කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සරච්චන්ද්‍ර ජන්ම ශත සංවත්සරයේදී 'මනමෙ'ට 58 යි

සරච්චන්ද්‍ර ජන්ම ශත සංවත්සරයේදී 'මනමෙ'ට 58 යි

සමීප රූපයේ අතීත රූපාවලී අතරෙහි ජූනි මාසයේ ඇඳුණු රුවක් ඉන්ද්‍රචාපගේ ඇසට හසුවේ. ඒ අන් කවරකුගේ හෝ නොව, මෙරට නාට්‍ය ප්‍රමුඛ සාහිත්‍ය කලා, විචාර, විශ්වවිද්‍යාල අධ්‍යාපනය, දර්ශනය ආදි වූ ක්ෂේත්‍ර රාශියක විශිෂ්ටතමයා වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සමීප රූපයයි ජූනි 3 දා සටහන් වී තිබුණේ. පසුගිය ජූනි 03 දා එතුමන්ගේ ජන්ම ශත සංවත්සර දිනයයි. පැරීසියේ යුනෙස්කෝව මඟින් එතුමන්ගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් උත්සව මාලාවක් පැවැත්වූ බවත් එහිදී එතුමන්ගේ විශිෂ්ට නාට්‍යාවලියේ ඇරැඹුම සටහන් කළ 'මනමේ' නාටකය රංග ගතවූ අයුරුත් සමීප රූපයේ රූප රාශියක ඇඳී තිබේ.

මෙරට නාට්‍ය වංශ කතාවේ දේශීය ලකුණු ඇඳි නාටකය ලෙස 1956 නොවැම්බර් 03 දාවක කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී ප්‍රථම වරට රංගගත වූ මනමේ නාටකය සමීප රූපයේ හමුවේ. ඉන්ද්‍රචාප මේ සමීප රූප තුළ වෙසෙස් සහසම්බන්ධයක් දකී. සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරය, නිම වී මාස කීපයක් ඇතුළතව, ඔහුගේ විශිෂ්ටතම නාට්‍ය නිර්මාණයක් වන මනමේ නාටකයට වසර 58 ක් සපිරීමයි ඒ සහසම්බන්ධය. වසර 58 ක් යනු අඩ සියවසක් ද ඉක්ම වූ දීර්ඝ කාල පරිච්ඡේදයකි. අවුරුදු පනස් අටක් පුරා, සිංහල නාටකයක්, රංග ගතවෙමින් පවතිනු දැකීම ඉන්ද්‍රචාපගේ අමන්දානන්දයට හේතු වේ. වසරකදී බිහිවන කලාත්මක ගණයේ නාට්‍ය කීපයක් හැරෙන්නට, යහපත් සිංහල නාට්‍ය කලාවක් මේ රටෙහි වර්තමානයේ පවතින බවට ලකුණක් සමීප රූපයෙහි සටහන් නොවේ.

ඒ පිළිබඳ ඉන්ද්‍රචාපගේ සිත තුළ ඇත්තේ නම් කනගාටුවකි. සරච්චන්ද්‍රයන් විසින් අපගේ දේශීය නාට්‍ය සම්ප්‍රදාය ලෙස තෝරා ගත් ශෛලිගත නාට්‍ය සම්ප්‍රදාය අනුදත් එකදු නාට්‍ය කරුවෙක් හෝ නොවීම අදහාගත නොහැකි තත්ත්වයකි. 1956 වර්ෂයේ මනමේ රංගගත වීමත් සමඟ එම සම්ප්‍රදායෙන් තම නාට්‍ය නිර්මාණ ඉදිරිපත් කිරීමට ගුණසේන ගලප්පත්ති හෝ විමල් නවගමුව, පී. වැලිකල වැනි නාට්‍යකරුවෙක් ගත් උත්සාහය සමීප රූපයෙහි වේ. එහෙත් සඳකිඳුරු, කුණ්ඩලකේශි, අජාසත්ත, වැනි නාටක හෝ අර්ධ ශෛලිගත ලක්ෂණ සහිතව වේදිකාවට එක්වූ කුවේණි, බෙරහඬ, නිල් කට්රොල් මල් වැනි නාටක හෝ ශෛලිගත සම්ප්‍රදාය අඛණ්ඩව රැක ගැනීමට හැකි වූ, නිර්මාණ නොවීම, සරච්චන්ද්‍ර සොයාගත් ශෛලිගත සම්ප්‍රදායෙන් ඔහු විසින් නිෂ්පාදනය කරන ලද බොහෝ නාට්‍ය අදත් අප රඟබිම රංගගත වනු දැකීමේ රහස සේ ඉන්ද්‍රචාප දකී.

පණස් අට වසරක් පැරැණි මනමේ නාටකයේ විවිධාකාර සමීප රූප ඉන්ද්‍රචාපට පෙනේ. 1956 නිෂ්පාදනයේ භූමිකා පණ ගැන්වූවන්ගේ මුහුණු රැසක් පෙනේ. ඉන් බොහොමයක් සමීප රූපයෙන් පමණක් දැක ගත හැකි මුහුණු වේ. මහාචාර්ය සරච්චන්ද්‍ර ප්‍රධාන කොටගත් අනෙකුත් විශිෂ්ටයන්ගේ සමීප රූප දෙස අදත් අපට ආදරයෙන් බලන්නට හැකි බවයි ඉන්ද්‍රචාපගේ අදහස. මේ රූප අතර, ට්‍රිලීෂියා ගුණවර්ධන, බෙන් සිරිමාන්න, එඩ්මන්ඩ් විජේසිංහ, නෝමන් ගුණසිංහ, චාර්ල්ස් ද සිල්වා ගුණසිංහ ආදින්ගේ මුහුණු හඳුනාගන්නට ඉන්ද්‍රචාප සමත් වේ. සමීප රූපයෙහි ද දකින්නට හැකි එහෙත් සැබෑ ඇසින්ම අපට පෙනෙන, අප හමුවන ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍යාමන් ජයසිංහ ද මෙරට වෙසෙන ලයනල් ප්‍රනාන්දු ද 58 වසරක මනමේ මතක අසා දැන ගන්නට හැකි ප්‍රධාන චරිත වේ. තමන් ප්‍රථම වරට රඟපෑ මනමේ වැනි විශිෂ්ට රංග කාර්යයක් වසර පනස් අටක් සපුරන නොවැම්බර් 03 දාවක ඔවුනට දැනෙන චිත්ත ප්‍රීතිය මෙතෙකැයි කියා නිම කරන්නට හැකිවේයයි ඉන්ද්‍රචාප නොසිතයි.

මනමේ නාටකයට පනස් අට වසරක් සපිරෙන මේ ස්වර්ණමය අවස්ථාවේදී සරච්චන්ද්‍ර නාමය සමඟ අත්‍යන්තයෙන්ම බැඳී පැවතී, අපගේ මතකයට පිවිසෙන එතුමන්ගේ මහාර්ඝ නිර්මාණ කෙලෙස සමීප රූපයෙන් ඉවත් කරන්නේදැයි නොදනිමි. සිංහබාහු වැනි දෘශ්‍ය කාව්‍යයක රැඳ ඇති පැරැණි මුහුණු වන චාලි ජයවර්ධන, මාක් ඇන්ටනී, ජයශ්‍රී චන්ද්‍රජිත්, සමන් බොකලවෙල, මාලිනී රණසිංහ තුළින් දැකගන්නට ඉන්ද්‍රචාප උත්සාහ ගනියි. හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන වැන්නන් විසින් වේදිකාවට ගෙන ආ නාට්‍ය නිර්මාණ 'මනමේ', 'සිංහබාහු' වැනි අගනා දෘශ්‍ය කාව්‍යයක නාටකීය ගුණය හෝ කලාත්මක ගුණයට ළං නොවුවද ඔවුන්ගේ බොහෝ නිර්මාණ ද අද වුවද සමීප රූපයෙහි සටහන් වී තිබෙනු ඉන්ද්‍රචාප දකී. ශ්‍රී ලංකාව වැනි කුඩා කොදෙව්වක, වසර පණස් අටක් ඉක්මවමින් රංගගත වන මනමේ වැනි නාට්‍යයක් බිහි කළ සරච්චන්ද්‍ර පිළිබඳ අප විසින් නිරන්තරයෙන්ම ගෞරව පූර්වක භක්තියෙන් සිහිපත් කළ යුතු නොවේ ද කියා අසමින් ඉන්ද්‍රචාප කවුළුවේ දොර පියන් පත් වසා දමන්නට උත්සාහ ගනියි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]