කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
වකීල් සාහෙබ් නමින් නරේන්ද්‍ර පාසලක් හදවයි

සිළුමිණෙන් පමණක් කියවන්න ලැබෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජීවිත කතාව

වකීල් සාහෙබ් නමින් නරේන්ද්‍ර පාසලක් හදවයි

දශකය ගෙවී යද්දී හින්දුත්ව පදනම ගුජරාටය පුරා තමන් වැපිරූ දෙයෙහි අස්වනු නෙළා ගැනීම ආරම්භ විය. 1989 දී කොංග්‍රසයෙන් මාධව් සිං සොලන්කි මහ ඇමැතිවරයා වශයෙන් පත්විය. ඔහු ධුරයේ සිටියේ යන්තම් තෙමසක් පමණි. කොංග්‍රසය ගුජරාටයෙන් ප්‍රතික්ෂේප වන්නට වූයේය. 1990 ප්‍රාන්ත මැතිවරණයේදී ජනතා දාල් හා බී. ජේ. පී. එකමුතුව චිමන්භායි පටෙල් යටතේ රජයක් පිහිටුවීමත් සමඟ බී ජේ පී ය අළු මතින් නැගිටීම ආරම්භ විය.

1990 දී නරේන්ද්‍ර මෝදි බී. ජේ. පී. හි ජාතික මැතිවරණ කොමිසමට පත්වීම ඔහුගේ සංවිධාන ශක්තිය ගුජරාටයේ සීමා මායිම්වලින් ඔබ්බට විහිදී යෑමේ පෙර නිමිත්තක් මෙන් විය. කාර්යශූරව සංවිධාන ශක්තිය පෙන්වමින් කටයුතු කරන ඕනෑම කෙනකුට තරහකාරයන් ඇතිවීම ස්වභාවික සංසිද්ධියකි. ඒ අනුව යමින්, නරේන්ද්‍රගේ පක්ෂය තුළ කැපී පෙනීම නොරුස්නා පිරිසක් ද වූහ.

ඉතාමත් සාර්ථක වූ එක්තා යාත්‍රා පෙළපාළියකින් පසු ආපසු ගුජරාටය බලා පැමිණි නරේන්ද්‍රට ද ඒ වෙද්දී ගුජරාටයේ එදිරිකාරයෙක් සිටියේය. ඔහු ගුජරාටයේ බී. ජේ. පී. හි දිගුකාලීන සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ශන්ක්රේ සිං වගෙලා ය.

“නරේන්ද්‍ර මගේ කණ්ඩායමට ගන්න බැහැ” වගෙලා එළිපිටම එසේ පවසමින් නරේන්ද්‍ර ප්‍රතික්ෂේප කළේය.

“ඇයි එහෙම කරන්නේ. නරේන්ද්‍ර පහුගිය හතර අවුරුද්දක් පුරාම පක්ෂයේ කටයුතු හොඳින් සංවිධානය කළා” නරේන්ද්‍ර වෙනුවෙන් කතා කළ උදවිය පැවසූහ.

“නරේන්ද්‍රගෙ සංවිධායකත්වය නිසා තමයි අපේ පක්ෂය ප්‍රාන්තයේ පළමුවරට මේ තත්ත්වයට ආවේ”

කවුරුන් කෙසේ වුවද නරේන්ද්‍ර වැනි කනිෂ්ඨයකු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අබිබවා සංවිධාන ශක්තිය හා කාර්යශූරත්වය අතින් ඉහළට යෑම හා එමඟින් කැපී පෙනීම ඇතැම්හු නොරිස්සූහ.

නරේන්ද්‍ර කල්පනා කළ අන්දමට වගේලා ගේ මේ කෙණෙහිලිකම්වලට තවත් හේතුවක් විය.

වසර කීපයකට පෙර පැවැත්වූ ලෝක් ශක්ති යාත්‍රා පෙරහරේ දී නරේන්ද්‍ර වෙනත් පුද්ගලයකුට සහාය දීමයි. ඔහු වගේලා ගේ ප්‍රතිවාදියකු වූ කේශුභායි පටෙල්ය.

නිතරම ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කළ නරේන්ද්‍ර මෙවර ද කළේ වගේලා හා හැප්පීමට නොයා පසෙකට වීමය. ඔහුට මෙය කළ හැකි වූයේ පක්ෂයට මේ වෙද්දී ඔහු නැතිව බැරි බව ඔහු දන්නා බැවිනි. වගේලාට පැහැදිලිවම නරේන්ද්‍ර අවශ්‍ය නොවුණත් නරේන්ද්‍රගේ දක්ෂතා නිසැකයෙන්ම පක්ෂයේ අන්‍යයන්ගේ ඇගැයීමට ලක්වනු ඇත.

වගේලාගේ ප්‍රතික්‍රියාවනට ප්‍රසිද්ධියේ වදනිකිනුදු ප්‍රතිචාර නොදැක්වූ නරේන්ද්‍ර නිහඬවම ඉන්පසු පක්ෂයේ වැඩවල නිරත වන්නට වූයේය. ඉන්පසු ඔහු අත ගැසුවේ ‍තවත් බාරදූර කාර්යයකටය. ඉදිරියේදී එන මැතිවරණය සඳහා පක්ෂය වෙනුවෙන් ප්‍රාන්ත පහක සංවිධාන කටයුතු ඔහුට පැවරිණ.

“මං ඒ කාලෙ එක දිගට උත්තර ප්‍රදේශය, මධ්‍ය ප්‍රදේශය, රාජස්ථානය, ඇසැමය සහ මං හැමදාමත් ආදරය කළ හිමාචාල් ප්‍රදේශය පුරා සංචාරය කළා. ඒ ප්‍රාන්තවල ජනතාව මුණ ගැසුණා. ඇත්තෙන්ම ඒ කටයුතු ගැන මගේ මතකයේ තවමත් තියෙනවා” යැයි නරේන්ද්‍ර පසුකාලීනව පැවැසීය.

නරේන්ද්‍ර ආරම්භයක් වශයෙන් එක් බාරදූර කාර්යයකට අත ගැසීය. ඔහු ඒ සඳහා සිය ශක්තිය හා කාලය මුළුමනින්ම කැප කළේය. ඒ කාර්ය වූයේ අහමදාබාද්හි ද්වීතිය පාසලක් ස්ථාපනය කිරීමය. සිය දේශපාලන මුල් ගුරුතුමා වූ වකීල් සාහෙබ් සිහිපත් කෙරෙමින් පිහිටුවෙන එම පාසල සඳහා සිය කාලය හා ශ්‍රමය කැප කිරීම නරේන්ද්‍ර තැකුවේ තමාගෙන් ඉටුවිය යුතු යුතුකමක් ලෙසිනි.

සන්ස්කර්ඨාම් පාසල නමින් හැඳින්වෙන මේ පාසල මිශ්‍ර පාසලක් ලෙස ස්ථාපනය වූවකි. ජාතිකවාදය සහ ගාන්ධි තුමාගේ දර්ශනය මත පදනම් වූ හරයන් සිසුන්ට දීම එහි මූලික පරමාර්ථය වූයේය. රජයෙන් නිර්දේශිත විෂය ධාරාවත් සමඟ ආර්. එස්. එස්. සංගම්හි සිද්ධාන්ත ද ඇතුළත්ව යෝග අභ්‍යාස සහ කාලීන සිදුවීම් පිළිබඳ දැනුම ද සිසුන්ට ලබා දේ. පරිකල්පිතානුකරණයෙන් සහ ස්වාදීනත්වයෙන් යුතු රාජ්‍යයන් බිහිකිරීම සඳහා සාමකාමී සහ ධ්‍යානමය පරිසරයක් එහි නිර්මාණය කිරීම අරමුණ විය.

ඉන්දියාවේ අයෝධ්‍යාහි බාබ්රි මස්ජීඩ් පල්ලිය

නරේන්ද්‍ර තමාගේ විවේක කාලය මුළුමනින්ම පාහේ වැය කළේ මේ පාඨශාලාව ගොඩනැඟීම සඳහාය.

“සැබැවින්ම ඔහු මේ පාඨශාලාව වෙනුවෙන් යෙදවූ කාලය ඔහුට තමන් හෙජ්වෝ භවන් හි ගතකළ මුල් කාල වකවානුව හා එකල ඉටුකළ රාජකාරි සිහිපත් කළා” යැයි නරේන්ද්‍ර එකල ඇසුරු කළ මිතුරෙක් පැවැසීය.

සන්ස්කර්ඨාම් පාසල 1992 ජූනි 06 වැනිදා විවෘත කෙරිණ.

මේ පාසල සම්බන්ධයෙන් වූ ඕනෑම කරුණක් සම්බන්ධයෙන් කතාබහ කිරීමට නරේන්ද්‍ර සැම විටම ඉදිරිපත් වූයේය. පාසලට යන එන අමුත්තන් පිළිගැනීම, ඔවුන්ට සංග්‍රහ කිරීම, ප්‍රදර්ශන පැවැත්වීම යනාදි වූ සියලුම කරුණු කාරණා පිළිබඳව ඔහු සොයා බැලීය.

දේශපාලන වශයෙන් බලාපොරොත්තු විරහිත තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් ඔහු ප්‍රතිචාර දැක්වූයේ කෝපයෙන් දැවෙමින් පිළිගැනීමට යෑම වෙනුවට වෙනත් අංශවලින් ක්‍රියාශීලී වීමෙනි. ඔහු ඉදිරියේ විකල්පයන් බොහොමයක් විවෘතව තිබිණ. එහෙත්, ඔහු තෝරා ගත්තේ සිය ගුරුතුමාට ගෞරව කිරීමක් වශයෙන් පාඨශාලාවයි. සැබැවින්ම පාඨශාලාව ඔහුට ආදේශනය වූ පවුලක් වැනි විය. ඔහු දිගින් දිගටම පාඨශාලාවේ වැඩ කටයුතුවල නිරත විය.

මේ කාල වකවානුවේ ක්‍රියාකාරී දේශපාලනයෙන් මඳක් ඈත්ව සිටි නරේන්ද්‍ර කයිලාෂ් මානාසාරෝවා ලෙසින් හඳුන්වන වන්දනා ගමනක යෙදුණු බව ද වාර්තා වෙයි. කසාවතින් සැරසී හුදෙකලාව යෙදුණු මේ ගමනේදී තමා සැබැවින්ම හුදෙකලාව අත්විඳි බවත් ඔහු ‍පවසා තිබිණ.

විසිවැනි සියවසේදී ඉන්දියාවේ ජාතික සමඟියට බොහෝ බාධා ගෙන දීමට ප්‍රධාන ප්‍රශ්නයක් වූයේ හින්දු සහ මුස්ලිම් ජාතිකයන් අතර ඇතිවූ අරගලයි. මෙයට මුල් වූ ප්‍රධානතම හේතුවක් වූයේ බාබ්රි මස්ජිඩ් පල්ලියේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයයි.

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ෆයිසාබාද් දිස්ත්‍රික්කයේ අයෝධ්‍යා පුරවරයේ පිහිටි බාබ්රි මඩ්ජිඩ් පල්ලිය 1527 දී එරට පළමු මෝගල් අධිරාජයා වූ බාබ්රි විසින් ඉදිකරනු ලැබුවකැයි සැලැකේ. එනිසා පල්ලිය එම අධිරාජයාගේ නමින් නම්කර තිබේ. 1940 න් පෙර මේ පල්ලිය ‘උපන් බිමේ පල්ලිය’ යන අරුත ඇති මස්ජිඩ් - අයි - ජාන්මස්ථාන් යන නමින් ද හඳුන්වනු ලැබිණ.

උත්තර ප්‍රදේශයේ විශාලතම පල්ලි අතරින් එකක් වන මේ පල්ලිය පිහිටි ප්‍රදේශයේ මිලියන 31 ක් පමණ වූ මුස්ලිම් ජනතාවක් වාසය කරතැයි වාර්තා වේ. හින්දුන් විසින් රාමා දෙවිඳුන්ගේ උපන් ස්ථානය ලෙස හඳුන්වන මේ ස්ථානය හින්දුන්ගේ අතිශය පූජනීය හා ආගමික සිද්ධස්ථානයක් ලෙස සැලැකේ.

මේ ස්ථානයේ අයිතිය වෙනුවෙන් හින්දුන් විසින් පෙත්සම් ගණනාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබිණ. එහෙයින් බාබ්රි මස්ජිඩ් පිහිටි බිම සහ ඉතිහාසය සම්බන්ධයෙන් දේශපාලන, ඓතිහාසික හා සමාජ ආගමික විවාද ගණනාවක් පැන නැඟිණ. එසේම මේ පුරාණ සහ අගනා පල්ලිය කඩා බිඳ හෙළනවා ද නොඑසේනම් නවීකරණය කර ප්‍රතිනිර්මාණය කළ යුතු ද යන්න පිළිබඳව බොහෝ වාද විවාද පැවතිණ.

විශ්ව හින්දු පරිෂද්හි ස්වෙච්ඡා සේවකයන් වරක් බාබ්රි මස්ජිඩ් පල්ලිය ඇතුළත රාම දෙවිඳුන්ගේ පිළිරූ තැන්පත් කිරීමත් සමඟ අතිවිශාල කැලැඹීමක් ඇතිවූ අතර ඉන්පසු වරින්වර හින්දු හා මුස්ලිම් දෙපාර්ශවය මේ පූජනීය බිමේ අයිතිය උදෙසා අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළහ.

වරින්වර දිගින් දිගටම දෙපාර්ශවය අතර අරගල ඇතිවීමට මේ ප්‍රශ්නය මුල් වීමෙන් පසු බාබ්රි මස්ජිඩ් භූමිය අරගල භූමියක් ලෙස නම් කරනු ලැබිණ. ඉන් පසුව ද වසර ගණනාවක් තිස්සේ වරින්වර මේ ප්‍රශ්නය අරබයා හින්දු මුස්ලිම් දෙපාර්ශවය අතර අරගල පැන නැඟිණ. ඉන් ප්‍රධානතම අරගලයක් ලෙස ඉතිහාසගත වන්නේ 1992 වසරේ දෙසැම්බර් 06 වැනිදා ඇතිවූ අරගලයයි. එහි ප්‍රතිඵලය ලෙස බාබ්රි මස්ජිඩ් පල්ලිය කඩා බිඳ දමනු ලැබීය.

නරේන්ද්‍ර බී. ජේ. පී. හි වැඩ කටයුතුවලින් මද කලකට අත්මිදී පාඨශාලාව ගොඩනැගීමේ කාර්යයේ යෙදී සිටියදී ඔහුගේ එකල දේශපාලන ගුරුවරයා වූ එල්. කේ. අද්වානි බාබ්රි මස්ජිඩ් ප්‍රශ්නය සම්බන්ධයෙන් දැඩිව කාර්යබහුලව සිටියේය. අද්වානි සැලසුම් කරමින් සිටි දේ පිළිබඳ නරේන්ද්‍ර කිසිවක් නොදැන සිටියේය. එහෙත්, බී. ජේ. පී. හි ජ්‍යෙෂ්ඨ නායකයෝ එතැන යුහුසුලු වෙමින් සිටියහ.

1992 දෙසැම්බර් 06 වැනිදා ආර්. එස්. එස්. සංගමය සහ එහි අනුබද්ධ සංගම් මේ ස්ථානයේ ප්‍රසිද්ධ රැලියක් සංවිධානය කළේය. මේ රැලියට විශ්ව හින්දු පරිෂද් සහ බී. ජේ. පී. හි හින්දු කාර්සේවක්ස් හෙවත් ස්වෙච්ඡා සේවකයෝ 150,000 කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.

බාබ්රි මස්ජිඩ් පල්ලි භූමියේ පැවැති මේ දැවැන්ත රැලියේදී බී. ජේ. පී. නායකයන් වන අද්වානි, මුර්ලි මනෝහාර් ජෝශි හා උමා භාරතී වැනි උදවිය සාමාජිකයන් ඇමතූහ. රැළිය ආරම්භ වී වැඩි වේලාවක් යෑමට ප්‍රථම එයට සහභාගි වූ සාමාජිකයන් අතර නොසන්සුන්තාවක් හටගෙන මහා අරගලයකට මඟ පෑදුවේය.

ඉන්දියාවේ හින්දු - මුස්ලිම් ගැටුම් ඉතිහාසයට තවත් කළු පැල්ලමක් එක්කරමින් ඉන් අනතුරුව සිදුවූ කලබල නිසා දිල්ලි, මුම්බායි, අහමදාබාද් සහ ගුජරාට් වැනි ප්‍රදේශවල පුද්ගලයෝ 2000 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගියහ. ඉන් වැඩි දෙනෙක් මුස්ලිම් ජාතිකයෝ වූහ.

බී. ජේ. පී. ය විසින් මහා ජයග්‍රහණයක් ලෙස සැලකූ මේ සිදුවීමට නරේන්ද්‍ර සහභාගි නොවීම පක්ෂය හා ඔහු අතර කිසියම් දුරස් වීමක් බඳු විය. නරේන්ද්‍රගේ විරුද්ධවාදීහු මෙය ඔහුට විරුද්ධව ප්‍රචාරය කිරීමට හේතු පාඨයක් කර ගත්හ.

“එයා එයාගේ දේශපාලන ජීව දත්ත වාර්තාවට අයෝධ්‍යා සිද්ධිය එකතු කරගන්න බොහොම කැමැත්තෙන් හිටියෙ. ඒත් එයා ඒකට කොහෙත්ම ගෑවුණේ නැති නිසා එයාගේ බලාපොරොත්තු සුන් වුණා” යැයි ඔව්හු ප්‍රසිද්ධියේ පැවසූහ.

එසේ වුවද, නරේන්ද්‍රට කිසියම් ලෙසකින් මේ අයෝධ්‍යා සිද්ධියට ගෑවීමට කැමැත්තක් වූයේනම් අද්වානි හා සමඟ තිබූ සබඳතාව නිසා හෝ ඔහු ඊට සහභාගි වනු ඇති බව ද නරේන්ද්‍ර පිළිබඳ තොරතුරු දන්නෝ පැවසූහ.

කෙසේ වුවද සත්‍යය වූයේ 1992 වසර මුලදී රටේ තිබූ තත්ත්වය අනුව; එනම් ඒ අවදියේ රටපුරා ඉස්මතු වෙමින් පැවැති ජාතිවාදී අර්බුද, කැරැලි කෝලාහල සහ රජිව් ගාන්ධි ඝාතනයෙන් පසු ඇතිවූ තත්ත්වය හමුවේ නරේන්ද්‍ර තාවකාලිකව ක්‍රියාකාරී දේශපාලනයෙන් මදක් ඈත්ව සිටීමය.

1992 වසරේදී අයෝධ්‍යා සිද්ධියෙන් පසු එවකට ඉන්දියානු අගමැතිවරයා වූ පී. වී. නරසිම්හ රාඕට මුහුණ දීමට සිදු වූයේ බරපතළ ප්‍රශ්නයකටය. අයෝධ්‍යා සිද්ධිය වළක්වාලීමට ඔහු නිසි පියවර නොගත්තේයැයි අගමැතිවරයාට විරුද්ධව දැඩි චෝදනා එල්ල වන්නට විය.

“ඇයි අගමැතිවරයා මෙතැනදි දැඩි පියවරක් අනුගමනය නොකළේ? ඔහු මධ්‍යම හමුදාවලට කලහකාරීන් මර්දනය සඳහා වෙඩි තැබීමට අණ නොකළේ ඇයි?” යනුවෙන් ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ හා ප්‍රවීණ මාධ්‍යවේදියකු වන ශේඛාර් ගුප්තා ප්‍රශ්න කළේය.

අගමැතිවරයා මේ සිද්ධියේදී භාරතීය ජනතා පක්ෂ නායකයන් විශ්වාස කළේ මන්ද යනුවෙන් ද ගුප්තා විමසීය.

“අයෝධ්‍යා පුදබිමේ මේ අය රැස්වෙන්නට සංවිධානය වෙද්දී මෙවැනි දෙයක් ඇති නොවේයැයි අගමැතිවරයා බී. ජේ. පී. නායකයන් විශ්වාස කළේ ඇයි?”

මෙලෙසින් සිද්ධිය සම්බන්ධයෙන් බී. ජේ. පී. යට ද ඇඟිල්ල දිගු වෙද්දී බාබ්රි මස්ජිඩ් හි සුන්බුන් මතින් බී. ජේ. පී. ය ද පාඩමක් ඉගෙන ගත්තේය. ඉන්පසු ඔව්හු ඉතා ඉක්මනින්ම ‘හින්දුත්ව පදනම’ තවදුරටත් සිය ප්‍රධානම පණිවුඩය ලෙස ප්‍රවර්ධනය කිරීමෙන් වළකින්නට වූහ. නරේන්ද්‍ර පසෙකට වී මේ සියල්ල සාවධානව බලා සිටිමින් ඉන්දියාව ආණ්ඩු කළ හැක්කේ මධ්‍යයේ සිටිමින් මිස අන්තයට නොයමින් බව වටහා ගත්තේය. එසේම ඔහු ඒ මූලධර්මය පසුකාලීනව ගුජරාටය සම්බන්ධයෙන් උපයෝගී කර ගත්තේය.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]