කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
නාඩගම් නටන්න වෙන්නෙ මං සුජිත් බැන්දොත් තමයි

නාඩගම් නටන්න වෙන්නෙ මං සුජිත් බැන්දොත් තමයි

දාහය ඉවසිය නොහැකි බව සිතූ ලාලනී හිස නඟා බැලුවාය. ප්‍රියන්තිගේ අවධානය යොමුව තිබෙන්නේ නදී වෙත ය.

“අනේ හැබෑටම මේ ප්‍රියන්තිට මොකක් වෙලාද..? කා දිහා හරි කට ඇරගෙන බලන් ඉන්න එක තමා වැඩේ. මෙතන වැඩ ගොඩගැහිලා... ගණනක්වත් නෑ..”

ඒ උච්ච ස්වරයෙන් විළි වැද හැකිළුණ තරුණිය යළි වැඩෙහි නිරත වූවාය. ලාලනී මඳකට මැසිම ක්‍රියා විරහිත කළාය. තුනටියේ පහළ කෙළවරින් පැන නඟින සියුම් වේදනාව නොතකා හරින්නට වෑයම් කළාය.

“ඇයි අම්මෙ කොන්ද රිදෙනවද?”

පොතක කිසිවක් සටහන් කරමින් සිටි නදී ප්‍රශ්න කළේ කාරුණික හඬිනි.

“මං මහහයියෙන් කෙඳිරි ගෑවද ළමයෝ?”

ඇය එක් හදිසි බැල්මකින් තමා වේදනාවෙන් පසුවන බව වටහාගත්තේ කෙසේදැයි පුදුමයට පත්වූ ලාලනී මඳ සිනාවක් පාන්නට වෙහෙසුණාය.

“මට පේනවනේ.. අම්ම මේ ටිකේම ඉන්නෙ ටිකක් අමාරුවෙන්. මූණත් හරි නෑ..”

“ඔව් මේ කොන්ද ටිකක් රිදෙනවා..”

“ඉතිං යංකො බෙහෙත් ගන්න”

ලාලනී මුහුණ හකුලා තොල පෙරළුවාය.

“සුජිත්ගෙ කාර් එකේම යන්න බැරියැ බෙහෙත් ගන්න..”

ප්‍රියන්ති කීවේ ඇනුම්පදයක් දැයි ලාලනී සිතා බැලුවාය.

“ඒක නෙමේ නදී ඇයි ඔයා ඊයෙ සුජිත් එක්ක යන්න බෑ කිව්වෙ?”

නදී පොත මේසය මත තබා නැඟී සිටියාය.

“තාත්තා කැමැති නෑ අම්මේ මං කොල්ලො එක්ක එහෙ මෙහෙ යනවට..”

‘'කොල්ලො එක්ක නෙවීනෙ මෝඩියේ.. තමුං හෙටානිද්ද කසාද බඳින්න ඉන්න මනුස්සයා එක්කනේ..”

නදී දෙබැම ඉහළ නංවා දෙතොල උල් කළාය.

“එයාව කසාද බඳින්න මට හිත හදාගන්න බෑ අම්මේ..”

ප්‍රියන්ති ක්ෂණිකව පැන නැඟි සොම්නස සඟවා ගන්නට වෑයම් කළාය.

“මොනවද මේ කියන බහුබූත කතා..? තාත්තත් කැමති එකේ ඔයා මොන නාඩගමක් ද මේ නටන්න හදන්නෙ..?”

“නාඩගම් නටන්න වෙන්නෙ මම සුජිත්ව බැන්දොත් තමා අම්මේ..”

ලාලනීගේ මුහුණ අඳුරු විය.

“ඒ කොහොමද?”

“නෑ ඉතිං මම ආදරේ නොකරන කෙනෙක් එක්ක ජීවත් වෙනව කියන්නෙ ලොකු රඟපෑමක් කරනවා කියන එක‍ තමා..”

නදී වෙත වූ සැහැල්ලුවත් ප්‍රමෝදයත් ලාලනීගේ කෝපය තීව්‍ර කරයි.

“ඇයි දෙයියනේ... ඒ ළමයට මොනවද අඩු?”

“මුකුත් නෑ.. කඩයක් තියෙනවා.. ගෙයක් තියෙනවා.. වාහනයක් තියෙනවා.. අංගසම්පූර්ණයි”

“එහෙනං ඉතිං මොනවද මේ කියන්නේ?”

“මට අමතක කරන්න බෑ අම්මේ එයා චාපාට කිට්ටු වුණු බව”

නදීගේ මුහුණේ ලැගුම්ගත් දුක් අඳුර අසුනින් නැඟී සිටින්නට ලාලනීට බල කරයි.

“හරි ඉතිං දැන් චාපාගෙන් ප්‍රශ්නයක් නෑනෙ.. අර කසුන් ළමයත් බොහොම වැදගත් පවුලක ගුණයහපත් ළමයෙක්.. තාත්ත හරි කැමතියි කසුන්ට ඒ දෙන්න ඉතිං ඉගෙනීම ඉවර කරන්න ඕනිනේ. ඔයා තමා අද හෙට කසාද බඳින්න ඕන..”

නදී හිස සැලුවාය.

“හරි හරි.. මාත් ඉතිං කවද හරි කසාද බඳින්න ඕන තමා. ඒ වුණාට අම්මේ බඳින්නෙ කවුද කියල තෝරගන්න මට ඉඩ දෙන්න.. අනිත් එක තමා මගේ අදහසක් තියෙනවා ටවුන් එකේ කඩයක් කරන්න. මෙතන අම්මට බාර දීලා මම මගේ තැන හදාගන්න ඕනැ අම්මේ..”

ලාලනීගේ මුහුණට ගැඹුරු කල්පනාකාරී බවක් නැඟිණ.

“දෙයක් කරනවා නම් ඒ දේ දියුණු කරගන්න එක තමා නදී හපන්කම. මම තාත්තට කියන්නං. ඒ වුණාට සුජිත්ව අතාරින එක ගැන තව ටිකක් හිතන්න.”

“මගෙ හොඳ අම්මාÓයි සොම්නසින් කී නදී කට කොණකින් හිනැහුණාය.

“ඒ ගමන මොනවද?Óයි ලාලනී ඇසුවේ ඒ හොර හිනාව හඳුනන බැවිනි.

“මං දැන් යන්නෙ සුජිත්ව මීට් වෙන්න”

“මොනවා?”

ලාලනී විමතියෙන් හඬගෑවාය.

“අනේ අම්මේ ගෑනු ළමයෙකුටයි පිරිමි ළමයෙකුටයි පුළුවන් වෙන්න ඕන කතාබහ කරල ඕන ප්‍රශ්නයක් විසඳගන්න.”

ප්‍රියන්ති කතාවට මැදිහත් ‍වූයේ ලාලනීගේ කර්කශ වදන් පවා අමතක කර දමමිනි.

“අපේ රටේ පිරිමි ළමයි ප්‍රශ්න විසඳන්නෙ පිහියෙන් ඇසිඩ් කෝප්පෙං...”

“අනේ ඔව්. ගෑනු ළමයෙක් බෑ කීව ගමන් පිහියෙන් ඇනල මරන කොල්ලො ඉන්න රටක හරියට පරිස්සම් වෙන්න ඕන නදී..”

නදී මේසය මත වූ අත්බෑගය උරහිසක එල්ලා ගත්තාය.

“සුජිත් එච්චර මෝඩ නෑ අම්මේ...”

“ඒ වුණාට තනියම යන්න එපා නදී.. මේ ප්‍රියන්තිවත් එක්ක ගෙන යන්න..”

නොසන්සුන් වූ ලාලනී අවවාද කළාය.

“මොනවද අම්මා මේ කියන්නෙ? අර ඈත ගම්වල දුප්පත් ගෑනු රට රටවලත් යනව තනියම.. මට බැරිද ටවුන් එකට යන්න..?”

ලාලනී හිඳගත්තේ සුසුමක් හෙලමිනි.

“කියන දේ අහන ළමයින් ද .. නදියි චාපයි දෙන්නම එකයි. වෙඩින් එකට එන්න වෙන්නෙ නෑ කියපු ගෑනි මෙන්න තව ඉලන්දාරියෙකුත් එක්ක එතන.. හරියට අහසින් වැටුණා වගේ.”

ප්‍රියන්ති යළිත් මසන්නට පටන්ගත්තේ නොරිස්සුමිනි. තමාගේ යෞවනය මහන මැෂිමකට දියව යන අතර චාපාත් නදීත් සැහැල්ලුවෙන් සහ සොම්නසින් පසුවන බව සිහිපත් කළ ඇය කෝපයෙන් ද ශෝකයෙන් ද උතුරා ගියාය.

“මටත් දෙන්නකෝ බනිස් එකකුයි ප්ලේන්ටියකුයි..යි නදී ඉල්ලා සිටියේ කැෂියර් මේසය අබියස අසුන්ගෙන සිටි තරුණයාගෙනි. ඔහු වහා හිස ඔසවා බැලුවේය.

“නදී..?”

ඇය මුව පුරා සිනාසුණාය.

“කොහෙද මේ යන්නෙ?”

“ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන”

සුජිත් මඳක් කැලඹුණේය.

“වෙඩින් එක ගැනද..? අපි යං කොහෙ හරි ... මෙතන කතා කරන්න බෑ..”

එක්බඳු ඇඳුම් ඇඟලා ගත් යෞවන යෞවනියන් කුහුඹු කැළක් මෙන් කඩිසරය. නවීන පන්නයේ ආපන ශාලාව අතිශයින් සිත්කලුය.

නදීට උවමනා වූයේ අමරා වෙත යෑමටය. සුජිත් ඒ යෝජනාවෙන් පුදුමයට පත්විය.

“අපි යමුකො..Óයි ඇය බල කළ බැවින් ඔහු අකැමැත්තෙන් වුව එකඟ විය.

අමරා තුරුණු යුවළ පිළිගත්තේ මහත් සතුටිනි.

තේ පානයෙන් පසු නදී ඔහු දෙස එක එල්ලේ බැලුවාය.

“ඔයා කීව නේද සුජිත් ඔයාගෙ අයියා ඔයාට ඉතාලියට එන්න කියනවා කියල”

“ඔව්..”

“ඔයා අයිය ළඟට යන්න සුජිත්..”

“එතකොට ඔයා?”

ඇය නොසන්සුන්ව දෑත අඹරන අමරා දෙස නෙතඟින් බැලුවාය.

“මං.. මං වෙන කෙනෙකුට ආදරෙයි සුජිත්.. ඒ ආදරේ හිතේ තියාගෙන මට ඔයාව බඳින්න බෑ සුජිත්..”

ඔහු‍ෙග් මුහුණ කොතරම් ඉක්මනින් අඳුරුව ගියේ ද කිවහොත් අමරා තැතිගත්තාය.

“මොනවද නදී මේ කියන්නෙ?Óයි ඇය කෝපයෙන් ප්‍රශ්න කළේ එහෙයිනි.

“කවුද ඒ?” සුජිත් රළු පරළු ලෙස ඇසුවේය.

“ඒ කවුරු වුණත් මං ඔයාට කියන්නෙ සුජිත් මාව අමතක කරල වෙන කෙනෙක්ව බඳින්න. එහෙම නැත්තං අයිය ළඟට යන්න..”

සුජිත් වහා නැඟී සිටියේය.

“මං මොනවද කරන්න ඕන කියල ඔයා මට කියන්න ඕන නෑ නදී..”

අමරා ද නැඟිට ඔහුගේ බාහුවෙන් අල්ලා ගත්තාය.

“කලබල වෙන්න එපා පුතේ.. මේ නදීට විකාරනෙ..Óයි ඇය ඔහු අස්වසන්නට වෑයම් කළාය.

“මෙච්චර දවස් සද්ද නැතිව හිටියෙ ඇයි එහෙනං..?Ó‍

“මං උත්සාහ කළා සුජිත් ඔයාට ආදරේ කරන්න. ඔයාව බඳින්න. මං මොනතරම් උත්සාහ කළාද.. ඒත් මට ඒක කරගන්න බැරි වුණා. අනේ මට සමාවෙන්න..”

ඇගේ දෑසට කඳුළු නැඟිණ. ඔහු අතකින් නළල මිරිකා ගත්තේය. මහත් වූ අවමානය ඔහු හකුළා දමයි.

“බැන්දම සේරම හරියයි නදී.. ඔයා හැමදෙයක් ගැනම ඕනවට වඩා හිතනවා. ඒකයි මේ..”

අමරා කතා කළේ සංවේගයෙනි.

“කේන්ති ගන්න එපා සුජිත්. මා එක්ක තරහා වෙන්නත් එපා. ඔයා ම‍ගෙ නංගිත් එක්ක යාළු වුණා කියල මම ඔයාට එකට එක කරනවත් නෙමෙයි. මාව තේරුම් ගන්න”

ඔහු යටිතොල විකාගනිමින් ඉවත බැලුවේය.

“මට හොඳ පෝසත් කෙල්ලෙක්ව ඩව්රියකුත් එක්ක මැරි කරන්න බැරුව නෙමේ නදී”

“ඔයා එහෙම කරන්න සුජිත්. මං හිතුවෙ මගෙ තාත්ත අම්ම සතුටු කරන්න. ඒත් ඒකෙන් කවද හරි අපි දෙන්නම දුක් විඳින බව මට අමතක වුණා. සමහර විට අම්මයි තාත්තයි දෙන්නත් ඒ දුකේ වැටෙන්න ඉඩ තියෙනවා. අපි සේරටම හොඳයි සුජිත් ඇත්තට මූණ දෙන එක...”

ඔහු මොහොතක් ඇය දෙස බලා සිටියේය. තමා ගේ මෝටර් රියේ ඉදිරි අසුන අතහැර දැමීම ඇයට පහසු කාරියක් ද? කිසිදු තරුණියක් ඒ සා අඥාන නොවනු ඇත.

“අම්මා? ඔයාගෙ අම්මා මැරිල තියෙන්නෙ ඔයා උපදින කොටමනෙ...”

අපේක්ෂා නොකළ ඒ ප්‍රහාරයෙන් නදීට පමණක් නොව අමරාට ද රිදිණ.

“ඔව්. අම්මා විතරක්‍ නෙමේ අම්මා තාත්තා දෙන්නම නැති ළමයි මේ ලෝකෙ ඕන තරම් ඉන්නවා.. ඉතිං?”

නදී හැඬුම් මැඬගනිමින් අභියෝගාත්මක බැල්මක් හෙළුවාය.

“වෙන කට්ටිය මං දන්නෙ නෑ.. හැබැයි ඔයාගෙ අම්ම නැති වුණේ ඔයාගෙ කාලකණ්ණිකමට.. වාසනාවක් තියෙනව නම් මං වගේ කෙනෙකුට අකැමැති වෙනවද? මට මොනවද අඩු?”

නදී හඬගා සිනාවක් පෑවාය. එය පහරකට වඩා බලවත් විය.

“සුජිත් පුතා... දැන් ඇති. ඔයා ගැන මගෙ හිතේ තියෙන ආදරේ නැති කරගන්න එපා.. ඔයා දැන් යන්න..”

අමරා ගේ හඬ දැඩිය. ඔහුගේ ආක්‍රමණශීලීබව මඳක් ලිහිල් විය.

“එතකොට සුදු ආච්චිත් නදීගෙ පැත්තෙද?”

“එහෙම නෙවෙයි පුතා ඕනම දෙයක් කතාබහ කරල විසඳන්න අපට පුළුවන් වෙන්න ඕන. තව කෙනෙකුට රිදවලා සතුටු වෙන එක මනුස්සයෙකුට ගැළපෙන්නෙ නෑ..”

ඔහු පිටව ගියේ බලවත් කෝපයෙනි. ඇය අමරා වැලඳගත්තාය.

“මගෙ මැණිකÓයි අමරා සෙනෙහසින් කොඳුලාය.

ලබන සතියට


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]