කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
වසර 34 කට පසු චිලි රටේ නිහඬ දරුවෝ සත්‍ය සොයති

වසර 34 කට පසු චිලි රටේ නිහඬ දරුවෝ සත්‍ය සොයති

කෝ අපගේ දරුවෝ කොයිදෝ ගියේ” චිලී රටේ මවුවරු තම දරුවන් සොයති

චිලී දේශය යනු දුෂ්ඨ ඒකාධිපති පාලනයක් හේතුවෙන් කලක් මුළු ලෝකයේම අවධානයට ලක්වූ රටකි. චිලීයේ ආඥාදායක පාලක ජනරාල් ඔගස්ටෝ පිනෝෂේ ගේ පාලන සමයේ දී වසර ගණනක් තිස්සේ එරට මවුවරුනට බිහිවූ කිරිකැටියන් මවු උකුළෙන් පැහැර ගනු ලැබූ සිද්ධි පිළිබඳ එකල කිසිවෙක් නොදැන සිටියා මෙන්ම ප්‍රශ්න කළේ ද නැත. දරුවන් අහිමි වූ මවුවරුන් දැන සිටියේ සිය කිරිකැටියන් කිසියම් වූ සෞඛ්‍ය හේතුවක් මත මියගිය බව පමණකි. ඒ දරුවන්ට සිදුවූයේ කුමක් ද යන්න දැන් අනාවරණය වෙමින් පවතී.

මේ ඒ කතාවයි.

මේ ඛේදවාචකය සිදුවූයේ 1970 සිට 1980 දක්වා වූ දශකය තුළ දකුණු ඇමෙරිකාවේ චිලී රටේය. ඒ කාල වකවානුවේදී මවුවරුනට දරුවන් අහිමි වූ අතර දරුවන්ට මවුවරුන් නැතිවිය. එම අඳුරු යුගය අවසන් වී වසර 34 කට පමණ පසු මේ ඛේදවාචකයේ සුලමුල හෙළි වෙමින් පවතී.

 

ඔගස්ටෝ පිනෝෂේ

සන්තියාගෝ නගරයේ වාසය කරන චිලියානු මවක් වන සිසිලියා 58 වියේ පසුවන්නීය. ඇය තම ශෝචනීය අත්දැකීම මෙසේ විස්තර කරයි.

“මට දරුවා ලැබී මඳ වේලාවකට පසු දරුවා මගෙන් වෙන් කළා. ඒ දරුවා අඩු මාසෙන් උපන් දරුවෙක්. දරුවා මගේ පපුව මත තියා හෙදිය මොනවාදෝ ලියකියවිලි වගයක් සකස් කරමින් හිටියා. ඉන්පසු එම ලියකියවිලිවලට මොනවා ද කියල මම දැන හිටියේ නෑ. දරුවා සාමාන්‍ය ප්‍රමාණයට වඩා කුඩා නිසා ඉන්කියුබේටරයේ දැමීමට සිදුවන බව කියා හෙදිය දරුවා ගෙන ගියා.”

“ඊට පසු දින ආ හෙදිය දරුවා මළ බව කීවා. ඒත් දරුවාගේ මළ සිරුරවත් මරණ සහතිකයක් මා වෙත ලබා දුන්නේ නෑ.”

සිසිලියා රොජාස්ගේ කථාව ඔස්සේ පරීක්ෂණ පවත්වද්දී මේ අන්දමේ ඛේදජනක අත්දැකීම් එනම් මේ අයුරින් දරුවන් අහිමි වූ චිලියානු මවුවරුන් දහස් ගණනකගේ තොරතුරු අනාවරණය වන්නට විය.

මේ ඛේදවාචක සියල්ලම සිදුවූයේ චිලී රටට දුර්දාන්ත පාලන සමයක් උදාවූ කාල පරාසයක් තුළදීය. ප්‍රථම වරට දක්ෂිණාංශ පාලනයක් පැවැති චිලී රාජ්‍යයේ පැවැති මැතිවරණයේදී සමාජවාදී පක්ෂයේ සැල්වඩොර් අයියෙන්ඩේ බලයට පත්වීම චිලී රටේ එතෙක් බලයේ සිටි ධන කුවේරයන්ටත් හමුදා නායකයන්ට ඒ හැම එකකටම වඩා ඇමෙරිකාවේ සීඅයිඒ සංවිධානයටත් ඔරොත්තු නොදෙන තත්ත්වයක් විය.

එහි ප්‍රතිඵලය හමුදා කුමන්ත්‍රණයකින් අයියෙන්ඩේ රජය පෙරළා හමුදා නායක හා ඇමෙරිකන් හිතවාදී ඔගස්ටෝ පිනෝෂේ බලයට පත්වීමයි.

පිනෝෂේගේ පාලන සමය චිලී ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස විචාරකයෝ සඳහන් කරති.

මේ දරුවන් පැහැර ගැනීම සිදුවූයේත් මෙම දුර්දාන්ත පාලන සමයේ වීම රටේ එකල පැවැති ඒකාධිපති පාලනයේ තතු පැහැදිලි කරන්නකි.

සැල්වඩෝර් අයියන්ඩේ

දැන් එම දරු මංකොල්ලය සිදුවී එසේ නැතහොත් පැහැර ගැනීම්වලට වසර 34 ක් පමණ ගතවී ගොස් ඇත. එම පැහැර ගැනීම්වලට ලක්වූ දරුවෝ අද වැඩිහිටියෝ වෙති.

මේ අතර එදා චිලී ඉහළ සමාජයේ විවාහයකින් තොරව දරුවකු ලදහොත් ඒ දරුවා තවත් කෙනෙකුට බාර දෙනු ලබන්නේ ඉහළ පංතියේ සමාවක පවුලේ නම්බුව රැක ගැනීමය. එසේම ඉහළ පංතියේ දරුවන් නැති පවුල්වලට දරුවන් සැපයීම ද මේ අයුරින්ම සිදුවූයේ රෝහලේදීම කරනු ලබන දරු පැහැර ගැනීම් උපයෝගී කර ගනිමිනි. එසේම ඇතැම් දරුවන් මේ අයුරින් සොරකම් කොට දරුවන් නැති පවුල්වලට විකිණීම ද සිදුවිය.

සිසිලියා රොජාස් පසුව එම දරුවාගේ පියා සමඟ විවාහ වී තවත් දරුවන් හතර දෙනකුගේ මවක් වූවාය. එහෙත් ඇයගේ ප්‍රථම දරුවා ගැන පවතින මතකය ඇය කෙසේ අතහරින්න ද?

“අපි ඒ කාලයේ හිටියේ කට අරින්න බැරි සමාජයකයි. අපි ජීවත්වූයේ බිය සන්ත්‍රාසය සහිත සමාජයකයි. මම කිසි කෙනෙකුගෙන් ප්‍රශ්න ඇසුවේ නෑ. මම රෝහලෙන් පිටවූ පසු දරුවා ගැන තොරතුරු මගේ සොහොයුරියන් සොයා බැලුවා. එහෙත් කිසිම තොරතුරක් ලැබුණේ නෑ.” සිසිලියා අතීතය මතකයට නංවමින් පැවසුවාය.

මේ අතර දැනට 41 වියේ පසුවන ග්‍රැෆික් චිත්‍ර ශිල්පිනියක් විය. කොන්ස්ටන්සා ඩෙල් රියෝ උභතෝකෝටික ප්‍රශ්නයකට මැදිවී සිටින්නීය. ඇයගේ මුළු ජීවිත කාලය පුරාම උත්තර සෙවූ ප්‍රශ්නයකින් ඇය දුක් විඳියි. ඇයගේ සොහොයුරියගේ මුහුණුවරට අතිශයින්ම වෙනස් මුහුණුවරක් ඇයට තිබීම ඇයට විශාල ප්‍රශ්නයකි. ඇය හදාගත් දැරියක් බව සියලුම නැදෑයින් දැන සිටියත් ඒ බව ඇය දැන සිටියේ නැත.

පසුව ඇය ඒ බව දැනගත් පසු “ඒගොල්ලෝ හැමෝම ඒ බව දැන සිටියා. ඒත් මං විතරයි ඒ බව දැනගෙන සිටියේ” යැයි පැවසුවාය.

මෙම සත්‍යය ඇයගේ ගවේෂණයේ මූලාරම්භය විය. අතීතයේ තොරතුරු සියල්ලම වෙනස් කර තිබූ අන්දම ඇයට දැනගත හැකි විය. එම තොරතුරුවල පැවැතියේ දරුවාගේ බර හා වෙනත් වෛද්‍ය තොරතුරු පමණි.

ඇය තමන්ගේ නියම මව හා පියා සොයා ගැනීමට කළ හැකි සැම දෙයක්ම සිදුකළ නමුත් කිසිඳු තොරතුරක හංකවිසියක්වත් ඇයට ලබා ගත නොහැකි විය.

චිලී රජයේ අභ්‍යන්තර තොරතුරු තාක්ෂණ අංශයේ නිලධාරියකු වන එස්ටර් හෙරෙරා ද සිතන්නේ තමන් ද “නිහඬතාවයේ දරුවකු” ලෙසටයි.

ඇලිෂියා හෙරේරා ඇයගේ මව වුවත් ඇයගේ මුහුණුවර එස්ටර්ට කිසිසේත් ගැළපීමක් නැත. ඇයට කෙතරම් ආදරයෙන් සැලකුව ද ඇය තමාගේ නියම අම්මා නොවන බව එස්ටර් දනී.

මේ අන්දමට උප්පැන්න සහතික වෙනස් කොට දරුවන් නොමැති පවුල්වලට දරුවන් ලබාදීමේ ව්‍යාපාරයට සම්බන්ධ යැයි සැක කෙරෙන පූජකයකු චිලී රජයේ බලධාරීන්ගේ අවධානය යොමු වී ඇතැයි පළ වේ.

මේ “නිහඬතාවයේ දරුවන්” පිළිබඳව සොයා ගනු ලැබු ගුස්ටාවෝ විල්ලාරුබියා පවසන අන්දමට රජයේ ද සහාය ඇතිව මේ දරුවන් පැහැරගෙන යෑමේ කුමන්ත්‍රණකාරී ව්‍යපාරයට එකල පූජකයින් වෛද්‍යවරුන්, හෙදියන් හා වෛද්‍ය මධ්‍යස්ථානවල සිටි සේවකයින් ද සම්බන්ධ වී ඇත.

මෙය එවකට පැවැති සාමාන්‍ය ව්‍යාපාරයක් බව පැවසු විල්ලා රුබියා මාධ්‍යවේදියා මවුවරුන් රවටා දරුවන් ලබාගෙන සමහරවිට දරුවා මරණයට පත්වූ බව වැනි බේගල් පවසමින් එම දරුවන් වෙනත් පවුල්වලට ලබාදීම සිදුවූ බව ද, එම කුමන්ත්‍රණයට වෛද්‍ය සේවයේ සියලුම වගකිවයුත්තන් සහභාගිවීම නිසා එය සදහටම වැළලී ගිය සත්‍යයක් බවට පත්වන බව ද හෙතෙම පැවැසීය.

මේ වංචනික ව්‍යාපාරයට මූලික වූ ජෙරාර්ඩෝ යොආනොන්ට එරෙහිව නීති මඟින් පියවර ගත යුතු යැයි නොයෙක් මතවාද චිලී රටේ ඇතිවී ඇත. එසේම මේ ඛේදනීය තත්ත්වය ඇතිකිරීමට යොආනන් පූජකයාට සහාය වූ සෙසු අපරාධකරුවන් සොයා දැනට මෙහෙයුමක් දියත් කර ඇතැයි ද පැවැසේ.

මේ අයුරින් දරුවන් අතුරුදන් වූ මවුවරුන් කොතෙක් චිලී රටේ සිටිනු ඇත්ද? නිහඬතාවයේ දරුවන් කොපමණ සිටිනු ඇත්ද? යන්න චිලී බලධාරීන්ට උත්තර සෙවීමට සිදුව ඇති බැරැරුම් ප්‍රශ්නයක් වන්නේය.

මේ අතර අතුරුදන් දරුවන් හා මවුපියවරුන් කිහිප දෙනකු එකිනෙක හඳුනාගෙන ඇතත් ඒ එක් අයකුවත් තමන් පිළිබඳ හෝ තමන්ට සිදුවූ දේ ගැන තොරතුරක් දීම ප්‍රතික්ෂේප කිරීම මෙම නිහඬ දරුවන් පිළිබඳ ප්‍රශ්නය තව තවත් උග්‍ර වීමට හේතු වී ඇතැයි වාර්තා වේ.

“මගේ නියම මව නොදැක ජීවත්වීමට මගේ කිසිඳු කැමැත්තක් නෑ” යි කොන්ස්ටන් ඩෙල් රියෝ පවසන අතර “මට අවශ්‍ය වන්නේ මගේ නියම දියණිය කවදා හෝ හමුවීමටයි” යනුවෙන් සිසිලියා රොජාස් පවසන්නීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]