරම් ලැබූ ධවාන් එහිදී පන්දු 85කින් ශතකයක් රැස් කොට මංගල ටෙස්ට් ඉනිමේ පිතිකරුවකු රැස් කළ වේගවත්ම ශතකයට හිමිකම් කීවේය.

එදා තරගයේ දි ඔහු ලකුණු 187ක්ම රැස් කළේය. තරගයෙන් ඉන්දියාව ජයගත් අතර ධවාන් සිය පළමු ටෙස්ට් තරගයේදීම තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය. ඔහු ටෙස්ට් පිටියට නවකයකු වූවත් එක්දින තරග වරම් ලැබුවේ ඊට වසර තුනකට පෙරය.

ඉන්දීය ක්‍රිකට් විචාරකයන්ගේ අදහසට අනුව 29 හැවිරිදි මේ වමත් පිතිකරු අයි.පී.එල්. තරගමාලාවේ කදිම නිෂ්පාදනයකි.

අයි.පී.එල්.තරගබිම දෙවනත් කරමින් ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරතවූ ධවාන්ට ඉන්දියාවේ පමණක් නොව අන්තර්ජාතික ක්‍රීඩාලෝලීන් අතර ද ලැබී ඇත්තේ අසීමිත ජනප්‍රියත්වයකි. ඊට ඔහුගේ ස්වරූපය ද හේතුවක් වන්නට ඇත. පුරාණ භාරතයේ රණකාමියකුගේ පෙනුමැති ධවාන්ගේ අපූරු උඩුරැවුල ඔහුට ආකර්ශනීය පෙනුමක් ලබා දී ඇත.

එය කාන්තාවන් අතර ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ දැමීමට සමත් වී ඇත. එසේවූවත් මෝස්තරයක් මෙන් ඉන්දියාවේ පැතිරී ගිය ක්‍රිකට් ක්‍රීඩකයන් සහ බොලිවුඩ් නිළියන් අතර ඇතිවන ජංගම පෙම් පළහිලව්වලින් ගැලවී සිටීමට තරම් ඔහු ප්‍රවේශම්කාරීය.

ධවාන්ට ඇත්තේ අමුතුම තාලයේ අදහස්ය. ඔහු ක්‍රීඩාවේ දි මෙන්ම සිය පෞද්ගලික ජීවිතයේදිත් වේගවත් තීරණ ගන්නා තරුණයෙකි. ලෝක රූප රාජිනියන් බිහිකරන ඉන්දියාවේ අවිවාහක හා ලාබාල රූමතියන් ඕනෑවටත් වඩා සිටිති.

එහෙත් ඔහුගේ සිත ඇදී ගියේ එවකට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටි ඔහුට වඩා වසර 10කින් වැඩිමල් දෙදරු මවකටය. ඇය අයේෂා මුකර්ජිය. ඉන්දීයාවේ බෙංගාල ජාතික පියකුට සහ ඉංග්‍රීසි ජාතික මවකට දාව උපන් අයේෂා කුඩා වියේදී තම මවුපියන් සමග ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිය ඇය එහි අධ්‍යාපනය ලැබූ අවධියේ දක්ෂ බොක්සිං ක්‍රීඩිකාවක වූවාය.

අයේෂාට ධාවන් හමුවූයේ (FACE BOOK) මුහුණු පොතෙනි. ඒ වනවිට ඇය සිය පළමු සැමියාගෙන් දික්කසාදවී සිටියාය.

වසර 10ක විවාහ දිවියට සමුදෙන විට ඇය දියණියන් දෙදෙනකුගේ මවකි. ධවාන් සහ අයේෂා අතර සම්බන්ධතාව ඇතිවූයේ ඉන්දියා පිලේ හිටපු සුපිරි දඟපන්දු යවන්නකු වන හර්බජන් සිං හරහාය.

ඔහුගේ මුහුණු පොතේ ධවාන් සහ අයේෂා දෙදෙනාම හිතවතුන් වී සිටි අතර පසුව ධවාන් සිය මුහුණුපොතට ඇය එකතුකර ගත්තේය. ටික කලෙකින්ම දෙදෙනා පෙම්වතුන් බවට පත්වූහ.

මේ අතර නවදිල්ලි නුවර ගෞරවනීය දිවිපෙවෙතක් ගෙවමින් සිටින ධවාන්ගේ පියා අයේෂා පිළිබඳ තොරතුරු සැළවීමත් සමග සිය පුතුගේ සම්බන්ධයට එකහෙළාම විරුද්ධත්වය පළ කළේය.

එහෙත් ඔහුගේ මව මේ සම්බන්ධතාවට කැමැත්ත පළ කළ බැවින් 2012 ඔක්තෝබර් මාසයේ ධවාන් සහ අයේෂා සික් චාරිත්‍රානුකූලව යුගදිවියට ඇතුළත්වූහ.

දෙදෙනාගේ විවාහයට පෙර දිනයේ ඉන්දියා ක්‍රිකට් පිලේ සිය මිතුරන්ට ‘කොක්ටේල්’ සාදයක් දැමීමට ද ධවාන් අමතක කළේ නැත. විරාත් කෝලී, ඉෂාන්ත් ෂර්මා, ගෞතම් ගම්භීර්, විරෙන්දර් ෂෙවාග්, ආශිස් නේරා ඇතුළු සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෝ රැසක් මේ කොක්ටේල් සාදයට එක්වූහ.

ධවාන් මෙන්ම අයේෂා ද එක හා සමාන අදහස් ඇත්තෝය. ලොවපුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සීඝ්‍රයෙන් පැතිරී ගිය ‘ටැටූ’ විලාසිතාවට (පච්චා කෙටීම) දෙදෙනාම බෙහෙවින් ප්‍රිය කළහ. මේ අතරින් ‘ටැටු’ සම්බන්ධව වැඩි ජනප්‍රියත්වයක් ලැබුණේ අයේෂාටය.

ක්‍රීඩාලෝලීහූ ඇගේ ‘ටැටූ’ කෙටීමේ තොරතුරු දැන ගැනිමට අන්තර්ජාලය පීරන්නට පටන් ගත්හ. ඇගේ සිරුරේ ස්ථාන කිහිපයකම විවිධ මෝස්තරයේ ‘ටැටූ’ කොටා තිබිණි. ධවාන්ගේ නමත් ඒ අතර තිබේ. ධවාන්ගේ සිරුරේ ද විවිධ ආකාරයේ ‘ටැටූ’ 5ක් පමණ කොටා ඇත.

අයේෂාගේ විවාහයෙන් පසුව ඇගේ දියණියන් දෙදෙනා සිය පියා සමග පදිංචියට ඔස්ට්‍රේලියාව බලා ගියහ.

එහෙත් ඉඳ හිට සිය මව සහ ධවාන් බාප්පා සොයා ඉන්දියාවට පැමිණීමට ඔවුහු අමතක නොකරති. ක්‍රිකට් ක්‍රීඩාවට බෙහෙවින් ළැදි රියා සහ ආලියා සිය බාප්පාගේ සටන්කාමී පිතිහරඹය නැරැඹිමට මව සමග ක්‍රීඩාංගණයට ද යති.

දැන් ධවාන් පවුලට තවත් අමුත්තෙක් එක්වි සිටී. 39 හැවිරිදි අයේෂා සිඟිති පුතු සොරාවර් බිහිකළේ පසුගිය පෙබරවාරියේය. දැන් වමත් කසකාරයා ‘තාත්තා’ කෙනෙකි. එහෙත් ඔහු තැන්පත් වන බවක් නම් තවම පෙනෙන්නට නැත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]