කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
තාත්තා ගැන ගුණ කථන ගොඩයි ඒත්, අළු ටික ගන්ඩ දරුවෙක් ආවෙ නෑ

සොහොන් පල්ලකුගේ වසර 34 ක සුවිශේෂි අත්දැකීම් අතරින් බිඳක්...

තාත්තා ගැන ගුණ කථන ගොඩයි ඒත්, අළු ටික ගන්ඩ දරුවෙක් ආවෙ නෑ

ගල්කිස්ස හිටපු සොහොන් භූමි පාලක

උදිත ලක්ෂ්මන් කියයි

හිරු අහසේ ගිනි ගනිමින් තිබේ. මධ්‍යාහ්නයට තවත් ඇත්තේ විනාඩි දෙකකුත් තත්පර තිස්ගණනක් පමණක් විය යුතුය. මා දැන් සිටින්නේ ගල්කිස්සේ මහ කනත්තේය. මළවුන් අතර ගැවසෙමින් මම ඒ පටු මාවත් දිගේ සැරිසරමි. සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාගේ භෂ්මාවශේෂ තැන්පත් කළ සොහොන ථූම්භගෙය අබියසදි මට පෙනෙයි.

බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ
දෙණිපෙත හඬන හිරියා මල්
පිපුණාවේ
මා ආදරය දුටු බව නොම හැඟුණාවේ
මා නැති කලෙක උන් සුවඳක් දැනුණාවේ

එතුමා විසින් ම පරසතු මල් චිත්‍රපටයට ලියූ සුන්දර කවියක් එහි කොටා තිබිණ. මළවුන්ගේ බිමේ හිණිහිසේ සිටින්නේ ප්‍රවීණ ගුවන් විදුලි නිවේදක හිටපු ගුවන් විදුලි සංස්ථා සභාපති ලලිත් එස්. මෛත්‍රිපාලයන්ගේ සොහොනය. සනත් ගුණතිලකගේ මව හා පියාගේ සිරුරු මිහිදන්ව ඇත්තේ කනත්තේ මැද පිහිටි අරලිය මල් සෙවණ යටය.

බෙන් සිරිමාන්න සී.ටී, ප්‍රනාන්දු, සාගරිකා ගෝමස්, දොන් සිරිසේන, එම්.එස්. ප්‍රනාන්දු, චන්ද්‍රා වයමන්, ‘ඇස්දෙක’ ලියූ සෝමපාල රණතුංග, විකට ශිල්පී ඇන්ටන් ජූඩ් මේ කනත්තේ තැන් තැන්වල සමාදානයේ සැතපෙති. මෙහි නිදන සියලු ම කලාකරුවන්ගේ නාමාවලිය ලියන්නට ගියා නම් එය මීටත් දිගය. දෙහිවල ගල්කිස්සේ මහ ඉහළින් වැජැඹි ව්‍යාපාරිකයන්, නීතිවේදින් මතු නොව ඇතැම් දේශපාලකයෝ ද මෙහි සැතැපී සිටියහ.

මා ලියන්නට යන්නේ ඒ කනත්තේ වගතුග නොවේ. මරණය කියන අකුරු හතරට කවරදාවත් බිය නොවූ මරණය යන නියත දහම බණක් ලෙස නිතර මෙනෙහි කළ අපූරු මිනිසෙක් ගැනය. අද විශ්‍රාමිකයකු වුව ඔහුගේ අත්දැකීම් ගොන්න කවදාවත් ඉසුබු නොලබයි. වත්මනේ තටු ගසමින් හේ මා අබිමුව බොහෝ දේ කියයි. ගල්කිස්ස හිටපු සුසාන භූමි පාලක උදිත ලක්ෂ්මන් ප්‍රනාන්දු නම්වර ලත් හෙතෙම ලලිත් එස්. මෛත්‍රිපාලයන්ගේ එක කුස ඔත් සහෝදරයාය.

ගල්කිස්ස පොදු සුසානය විතරක් නොවේ. මා යටතේ තවත් සුසාන භූමි ගණනාවක් පාලනය වුණා. ගොනාකෝවිල, කොහුවල, නැදිමාල, අත්තිඩිය සොහොන් පළ ආදියත් මා යටතේ තිබුණෙ. උදේ පාන්දර බුදුන් වැඳලා හිත සැහැල්ලු කරගෙන ජීවත් වෙන්ඩ රාජකාරියට ආවත් උදේ හිට රෑවන තුරු මගේ වචන කෝෂයේ ප්‍රධාන වචනය මරණය.

මරණ පත්‍රිකා, මරණ දැන්වීම, මරණ ආදාහන, මරණ භූමදාන, මරණාධාර ආදි වශයෙන් උදේ ඉඳන් ඇස ගැටෙන වචනයත් මරණය. බිම් කළුවර වැටෙනවාත් එක්ක මරණය පිළිබඳ ස්මාරක අපේ හිතේ රැව් දෙනවා. ඒත් මරණය කියන අකුරු හතර මට සාමාන්‍යයි.

අපට මේ මරණ චාරිත්‍ර බොහොමයක් ආවෙ ඉන්දියාවෙන්. ඉන්දියාවේ මුහුදුබඩ ප්‍රදේශවල වැසියන්ගේ චාරිත්‍රයක් තිබුණ මරණ (මිනී) කැලේ හංගන්ඩ ගියාම වැලි ගෝනියක් අරන් යන එක. අද වගේ භූමදාන හෝ ආදාහන ඒ කාලෙ තිබුණෙ නෑ. සොහොන් පිටි වගේ කැලේ පිහිටි විල්ලු වගේ තැන්වලට ගිහින් මේ මිනී වීසි කරලා එනවා.

බොහෝ විට මේ විදියට මිනී වීසි කරන්ඩ ගියාම ඒ අයටම ආපසු එන්ඩ පාර මතක නෑ. අර විදියට මිනී විසිකරන්නේ සතුන්ට ආහාරයක් වෙන්නයි. පාර මතක නැති වන හින්දා කැලයට යන තැන සිට මුහුදු වැලි අහුරු ගණන් වීසි කරන එක ඒ අය කළා. ඒ විදියටයි අවමංගල රථ කනත්තට ගෙන යන විට ඉදිරියෙන් යන කරත්තයකින් වැලි දමන සිරිත අපටත් ආවෙ.

ගොවි බිම්වල අය මේ විදියට කැලේට මිනී ගෙනියනකොට පොරි (වී බැදලා ගන්නා) වීසි කළා. එනවිට සත්තු ඒවා කාලා තිබුණොත් කියලා කොළ අතුත් මග දිගට කඩාගෙන ගිහින් අන්තිම කොළ අත්ත මිනිය වීසි කළ තැන ගහලා ආවා. ඒ නිසයි පොරි වීසිකිරීම කොළ අතු වලේ ගසන සිරිත අපට ආවෙ.

මේ කැලෑවල ඒක සාටක තපස්වීන් විශේෂයක් හිටියා. ඒ අය බොහෝ විට ඇන්දේ මළ මිනී ඔතලා වීසි කරලා දමපු රෙදි සෝදලා පිරිසුදු කරලයි. ඒ අය ස්නානය කළේ නිරුවතින් ගඟ දිගේ පිහිනමින්. ඒ අඟහරුවාදා හා සිකුරාදා දවස්වලට. මළ මිනී වීසි කරන්ඩ එන අය නිසා ඔවුනගේ නෑමට කරදරයි.

ඒ නිසා ඒ අය මතයක් ඇති කළා අඟහරුවාදා, සිකුරාදා කැලේ මිනී වැළලීම කරන්නේ නෑ කියලා. ඒවත් හරි හැටි තේරුම් ගන්නෙ නැතිව අපි එලෙසම ගත්තා. ඒත් අඟහරුවාදා සිකුරාදා මිනියේ වැඩ කරන මිනිස්සුත් අප අතර නැතිවාම නොවෙයි.

කෙනෙකුගේ මරණයෙන් තමන්ගේ අභිමානය ඇති කරගන්ඩ යන අය මා අනන්තවත් දැක්කා. සමහරු ආදාහනාගාර තියෙද්දි වෙනම චිතකයක් හදලා පුච්චන්ඩ කතා කරනවා. බලපත්‍රය ගත්තාම ඒවාට අවසර ගත හැකියි. තමන්ගේ අම්මා තාත්තා ඉන්නකොට සලකන්නෙ නැති දරුවො ඒ අය මළාම නම්බුවට තට්ටු හතක රන්සිවිගෙය ගහලා පුච්චන්නෙ.

ඊට පස්සෙ කියනවා අපේ තාත්තා පිච්චුවෙ තට්ටු හතක රන්සිවිගෙයක් ගහලා. පෙට්ටිය විතරක් 55,000 යි ආදි වශයෙන්. මහත්මයාගේ මිනිය කනත්තට ඇතුළු කරනකොට මැරෙන්ඩ හදන විලාප නගන සමහර අම්මණ්ඩිලා කටයුතු අවසන් වුණාම වෙනත් මහත්වරුන්ගේ තඩි කාර්වල හිනාවෙමින් යනවා මා දැකලා තියෙනවා.

එක අවමංගල පත්‍රිකාවක් මා දුටුවා. දුව එංගලන්තෙ අහවල් රස්සාව. බෑනා අහවල් රටේ අහවල් රස්සාව පුතා මෙහෙමයි. නංගි මෙහෙමයි. ඔක්කොම ලොකු ලොකු තානාන්තර දාලා මැරුණු මනුස්සයාගේ පින්තූරය ඉතාම පොඩියට. ඒකම පත්තරවලත් පළ කරනවා. ගුණ කථන බොහොමයි. ඉවරයක් කරගන්ඩ බැරි අරවගෙ මළගමක් මට මතකයි.

රජ පෙළපතින් සියල්ල තිබුණෙ අනේ! පහුවෙනිදා අපි බලන් ඉන්නවා. ඊට පහුවෙනිදත් මේ විදියට සතියක්. අර මැරුණු මනුස්සයාගේ අළු ටික ගන්නවත් අර රජ පැටව් කවුරුවත් නෑ. ජීවිතය දකින්ට හොඳම තැන තමයි මේ රස්සාව.

සමහර සල්ලිකාරයො බලපත්‍ර අරගෙන මිනී චිතකයෙ වැඩ කටයුතු අවසන් වන තුරු වැඩ ටික කරන්ඩ අවමංගල ශාලාවලට කොන්ත්‍රාත් බාර දෙනවා. දවසක් මහ රාත්‍රි අපේ මුරකරුවෙක් ඇවිත් මට කියනවා. සර් අර අවමංගල ශාලාවෙ රථයටයි මිනිස්සුන්ටයි හන්දියෙ කට්ටියක් ගහනවා කියලා. මාත් දුවගෙන ගියා බලන්ඩ.

අනේ! බලනකොට චිතකය දැල්වෙද්දි ඒ කටයුතු බලන්ඩ අවමංගල ශාලාවකින් ‘හර්ස්’ එකක් ඇවිත්. ඒ මිනිස්සු විටින් විට මහ රාත්‍රි 11 ට විතර කනත්තේ ඒ ඉසව්වට යනවා එනවා. හන්දියෙ කට්ටිය හිතලා තියෙන්නෙ ‘හර්ස්’ එකක් ඇවිත් අලුත් පෙට්ටි උස්සන්ඩ කියලා. මං කරුණු පැහැදිලි කරලා දීලා ඒ අය බේරාගත්තා. මිනී පෙට්ටියක් ගිනි පෙට්ටියක් වගේ උස්සන් යන්ඩ බෑ කියලා මිනිස්සු තේරුම් ගන්නෙ නෑ.

තවත් දවසක් ‘නයින් තර්ටි’ ෂෝ එක ඕඩියන් එකේ බලලා පාරෙ යන කට්ටියක් මාව හොයාගෙන ආවා. “මහත්තයො, යක්ෂණියක් අර අලුත මිනියක් පිච්චෙන තැන ඉඳගෙන මිනී මස් අරගෙන තලු මර මරා කනවා අපි දැක්කා බලන්ඩ” කියලා. මාත් දුවගෙන ගියා. ඇත්තටම මහ බියකරු රූපයක්. කොණ්ඩය අපිළිවෙළට දිගට තිබුණා. බලනකොට මේ ගෑනි පිස්සු ගැහැනියක්. අර චිතකයෙ පිච්චෙන අඟුරුවලට කොස් ඇට දාලා ඒවා පිච්චුණාම අරගෙන කනවා. මේකට අර මිනිස්සු හිතුවෙ අර විදියටයි.

තවත් දවසක හොඳට හඳ පායලා තිබුණා. මුරකාරයා මට කතා කළා. රාත්‍රි 11 ට විතර. සර්, මිනී වලකින් අතක් උස්සනවා. පහත් කරනවා. මේක නම් හොල්මනක් කියලා. සාමාන්‍යයෙන් අලුත තැබූ පෙට්ටියක් අවස්ථා 3 කදි ගිලා බහිනවා වළ ඇතුළට. ඒ පෙට්ටිය දිරනකොට. ඊළඟට මිනිය දිරනකොට. අන්තිමේ ජරපත් වුණාම.

එතකොට වළ උඩහ තරමක හිදැසක් ඇති වෙනවා. මාත් ගිහින් ටිකක් බලන් හිටියා. ඇත්ත එකපාර අතක් ඉස්සුණා. ඊළඟට පහළට වැටුණා. තව ටික වේලාවකින් ආයිත් අත ඉස්සුණා. ආයිත් පහළට වැටුණා. මං පුරුෂ වීර්යය අරන් ඒ වළ ළඟට ගියා. බලනකොට බ්‍රීෆ්කේස් එකක් වළ උඩ. මහත්තයෙක් හොඳට බීලා වළ ඇතුළෙ නිදි.

කොච්චර වටේට ගේට්ටු තාප්ප තිබ්බත් පිටිපස්සෙන් එන්නත් පුළුවන්. මිනිහව මදුරුවො කනවා. මිනිහා අත උස්සලා නිදි මතේ ම මදුරුවන් තළනවා. මං ඇහැරලා කතා කළා. බලනකොට පෙරදා හවස පුච්චලා තියෙන්නෙ එයාගෙ යාළුවෙක්. එයා හිතේ අමාරුවට බීලා. බීලා වැඩිවෙලා පාරෙ වැටුණා කියලා මිනිහා හිතලා තියෙන්නෙ. කැරකෝප්පුව කීවාම මිනිහාගේ වෙරි හිඳුණා.

‘හොල්මන්’ කියන්නෙ මහත්තයො, හෙලවෙන මනසනේ. ඒත් මං නම් මේ අවුරුදු 34 ටම හොල්මන් කියන අවතාර වැනි දෙයක් දැක්කෙ නෑ. ඒත් මගෙ මුරකාරයො අහලා තියෙනවා. පුංචි දරුවෙක් කෙම්මුරදා රාත්‍රිවලදි ‘අම්මා’ ‘අම්මා’ කියලා අඬනවා. පුංචි දරුවන්ගෙ මරණ මට හරිම සංවේදීයි. එදාට මං ටිකක් බැහැර වෙලා අනෙක් අයට කියනවා කටයුතු බලන්ඩ කියලා.

ඒ ශබ්දය ඇහෙන්නෙ පුංචි දරුවෙක් වළ දාපු තැනකින්. ඊට ටිකක් එහායින් තිබෙන්නේ ගබ්සා වූ දරුවන්, ශල්‍ය කර්මයකින් ඉවත් කරන කොටස් වළදාන තැනක්. මං දරාගන්ඩ බැරි නිසා ඒ පැත්ත නම් බලන්ඩ යන්නෙ නෑ. තව දවසක් අපේ මනුස්සයෙක් දැකලා තියෙනවා මනමාලියකගෙ පහළ කොටස. මිනිහා තරමක් හිස පහත් කරගෙන ඉන්න වෙලාවක.

එයා ඔළුව උස්සලා ඉහළ කොටස බලන්ඩ ගියෙ නෑ. මහ රාත්තිරියෙ දොළහට පමණ වන නිසා. ඒ ළඟම මනාලියගේ වේලය රැගත් සුන්දර තරුණ ළඳක් වළ දමා තිබෙනවා. ඒ සොහොන් කොතෙත් මනාලියගේ රූපයෙන් ඇය පෙනී සිටිනවා.

හැම මාසෙම එක දවසක මාර්ග සංවර්ධන අධිකාරියෙ මහත්මයෙක් එයාගේ නෝනගෙ වළ ළඟට ඇවිත් දවස පුරා හඬලා මල් ගහලා, ඉටිපන්කම් පත්තු කරලා යනවා. දැන් ඒ මහත්මයත් මැරිලා. එයාගෙ වගතුග බලන්ඩ ගියාම එයා කිව්වෙ අපි හරිම ආදරෙන් හිටියා. දරුවො වුණත් එයා වගෙ මගෙ දිහා බලන්නෙ නෑ.

මං මැරෙනකම් එයාට මේ රෝස මල් පොකුර අරන් හැම මාසෙම එයා මැරුණ දාට එනවා කියලයි. අනේ, මහත්තයො මාවත් මළදාට මෙතැනම වළලන්න එයා කිව්වා. ඒත් එයා කොහේ වැළලුවාද දන්නේ නෑ. කවරදාවත් එයා මා විශ්‍රාම යනකම් ආවෙත් නෑ. ජීවිතේ හැටි එහෙම තමයි.

මගෙ ජීවිතේ තෘප්තිමත්ම දවස 1996 මැයි මාසෙ උදාවුණේ. ගල්කිස්ස ධර්මපාලාරාමෙ වැඩ හුන් කොටිකාවත්තෙ සද්ධාතිස්ස හාමුදුරුවො වැඩමවලා මං කනත්තේ මළවුන් වෙනුවෙන් බණක් කියෙව්වා. මළවුන් වෙනුවෙන් හාමුදුරුවන් 20 නමක් වැඩමවලා ධර්මපාලාරාමයෙ දානයකුත් දුන්නා. පිරිකර ලබා දුන්නේ මළමිනී අයිතිකාරයෝ.

සබන් කැටයක් හරි දෙන්න කිව්වා. එළවළු වෙළෙන්දෝ එළවළු දුන්නා. මාළු වෙළෙන්දෝ මාළු දුන්නා. හාල් වෙළෙන්දෝ හාල් දුන්නා. මේවගෙ එක එක අය මේ පින්කමට විවිධ විදියට දායක වුණා. මේක තමයි ඉතිහාසයේ පළමු වතාවට මළවුන්ට බණ කියූ කනත්ත.

මෙහෙ හිටපු එක්තරා දේශපාලනඥයෙක්ගෙ අපූරු පුරුද්දක් තිබුණා. එතුමා උදේ ඉඳන් අපට ඇමතුම් දීලා අහනවා. මරණ ලැයිස්තු. අද ගෙනෙන ඒවා. තියෙන ලිපින ආදිය. හැන්දෑවට එයා කනත්ත ළඟට ඇවිත් ඉන්නවා. ඒ අවමංගල පෙරහරවලට එකතු වෙලා අපුරු කතා පවත්වනවා. ඉතින්! සහභාගි ඡන්ද සියල්ල එයාට.

නොවැම්බර් මාසය මළවුන් සමරන මාසය. ඒ කාලෙට කතෝලිකයන් මෙහි පිරිලා. ඉටිපන්දම් පත්තු කරනවා. යාච්ඤා කරනවා. මළවුන්ගෙ අවුරුදු දවස වගෙයි. වෙසක් දවසටත් එහෙමයි. පහන් පත්තු කරනවා. සමහර බෞද්ධයො කරන කැත පුරුදු තියෙනවා. ඒ තථාගත බුදු රජුන්ගේ ඡායාරූප තමන්ගෙ මියගිය ඥාතියාගේ වළ වටේ ගහනවා.

ඒක කෙතරම් නරක දෙයක් ද කියලා මා පැහැදිලි කරලා දෙන්ඩ ගියාම එක දරුවෙක් කිව්වා, අනේ මහත්තයො, අපි බුදු හාමුදුරුවො කියලා කෙනෙක් දැකලා නෑ. ඒත් අපේ අම්මාව නම් දැකලා තියෙනවා කියලා.

1988 - 89 කාලෙ තරුණ කොල්ලන්ගෙ මිනී පාරවල් අයිනෙ පිච්චෙන්ඩ ඉස්සෙල්ලා අපේ තාප්පයට උඩින් කනත්තට මිනියක් වීසි කරලා තිබුණා. මළ මිනියෙ මුළු ඇඟම සීබ්‍රාවෙක් වගේ. හැම තැනම දරුණු කැපුම් තුවාල. නිර්වස්ත්‍ර මේ සිරුර අපි පළාතේ ඒ. එස්. පී. ට පෙන්නලා වගකීමෙන් ආරක්ෂා වීමේ පනත යටතේ වැළලුවා. ඒ කාලේ පොලිස් අධිකාරිට, සහකාර පොලිස් අධිකාරිට මහේස්ත්‍රාත් බලතල දීලා තිබුණා.

තව දවසක් ඩබල් කැබ් එකක් රාත්‍රි ඇවිත්. ලොකු අධි ශීතකරණයක මොනවාදෝ තියාගෙන කනත්තට වීසි කරන්ඩ ලෑස්ති වෙනවා. මං ගියා. සොයා බලනකොට මේ නරුමයො නරක් වෙච්ච ඉස්සො තොගයක් සොහොනට වීසි කරන්ඩයි ලෑස්ති වෙන්නෙ. මං ගිහින් බැන්නා. ඕයි, මේක තියෙන්නෙ මිනී වළලන්ඩ මිසක්, ත මුසෙලාගෙ ඉස්සො, බල්ලො වළලන්ඩ නොවේ. මං සද්දෙ දානකොට සෙනඟ පිරෙන බයට ඩබල් කැබ් එක ඇදලා ගියා.

තවත් සෙල්ලමක් තිබුණා. රාත්‍රි දොළහට එකට විතර ආදාහනාගරයේ කූල් රූම් පැත්තට ගණිකාවො අරන් පාදඩයො එන වැඩක්. උදේට එතැන තිබුණු යට ඇඳුම් ආදිය අරන් දාන්ඩ ඕනෑ අපේ සේවකයන්.

මං රැකලා අල්ලන්ඩ බැලුවා. ඒක තේරිලා කවුරුවත් ආවෙ නෑ. ඊළගට මං කළේ ඒ පැත්තෙ තිබුණු පයිප්පෙ ගලවලා දාන එක. එතකොට වතුර නෑනේ. කොහොම හරි මේ සිද්ධිය දුරදිග ගියා. කොච්චර තාප්ප ගේට්ටු දැම්මත් කළුවර වැටුණු ගමන් දුරාචාර ක්‍රියාත්මකයි. මං සැක හිතෙන තරුණ රංචු යනකොට කෑගහලා බැන්නා. මාත් දෙහිවල ගල්කිස්සෙ මිනිහෙක්. මගෙ අම්මා දෙහිවල තාත්තා ගල්කිස්සෙ. තුට්ටු දෙකේ වැඩවලට එන්ට එපා කියලා.

තව දවසක් මහ රාත්තිරියේ මට දැනුම් දෙනවා. මගේ කාමරේ ඇතුළෙ කවුරුදෝ පෙරළනවා කියලා. මං ඒ රාත්‍රියෙම ගියා. ගිහිල්ලා ටික වේලාවක් එළියෙ ඇහුම්කන් දීගෙන නිශ්ශබ්දව හිටියා. කතාව ඇත්ත. මගෙ කාර්යාලයෙ මේස පුටු පෙරළන ශබ්ද. මං දොර ඇරියා. බලනකොට මේසය තියා කඩදාසියක්වත් හෙලවිලා නෑ. කවුරුවත් නෑ. ශබ්ද තරංග තිබෙන්ඩ පුළුවන්. එහෙත් දැකීම, දෘෂ්ටිය සිද්ධ වෙන්ඩ බෑ.

1989 - 90 කාලෙ පුදුමාකාර දෙයක් වුණා. මට ආරංචියක් ආවා. ජේ. වී. පී. ලීඩර් කෙනෙක්ගෙ දේහයක් පුච්චන්ඩ මහ රාත්‍රි මෙහෙ එන බව. ගේට්ටුවට ඉබ්බා දාලා මාත් ගෙදර ගිහින් අපේ නෝනට කියලා බැරිස්ටර් මහත්මයකුගෙ ගෙදර ගිහින් හැංගුණා.

රෑ ඒ කට්ටිය ඇවිත් අගුල් කඩලා ඇතුළු වුණාම ආදාහනාගාරය අරින්ඩ බැරි වුණා. මාව හොයාගෙන ගෙදර ආවත් මාත් ගෙදර නෑ. ටෙලිෆෝන් නිහඬයි. ඒ නිසා ඒ සිහි විසඥ දේහය අරගෙන ඒ අය කොළඹ කනත්තකට ගිහින්. ඒ වැඩේ කළ බව මට ආරංචි වුණා.

1940 කාලෙ මේ සොහොන් භූමියට මළ මිනියක් තබා අවසන් ගෞරව දක්වන්ඩ ථූම්භ ගෙයක් තිබුණෙ නෑ. වැල්ලවත්තෙ කට්ටියක් තමන්ගෙ අම්මාගෙ මිනිය අරගෙන ඇවිත් මහ වැස්සකට කොටු වෙලා මිනිය තබා ගන්ඩ තැනක් නැතිව දුක් විඳලා තියෙනවා. ඒ අය ඒ සිද්ධිය නිසාම මෙතැන ථූම්භ ගෙයක් හැදුවා.

දැන් ඒ දරුවො ඉන්නෙ කැනඩාවෙ. එංගලන්තෙ වැනි රටවල. මෙහෙ ආවාම අපෙන් අවසර අරන් ථූම්භ ගෙය පිළිසකර කළ අවස්ථා තියෙනවා. ඒ ථූම්භ ගෙය ඇතුළෙ දෙපැත්තෙ පුන්කලස් දෙකේ තියෙන්නෙ ඒ අයගෙ අම්මගෙ හා තාත්තගෙ අළු.

මිනියක ඔළුව බස්නාහිරට තබන්නෙ ඇයි? හදිසියේම මම ඔහුගෙන් ඇසුවෙමි.

ඕනෑම සුබ කටයුත්තකට නැ‍ඟෙනහිර හොඳයි. සුබ කටයුතුවලට හිරු ප්‍රධානයි. එළිය ගෙනෙන්නේ නැ‍ඟෙනහිර. අඳුර ගෙනෙන්නෙ බස්නාහිර. මරණය සුබ කටයුත්තක් නොවෙයි. ඉපදීමයි සුබ කටයුත්ත. මරණයකදී ඔළුව බස්නාහිරට තබන්නෙ ඒ නිසයි.

සොහොන් භූමි පාලකයෙක් නිසා ඔහුට සමාජය තුළ මහත් පිළිගැනීමක් තිබේ. නඩුකාර හාමුදුරුවන්ගෙන් පවා ඔහුට ලැබුණු වරදාන ගැන ඔහු මට කී යමක් මතකය. ඕනෑම කාර්යාලයක රජයේ දෙපාර්තමේන්තුවක ඔහුට උදව් කරන්නෝ ද සිටිති.

දෙහිවල ගල්කිස්ස නගරයේ විවිධ ක්ෂේත්‍රවල සිටින්නෝ ඔහු හොඳින් හඳුනති. ඔහුට දරුවන් තිදෙනෙකි. පුතා උගත්තේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේය. ඔහු උසස් රැකියාවක් කරයි. දියණියන් දෙදෙනා ද සමාජයේ ඉහළ පුරවැසියන් ය.

ළමයින්ට දෙයියන්ගෙ ලෙඩ හැදුණා. ඒත් මං රස්සාවට ගිහින් ආවා. දෙහි හෝ කහ ගාගෙන නාලා පිරිසුදු වෙලා ගෙට ආවා. විසබීජ තමයි කිල්ල කියන්නේ. අපේ හිතේ කිල්ල ඇති කරගන්ඩ එපා. මළවුන්ගේ ලෝකය ජීවත්වන මිනිසුන්ට බොහෝ දේ කියා දෙනවා. මං ඔබට කිව්වේ ඒකෙන් ටිකක් විතරයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]