කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සිය දෙනෙක් අහසින් වැටෙන්නට නියමිත The 100

සිය දෙනෙක් අහසින් වැටෙන්නට නියමිත The 100

ඔවුන් සිය දෙනෙකු වැ‍ටුණේ අහසිනි. අහසින් මිනිසුන් වැටෙන සිරිතක් නැති හෙයින් එය තවත් පැහැදිලි කර ගත යුතුය. ඔවුන් වැ‍ටුණේ අභ්‍යවකාශයෙනි. ඒ පෘථිවියේ සිදු වූ න්‍යෂ්ටික යුද්ධයකින් වසර 97ට පසුවය. පෘථිවියේ කක්ෂය මත තැනුණු අභ්‍යවකාශ මධ්‍යස්ථාන 12කි. 2400ක පිරිසක් ජීවත් වන ‘ආර්ක්’ එහි ප්‍රධාන මධ්‍යස්ථානයයි. වැ‍රැදිවලට කිසිදු සමාවක් නොමැතිව අභ්‍යවකාශයෙන් පෘථිවියට හෙළන අපූරු දඩුවම් ක්‍රම ඔවුන් සතුය. වැ‍රැද්දකින් බේරීමේ එකම මාර්ගය වයස 18 ඉක්මවා නොතිබීම පමණි. සුළුතරයක් වූ මිනිස් ජනගහණය ‍රැක ගැනීමට, ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නංවා ගැනීමට ‍තෝරාගත් මිනිස් ජීවිත ප්‍රමාණයක් බිලි දීම ආර්ක් හි ප්‍රතිපත්තියයි.

වසර 100ට ආසන්න කාලයකට පසුව වැ‍රැදිකරුවන් සිය දෙනෙකු දියුණු අභ්‍යවකාශ යානයක දමා පෘථිවියට එවීමෙන් සියල්ල පටන් ගනී. ආර්ක් හි ජනගහණයට අනුව මේ මරු කටට යන ගමනකි.

මේ කියන්නේ ‘ද හන්ඩ්‍රඩ්’ රූපවාහිනී මාලා නාටකය ගැනය. පශ්චාත් අනාගතවාදී කතාවක් ලෙස ගොඩනැඟුණු ද හන්ඩ්‍රඩ් විය හැකි යමක් ගැන අපට ඉඟි කරන්නේ මෘදුවය. අනාගතයේ ඇති විය හැකි යැයි අනුමාන කරන න්‍යාෂ්ටික යුද්ධයෙන් පසුව මිනිසුන්ගේ ඉරණමේ නියැදියක් ඔවුහු අපට පෙන්වති. ඒ මනුෂ්‍යත්වය සූදුවට තබා ආයුෂ එක දිනකින් හෝ වැඩි කර ගැනීමට තැත් කරන 2400ක මිනිස් ජනගහණයක් ගැනය. අතිශය අකාරුණික ඉරණමකට මුළු මහත් මිනිස් ජාතියම පත්ව ඇති විටත් සාමාන්‍ය මිනිස් හැඟීම් සර්පයන් සේ මතුව එකිනෙකා වෙතට විස කාන්දු කිරීමට තැත් කරන ආකාරය ගැනය.

සී.ඩබ්ලිව් චැනලයේ විකාශය වූ ද හන්ඩ්‍රඩ් හි පළමු එපිසෝඩය 2014 මාර්තු 19 වැනිදා නිකුත් විය. කස් මෝගන්ගේ ද හන්ඩ්‍රඩ් නම් නවකතාව ඇසුරින් නිර්මාණය කරන ලද මේ ටෙලි කතා පොකුර ජනප්‍රිය ‍රැල්ලෙන් පිට පැන එනමුත් ඒ සාගරයේම මහත් දිය ‍රැළි නංවන්නක් වැනිය. කුතුහලය පසුපස ඇදෙන්නට ලොල් මිනිස් සිත නියම තැනින් අල්ලාගෙන අනාගත වාක්‍යයක් රූපයෙන් කියන්නට තනන ද හන්ඩ්‍රඩ් ඔබට-අපට අනාගතය ගැන අනතුරු හඟවයි. කඩුවෙන්, බයිනෙත්තුවෙන් පටන් ගත් යුද්ධය න්‍යෂ්ටික අවි සංහාරයක් තෙක් දිග ඇදෙන්නට පෙර එය නැවැත්විය යුතු බවට රතු එළියක් නිකුත් නොකරන්නේ යැයි කිව නොහැකි තරම්ය. මේ කියන්නේ එයයි.

ද හන්ඩ්‍රඩ් හි නිමැවුම්කරු ජේසන් රොතන්බර්ග්ය. මේ දක්වා විකාශය වී ඇති එපිසෝඩ ගණන 15කි. වෙළුම් ගණනින් දෙකකි. අයි.එම්.ඩී.බී වෙබ් ස්ථානගත කිරීමට අනුව ලබා ඇත්තේ 7.5ක අගයකි. එක එපිසෝඩයක් සමන්විත වන්නේ විනාඩි 43නි.

‘ද හන්ඩ්‍රඩ් කියන්නේ හරිම ආකර්ශණීය රූපවාහිනී කතාවක්. කතාව බලන්න කලින් කවුරුත් ලෑස්ති වෙලා ඉන්න ඕනා තමන් වැටෙන්න යන අමාරුව ගැන. විද්‍යා ප්‍රබන්ධ කතාන්දරවලට ප්‍රිය කරන ඕන කෙනෙක් පිස්සු වට්ටන්න ද හන්ඩ්‍රඩ් ලෑස්ති නෑ. ඊට වඩා දුරකට යන්න ඔබ ලෑස්ති නම් මේක තමයි නියම කතාව.’ මේ අයි.එම්.ඩී.බී අඩවියේ ඇති පාඨක ප්‍රතිචාරයකි.

අහසින් පොළොවට එවීමෙන් පටන් ගත් මහා පිපිරුම දියව යන්නේ ක්‍රම ක්‍රමයෙනි. සියයක් වූ තරුණ ,තරුණියන් මරණයේ පණිවුඩය ගෙන පෘථිවියට යැවුවා යැයි සිතුවාට සිතූ තරම් පෘථිවිය නරක නැති බව ඔවුනට ඒත්තු යයි. විස වායුවෙන් වැසී ඇතැයි සිතූ පොළොවේ තවම අලුතින් මල් පිපෙයි. අනුභව කළ හැකි නොයෙක් ගඩා ගෙඩි පවා හමු වෙයි. එමතුද නොවේ, සුරා පෙරන්නට පවා අවකාශ සැලසෙයි.

සියලු වැ‍රැදිකරුවෝ සමානයන්ව, පොළොව මත සමාන්තරව සිටගෙන සිටියි. ඒ අතර දෙපිලක් බෙදෙන්නට පටන් ගන්නා සිය දෙනාගේ තරුණ ජවය එකිනෙකා කෙරෙහි සැකයෙන්, වෛරයේ බීජ පැළ කරන්නට පටන් ගනී. ආර්ක් හි කැදවුම්කරු හෙවත් චාන්සලර්වරයාගේ පුත්‍රයා කෙල්ලක පසුපස හඹා එන්නේ වුවමනාවෙන් වැ‍රැද්දක් කරමිනි. ඔහු සතුව බොරු කකුලකි. ශක්තිවන්තයන් කිහිප දෙනෙකු බොරු කකුල හිමි කොලුවා සමඟ ආරෝවකය. ඒ අතර ක්ලාක් ග්‍රි‍ෆින්ය. ඈ නායිකාවකි.

ඇගේ මව වෛද්‍යවරියකි. පියා විද්‍යාඥයෙකි. එහෙත් සත්‍ය හෙළි කිරීමට උත්සාහ කිරීමෙන් යානයකින් තොරවම පොළොවට හෙළුවෙකි. ක්ලාක් ග්‍රි‍ෆින්ට රඟන්නේ එලීසා ටේලර්ය. බොබ් මෝර්ලි රඟන්නේ පෙරළිකාර බෙලමි බ්ලේක්ටය. ඔහු චාන්සලර්වරයා මරන්නට තැත් කර, ආරක්ෂක භටයකුගේ නිල ඇඳුම සොරකම් කර බලෙන් අභ්‍යාවකාශ යානයට ගොඩ වූ අයෙකි. වර්තමානයේ පොළොවේ වෙසෙන්නට එවූ සිය දෙනාගේ නිල නොලත් නායකයාය. ඔක්ටේවියා බ්ලේක් බෙලමිගේ නැගණියයි. මේරි ඇව්ගරෝපෝලෝස් ඇගේ චරිතය රඟයි. ‍ෆින් කොලින් සෙල්ලක්කාර තරුණයෙකි. ‍තෝමස් මැක්ඩොනෙල් ‍ෆින් කොලින්ට රඟයි.

දොස්තර ඇබිගේල්ගේ චරිතයට පණ පොවන්නේ පේජ් ටර්කෝය. මාකස් කේන්ට රඟන්නේ හෙන්රි ඉයන් කුසික්ය. මේ සියල්ලන්ගේම කැපී පෙනෙන රංගන දක්ෂත ද හන්ඩ්‍රඩ් පුරාවටම දැක ගත හැකිය. ද හන්ඩ්‍රඩ් 2014 වසරේ ‘ප්‍රයිම්ටයි එමි අවෝර්ඩ්’ සඳහා නිර්දේශ වී ඇත.

ප්‍රේක්ෂක ප්‍රතිචාරය පිළිබඳ කිවහොත් ද හන්ඩ්‍රඩ් පළමු එපිසෝඩය නැරඹූ අමෙරිකානුවන් ගණන මිලියන 2.7කි. මේ අනුව 2010න් පසුව සී.ඩබ්ලිව් නාලිකාවේ විකාශය වූ රූපවාහිනී කතාන්දරවලින් වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිව ඇත්තේ ද හන්ඩ්‍රඩ් සඳහාය.

න්‍යෂ්ටික යුද්ධයකට මැදි වෙන්නට පෙරම අහසින් තවත් සිය දෙනෙකු කඩා වැටෙන්නට පුළුවන. මේ අනතුරු හැඟවීම අහසින් වැටෙන්නට නියමිත දේ ගැනය. විස වායු ගැනය. මිනිස් වාසයෙන් තොර වීමට හැකි පෘථිවියක් ගැනය. අන්තිමට ද හන්ඩ්‍රඩ් නම් පොකුරු කතාවේ සාරය පිළිබදය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]