කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සමාජයේ විෂ කටු හඳුනාගන්න

සමාජයේ විෂ කටු හඳුනාගන්න

නළපාන ජාතකය - 06

අඳුර දුරලීමට එළියක් ඇවැසිය. ගින්නක් නිවීමට ජලය ඇවැසිය. ලෙඩක් සුව වන්නට පථ්‍ය ඖෂධ ඇවැසිය. එසේ අප ගේ ජීවිතය සුපසන් කිරීමට ද කල්‍යාණ මිතුරු ඇසුර අවැසිය. අපගේ මවුපියන්, ගුරුවරයන්, අවංක වැඩිහිටියන්, පූජ්‍ය උතුමන් එවන් කළ්‍යාණ මිතුරන් අතර වේ. යහපත් ඇසුර අපගේ ජීවිතයට මේ සා වැදගත් වන්නේ ඇයි?

නළපාන ජාතකය ඊට අපූර්ව නිදර්ශනයක් ලබාදෙයි. නළපාන ජාතකය අන් ජාතක කතා අතර සුවිශේෂී වන්නේ එය යම් පුද්ගලයකු අරභයා දේශනා කළ වූවක් නොව බට දඬු අරභයා දේශනා කිරීම නිසා ය. විශේෂයෙන් ප්‍රතිපත්ති ගරුක, සිල්වත්, ගුණවත් පුද්ගලයකු ගේ අධිෂ්ඨාන බලයේ ශක්තිය මොනතරම් බලවත්දැයි පැහැදිලි කරදෙන මේ කතාංගය සමාජයේ සෑම සාමාජිකයකුට ම ආමන්ත්‍රණය කරයි. ඔබ දරුවන් පිරිවර කොටගත් පවුලක අම්ම කෙනෙක් නම්, තාත්තා කෙනෙක් නම් මේ කතාංගය ඔබට සුවිශේෂී ය. දරුවන් හික්මවා ගත යුතු සැටි, තම බසට අවනත කරගත යුතු සැටි නළපාන ජාතකයෙන් ඔබට කියා දෙයි. ඔබ දරුවකු නම් ඔබ ගේ මවුපියන් බසට අවනත විය යුතු සැටි, එයින් ඔබට වන යහපත ගැන අපූර්ව පැහැදිලි කිරීමක් ඉන් ලබා දෙයි. ඔබ යම් සමාජ කණ්ඩායමක නම්, එහි නායකයකු ලෙස, එසේත් නැතිනම් එහි සාමාජිකයකු ලෙස ඔබගේ ඇවතුම් පැවතුම් හසුරුවා ගන්නා සැටි, එම නිසා ම ඔබ ආරක්ෂා වන සැටි කියා දෙයි. ආයතන ප්‍රධානියෙක් නම් නායකයකු ලෙස ඔබ සතු විය යුතු හැකියාව හා ගුණාංග ගැන වැදගත් උපදේශයක් ලබා දෙයි.

නළපාන ජාතකය බුදුරජාණන් වහන්සේ කොසොල් දනව්වෙහි වැඩ සිටින සමයක දේශනා කරන ලද්දකි. එහි නළපාන නම් ගමක් විය. ඒ ගම නළපාන නමින් ම පොකුණක් විය. පොකුණ සමීපයෙහි වැටකේ වනයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටින අවස්ථාවක, භික්ෂූන් වහන්සේ විසින් සාමණේරයන් වහන්සේ ලවා එහි වූ බට දඬු කප්පවා ගනු ලැබූ හ. පුදුමයකි. ඒ එකදු බට දඬුවක් තුළවත් ගැට නැත. මුල පටන් අග දක්වා ම සිදුරුය. මෙය අදහා ගත නොහැකි භික්ෂූන් වහන්සේ බුදුරදුන් වෙත එළඹ

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස. අප මෙතෙක් කල් දැක ඇති බට දඬුවල සිදුරු නැත. එහෙත් මේ බට දඬු සියල්ල ඇතුළ සිදුරුය. එසේ වූයේ කුමක් නිසා ද?” යි විමසූ හ.

ඒ අසා බුදුරජාණන් වහන්සේ ‘මෙසේ වන්නට හේතුව මාගේ අතීත බවයක කරන ලද අධිෂ්ඨානයක ප්‍රතිඵලයකි’ යි පැවසූ හ.

ඊට පසුබිම් වූ අතීත කතාව ද විස්තර කළහ. බොහෝ ඈත අතීතයේ මේ නළපාන නම් ගම් පියස, මහා වන ලැහැබකි. නිල් දිය පිරි පස් පියුමෙන් සුසැදි නළපාන පොකුණ ද දුටුවන් ගේ නෙත් සිත් වශී කරන්නේ ය. දකින කවරකුට වුව එහි බැස, දිය නාන්නට සිත් වන්නේ ය. එසේ වුවද වනයේ කිසිදු සතා සිවුපාවකුට නළපාන පොකුණෙන් දිය බිඳක් බොන්නට හෝ වරම් නොලැබුණි. ඒ පොකුණට අරක්ගත් දිය රකුසකු දියට බස්නා සෑම සතෙකුම කා දමන හෙයිනි. මෙකල අප මහ බෝසතාණන් වහන්සේ වඳුරකුව උපන්නේය. තිත්මුවකු හා සම පුෂ්ටිමත් සිරුරැති මේ වඳුරු රාජයා අසූ දහසක් පමණ වූ වඳුරන්ට නායක වූහ. හේ තම දරුවන් හා සරි කොට වඳුරු මුල ආරක්ෂා කරන්නේ ය. අවවාද උපදෙස් ලබා දෙමින් හසුරුවන්නේ ය. දිනක් මේ වඳුරු රාජයා වඳුරු රංචුව අමතා මෙසේ කියන්නේ ය. “දරුවනි, මේ මහා වනයෙහි බොහෝ ගස්වැල් වෙති. ඒවා ඔබට සෙවන දෙයි. රස ආහාර ද දෙයි. එහෙත් ඒ අතරම විෂ සහිත වෘක්ෂයෝ ද වේ. ඔබ යන එන ඕනෑම තැනක දී වඩාත් සැලකිලිමත් වන්න. මෙතෙක් දිය නොබොන ලද තැනෙකින් දිය නො‍ෙබාන්න. නුපුරුදු ගසෙක පල ආහාරයට නොගන්න. එවන් නුපුරුදු අහරක්, නුපූවිරූ පැනක් වෙත් නම් ඒ බව මට දැනුම් දෙන්න.”

සිය නායකයා ගේ වදන් පිළිගත් සියලු වානරයෝ අවවාද එපරිදි ම පිළිපැද්දා හ. එක් දවසක් මේ වඳුරු මුල පෙර නොගිය වන පියසක සරන්නේ රස පල, දලු කොළ කා, බොහෝ ක්‍රීඩා කොට වෙහෙසව දිය බොන්නට තැනක් සෙවූ හ.

නළපාන පොකුණ දැකලාත්, එය මෙතෙක් තමන් දිය නොබී තැනක් බව හැඟී බොහෝ පිපාසය තිබියදීත් දිය නොබීම සිටියහ. ඒ සිය නායකයා පැමිණෙන තුරුය. කාලය ඉක්ම ගියද, පිපාසය දැඩි වුවද එකදු වඳුරෙක් හෝ දියට නොබැස්සේ ය.

එකල් හි බෝධි සත්ත්ව වඳුරා පැමිණ ‘ඇයි දරුවනි, ඔබ පැන් නොබීවේ ද?’ යි ඇසුවේ ය. ‘නායකයාණෙනි, පිපාසය දැඩිය. එහෙත් අවවාද සිහි කොට අපි ඔබතුමා එනතුරු දියට නොබැස බලා සිටියෙමු’ යි කී ය.

සිය අතවැස්සන් ගැන සතුටුව, වඳුරු නායක තෙමේ පොකුණ සිසාරා, ඇවිද පරීක්ෂා කරන්නේ දියට බැස සතුන් ගේ පියවර දුටුව ද, දියෙන් ගොඩ නැඟී ගිය පියවර නොදැක මේ නම් අමනුෂ්‍යයන් අධිගෘහිත තැනක් බව සිතා

‘දරුවනි, ඔබ කළ දේ ඉතා යහපත් ය. මේ අමනුෂ්‍යයකු අරක්ගත් පොකුණකි’ යි කීවේ ය.

මෙවෙලේ වඳුරන් දැන් දැන් දියට බසිතියි බලා සිටි පොකුණට අධිගෘහිත උදක රාක්ෂයා වඳුරන් දියට බසිනු නොදැක

‘මේ තරම් පිරිසුදු, සිහිල් ජලය තිබියදීත් ඔබ දිය නොබී සිටින්නේ කුමක් නිසා ද? පැමිණෙන්න, මේ දියට බැස ඇති තරම් දිය බොන්න’ යි කීවේ ය. එවිට නායක තෙමේ

‘මේ පොකුණෙහි උපන් උදක රාක්ෂයා ඔබ ද?’ යි ඇසුවේ ය. එවිට,

‘එසේ ය. මම මේ පොකුණෙහි උපන් උදක රාක්ෂයා වෙමි. පොකුණට බසින සියලුම සතුන් කා දමමි. පක්ෂීන් ගේ පටන් කිසි කෙනෙක් අත් නොහරිමි’ යි මහ හඬින් සිනාසුණ උදක රකුසා ‘මම තොපි හැම දෙනාමත් අනුභව කරන්නෙමි’ යි කීවේ ය. ඒ ඇසූ වඳුරු නායකයා ද

‘මම මේ වඳුරු රංචුවේ කිසිවෙකුට ඔබ ගේ ආහාරය වන්නට ඉඩ නොදෙමි. පැන් නොබී කිසිවෙකු ආපසු යන්නේ ද නැත’ යි කියා අසල පඳුරෙන් බට දණ්ඩක් ගෙන තමන් මෙතෙක් පිරූ පාරමී ධර්මයන් ආවර්ජනය කරමින් සත්‍ය ක්‍රියා කොට එම බටයට මුවින් පිම්බේ ය. බට දඬුව ඇතුළේ කිසිදු ගැටයක් නැතිව මුල සිට අග දක්වා සිදුරු විය. මෙසේ බට දඬු එකිනෙක ගෙන සිදුරු සාදා දුන්න ද එහි නිමාවක් නොදැක නැවත ද ‘මේ ‍පොකුණ වට කොට හට ගත් සියලු බට දඬුවල සිදුරු නොවේ'වා යි අධිෂ්ඨාන කළේය. බෝධි සත්ත්වයන්ගේ කුසල් මහත් බැවින් සිතූ දෙය සමෘද්ධ වන්නේ ය. මේ නිසා එතැන් පටන් නළපාන පොකුණ වට කොට සිටි සියලුම බට දඬුවල එක් සිදුරක් හෝ නැතිව ගියේ ය. එය මේ කල්පය තිබෙන තෙක් ම බලපවත්නේ ය.

ඉන්පසු බෝධිසත්ත්ව වඳුරා බට දණ්ඩෙන් උරා පැන් බොන්නට පටන්ගත් කල්හි වඳුරො හැම දෙන ම ගොඩ හිඳ බට දණ්ඩෙන් උරා පැන් බී හ. රිසිසේ පැන් බී එතැනින් නික්මුණ හ. උදක රාක්ෂ තෙමේ නොසතුටුව සිය වාසස්ථානයට ගියේ ය.

බටදඬු අරභයා බුදුරදුන් දේශනා කළ නළපාන නම් ජාතක කතාව මෙයයි. පොදුවේ යම් කෙනෙක්, යම් තැනක නායකත්වය ගන්නවා නම් ඒ පුද්ගලයා සතුවිය යුතු අපූර්ව ගුණාංගයන් කවරේ ද යන්න මේ කතා පුවතින් මනාව විස්තර කෙරේ.

විශේෂයෙන් නායකයකු සතු දුර දක්නා නුවණ, කරුණාව, මෛත්‍රිය ඈ ආදී ගුණ ධර්ම සේ ම සමාජය හා පරිසරය පිළිබඳ සාමාන්‍ය දැනීම, අවස්ථාවෝචිතව ක්‍රියා කිරීම, තම අතවැසියන් ආරක්ෂා කිරීමේ වගකීම ඈ ආදී ‍බොහෝ දේ පිළිබඳ වඳුරුනායක චරිතය අපට උගන්වයි. සරලම උදාහරණයකට සිත යොමු කරන්න. ඔබ ගමන් ගන්නා බස් රථයේ නායකයා එහි රියදුරු ය. රථයට ගොඩ වී ඉන් බැස යන තුරු ද ඔබ ගේ ආරක්ෂාව රැඳී තිබෙන්නේ ඔහු අත ය. මගීන්ට නායකත්වය දෙන ඔහු ඉබාගාතේ ගිය සිතිවිලිවලින් යුතු වූයේ නම් කොතැනක හෝ අනතුරක් වන්නට අවකාශය තිබේ. ඔහු ජීවිතවලට ගරු කළ යුතුය. මහ මඟ අනේක විධ බාධක මැද වුවද නිරුපද්‍රිතව ගමනාන්තයට ළං වන්නේ ඒ ගරුත්වය ඔහු සතු වන නිසා ය.

පියෙකු තම දරුවන්ට අවවාද උපදෙස් දෙන්නේ කවර ‍හෝ තැනක ඔවුන්ට විපතක් වේය යන බියෙනි. දරුවන් ගේ ම සුබ සිද්ධිය වෙනුවෙනි. එහෙත් බොහෝ දරුවන් මවුපියන් ගේ ඔවදන් නොපිළිපදින බවට අද පවුල්වල නිරන්තර මැසිවිලි නැ‍ඟේ. එසේ වූයේ කවරකු ගේ වරදින් ද? නළපාන ජාතකයේ වඳුරු නායකයා අසූ දහසක් වඳුරන්ට මඟ පෙන්වූයේ කෙසේද? ඒ අසූ දහසක් වූ වඳුරු රංචුව අතර වැඩිහිටි වඳුරෝ වෙති. කුඩා, තරුණ පිරිස් ද වෙති. හිතුවක්කාර වයසේ වන වඳුරු ගැටවු ද වෙති. නිල් දිය දහර පෙනි පෙනී අධික පිපාසය ඉවසා සිටින්නට තරම් ඔවුන් සමත් වූයේ කෙසේ ද? සිය වඳුරු නායකයා ගේ සදූපදේශ හිස් මුදුනින් පිළිගත් නිසා ය. ඔවුන් හිතුවක්කාර තීරණවලට නොපෙලෙඹුණේ ඇයි? ඒ නායකයා ගේ වචනයට පිටුපාන්නට නොහැකි හෙයිනි. වඳුරු දරුවන් සිය නායකත්වයට ගරු කරන මවුපියන් ගේ මග ම තෝරා ගත් හෙයිනි. වයස්ගත වඳුරන් ගේ සිට කුඩා වඳුරු පැටවා දක්වා මෙසේ හික්මීමක් ඇති වීමට නම් ඒ නායක වඳුරා අපූර්ව ගුණ ඇති චරිතයක් විය යුතුය. දුක සැප දෙකෙහෙ දිම තමන්ට පිහිට වන්නෙක් විය යුතුය. සරලව කියනවා නම් සමානාත්මතාවය අගයන්නෙක් විය යුතුය.

නළපාන ජාතකය අපට තවත් පණිවුඩයක් ලබාදේ. ඒ අප ජීවත්වන සමාජය පිළිබඳව ය. වඳුරු නායක තෙමේ සිය දරුවන් හා සරිකොට සැලකූ සිය පරපුරේ සැමට උපදෙස් දෙන්නේ මහා වනයේ ඇති බියකරු බව පිළිබඳව ය. නා නා විධ වර්ණ ඇති, සිත් ඇදගන්නා සුවඳ ඇති පුෂ්පයනගෙන් අලංකාර වූ වන උයන, කුරුලු කූජනයන්ගෙන් මියුරු වූ වන පෙත, පල වලින් ඉදී සුවඳ හමන වන ගොමුව අතර ජීවිතයට විෂ සහිත බොහෝ දේ සැඟවී සිටිය හැකි බව වඳුරු නායක දනී. ඒ නායකයකු තුළ තිබිය යුතු විචක්ෂණ ශීලී බවයි. මේ සියලු දේ පිහිටන්නේ ද යහපත් බොහෝ දේ අතර සාමාන්‍ය වෙසිනි. ඇතැම් විට සිත් ආකර්ෂණය කර ගන්නා ස්වරූපයෙනි. වඳුරු නායකයා අනතුරු හඟවා තිබුණේ නොසැලකිලිමත් වුවහොත් විචාරශීලී නොවූයේ නම් විපතක් යෙදිය හැකි බවය. වන පෙතක ඇති විෂම බව තුළින් මේ ගෙන හැර පාන්නේ එක් අතෙකින් සමාජයේ විෂම ස්වරූපයයි. මෙත් කරුණා ගුණෝ පේත, ගුණ දම් වඩන මිනිසුන් අතර අඥානයින්, පසමිතුරන්, වංචකයන්, දූෂකයන්, මිනීමරුවන් සිටිය හැකි බවයි. ඒ සියලු දෙනා හා සමාජ ක්‍රියාකාරකම් ඇසුරින් විචාරශීලීව තමන්ට සුදුසු දේ පමණක් තෝරා බේරා ගන්නට උනන්දු කරවයි. අනෙක් අතට සමාජය පිළිබඳ අත්දැකීම් ඇති, එසේත් නැතිනම් මේ සමාජ‍ෙය් කාලයක් ජීවත් වීමෙන් ලද අත්දැකීම් ඇති, වැඩිහිටියන් ගේ බසට අවනත වීම ජීවිතය රැක ගැනීමට තරම් බලවත් සාධකයන් වන බව ඉඟි කරයි.

මෙසේ නළපාන ජාතකයෙන් මතුපිට කතා පුවතට යටින් දිවෙන සමාජ විවරණය එදා සමාජයට මෙන් ම අද සමාජයට ද අගනා සදූපදේශයකි.

රමණී සුබසිංහ

[email protected]


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]