කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
යාපනයට පැය තුනයි මහනුවරට පැය එකහමාරයි

උතුරු අධිවේගී මාර්ගය 14 වැනිදා හතර තැනකින් ඇරැඹේ

යාපනයට පැය තුනයි මහනුවරට පැය එකහමාරයි

මෙරට දිනෙන් දිනම වැඩිවන වාහන තදබදයට විසැඳුමක් ලෙසින් අධිවේගී මාර්ග පද්ධතියක අවශ්‍යතාවය මතුවූයේ අද ඊයේ නොවේ. ඇතැමුන් රකුසකු මෙන් පෙන්වා දුන් අධිවේගී මාර්ග අපේ රටට අලුත් දෙයක් වුවත් එය ලොව දියුණු රටවලට අලුත් දෙයක් නොවේ. අපේ රටේ අධිවේගී මාර්ග ඉතිහාසයේ ආරම්භය සිදුවූයේ කටුනායක අධිවේගී මාර්ගය තැනීම ආරම්භ කිරීමත් සමඟය. ඒ සමඟම දක්ෂිණ අධිවේගී මාර්ගය තැනීමේ කටයුතු ඇරැඹුණු අතර එය ලංකාවේ පළමු අධිවේගය ලෙසින් ජනතා අයිතියටද පැවරිණි.

අද වන විට කොළඹ කටුනායක අධිවේගී මාර්ගයත්, දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයත්, කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අදියර පළමු අදියරද මේ වන විට ජනතා අයිතියට පවරා ඇත. එහි දෙවන අදියරද ලබන වසර මුලදී ජනතා අයිතියට පැවරේ.

මේ සියලු මාර්ගයන්ට වඩා දුෂ්කර මෙන්ම වඩාත් දීර්ඝතම දුරක් ඉඳි කිරීමට යෝජිත මාර්ගය වන්නේ උතුරු අධිවේගී මාර්ගයයි. කොළඹ පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියර වන කඩවත කෙරවලපිටිය මාර්ගයෙන් කොළඹ කටුනායක අධිවේගයට හා සම්බන්ධිතව වත්තල රාගම ප්‍රදේශයන්ට ආසන්නව ඇරැඹෙන උතුරු අධිවේගී මාර්ගය ආරම්භයේදී මහනුවර හා දඹුල්ල දක්වා ඉඳි කිරීමට යෝජිතය.

මෙම මාර්ගය 2007-2018 ජාතික මාර්ග පද්ධතිය අනුව ඉඳිකිරීමට යෝජිත වූ මාර්ගයකි. එහි ඉඳි කිරීම් කටයුතු ලබන සිකුරාදා ඇරැඹේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් උතුරු අධිවේගය සඳහා 14 වැනිදා සිකුරාදා සහ 15 වැනිදා ස්ථාන හතරකදී මුල්ගල් තබනු ලැබේ.

14 වැනිදා පෙරවරු 9.30ට උතුරු අධිවේගයේ සෙංකඩ දොරටුවක් වන ගලගෙදරදී ප්‍රථම මුල්ගල තබනු ඇත. එදිනම පෙරවරු 10.30ට අනෙක් සෙංකඩ පිවිසුම වන රඹුක්කනදී ජනාධිපතිතුමා විසින් මුල් ගල තබනු ඇත. එදිනම පස්වරු 2.30ට ගලේවෙල උතුරු අධිවේගයේ ‘සිළුමිණි‘ දොරටුවේදී තුන්වන මුල් ගලද ජනාධිපතිතුමන් විසින් තබනු ඇත.

පසු දින එනම් 15 වැනිදා පෙරවරු 9.30ට උතුරු අධිවේගයේ අභිමන් දොරටුව වන කුරුණෑගලදී ජනාධිපතිතුමන් විසින් තවත් මුල්ගලක් තබනු ඇත.

ඒ අනුව මෙම ස්ථාන හතරෙන් එකවර උතුරු අධිවේගයේ වැඩ ඇරැඹෙනු ඇත.

උතුර දකුණ යා කරන පාලමක් ලෙස යාල්දේවිය කටයුතු කළාක් මෙන් උතුරු අධිවේගී මාර්ගයද උතුර දකුණ යා කිරීමට තවත් විශාල දායකත්වයක් ලබා දෙනු ඇත.

කොළඹ මහනුවර ඒ - 01 මාර්ගයත් අඹේපුස්ස කුරුණෑගල ත්‍රිකුණාමලය ඒ - 06 මාර්ගයත් මේ වන විට වාහන තදබදයන්ට මුහුණ දෙමින් තිබේ. එම මාර්ග ඉදිරියේදී මංතීරු 4 ක් දක්වා පුළුල් කිරීමට යෝජනා වී තිබුණද එමඟින් වාහන තදබදයට විසැඳුම් සෙවිය හැක්කේ කෙටි කලකට පමණක් බව මේ වන විට පසක් වී ඇත.

එම නිසා මහනුවර මෙන්ම උතුරු නැඟෙනහිර දක්වා විහිදෙන කඩිනම් මාර්ගයක අවශ්‍යතාවය බොහෝ කලක සිටම මතුව පැවතුණි. මේ වන විට සමස්ත දිවයිනම සාමකාමී රටක් බවට පත්ව තිබීම නිසා ජනතාවගේ ගමන් බිමන් පවා වැඩි වී ඇත.

විශේෂයෙන් සති අන්ත මෙන්ම දිගු නිවාඩු සමයන්හිදී ඉහත මාර්ගවල ගමන් කිරීමට නොහැකි වන පරිදි අධික වාහන තදබදයකි. මේ නිසා මහාමාර්ග ඇමැතිවරයා ලෙසින් ජනාධිපතිතුමා විශේෂ සංවර්ධන ව්‍යාපෘතියක් ලෙසින් උතුරු අධිවේගී මාර්ගය තනා නිම කිරීමට උපදෙස් ලබා දී ඇත.

මෙම මාර්ගය ඉඳි කිරීමේ අරමුණ ගමනාගමනය කඩිනම් කිරීම පමණක්ම නොවේ. ප්‍රවාහනය කඩිනම් වීම හරහා ආර්ථික ඵලදායිතාවයට මඟ පාදා ගැනීම මෙන්ම රට අභ්‍යන්තර ප්‍රදේශ සංවර්ධනය සඳහා පුළුල් මාර්ග ජාලයක් ඇති කිරීම ද එහි අරමුණු අතර වේ.

වසර 2030 වන විට සමස්ත ශ්‍රී ලංකාවේම ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක මාර්ග පද්ධතියක් ඇති කිරීම සේම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන අවට නගර නිර්මාණය කිරීම තුළින් මාර්ග හා බැඳුණු ආර්ථික හා සමාජීය සංවර්ධනයක් ඇති කිරීමද තවත් අරමුණු වේ.

ගම්පහ, රඹුක්කන දඹුල්ල වැනි ප්‍රධාන නගර ආර්ථික වශයෙන් සංවර්ධනයටද මහනුවර හා දඹුල්ල වැනි නගර සංචාරක ව්‍යාපාර සංවර්ධනයටද කුරුණෑගල නගරයෙන් මේ ඉලක්ක දෙකම සපුරා ගැනීමටද බලාපොරොතුතු වේ. එසේම ආයෝජකයන්ට ආයෝජන අවස්ථා සඳහා අධිවේගී මාර්ගය හරහා ඉඩ ලබා දීමට ද අපේක්ෂිතය.

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ මුතුරාජවෙල හරහා ඉඳි කෙරෙන මෙරට දීර්ඝතම පාලම මතින් එඩේරමුල්ල ප්‍රදේශයේදී කොළඹ පිටත වටරවුම් මාර්ගය උතුරු අධිවේගී මාර්ගය හා සම්බන්ධ වේ. එතැන් සිට විහිදී යන උතුරු අධිවේගයේ පළමු පිවිසුම් මාර්ගය හමුවන්නේ ගම්පහදීය.

ඒ ජාඇල ගම්පහ මාර්ගයේදීය. දෙවැනි පිවිසුම වේයන්ගොඩදීය ඒ මිනුවන්ගොඩ වේයන්ගොඩ නිට්ටඹුව මාර්ගයේදීය. තැන්වැනි පිවිසුම මීරිගම දකුණය ඒ දිවුලපිටිය හා නිට්ටඹුව මාර්ගය හරහායි. සිවුවැනි පිවිසුමද මීරිගමය. ඒ මීරිගම උතුර පිවිසුමයි. ඒ අඹේපුස්ස හා ගිරිඋල්ල මාර්ගය හරහායි. නාකලගමුව පිවිසුම සම්බන්ධ වන්නේ නාරම්මල අලව්ව මාර්ගය හරහායි.

ඉන්පසු පොතුහැර අන්තර් හුවමාරුවයි.

පොතුහැරින් එක් මාර්ගයක් ගලගෙදර හරහා ගන්නොරුව (මහනුවර දක්වා) දක්වා දිවෙන අතර අනෙක් මාර්ගය දඹුල්ල දක්වා දිව යයි.

ඉන් දඹුල්ල දක්වා දිවෙන අධිවේගයේ පළමු පිවිසුම දම්බොක්කයි. දම්බොක්ක පිවිසුම පොල්ගහවෙල කුරුණෑගල මාර්ගය හා සම්බන්ධ කෙරේ. කුරුණෑගල පිවිසුම පිහිටා ඇත්තේ මාවතගම මාර්ගයේය. රිදීගම පිවිසුම ඉබ්බාගමුව දොඩම්ගස්ලන්ද මාර්ග හරහා ඉදි කෙරේ.

මැල්සිරිපුර පිවිසුම ගොකරැල්ලට සමීපය. ඒ කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මහා මාර්ගයට පිවිසීමටයි. ගලේවෙල නගරයට කිලෝමීටරයක් දුරින් අනෙක් පිවිසුමයි. ඉන්පසු දඹුල්ල ඒ -9 මාර්ගයේ පිවිසුමයි. එසේම දඹුල්ල නගරය පසුවී (මිරිස්ගෝනියාවෙන් හබරණ දෙසට වන්නට) නගරයට ආසන්නව තවත් පිවිසුම් මාර්ගයකි. එසේ වුවත් දඹුල්ලේ පිවිසුම් මාර්ග තවම සැලැසුම් අදියරේ පවතී.

මහනුවර දක්වා දිවෙන අධිවේගයේ පොතුහැරින් පසු හමුවන පළමු පිවිසුම පිහිටියේ රඹුක්කනයි. දෙවැන්න නාරංවලයි. ගන්නොරුව - හෑදෙණිය මාර්ග හරහා අලදෙණිය පිවිසුම ඉදිවේ. පේරාදෙණිය හා මහනුවර ආසන්නයේ ගන්නොරුව පිවිසුමෙන් අධිවේගය නිම වේ. එතැනින් සිට පේරාදෙණියට කිලෝමීටර් 2.1 ක් හා මහනුවරට කිලෝමීටර් 5.6 කි.

මහනුවර දක්වා දිවෙන මාර්ගයේ නාරංවල අන්තර් පිවිසුමෙන් එක් මාර්ගයක් කුරුණෑගල පුත්තලම් මාර්ගය හා සම්බන්ධ වීම සඳහා ගලගෙදර දක්වා දිවෙනු ඇත.

මෙම මාර්ගය නිම කිරීමෙන් පසුව කොළඹ සිට දඹුල්ලට මෙන්ම කොළම සිට මහනුවරට පැය එකහමාරකින් ගමන් කළ හැකි වේ. මාර්ගයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 100කි. මං තීරු 4 කින් ආරම්භ කරනු ලබන අධිවේගයේ තවත් මංතීරු 2 ක් සඳහා ඉඳි කිරීම සඳහා රක්ෂිත වෙන් කෙරේ.

අදියර 10 ක් යටතේ මෙම මාර්ගයේ වැඩ කටයුතු නිම කිරීමට බලාපොරොත්තු වන අතර එක් එක් අදියර වෙන් වශයෙන් නොව සමස්තය එක් මාර්ගයක් ලෙසින් වැඩ කටයුතු ඇරැඹීමට යෝජිතයි. මෙහි පළමු අදියර යටතේ එඩේරමුල්ල සිට වේයන්ගොඩ දක්වා මාර්ග කොටස අයත් වේ.

එහි දුර ප්‍රමාණය කිලෝමීටර් 26 කි. දෙවැනි කොටස වේයන්ගොඩ සිට මීරිගම දක්වාය. දිග කිලෝමීටර් 16 කි. මීරිගම සිට නාකලගමුව දක්වා වන කොටස කිලෝමීටර් 18 කි. නාකලගමුව සිට අලකොළදෙනිය දක්වා වූ සිවුවැනි මාර්ග කොටස කිලෝමීටර් 20.1 කි. අලකොළදෙනිය සිට මැද්දෙකැටිය දක්වා වූ කොටස කිලෝමීටර් 16.9 කි. මැද්දෙකැටිය සිට ගලේවෙල දක්වා කිලෝමීටර් 19 කි.

ගලේවෙල සිට දඹුල්ල දක්වා අධිවේගයේ දුර කිලෝමීටර් 18.5 කි. මෙම අධිවේගයේ මෙම සැලැසුම ඉදිරියේදී යාපනය දක්වාම විහිදී යනු ඇත.

අනෙක් මාර්ගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා කිලෝමීටර් 17.35 රඹුක්කන සිට නාරංවල අන්තර් පිවිසුම හරහා ගලගෙදර දක්වා වූ කොටස කිලෝමීටර් 18.6 කි. නාරංවල අලදෙණිය හරහා ගන්නොරුව දක්වා කිලෝමීටර් 19 කි.

මෙම මාර්ගයේ එඩේරමුල්ලේ සිට පොතුහැර අන්තර් හුවමාරුව දක්වා දුර කිලෝමීටර් 67.8 කි. එතැන් සිට දඹුල්ලට කිලෝමීටර් කිලෝමීටර් 74 ක් වන අතර ඒ අනුව කොළඹ සිටි දඹුල්ල දක්වා අධිවේගයේ දුර කිලෝමීටර් 141.8 ක් වනු ඇත. පොතුහැර සිට ගලගෙදර දක්වා දුර කිලෝමීටර් 32.5 කි. කොළඹ සිට මහනුවරට කිලෝමීටර් 117 ක පමණ දුරකින් අධිවේගය නිමා වනු ඇත.

අධිවේගයේ නිමාවත් සමඟ මහනුවරත් දඹුල්ලත් කොළඹට ඉතා ළංවනු ඇත. එය පැය එකහමාරේ ගමනක් පමණක් වනු ඇත. අතීතයේ දඹුලුත් ගිහින් මරාගෙන ආවා යැයි කියන්නේ තලගොයින්ය. එහෙත් අධිවේගී මාර්ගය හරහා දඹුල්ලට ගොස් කඩිනමින් කොළඹට පැමිණීමට හැකියාව ඇත.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොස් පැය තුන හතරකින් යළි තම නිවසට යාමට හැකි වනු ඇත. දළඳා වහන්සේ වන්දනා කර පැය තුන හතරකින් නිවසට යාමට හැකි වනු ඇත. ඇස් පනා පිට පෙනෙන සංවර්ධනය එයයි. ඒ සංවර්ධනය මේ වන විට දක්ෂිණ අධිවේගය හරහා අප දැක තිබේ.

උතුරු අධිවේගය යාපනය දක්වාම නිම වූ විට උතුරේ ජනතාවද අපට කඩිනමින් ළංවනු ඇත. සහෝදරත්වය වර්ධනය වන්නේත් ජාතික සමඟිය ඇති වන්නේත් එසේ වුවහොත් පමණි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]