කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
බෝ නොවන රෝග වළක්වාගන්න වස විස නැති ආහාර ගන්න

මේ ජාතික විෂ නිවාරණ සතියයි

බෝ නොවන රෝග වළක්වාගන්න වස විස නැති ආහාර ගන්න

කොළඹ ජාතික රෝහලේ ජාතික විස තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානී

කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක

ජාතික විස නිවාරණ සතිය මේ මස 10 - 26 වැනිදා දක්වා පැවැත්වේ. අටවැනි වරට පැවැත්වෙන මෙවර විස නිවාරණ සතියේ තේමාව ‘බෝ නොවන රෝග සහ විස’ යන්නයි. මෙම තේමාව යටතේ ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් සමුළු හා සම්මන්ත්‍රණ මාලාවක් දිවයින පුරා රෝහල් ආශ්‍රිතව පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික විස තොරතුරු මධ්‍යස්ථානය එක්ව කටයුතු යොදා තිබේ. මේ මස 13 වැනි බදාදා කොළඹ ජාතික රෝහලේදී මීට අදාළ ප්‍රදර්ශනයක් ද පැවැත්වේ.

බෝ නොවන රෝග අද ලොව පුරා වසංගතයක් ලෙස වර්ධනය වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ ද බෝ නොවන රෝගවල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. බෝ නොවන රෝග සඳහා බලපාන ප්‍රධාන හේතු සාධක අතර අප ගන්නා ආහාර පාන හා අහිතකර ජීවන රටාව ද මුල් තැනක් ගනී.

වර්තමාන ජනතාව දැනුම්වත්ව හෝ නොදැනුම්වත්වම පරිභෝජනයට ගන්නා ඇතැම් ආහාරපාන ද ආශ්වාස කරන වාතය ද අවම පරිසරය ද විස සහිත වේ. මේ පිළිබඳව ජනතාව දැනුවත් කර වස විසෙන් තොර ආහාරපාන පරිභෝජනය කිරීමට, වස විසෙන් තොරව පරිසරය රැක ගැනීමට හා අප ගන්නා ආහාරපානවල අන්තර්ගත වස විස ප්‍රමාණය අවම වශයෙන් ශරීරයට ලැබෙන පරිදි ආහාරපාන ලබා ගන්නා ආකාරය ගැන ජනතාව දැනුම්වත් කිරීම මෙවර විස නිවාරණ සතිය තුළ පැවැත්වෙන වැඩසටහන්වල මුඛ්‍ය අරමුණ වේ. එහි අවසාන ඉලක්කය බෝ නොවන රෝගවලින් ජනතාව ආරක්ෂා කර ගැනීමය.

රුධිර පීඩනය

දියවැඩියාව, අධික රුධිර පීඩනය, රුධිර පීඩනය, රුධිර ගත කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික වීම, ස්ථූලතාව හා පිළිකා වැනි සුලබ බෝ නොවන රෝග හා අප ගන්නා ආහාරපාන අතර සෘජු සබඳතාවක් පවතී. වර්තමානයේ අප ගන්නා ආහාරපාන බොහොමයක් කෘෂි රසායන පළිබෝධ නාශක, කල් තබාගන්නා රසායන රසකාරක හෝ වර්ණක වැනි විවිධ විස කාරක ද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කර ගන්නා ලද ඒවාය.

අපගේ ප්‍රධාන ආහාරය වන බත් පතේ සිට අප ගන්නා එළවළු, පලතුරු පිසූ ආහාර හෝ බීම වර්ග පමණක් නොව ඇතැම් විට ජලය පවා කවරාකාරයෙන් හෝ විස ද්‍රව්‍යවලට නිරාවරණය වන බව අපි දනිමු. වත්මන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙහි පළිබෝධ නාශක, වල් නාශක, පොහොර මෙන්ම අස්වනු කල්තබා ගැනීම සඳහා ද භාවිත කරන ද්‍රව්‍ය බො‍හොමයක් මිනිස් සිරුරට අහිතකර සංඝටකවලින් තැනු ඒවායි.

වත්මන් තරගකාරි සමාජයීය අවශ්‍යතාවනට සරිලන අයුරින් නිෂ්පාදනය වැඩි කර ගැනීම සඳහාත් අස්වනු සරු කර ගැනීමට අස්වැන්න පාරිභෝගික ආකර්ෂණය ඇතිවන පරිදි නිපදවා ගැනීමට වෙළෙඳපොළට දැකුම්කළු අයුරින් ඉදිරිපත් කිරීමට සහ කල්තබා ගැනීමට පොහොර හා රසායනික ද්‍රව්‍ය යෙදීම අත්‍යවශ්‍ය වී තිබේ.

සෑම භාණ්ඩයක් සඳහාම ඉහළ ඉල්ලුමක් පවතින මෙකල අතීතයේ මෙන් සම්පූර්ණයෙන්ම පළිබෝධ නාශකවලින් හෝ කෘත්‍රිම පොහොර වර්ගවලින් බැහැරව සම්ප්‍රදායික ක්‍රම අනුගමනය කිරීම හෝ ස්වභාවික ආරක්ෂණ ක්‍රම භාවිත කිරීම කළ නොහැකිය.

වස විස රහිත කාබනික පොහොර භාවිත කරමින් සමස්ත රටේම අවශ්‍යතා සපුරාලිය හැකි තරම් ප්‍රමාණවත් තරමින් නිෂ්පාදනය කිරීම ද කළ නොහැක්කකි. වස විස නැති ආහාර භාවිතය සුදුසුම ක්‍රමය වුවත් එය ක්ෂණිකව කළ හැකි කාරියක් නොවේ.

එසේ හෙයින් කළ යුත්තේ වස විසෙන් තොර ආහාර පාන තෝරාගන්නේ කෙසේ ද ඒවා භාවිතයේදී වස විස අවම වශයෙන් ශරීරගත වන පරිදි ආහාරපාන සකස් කර ගන්නේ කෙසේ ද යන කරුණු පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමයි.

රසායනික ද්‍රව්‍ය

පසුගිය දසක කිහිපයක් පුරා මෙරට සිදු කරන ලද විවිධ විද්‍යාත්මක සමීක්ෂණ අනුව අප ගන්නා ආහාර ද්‍රව්‍ය බොහොමයක් පමණ ඉක්මවා පොහොර කෘමිනාශක සහ කල්තබා ගන්නා ද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන ලද ඒවා බව හඳුනා ගෙන තිබේ.

1989 දී මෙරට එළවළු සඳහා පළිබෝධ සහ පොහොර භාවිතය පිළිබඳ කරන ලද කෘෂිකාර්මික සමීක්ෂණයකින් හෙළි වූයේ උඩරට අල ගොවීන් වැඩි අර්තාපල් අස්වැන්නක් ලබා ගැනීම සඳහා නියමිත පොහොර ප්‍රමාණය මෙන් දස ගුණයක් පොස්ෆේට් පොහොර යොදන බවය.

අප ආහාරයට ගන්නා එළවළු පළතුරු මෙන්ම අල බතල වැනි අල වර්ග ද සහල් ඇතුළු සෙසු ධාන්‍ය වර්ග පවා නිෂ්පාදනයේදී නියමිත ප්‍රමිතියයට වඩා විශාල ප්‍රමාණවලින් පොහොර පළිබෝධ නාශක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය මෙන්ම ඉදවීමේ රසායන ද යොදා වෙළෙඳපොළට නිකුත් කෙරේ.

මෙලෙස අධි මාත්‍රාවලින් රසායනික ද්‍රව්‍ය ආහාරවල අඩංගු වූ විට ඒවා මිනිස් සිරුරට විස වේ. මේවා අනුභවය තුළින් මිනිසා ක්ෂණිකව රෝගවලට ගොදුරු නොවුවද ක්‍රම ක්‍රමයෙන් ඒවා සිරුරෙහි මේද සමඟ දියවී සිරුරෙහි තැන්පත් ව තිබී පසු කලෙක දියවැඩියාව, අධික රුධිර පීඩනය, රුධිරයෙහි කොලෙස්ටරෝල් අධික වීම, ස්ථුලතාව, වකුගඩු රෝග හා පිළිකාවලට ගොදුරු වීමෙහි අවධානම වැඩි කරයි.

භෝග වගාවේදී පමණක් නොව අස්වැන්න නෙළීමට පෙර ද පළිබෝධ නාශක ඉසීම නතර කිරීම සඳහා ගොවීනට අනුමත කරන ලද කාල සීමාවක් තිබේ. ඉතා හොඳ තත්ත්වයේ නිෂ්පාදන වෙළෙඳපොළට යැවීමේ පටු අදහසින් යුතුව මෙම නියමිත කාලයෙන් පසුව ද පළිබෝධ නාශක යෙදීම බහුලව සිදු කෙරේ.

අස්වැන්න නෙළීමට පෙර කාලසීමාව (Pre Harvest Intarvel) යනුවෙන් හැඳින්වෙන මෙය අවසන් වරට පළිබෝධ නාශක යෙදූ දින සිට අස්වැන්න නෙළාගත යුතු දිනය ලෙස පළිබෝධ නාශක අඩංගු අසුරණයේ ලේබලයෙහි සඳහන් අනුමත කාලසීමාව වේ.

එනම් කිසියම් එළවළුවකට හෝ පළතුරකට පළිබෝධ නාශක යෙදීමෙන් පසුව ඒවායෙහි අඩංගු විස ඉවත් වීමට ගත වන කාල සීමාවය. මෙය බෝගයෙන් බෝගයට මෙන්ම පළිබෝද නාශකයෙන් නාශකයට ද වෙනස් වේ. මේ සඳහා ශාකයේ වර්ධනය, වර්ෂාව, හිරු එළිය, බෝගය මත සහ පස මත ක්ෂුද්‍ර ජීවින්ගේ ක්‍රියාවලිය යන පරිසර සාධක මත තීරණය කෙරේ.

පළිබෝධ නාශකයක් ඉසීමෙන් අනතුරුව උපරීම අනුමත ශේෂය ලැබෙනතුරු ඒවායෙහි විස නැසීමේ හැකියාව ඇත්තේ ජීවී ශාකවලට පමණි. එහෙත් දෙනු ලබන කෘෂිකාර්මික උපදෙස්වලට පටහැනිව කටයුතු කරමින් ගොවීන් අස්වැන්න නෙළා වෙළෙඳපොළට යැවීමට පෙර දිනයේ පවා පළිබෝධ නාශක ඉසින අවස්ථා බොහෝය.

එමෙන්ම පළතුරු වඩාත් හොඳ පෙනුමකින් යුතුව නරක් නොවී කල් තබා ගැනීම සඳහා ද ඉදවීම සඳහා ද භාවිත කරන රසායනික ද්‍රව්‍ය මිනිස් සිරුරට අහිතකරය. බෝගයක පවතින පළිබෝධ නාශක ප්‍රමාණය උපරිම අගය ඉක්මවා යයිනම් එය ආහාර හා ඖෂධ පණත උල්ලංඝනය කිරීමකි. එය සෞඛ්‍යයට ද ඉතා අහිතකරය.

පළිබෝධ නාශක

පළිබෝධ නාශක ඉසීමේ දී ඒවා ලේබලයේ සඳහන් බෝග සඳහා පමණක් භාවිත කළ යුතු අතර ලේබලයේ සඳහන් උපදෙස් නිසි පරිදි පිළිපැදීම ගොවීන්ගේ යුතුකමකි. මේ යුතුකම ඉටුකිරීම නිරෝගී ජාතියක යහ පැවැත්ම සඳහා ගොවීන් අතින් ඉටු විය යුතු මාහැඟි මෙහෙවරක් වන බව ඔවුනට අවබෝධ කර දීම කාලීන අවශ්‍යතාවකි.

කිසියම් භෝගයක අනුමත පරිභෝජන අගය මැන බැලීමේ තාක්ෂණික පහසුකම් දැන් ශ්‍රී ලංකාව සතුව තිබේ. ජනතාවගේ සුවය සඳහා වස විසවලින් තොර සුරක්ෂිත එළවළු පලතුරු සහල් ඇතුළු සෙසු පාරිභෝගික භාණ්ඩ ප්‍රධාන වෙළෙඳපොළ ධාරාවට ඇතුළුවීමේදී හෝ ඊට පෙර පරීක්ෂා කර බලා අනුමැතිය ලද නිෂ්පාදන පමණක් වෙළෙඳපොළට නිකුත් කරන්නේ නම් ජනතාව නොදැනුවත්වම වස විස සහිත ආහාර මිලදී ගැනීමෙන් හා පරිභෝජනයෙන් වැළකෙනු නිසැකය. ඒ සඳහා නිසි පියවර ගැනීම සඳහා කාලය එළැඹ තිබේ.

පළිබෝධ නාශක, යොදන ලද, එමෙන්ම ඉදවීමට හෝ කල්තබා ගැනීම සඳහා රසායන ද්‍රව්‍ය යොදනවා යැයි ප්‍රචලිත පළතුරු එළවළු සහ අමු ආහාර වර්ග මිලදී ගැනීමේදී දුටුවනට නෙත් ඇදී යන පෘෂ්ටිමත් සහ දීප්තිමත් පළතුරු හෝ එළවළු වෙනුවට ප්‍රමාණයෙන් කුඩා ඒවා තෝරා ගැනීම වඩා සුදුසුය.

බෝංචි, කැරට්, ලීක්ස්, ගෝවා, තක්කාලි වැනි එළවළු මෙන්ම පතෝල වැටකොළු මෑ දඹල වැනි එළවළු ද පරිභෝජනයට පෙර ගලා යන වතුරෙහි කිහිප වරක් හෝදා ගැනීමත්, පොත්ත ඉවත් කළ හැකි එළවළු හෝ පළතුරු පොතු හැර ආහාරයට ගැනීමත් වඩා සුදුසුය. වැඩි වශයෙන්ම විවිධ කල් පවත්නා රසායනික ද්‍රව්‍ය යොදනු ලබන පළතුරු ඇපල්ය.

වෙනත් රටකදී වසරකට පමණ නෙළා ගත් ඇපල්, මිදි, දොඩම් වැනි පළතුරු මෙරටට ගෙන්වා පරිභෝජනය කරන්නට සූදානම් වන අවස්ථාවේදී ද ඉතා ප්‍රියජනක ලෙස දිස්වීමටත් දීප්තිමත්ව බැබළීමටත් හැකි වන්නේ කෙසේදැයි ඔබ නිකමටවත් සිතා බැලුවා ද? ස්වභාවිකව ගසේ ඉදුණු පලතුරු හෝ හොඳින් පැසි නෙළා ගත් පලතුරක් ඉදුණු පසු නරක් නොවී තබා ගත හැක්කේ දින කීයක් ද? විදෙස් රටවල හැදී ශීතකර ගුවන් හෝ මුහුදු මඟින් මෙරටට ගෙන්වා බොහෝ කාලයක් ශීත ගබඩාවල තැන්පත් කර වෙළෙඳපොළට නිකුත් කරන ඇපල් දොඩම් හෝ මිදිවලට වඩා අපේ රටේ වැවෙන කෙසෙල්, ගස්ලබු, අඹ, දොඩම්, දිවුල් වැනි පළතුරුවල කොතරම් නැවුම් රසයක් ද පෝෂණයක් ද අඩංගු දැයි සිතා බැලිය යුතුය.

වර්තමානය වන විට දේශීය පළතුරු වර්ග ද පෑහෙන්නට පෙර නෙළා ගෙන කෘත්‍රිමව ඉදවා විවිධ රසායන ද්‍රව්‍ය යොදා වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීම කූට ජාවාරමක් බවට පත්ව තිබේ. අද වන විට සුපිරි වෙළෙඳසල්වල තබා යාමේ ගොඩේ පොළක අලෙවි වන කෙසෙල්, ගස්ලබු, අලිගැටපේර, අන්නාසි, බෙලි, දිවුල් හා දූරියන් වැනි පලතුරු පවා කල්තියා කෘත්‍රිම ලෙස ඉදවන ලද ස්වභාවික පෝෂ්‍ය පදාර්ථයන් ගෙන් තොර වූ නිපැයුම් බවට පත්ව තිබීම කනගාටුදායකය.

කල්තබා ගැනීම

වස විස නැති පළතුරු වගාවට මෙන්ම පරිභෝජනයට ද ජනතාව යළි හුරු කළ යුතුය. ඔබ මිලදී ගන්නා එළවළු සහ පළතුරු හොඳින් සෝදා ගැනීම, පිසීමට පෙර එළවළු සිහින්ව කපා ගැනීම, ශීතකරණයක තබා සිසිලනය කිරීම මෙන්ම පොතු හැර ආහාරයට ගැනීමෙන් ඒවායෙහි අඩංගු වන වස විස සිරුරු ගත වීම් තරමක් හෝ පාලනය කර ගත හැකිය.

වස විස නැති ආහාර ලබා ගැනීම සඳහා ජනතාවට අවශ්‍ය පහසුකම් පුළුල් කළ යුතුය. එළවළු සහ පළතුරු වෙළෙඳපොළට නිකුත් වීමට පෙර ඒවා ජනතා පරිභෝජනයට සුදුසු ද යන්න මැන බලා ප්‍රමිතියට අනුකූල භාණ්ඩ සඳහා පමණක් අනුමැතිය ලබා දීම සුදුසුය. ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනතාව මෙන්ම නිෂ්පාදකයන් හා ගොවින් ද වඩාත් දැනුම්වත් කළ යුතුය. කුඩා වියේ පටන්ම වස විස නැති ආහාර භාවිතය සඳහා චර්යාත්මක වෙනසක් ඇතිකළ යුතුය.

ආහාරපාන පමණක් නොව පරිසරය දූෂණය ද මිනිසා රෝගී බවට පත් කරයි. අප ජීවත්වන පරිසරය බොහෝ විට දූෂණයට ලක්වන්නේ ද අප අතිනි. තමා ජීවත්වන නිවස හා ගෙවත්ත පිරිසිදුව තබා ගැනීමෙන් පරිසරය සුරැකීම ආරම්භ කළ හැකිය.

තම නිවසේ එකතු වන කසල නිසි පරිදි බැහැර කිරීමෙන් අවට වාතය දූෂණය වීමෙන් වළකිනවා සේම ඩෙංගු වැනි වසංගත රෝගවලින් වැළැකී සිටීමට ද හැකි වේ. කුණු කසළ බැහැර කිරීමේදී පිළිස්සීම වෙනුවට වළ දැමීම හෝ කොම්පෝස්ට් පොහොර තනා ගැනීම වැනි ක්‍රම අනුගමනය කිරිම වඩා සුදුසුය.

වර්තමාන සමාජය ක්‍රමයෙන් බෝ නොවන රෝග නමැති වසංගතයට ගොදුරු වෙමින් සිටී. මෙම ව්‍යසනයෙන් ගැලවීමට ජනතාව තමා විසින් ම ක්‍රමවේද සොයා ගත යුතුය. සුරක්ෂිත ආහාර පාන, පරිසරය සුරැකීම, දුම්වැටි මත් වතුර හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර වීම සහ ක්‍රියාශීලී දිවි පෙවෙතක් පවත්වා ගැනීමෙන් බෝ නොවන රෝග සහ වස විසෙන් වැළකී සිටීමට අවස්ථාව උදා වනු ඇත.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]