කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
අපි දෙන්නා ටික කාලයකට දුරස් වුණා

අපි දෙන්නා ටික කාලයකට දුරස් වුණා

ධනංජය සිරිවර්ධන බිරිය ශෂිනි සිරිවර්ධන

කලා ක්ෂේත්‍රයේ තමාටම හිමි අනන්‍යතාවයක් ගොඩනඟා ගන්නට හැකි වූ දක්ෂ නළුවකු ලෙස ධනංජය සිරිවර්ධන හැඳින්විය හැකියි. පසුගිය දා ධනංජය යුගදිවි ගමන් ඇරැඹූයේ ශෂිනි ෆර්ඩිනැන්ඩු සමඟයි. දැන් ඇය ධනංජයගේ ආදරණීය බිරිය ශෂිනිි සිරි්වර්ධනයි.

කලකට පසු ධනංජය - ශෂිනි කැදැල්ල ගැන නවතම තොරතුරු ධනංජයගේ

ආදරණීය බිරිය ශශිනි අපිත් එක්ක කතා කළේ මෙලෙසයි.

* ශශිනි කොහොමද ඔබ දෙදෙනාගේ අලුත් ජීවිතේ?

වෙනදටත් වඩා සතුටින් ඉන්නවා කිව්වොත් නිවැරැදියි. මම ඩුබායි රටේ ඉන්නවට වඩා දැන් ලංකාවේ තමයි වැඩිපුරම ඉන්නේ.

* විවාහයෙන් පසුව රැකියාවට සමුදෙන්න අදහසක් ඇතිවුණේ නැද්ද?

මම විවාහයට පෙර සිටම රැකියාවක් කරනවා. ඒ පෞද්ගලික ගුවන් සමාගමක කැබින් මැනේජර් ලෙස සේවය කළා. දැන් නම් රැකියාවට සමුදෙන්න අදහසක් සිතේ පවතිනවා. නමුත් ඒ ගැන හදිස්සියේ තීරණයක් ගන්න බැහැ. අපි දෙන්නා ඒ ගැන සැලසුම් කර හෙමිහෙමින් තමයි තීරණය කරන්නේ. කොහොමත් මේ වසර අවසානයේ දී මගේ රැකියාව ගැන අපි දෙදෙනාම කතාබහ කර යම් තීරණයක් ගන්නට අදහස් කරගෙනයි ඉන්නේ.

* ඔබ‍ට ඔබේ ආදරණීය සැමියා මුණගැසුණු අයුරු මතකද?

අපි දෙන්නා දැනට වසර නවයකට පමණ පෙරයි මුණගැහුණේ. මම ඒ දවස්වල පාසල් යන කාලය. අපේ පවුලේ ළඟම හිතවතෙක් තමයි, ඉන්දික මල්ලවාරච්චි කියන්නේ. ඔහුගේ ෆොටෝ ෂූට් එකකට මට ආරාධනා ලැබුණා. එයට ගියාම තමයි පළමු වතාවට මට ධනංජයව හමුවුණේ. මම එතකොට පාසල් යුවතියක්. ධනංජයත් ක්ෂේත්‍රයට එක්වෙලා වැඩි කලක් ගතවෙලා තිබුණෙ නැහැ.

* ඒ මොහොතේ ධනංජය ගැන මොනවද හිතුණේ?

ධනංජය එදා වැඩිය කතාබහ කළේ නැහැ. හරිම නිශ්ශබ්ද කෙනෙක්. ඔහුගේ ඒ ගතිගුණයට මම හුඟාක් කැමැති වුණා. මොකද සාමාන්‍යයෙන් පිරිමි ළමයි පැන පැන හරියට කතා කරනවනේ. ධනංජය එහෙම නැහැ. එයා හරි රෙස්පෙක්ට් විදිහට හිටියා. මම එයාගේ ඒ ගතිගුණ හරියට අගය කරනවා. එදත් අගය කළා.

* ඔබද ධනංජය ද පළමුව ආදරේ ප්‍රකාශ කළේ?

ඒ දේ නම් හරියටම කොහොම වුණාද කියල හිතාගන්න බැහැ. හැබැයි දෙදෙනාගේම සි‍ත් තුළ ලොකු කැමැත්තක් ඇතිවුණා. එයා තමයි මුලින්ම මට ආදරේ බව ප්‍රකාශ කළේ. දැන් ඉතින් අපේ ආදරේට අවුරුදු නමයකට වඩා වැඩියිනේ.

* එදා පෙම්වතා අද ඔබේ ආදරණීය ස්වාමිපුරුෂයා වන ධනංජය ගැන අද මොකද හිතෙන්නේ ඔබට?

ඉස්සරටත් වඩා ජීවිතේ ගැන විශාල වගකීමක් දරන්න පුළුවන් කෙනෙක් බවට ඔහු පත්ව තිබෙනවා. ගොඩාක් දේවල් ගැන මම හිතන පැතිවලින් නෙමෙයි ඔහු හිතන්නේ. ඔහු ගොඩාක් දුර හිතනවා. එතකොට අපි දෙන්නා අතර ගැළපීම ලස්සනට සිදුවෙනවා. ඒ වගේම නිතර දෙවේලේම ඔහු මාව සිනහගස්සනවා. ජීවිතේ හරිම සතුටින් ගෙවී ගෙන යන බවක් දැනෙනවා.

* අවුරුදු නමයක ආදරයක් විවාහය දක්වාම පවත්වාගෙන එනවා කියන එක ලේසි පහසු නැහැ. මේ කාලය තුළ ඔබ දෙදෙනා අතර හිත් අමනාපකම් සිදුවුණේ නැද්ද?

අපොයි ඕනෑතරම් වෙලා තිබෙනවා. අපේ සම්බන්ධය බිඳ වැටී තිබුණු අවස්ථා පවා තිබුණා. නමුත් ඒ දේ ගොඩක්ම සිද්ධ වුණේ මම රටින් යන්න තීරණය කරපු නිසයි. මටම කැරියර් එකක් හදාගන්න මට අවශ්‍යව තිබුණා. ඉතින් ඒකත් එක්ක අපි දෙන්නා අතර සබඳතාවය ටිකක් ඈත් වෙච්ච කාලයක් ආවා. එහෙම ඈත්වීම් තිබුණා. එතකොට වයස් මට්ටමෙන් ගොඩක් මුහුකුරා ගිය අය නෙමෙයි. හරිම පොඩියි. යෞවනයේ හිටියේ. එයාටත් අඩු වයස. මටත් අඩු වයස. ඒ වයසත් එක්ක අපි දෙදෙනා ටික කාලයක් දුරස් වුණා.

* ඔබ පාසල් අධ්‍යාපනය ලැබුවේ කුමන පාසලෙන්ද?

පුංචි කාලෙ නම් පුද්ගලික පාසලකට ගියා. පසුව ඉගෙනුම අවසන් වනතුරු පාසල් ගියේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට.

* විවාහයෙන් පසුව ඔබ දෙදෙනා පදිංචිව සිටින්නේ කොහේද?

දැනට නම් අපි අලුත් ගෙයක් පදිංචියට ගත්තා. පසුකලෙක අපේම කියලා අලුත් නිවෙසක් හදන්න අපි දැන් සැලසුම් කරගෙන සිටිනවා. නමුත් වෙලාව කියන දේ අපි දෙන්නටම හරිම අඩුයි. මේ නිසා මේ සැලසුම් කරගෙන ඉන්න දේවල් පොඩ්ඩ පොඩ්ඩ තමයි කරගන්නට වෙලා තිබෙන්නේ.

* ශෂිනි ඔබේ මවුපියන් ගැනත් තොරතුරු දැනගන්න කැමැතියි.

මගේ පියා ජල ප්‍රවාහන මණ්ඩලයේ ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කරනවා. මගේ මව ගෘහණියක්. මට ඉන්නේ එක් සොහොයුරෙක් පමණයි. ඔහු මගේ එකම මල්ලී. දැනට ඔහු උපාධිය අවසන් කරලා බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරනවා.

* ඔබ ලංකාවට එන්නේ මාස කීයකට වතාවක්ද?

අපිට එහෙ ෆ්ලයිට්ස් හරි අඩුවෙන් හම්බ වෙන්නේ. එතකොට මම මාසෙකට හතර වතාවක් විතර ලංකාවට එනවා. එහෙම නැතිනම් ධනංජය තමයි ඩුබායිවලට එන්නේ. මේ මාසෙ නම් ධනංජය හරියට කාර්යබහුලයි. ඔහුගේ කාර්යබහුලත්වය නිසාම මම ලංකාවට ආවා.

* වෙනත් නිළියන් සමඟ ධනංජය රංගනයේ නියැළෙත්දි ඔබට මොකද හිතෙන්නේ?

මුල් කාලෙදි නම් ඒ කියන්නේ දැනට අවුරදු හත අටකට ඉස්සෙල්ලා නම් ඒ ගැන ‍තේරුමක් තිබුණේ නැහැ. සමහර වෙලාවට ඒ නිසා අපි අතර පුංචි පුංචි සිත් අමනාපකම් ඇති කරගෙන තිබෙනවා. දැන් නම් කාලයත් එක්ක වයසින් මුහුකුරා යත්දී මේ රඟපෑමක් විතරයි කියන දේ තේරෙනවා.

* ඔබටත් ගායනයට නර්තනයට හැකියාව තිබෙනවා නේද? එයින් ප්‍රයෝජනයත් නොගන්නේ ඇයි??

එහෙම මට ගැළපෙන පරිසරයක් ලංකාවේ තිබෙනවා කියා මම හිතන්නේ නැහැ. මම ගොඩක් කැමැති බාත්රූම් සිංගර් කෙනෙක් වෙන්න. මම බාත්රූම් සිංගර් කෙනෙක් තමයි.

* ඔබට රඟපාන්න ආරාධනා ලැබුණේ නැතිද?

රඟපාන්න නම් ආරාධනා ලැබුණා. ධනංජය නම් කියලා තියෙන්නේ කැමැති නම් රඟපාන්න කියලා. ඒත් මම කැමැති නැහැ. ධනංජයත් ඒ තරම් කැමැත්තක් නැහැ.

* ඔබට තිබෙන හැකියාවන්ගෙන් ප්‍රයෝජනයක් ගන්නවාට ධනංජය අකැමැතිද?

අනේ එහෙම නැහැ. එයා තමයි බලකරන්නේ මට. මේ දවස්වල ගීතයක් කරන්න කියලා එයා මට කියනවා.

* ධනංජයට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ශෂිනිටත් දැන් මඟතොටේදී ලැබෙනවා ඇති?

ඔව්. ඔවුන් ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැන හරි සතුටුයි. නමුත් සමහර කට්ටිය අපි දෙන්නා දිහා හොරෙන් බල බල යනවා. තවත් සමහර අය ළඟට ඇවිල්ලා කතා කරලා යනවා. ඒ අය ගැන මම හරි අගය කරනවා. අපි දෙන්නා මේ ළඟදි නුවර ගියා. කොළඹටත් වඩා නුවර ප්‍රේක්ෂකයන්ගෙන් විශාල ප්‍රතිචාර ධනංජයට ලැබුණා. අපිට ෆුඩ්සිටි එකකටවත් යන්න බැරිවුණා. මම එදා තමයි දැක්කේ රසිකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර. අඩියෙන් අඩියට රසිකයන් ඇවිත් කතා කරනවා. අවසානයේ මම ධනංජයට කිව්වා ඔයා ඔතන ඉඳන් කතාකරන්න. මම ගිහින් බඩු අරගෙන එන්නම් කියලා.

* ධනංජයගේ බිරිය වීම ගැන ඔබට මොකද හිතෙන්නේ?

ධනංජය කියන නළුවා නෙමෙයි ධනංජය කියන පුද්ගලයාගේ බිරිය වීම ගැන ගොඩක් ආඩම්බර වෙනවා වගේම ගොඩාක් සතුටු වෙනවා. ධනංජය කියන්නේ ගොඩාක් හිත උණුවෙන පුංචි දරුවන්ට, නිහඬව සමාජයට වැඩ ගොඩක් කරන කෙනෙක්. එවන් කෙනෙක්ගේ බිරියක් වීම ගැන හදවතින්ම සතුටු වනවා.

* ධනංජයගේ අඩුපාඩුවක් ලෙස ඔබ දකින්නේ කුමක්ද?

එයාට ඉක්මනටම කේන්ති යනවා. ඒ වගේම ඒ කේන්තිය ක්ෂණිකවම අඩුවෙනවා. එය තමයි ඔහුගේ මම දකින එකම අඩුපාඩුව.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]