කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ශාරුක්ට වාසනාව ගෙනා “හැපි නිව් ඉයර්”

ශාරුක්ට වාසනාව ගෙනා “හැපි නිව් ඉයර්”

තමන්ගේ ආදරණීය පියාණන්ට නිරපරාදේ සොරෙකු යැයි ලේබලයක් ඇලවූ චරන් ග්‍රෝවර් නම් වූ පුද්ගලයාගෙන් පළිගැනීමට මාන බලන චාලි නම් වූ තරුණයෙක්. ඔහුගේ වෑයම, තම පියාට අවමන් කළ චරන් සතුව තිබෙන වටිනා දියමන්තියක් සොරකම් කිරීමයි. මේ සඳහා චාලිට සහාය වන්නේ ඔහුගේ සහ පියා‍ගේ හිතවතුන් කිහිප දෙනෙක්. එක් අයෙකු බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ හමුදාවේ කපිතාන්වරයෙකු වූ ජැග්. හෙතෙම චාලිගේ පාසල් වියෙහි මිතුරෙක්. ටැමි, තවත් හිතවතෙක්. පරිගණකවල දත්ත සොරා ගැනීමේ සූත්තරය දන්නා රෝහන් තවත් අයෙක්. ඔහු, ජැන් ගේ ඥාති පුත්‍රයෙක්. මේ සියලු දෙනාට චරන් සතු දියමන්තිය සොරා ගැනීමට සැලසුම් සකසද්දී පෙනී යන්නේ චරන් ගේ පුත්‍රයා වන විකිගේ ඇඟිලි සළකුණු අත්‍යවශ්‍ය බවයි. මෙහිදී චාලිට හමුවන්නේ නන්දු නමැත්තායි. ඔහුගේ හැඩරුව විකිගේ දේහ ලක්ෂණවලට බෙහෙවින් ම සමානයි.

මේ සියලුම දෙනා සූදානම් කරගෙන දියමන්තිය සොරා ගැනීමේ කටයුත්තට මුල පුරද්දී ඔවුනට තවත් අභියෝගයකට මුහුණදීමට සිදුවෙනවා. ඒ, ජාත්‍යන්තර නර්තන ශූරතාව දිනාගැනීමේ තරගාවලියකට මුහුණදීමේ කටයුත්තයි. එය ලෙහෙසි පහසු දෙයක් නම් නොවෙයි. නර්තනයට දස්කම් නොදක්වන මේ සියලු දෙනා තීරණය කරන්නේ නර්තනය ඉගෙන ගන්නටයි. ඔවුන් නර්තනය ඉගෙන ගන්නේ සමාජශාලා නළඟනක වන මෝහිනීගෙන්. ඇගෙන් නර්තනය ඉගෙන ගන්නා අතරතුරදී ඇය සමග පෙමින් බැ‍ඳෙන්නේ චාලි. අන්තිමේදී කුමකින් කුමක් සිදුවේවිද?

දැන් තිරගතවනවා ‘හැපි නිව් ඉයර්’ චිත්‍රපටයෙන් කියැවෙන මේ කතන්දරයට ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ පමණක් ‍නොවෙයි, ලොව පුරා රටවල් රැසක රසික පිරිස් වසඟ වී සිටිවා. ‘හැපි නිව් ඉයර්’ චිත්‍රපටය නිර්මාණය කළේ නවීන නර්තන අධ්‍යක්ෂවරියක ද වන ෆාරා ඛාන්. මෙහි තිර රචනයත්, අධ්‍යක්ෂණයත් ඇගේමයි.

ශාරුක් ඛාන්, දීපිකා පදුකෝන්, අභිෂේක් භච්චන්, බෝමන් අයිරානි, විවාන් ශා, සෝනු සූඩ් සහ ජැකී ශ්රොෆ් ප්‍රධාන චරිත රඟන ‘හැපි නිව් ඉයර්’ චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වුණේ ද ඩුබායි රාජ්‍යයේදීමයි. ඒ, පසුගිය ඔක්තෝබර් 22 දා. මේ අසිරිමත් අවස්ථාවට සහභාගිවීමට චිත්‍රපටයේ රඟපෑ සියලුම නළු නිළියන් ඩුබායි වෙත පැමිණ සිටීම විශේෂත්වයක්. ගෞරී ඛාන් සතු රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට්ස් සමාගම නිෂ්පාදනය කළ මේ චිත්‍රපටය ලොව පුරා තිරගත කිරීම ආරම්භ කළේ ඔක්තෝබර් 24 දා. චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට වැය වූ මුදල ඉන්දීය රුපියල් කෝටි සියය ඉක්මවා තිබෙනවා.

කෙසේ වෙතත්, චිත්‍රපටය තිරගතවී දින 3 ක් ඉක්ම යද්දී රු. කෝටි 108.86 ක ආදායමක් උපයා ගන්නට සමත් වී ඇතැයි වාර්තා වෙනවා. මේ නිසා අනෙකුත් චිත්‍රපට කිහිපයකම ආදායම් වාර්තා බිඳ හෙලන්නට ‘හැපි නිව් ඉයර්’ චිත්‍රපටය සමත් වී තිබෙනවා. විශේෂයෙන් ම සඳහන් කළ යුතු වන්නේ මේ සමඟම තිරගත වූ අමීර් ඛාන් ප්‍රධාන චරිතය රඟන ‘ධූම් - 3’ චිත්‍රපටයේ ආදායම් වාර්තාව ද අභිබවා යන්නට ‘හැපි නිව් ඉයර්’ සමත්ව තිබීමයි. කෙසේ වෙතත් චිත්‍රපටය තිරගත කර දින 2 ක් ඉක්ම යද්දී එහි පළමු දිනයේ ආදායම් ප්‍රමාණයට වඩා 20% ත් 25% ත් අතර ප්‍රමාණයක් අඩු වූ බවත් පැවසෙනවා.

2014 වසරේ මීට කලින් තිරගත වූ ආක්ෂේ කුමාර් රඟපෑ ‘හොලිඩේ’ චිත්‍රපටය සහ සල්මන් ඛාන් රඟපෑ ‘ජය හෝ’ චිත්‍රපටය වැඩිම ආදායම් ලද චිත්‍රපට වශයෙන් වාර්තා ගතවී තිබුණත් ඒවාට ද පසුබැසීමට සිදුවූයේ ‘හැපි නිව් ඉයර්’ තිරගතවීමත් සමගමයි. මේ චිත්‍රපටයේ සාර්ථකත්වයට උපරිමයෙන් ම බලපා ඇත්තේ ශාරුක් සහ දීපිකා පදුකෝන්ගේ රංගන සුසංයෝගය බවයි ඉන්දීය විචාරකයන් පවසන්නේ. පසුගිය දීපාවලී උත්සවයද මෙහි වාසියට හේතුවී තිබෙනවා. දීපාවලී සමයේදී ‘හැපි නිව් ඉයර්’ තිරගතවීම නිසා වැඩි ප්‍රේක්ෂක සහභාගීත්වයක් මේ චිත්‍රපටයට ලැබී තිබීම අසත්‍යයක් නොවෙයි. සමහරු පවසන්නේ දීපාවලී සමය ශාරුක් ගේ වාසනාවන්ත කාලයක් බවයි. ඒත්, ශාරුක් මෙයට ප්‍රතිචාර දක්වමින් කියා සිටින්නේ තමන්ට නිවාඩුවක් ලැබෙන හැම දිනයක්ම වාසනාවන්ත දිනයක් බවයි!


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]