කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
විපරම මදිකමින් ගලේවෙල හැඬවූ දරු දුක

ජල බඳුනේ වැටී සිඟිත්තා මිය යාමේ සිද්ධිය

විපරම මදිකමින් ගලේවෙල හැඬවූ දරු දුක

මවුපියන්ට කුමන දුකක් පැමිණිය ද තම දරුවකුගේ මුවෙන් නැ‍ඟෙන සිනාවකින්. ඒ සියල්ල යටපත් වී යනු ඇත. දස මසක් කුස දරා දරුවෙකු බිහි කරන වේදනාව මවක් දරාගෙන සිටින්නේ අසීමිත දරු සෙනෙහසකිනි. දරු සම්පත තරම් උතුම් සම්පතක් මවුපියන්ට තවත් නැත. තම දරුවන් කෙරෙහි ඔවුන් තුළ ඇත්තේ බලාපොරොත්තු කන්දරාවකි. ලෝක ස්වභාවය එයයි.

එවන් වටිනා සම්පතක් අකාලයේ අහිමිවීම තරම් වේදනාවක් මවුපියන්ට මිහිපිට තවත් නැත. පසුගියදා ගලේවෙල කටුවලන්ද පාරේ පිහිටි නිවසකින් ඇසුණ මවකගේ අ‍ඳෝනාවෙන් මුළු ප්‍රදේශයම කම්පාවට පත් විය. සිය අවුරුදු 1 මාස 3 ක එකම දරු සිඟිත්තා ජලය පිරුණු ප්ලාස්ටික් බඳුනකට වැටී මිය ගොස් තිබීම ඊට හේතුවයි.

ගලේවෙල කටුවලන්ද පාරේ පිහිටි අයි.එම්. නිසාර් (42) ගේ නිවසට පසුගිය 5 දා සුපුරුදු පරිදි හිරු රැස් වැටී තිබිණි. තම එකම සුරතලාගේ හිස ආදරයෙන් පිරිමැදී ය. තමන්ට දෙවියන් දුන් මේ වස්තුව තම ඇකයේ සිටින අවසන් මොහොත මේ යැයි නිසාර් මොහොතකටවත් නොසිතන්නට ඇත. නිසාර් අවදි වනවාත් සමඟ ම පුතා ද පුරුදු පරිදි අවදි විය. ඉන්පසු සිදුවූ විපත ගැන නිසාර්ගේ බිරිය වන පාතිමා රිස්රියා (29) හැඬූ කඳුලින් මෙසේ කීවා ය.

“පසුගිය 5 වැනිදා උදේ 5.30 ට විතර අපේ එකම පුතා සැමියාගේ නංගිට බලාගන්නට කියා මම බේත් ගැනීමට සැමියා සමඟ ගලේවෙල නගරයේ ඩිස්පැන්සරියකට ගියා. ආපසු 8.00 ට පමණ බේත් අරන් ආවා. සැමියා පුතාට කතා නොකරම රැකියාවට යන්ට ගියේ කතා කළොත් පුතා හඬන හින්දයි.

ඒ තරම් පුතා තාත්තාට ආදරෙයි. වේලාව උදේ 10.00 විතර ඇති. මේ වේලාවේ සැමියාගේ මව (නැන්දම්මා) රෙදි සෝදමින් සිටියා. මම කුස්සියේ වැඩක නිරතව සිටියා. පුතා ද ඒ අසල සෙල්ලම් කරමින් සිටියා. විනාඩි 5 ක කාලයක් ගතවෙන්නට ඇති. පුතාගේ ශබ්දයක් නැති නිසා ගෙදර කාමරයක් ගානේ ගිහින් බැලුවා.

පුතා පෙනෙන්ට නොසිටි නිසා මිදුලට ගොස් බැලුවා. එවිට මම දුටුවා මිදුලේ තිබූ සුදු පාට ලොකු ප්ලාස්ටික් බඳුනකට මුනින් අතට පුතා වැටී සිටිනවා. කකුල් දෙක බඳුනෙන් පිටට උඩු අතට තිබුණා. මම කෑගසාගෙන ගොස් පුතා ජලය තිබූ ප්ලාස්ටික් බඳුනෙන් ඉවතට ගත්තා.

මියගිය දරුවාගේ පියා අයි.එම්. නිසාර්. මව සින්ග් රිස්රියා

ඔහුට සිහිය තිබ‍ූ බවක් පෙනුණේ නැති නිසා වහා අසල්වාසීන් සමඟ ගලේවෙල රෝහලට ගෙන ගියා. එහි වෛද්‍යවරයා පුතා පරීක්ෂාකර මියගොස් ඇති බව පැවසුවා.” මම පුතා ගැන හොඳ සෙවිල්ලෙන් හිටියා. නමුත් මේ ඇති වූ සිද්ධිය මටම අදහා ගන්නට බෑ දෙවියනේ. ඇයි මට මෙහෙම දුකක් දුන්නේ. ඇය රැස්ව සිටියවුන්ගේ දෑස් තෙත් කරමින් හඬා වැලපෙන්නට වූවා ය.

මිය ගිය සිඟිත්තන්ගේ පියා වන අයි.එම්. නිසාර් (42) තම පුතුගේ වියෝව ගැන මෙසේ පැවසීය. “සිද්ධිය වූ දින මම රැකියාවට ගොස් සිටියා. උදේ 10 ට විතර අක්කගෙන් පණිවිඩයක් ලැබුණා වහාම ගෙදර එන්න කියලා. නිවසට පැමිණි විට ඇසූ දේ අදහා ගන්නට බැරි වුණා.

මගේ එකම සුරතල් පුතා නොඑන ගමන් ගිහින්. මගේ බිරිය දරුවා හොඳින් බලාගන්නවා. නමුත් සිදුවූ විපත අදහා ගන්නටත් බෑ. මිය ගිය පුතා පුංචි වුණාට වරෙන් පලයන් කියල කතා කළේ නෑ. එන්න යන්න කියායි කතා කරන්න පුරුදුව හිටියේ. ඒ තරම් කීකරු මේ දරුවා ගැන මං හරිම සතුටින් හිටියෙ. මම දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා හොඳ දරුවෙක් මට ලබාදෙන්නට කියා... මේ දුක මට උහුල ගන්නට බෑ... නිසාර් දරු දුකින් කෑ මොර දී හැඬුවේ ය.

මෙම මරණය ගැන පරීක්ෂණය පැවැත්වූ හදිසි මරණ පරීක්ෂක එම්.එම්.ටී.බී. කොස්වත්ත මහතා ගලේවෙල දිසා රෝහලේ දී මියගිය දරුවාගේ ඥාතීන් ඉදිරියේ මෙසේ පැවසීය.

“මවුපියන්ගේ නොසැලකිල්ල නිසා කුඩා දරුවන් අකාලයේ මියයාමේ ප්‍රවණතාවයක් ඇති වී තිබෙනවා. වසරක පමණ කාලයක් තුළ මෙවැනි ම සිද්ධීන් දෙකක් ගැන මම පරීක්ෂණ පවත්වා තිබෙනවා. මිය ගිය මේ නොදරුවා ගැන මවුපියන් ඇතුළු වැඩිහිටියන් මීට වඩා සැලකිල්ලක් දැක්වූවා නම් ඔහු අදත් ජීවතුන් අතර ඉන්නවා පැවසීය.

කාගේ හෝ වරදකින් දරුවා ජීවිතයෙන් සමුගෙන අවසන් ය. කුඩා වියේ දරුවන් සිටින දෙමවුපියන්ට මෙය කදිම පාඩමක් කියා දෙයි. එය නම් හැම තත්පරයකදීම ඔවුන් ගැන විපරමෙන් සිටිය යුතු බවයි.

පසුගිය 5 වැනි දින පස්වරු 6.00 ට පමණ මළ හිරු බැස යන හැන්දෑවේ අහමඩ් සිඟිත්තා රන්වැඩියාව මුස්ලිම් පොදු සුසාන භූමියේදී අවසන් ගමන් ගියේ මුළු ගලේවෙලම කම්පා කරවමිනි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]