කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
මීරියබැද්ද බලන්න එන අය දැන් කරදරයක් වෙලා

මීරියබැද්ද බලන්න එන අය දැන් කරදරයක් වෙලා

කොස්ලන්ද මීරියබැද්ද වතුයායේ සිදුවූ ඛේදවාචකය කාගේත් සිත් කම්පාවට පත් කරවීය. මිය ගිය අයට තමන්ට සිදුවන්නේ කුමක්දැයි සිතාගන්නට හෝ කාලයක් ඉතිරි වූයේ නැත. ලස්සන පරිසරයක පිහිටා තිබූ කම්කරු නිල නිවාස ඇතුළු සියලු දසුන් එක මොහොතේම පස් කන්දකින් වැසී ගියේ ය. එහිදී දිවි ගලවාගත් පිරිසට තම දරුවන්, මවුපියන්, ඥාතීන්, සහෝදර සහෝදරියන් අහිමි විය.

මේ ව්‍යසනයෙන් ජීවිතය බේරාගත් පිරිස් අවතැන් කඳවුරුවලට ගියේ මානසික වශයෙන් ඇතිවූ පීඩාවන් හා ඥාතීන් අහිමිවූ ශෝකය ද රැගෙන ය‍. ‍ඔවුන්ගෙන් අප හට දැක ගන්නට හැකිවූයේ විලාප තියා හඬන අයුරු පමණි.

පසුගිය මාසයේ ම යෙදී තිබුණු දීපාවලී උත්සවය සමරා එහා මෙහා ගිය ඥාතීන් ඒ ඒ තැන්වල සිටියදී සිදුවූ මේ ඛේදවාචකයෙන් ජීවිතය බේරාගත් අයට ඉතිරිව තිබුණේ ඒ මොහොතේ තමන් ඇඳ සිටි ඇඳුම පමණි.

මෙසේ ජීවිතය බේරාගත් අයගෙන් සමහරක් නිවෙසින් එළියට පැමිණ සිටියේ රැකියාවට යාමටය. තවත් පිරිසක් ගමනක් බිමනක් යාමට හොඳ ඇඳුමක් ඇඳ පැලඳ පැමිණ සිටියහ. තවත් සමහරක් නිවසින් පිටට පැමිණ සිටියේ තමන් ඇති කරන හරකුන් එළුවන් තණ බිම් කරා රැගෙන යාමට ඔවුන් ඇඳ සිටියේ පරණ කලිසමක් හෝ සරමකි. මේ අයුරින් ම එළවළු කොටු බලන්න ගිය පිරිස් සිටියේ ද එවන් ඇඳුමකිනි.

මේ නිසා ඒ ජනතාවට ඉතිරිවූයේ ඒ මොහොතේ ඇඳ සිටි ඇඳුම් පමණි. ඔවුන් ජීවිත කාලය පුරා යම් දෙයක් හරි හම්බ කරගෙන සිටියේ නම් ඒ සියලු දේ මේ ඛේදවාචකයෙන් විනාශ වී ගියේය.

මීරියබැද්ද වතුයායේ මේ නායයෑම සිදුව ඇත්තේ පෙරවරු 7.30 ත් 7.45 ත් අතර ය. එනිසා එහි සිටි විශාල පිරිසකගේ ජීවිත බේරිණි. ඒ මොහොත වනවිට වැඩි පිරිසක් රැකියාවට පිටත්ව ගොස් තිබුණි. වතුයායේ පළමු සංගුවට සියලු කම්කරුවන් තේ දලු නෙළන්න වත්තට යා යුතු ය. ඒ සංගුව නාද කරන්නේ පෙරවරු 7.00 ‍ට ය.

සෑම වතු කම්කරුවකු ම උදේ 7.00 වනවිට තේ දළු නෙලන්න වතුයායට යාමට සූදානම් වන්නේ කෑම ද ලෑස්ති කරගෙන ය. ඔවුන්ගේ උදේ හා දිවා ආහාරය වන්නේ රොටීය. සාමාන්‍යයෙන් රොටියක් සෑදීම සඳහා අප පාන් පිටි සමඟ පොල් මිශ්‍ර කළත් වතු කම්කරු ජනතාවගේ ආර්ථිකයට අනුව ඔවුන් රොටියට පොල් යොදාගන්නේ නැත.

ඔවුන්ගේ රොටිය හැදෙන්නේ පිටි, ලුණු මිශ්‍ර කරමිනි. ඔවුන්ගේ ලුණුමිරිස් සම්බෝලය ගොඩ නැ‍ඟෙන්නේ මිරිස් කුඩුවලට ලුණු ස්වල්පයක් කලවම් කර ගැනීමෙනි. ඊට ලූනු හා දෙහි එකතු කරන්නේ ද නැත. ඔවුන් අංග සම්පූර්ණ රොටියක් එනම් පිටි, පොල්, ලුනු මිශ්‍රව පොල් තෙල් යොදා සාදන රොටියක් හා රතු ලූනු, මිරිස්, උම්බලකඩ දෙහි සමඟ මිශ්‍ර කර සාදන ලුනු මිරිසක් කන්නේ පඩි දිනයට පසුදින පමණි.

මේ කම්කරුවන්ගේ දරුවන් ද පාසල් යාමට සූදානම් වන්නේ එවැනි රොටියක් රැගෙනය. ඒ දරුවන් උපන්දා සිට දුක හඳුනාගෙන ජීවත්වන නිසා බලපෑමක් ඇතිවන්නේ ද නැත.

එලෙස රොටි සාදාගෙන කඳුමුදුනට ගිය පිරිස් ජීවිතය ගලවාගන්න. යම් හෙයකින් මේ නාය යෑම පෙරවරු 7.00 ට පෙරාතුව සිදුවූයේ නම් ඒ වතුයායෙන් කිසිවකු ඉතිරි වන්නේ නැත.

මීරියබැද්ද වතුයායේ විශාල දුම් කුලුනක් පිහිටා තිබිණි. එය විදේශික සුදු ජාතීන් උ‍ඩරට තේ වතු පාලනය කළ සමයේ ඉදි කරන ලද්දකි. එම දුම් කුලුන ද නාය යෑමේදී පස් කඳුවලට යට විය‍. එය මෙ‍තෙක් හමුවී නැත.

මේ අතර මීරියබැද්ද වතුයායේ පිහිටි කෝවිල ඉතා පැරණිය. මේ ඓතිහාසික කෝවිලේ පිහිටි මහ මුනි යැයි හඳුන්වනු ලබන දෙවියන්ගේ අඩි විස්සක් පමණ උසැති ප්‍රතිමාව ද අතුරුදන් ය. කෝවිල මුළුමනින් ම වැසී ගොස් ය. දින ගණනාවක් පුරාවට සිදුකෙරෙන මෙහෙයුම් වලින් ද ඒ ප්‍රතිමාව හෝ හමුවූයේ නැත.

මේ කෝවිල ඉතා සුප්‍රසිද්ධ කෝවිලකි. මෙහි වාර්ෂික පූජෝත්සවයට ‍උතුරු නැ‍ඟෙනහිර ඇතුළු රට පුරා සිටින හින්දු බැතිමතුන් ලක්ෂයකට අධික පිරිසක් සහභාගි වෙති. මෙය හාස්කම් ඇති දේවාලයක් ලෙස ඒ ජනතාව තුළ පිළිගැනීමක් තිබුණි.

එවන් වතුයායක් අද එකම අමු සොහොනක් බවට පත්ව තිබේ. එවන් තත්ත්වයකට ඇද දැමූ මේ නායයෑම වර්ග කිලෝමීටරයකට අධික ප්‍රදේශයක් පුරා පැතිර තිබේ. මේ විපතින් මිය ගිය පිරිස කොපමණ ද යන්න මෙතෙක් නිශ්චිත වශයෙන් ප්‍රකාශ කළ නොහැකි වුව ද ලැබී තිබෙන තොරතුරු මත 38 දෙනකු පමණ මිය යන්නට ඇතැයි සැක කෙරෙන බව ප්‍රකාශයට පත් විය.

එහෙත් මේ නාය යෑමේ දී මිය ගිය පිරිස් සෙවීමේ මෙහෙයුම භාරව කටයුතු කරන මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මනෝ පෙරේරා ප්‍රකාශ කළේ මෙම මෙහෙයුමට යුද, ගුවන්, නාවික, විශේෂ කාර්ය බළකාය ඇතුළුව 800 ක් පමණ නිලධාරීන් සම්බන්ධවී සිටින අතර ඉංජිනේරු බළකායේ සිය දෙනකු පමණ බැකෝ ඇතුළු පස් ඉවත් කිරීමේ යන්ත්‍ර ක්‍රියාත්මක කරමින් කැණීම් කටයුතුවල නිරත වෙමින් සිටින බවත් ය.

එහෙත් මෙහෙයුම්වලට පවතින කාලගුණික තත්ත්වය විශාල බාධාවක් වී තිබේ. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් නිරන්තරයෙන් ම එහි රැඳී සිටියත් පසුබිම් තත්ත්වය දිගින් දිගටම පරීක්ෂා කරමින් එහි අනතුරුදායක තත්ත්වය විටින් විට දැනුම් දීම මෙහෙයුම් කටයුතුවල නිරත හමුදාවේ ආරක්ෂාවට පිටුවහලක් වී ඇත.

ඉකුත් 4 වැනිදා මිරියබැද්ද වතුයායේ නාය ගිය කොටසට ඉහළින් ඇතිවූ භූගෝලීය වෙනස්කම් නිසා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ උපදෙස් හා මෙහෙයුම් කටයුතු ‍තාවකාලිකව නතර කිරීමට සිදු විය.

ඊට හේතුව වූයේ නාය යෑමට ලක්වූ භූමියට ඉහළින් ගලා එන ජල පහර එක් වරම අඩුවී බොර ජලය ගලා ඒම නිසා ඉහළ කොටස ද නාය යාමට හැකි බවට ඇතිවූ සැකය මත මෙහෙයුම් නතර කළත් පැයකට පමණ පසු යළිත් එම මෙහෙයුම් යළිත් ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණි.

මේ මෙහෙයුම දියත් කරන ආරක්ෂක හමුදාව වැඩි සිරුරු ප්‍රමාණයක් ඇතැයි හඳුනාගෙන ඇති ස්ථානවලට අධික වර්ෂාපතනය නිසා ඇති වී තිබෙන මඩ වගුරු හේතුවෙන් එම ස්ථානවලට ළංවීමට නොහැකි වී ඇතැයි ආරක්ෂක සේනා ආඥාපති (මධ්‍යම) මේජර් ජෙනරාල් මනෝ පෙරේරා ප්‍රකාශ කළේ ය.

එසේ වුව ද ආරක්ෂක හමුදාවේ ආරක්ෂාව ද තහවුරු කරමින් එම ඉලක්ක කරා ගමන් කරන බවත් පොලිසිය, දිසාපතිවරයා, සිවිල් පාලන අධිකාරිය කළ සමීක්ෂණයකට අනුව 40 කට ආසන්න පිරිසක් වැළලී ඇතැයි සැකකරන බවත් කෙසේ හෝ වැළලී ඇති සියලු මළ සිරුරු ගොඩගැනීමට කටයුතු කරන බවත් මනෝ පෙ‍ෙර්රා මහතා පැවසීය.

පසුගිය සතිය පුරාවට සිදුකළ මෙහෙයුම්වලදී වතු කම්කරු පේළි නිවාසයන්, ත්‍රීරෝද රථයක්, රෙදි පිළි, ඡායාරූප, රන් ඇතුළු ආභරණ, යතුරු දමා වසා තිබුණු අල්මාරියක්, මුදල් ද, දේවාලයේ පිං කැටය, සීනුවක් ඇතුළු දේ සොයා ගැනීමට හැකිවූ අතර පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විට දොළොස් දෙනෙකුගේ සිරුරු හා තවත් සිරුරුවල කොටස් ද හමුවී තිබිණි.

නාය යෑමෙන් වැසී ගිය මීරියබැද්ද අම්පිටිකන්ද මාර්ගය යළිත් සකස්කර ගැනීමට යුද හමුදාවේ ඉංජිනේරු බළකාය පියවර ගෙන තිබිණි.

ආරක්ෂක හමුදාවට නායයෑමට ලක්වූ ප්‍රදේශවලට මෙහෙයුම්වලට, අවතැන් ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට අමතරව මේ නායයෑමේ ඛේදවාචකය දැකබලා ගැනීමට දිනපතා පැමිණෙන දහස් සංඛ්‍යාත පිරිස් හා ඔවුන් පැමිණෙන වාහන පාලනය කිරීමට සිදුව තිබීම තවත් අසීරු කරුණක් බවට පත්ව තිබේ.

මීරියබැද්ද වතුයායේ නායයෑමේ සිද්ධියෙන් මවුපියන්, දරුවන්, ඥාතීන් අහිමිව සිටින පිරිස් හා දරුවන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට අමතරව ඒ අයගේ මනස ගොඩනැඟීමට පියවර ගැනීමට කාන්තා හා ළමා පරිවාස දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ළමා මනස යළිත් ගොඩනැඟීම සඳහා මෙහි සුවිශේෂි වැඩසටහන් රාශියක් දියත් කරන අතර දිනපතා ඔවුන්ගේ අතීත සිදුවීම් අමතක කරන ආකාරයෙන් මෙම වැඩසටහන් කෙරෙහි දරුවන්ගේ උනන්දුව සහ ආශාව වර්ධනය කරවමින් මේ නිලධාරීන් කටයුතු කරන බව පෙනෙන්නට තිබිණි.

දරුවන්ගේ මානසිකත්වය කෙසේ හෝ ඔවුන්ගේ අවධානය වෙනත් දේවලට යොමු කරවමින් සිදු කරන අතර වැඩිහිටියන්ගේ මානසිකත්වය ගොඩනැඟීම උදෙසා ඒ අය කලින් සිදුකළ ගොවිතැන් කටයුතු, හරකුන් එළුවන් ඇති කිරීමේ ව්‍යාපෘතීන් සඳහා මේ අය උදේ කාලයේ පිටත්කර යවා සවස යළිත් කඳවුරු වෙත කැඳවා ගැනීමට කටයුතු කරන බව ද මේජර් ජෙනරාල් මනෝ පෙරේරා සඳහන් කළේ ය.

මීරියබැද්ද නාය යෑමෙන් මියගිය බවට සැක කෙරෙන තිස් දෙදෙනකු මේ වනවිට හඳුනාගෙන තිබේ. මෙසේ මිය ගිය 32 අතර විවාහ වී ආරම්භ කරන ලද අලුත් ජීවිතයේ උදාවන පළමු දීපාවලි උත්සවය දෙමවුපියන් සමඟ සැමරීමට මීරියබැද්ද වතුයායට පැමිණි 23 හැවිරිදි රාජගෞරි හා ඇගේ සැමියා ද ජීවිතක්ෂයට පත්ව තිබේ.

හින්දු චාරිත්‍රයට අනුව යම් පවුලක කෙනෙකු විවාහ වීමෙන් පසු උදාවන දීපාවලි උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස සමරනු ලබයි. එසේ විවාහ වූ ජෝඩුව භාර්යාවගේ දෙමවුපියන් විසින් සිය නිවෙසට කැඳවා ඇඳුම් පැළඳුම් ලබාදී කැවුම් කිරිබත් උයා මේ දීපාවලි උත්සවය සමරා නව යුවළට සුබ පතනු ලබයි.

එවන් ආශිර්වාදයක් ලබාගැනීමට පැමිණි යුවළක් ද මෙසේ පස් කන්දට යටවීම ඉතාමත් ශෝක ජනක ය.

මේ අතර මේ නාය යෑමෙන් දරුවන් තිදෙනකුට මවුපියන් දෙදෙනාම අහිමි වී තිබේ. මේ අතර මවුපියන් අතරින් මව අහිමි වූ දරුවන් සිවු දෙනෙකු ද සිටින අතර එම දරුවන් පුනාගල දෙමළ විද්‍යාලයීය අවතැන් කඳවුරේ සිටිති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]