කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
දෛවය සමඟ අරගල කරමින් ජීවත් වෙන්නට උත්සාහ කරන දෙදරු පියාට පිහිට වෙමු

දෛවය සමඟ අරගල කරමින් ජීවත් වෙන්නට උත්සාහ කරන දෙදරු පියාට පිහිට වෙමු

මහගම හොරම්පැල්ලේ පදිංචි රෝහණ සරත් චන්ද්‍ර දෛවයත් එක්ක අරගල කරල ජීවිතේ ගොඩදාගන්න හදපු දරු දෙදෙනකුගේ ආදරණීය පියෙක්. ඒ හින්දම ඔහු දිවා රෑ නොබලා තමන්ගේ බිරියත් දරු දෙදෙනාත් ජීවත් කරන්න යන්න පුළුවන් හැම පොළකටම වෙළෙඳාමේ ගියා. ඒ හොයාගත්ත සොච්චම් මුදලෙන් රෝහණ ඔබ අපි වගේම ජීවිතේට හීන ගොඩක් මැව්වා.

හැබැයි ජීවිතේ කියන්නේ මහා පුදුමාකාර දෙයක් කියලා රෝහණටත් රෝහණගේ පුංචි පවුලටත් තේරුම් යන්න මහා ලොකු කාලයක් ගතවුණේ නැහැ. තමන්ගේ ජීවිතේට විතරක් නෙමෙයි මේ අසරණ පුංචි පවුලටත් ආලෝකයක් ගෙනෙන්න ජීවිතේ එක්ක හරි හරියට හැප්පුණ රෝහණ වටා අඳුරු සෙවණැල්ලක් වැටෙන්න ගත්තේ කාටත් හොරායි.

ඒ හරියටම මීට අවුරුදු දහයකට ඉස්සරලා. ජීවිතේ යන්තමින් හෝ ගොඩදාගන්න උත්සාහ කළ රෝහණලා අද ඉන්නේ අසරණකමේ අගාධයටම වැටිලා. ඒ නිසයි ඒ කතාව රෝහණ ඔබ ඉදිරියේ කියන්න කියලා අපි හොයාගෙන එන්නේ. අපි ඒ ඉල්ලීම අද ඔබ ඉදිරියේ තියන්නේ පුළුවන්නම් රෝහණලගේ පුංචි පවුල මුහුණ දීලා ඉන්න මේ අසරණකමට සරණක් වෙන්න පුළුවන් ද කියලා බලන්න කියන්නයි.

“මම කොහොමහරි මොන දුක විඳලා හරි මේ පොඩිවුන් දෙන්නයි බිරියයි ජිවත් කරවනවා කියලා හිතලා වැඩ කරපු මිනිහෙක් මහත්තයෝ. මට හරිහමන් රැකියාවක් තිබුණේ නැහැ. මම හැම පොළකම ගිහින් බඩු විකුණුවා. අව්වක් වැස්සක් කියලා බැලුවේ නැහැ. මගේ මහන්සියෙන් අපි කොහොමහරි ජීවත් වෙනවා කියලා හිතුවේ. මම කවදාවත් හිතුවේ නැහැ මෙහෙම ජීවත්වෙන්න වෙයි කියලා. මොනවා කරන්න ද මේ මගේ කරුමේ.”

රෝහණ තමන්ගේ අසරණකම අපිත් එක්ක කියන්න ගත්තේ ඒ විදිහට. ඒත් හිටිගමන් මේ වගේ දිරිය සම්පන්න මිනිසකුට අද මේ අසරණකම ඇතිවුණේ ඇයි කියලා ඔබටත් ප්‍රශ්නයක් ඇති. අපි ඒ ප්‍රශ්නයට විසඳුම රෝහණගෙන්ම අහන්න හිතුවා.

“හරියටම මීට අවුරුදු දහයකට ඉස්සරලා තමයි මට මේ ලෙඩේ හැදුණේ. හිටිගමන් මට කලන්තේ හැදෙන්න ගත්තා. ඇවිදලා යන්න බැහැ වැටෙනවා. පස්සේ මම ඉස්පිරිතාල ගාණේ ගියා. වැඩක් පලක් කරගන්න බැහැ. එහෙම පිටින්ම මම පොළේ වෙළෙඳාමේ යන එක නැවැත්තුවා. කරපු පරීක්ෂණවලින් කිව්වේ මට ස්නායු ආබාධයක් තියෙනවා කියලා. කොයිතරම් බෙහෙත් කළත් කිසිම සුවයක් ලැබුණේ නැහැ. දැන් මගේ ශරීරයෙන් මාස තුනකට සැරයක් ලේ මිලිලීටර් 750 ක් ඉවත් කරනවා. මගේ ශරීරයේ හිමොග්ලොබින් ප්‍රමාණය වැඩියිලු.

මේ ලෙඩේට හරිහමන් ප්‍රතිකාරයක් නැහැ මහත්තයෝ. බැරිම තැන සීදුවේ රද්දොළුගම ලංකානන්ද වෙද හාමුදුරුවෝ ළඟට ගිහින් බෙහෙත් කරන්න ගත්තා. ඒ කරපු බෙහෙත්වලින් අවුරුද්දක් විතර යනකොට තරමක සුවයක් ලැබුණා. ඒත් දිගින් දිගටම බෙහෙත් කරගන්න ආර්ථික ශක්තියක් අපට නැහැ මහත්තයෝ.

මගේ දුවයි පුතයි තවම පාසල් යනවා. අද මට කිසිම වැඩක් පළක් කරගන්න බැරි තත්ත්වෙටම ඇදගෙන වැටිලා. මගේ බිරිය කුලී වැඩ කරනවා. එයා හොයාගන්න කීයෙන් හරි තමයි අපි ජීවත්වෙන්නේ.

මේ වෙනකොට මගේ සුසුම්නාවේ ප්‍රශ්නයකුත් තියෙනවා කියලා දොස්තර මහත්තුරු කියනවා. මම මේ මහත්තයලගේ පත්තරේට මේ දුක කියන්න ඕන කියලා හිතුවේ අද අපිට ජීවත්වෙන්න විදිහක් නැති හින්දා කාටහරි කියලා අපිට උදව්වක් අරන් දෙන්න කියන්න. මගේ බේත් හේත්වලට මේ ගෙදරයි ඉඩමයි උගස් කරලා තියෙන්නේ මහත්තයෝ. තව ටික දවසකින් අපිට මහපාරට බහින්න වෙන්නේ මේ දරුවෝ දෙන්නත් එක්කම මහත්තයෝ.

සතියකට මගේ බෙහෙත්වලට රුපියල් පන්දහක් විතර යනවා. ඒ හැම දේම කරගන්න විදිහක් අද අපිට නැහැ මහත්තයෝ. පුළුවන්නම් මගේ ලෙඩේ සනීප කරලා දෙන්න. මට ඒ ඇති. එහෙම වුණොත් මේ දරු පැටවු විඳින දුක මට නැති කරන්න පුළුවන්. ආපහු පුරුදු විදිහටම මම වැඩ කරනවා. පුළුවන් කෙනෙක් ඉන්නවානම් මට උදව් කරන්න පින් අත්වෙයි.”

සැබැවින්ම රෝහණගේ ඒ අසරණ ඉල්ලීම අද මේ විදිහට පත්ඉරුවක අපි සටහන් කළේ ලොකු බලාපොරොත්තුවකින්. රෝහණ දිරිය සම්පන්න මනුස්සයෙක් කියන එක ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. ඒත් අද ඔහු අසරණකමේ අඩියටම ඇදගෙන වැටිලා. පුළුවන්නම් රෝහණ ඔබෙන් ඉල්ලන්නේ මේ දරු පැටවු දෙන්නට සවියක් වෙන්න එයාගේ රෝගය සුව කරලා දෙන්න කියන එක විතරයි. නැතිනම් ඒ ඉල්ලීමට පුංචි හෝ සරණක් වෙන්න බලන්න. ඒක ඔබ මේ ආත්මේ රැස්කරන ලොකු පුණ්‍යකර්මයක්.
 

ලිපිනය - නො. 458/4, මහගම, හොරම්පැල්ල

ගිණුම් අංකය - කොමර්ෂල් බැංකුව මිනුවන්ගොඩ ශාඛාව - 8330039530

දුරකථනය - 0774-840246


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]