කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

පත්තර සඟරා ගැන දන්නා ළමයෙකු පවා ‘ෆෝබ්ස්’ (FORBES) යන නම අසා තිබේ. එය ශ්‍රී ලංකා‍වට හිතවත් යැයි සලකන රටකින් නොව අපට අහිතවත් යැයි සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ පළවන සඟරාවකි. මේ සඟරාව ඊයේ පෙරේදා ඇරඹුණක් නොව මීට අවුරුදු සියයකට පමණ කලින් පටන් ගැනුණු කීර්තිමත් සඟරාවකි.

දෙසතියකට වරක් පළවන ‍ඒ සඟරාව මූල්‍ය, කර්මාන්ත, ආයෝජන හා අලෙවි ආදී විෂයයන් මූලික කරගත්තකි. මූල්‍ය කටයුතු පිළිබඳ තීරු රචකයකු වූ එෆ්.සී. ෆෝබ්ස් විසින් වසර 1917 දී ආරම්භ කෙරුණු එම සඟරාවේ වර්තමාන ප්‍රධානියා ඔහුගේ මුනුපුරකු වන ස්ටීව් ෆෝබ්ස් (කනිෂ්ඨ) ය.

ෆෝබ්ස් සඟරාව ලෝකයේ ඉහළම ව්‍යාපාර සඟරාව නොවේ නම් එබඳු සඟරා දෙක තුනෙන් එකක් හැටියට සැලකෙයි. ‍'ෆෝබ්ස්’ සඟරාව වාර්ෂිකව පිළියෙල කරන ලෝකයේ ඉහළම පෙළේ සමාගම් දෙදහ‍සේ ලැයිස්තුව ඉතා ප්‍රසිද්ධ එකෙකි.

අප ‍'ෆෝබ්ස්’ සඟරාව ගැන මේ දීර්ඝ ප්‍රස්ථාවනාව ලිව්වේ එහි අලුත් ම කලාපයේ එනම් 2014 ඔක්තෝබර් 30 වැනිදා කලාපයේ ශ්‍රී ලංකාව ගැන කෙරෙන සඳහන නිසා ය. එය නිකම්ම නිකම් සඳහනක් නොවන බව ද ඒ අතරේ කියන්නට අවශ්‍ය ය. ආසියාවේ නැඟී එන හා මුල් පෙළේ වෙළෙඳ පොළවල් පිළිබඳව ලියන ජොන් ස්ප්‍රින්ගර් නම් රචකයා විසින් ලියූ පිටු හයක ලිපියේ සංක්ෂිප්තය මෙබඳු ය.

“යන්න, ගිහින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න.”

කෙනකු ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ යුත්තේ මන්දැයි යන්නට හේතු දහයක් පෙන්වා දෙන ෆෝබ්ස් සඟරාව එයින් මුලින් ම සඳහන් කරන්නේ ශ්‍රී ලංකා‍ණ්ඩුවේ ස්ථාවරභාවය ගැනයි. ඒ ස්ථාවර භාවය ඇති වූ අන්දම ගැන වැඩිදුරටත් සාකච්ඡා කරන ‘ෆෝබ්ස්’ සඟරාව 2009 දී සිවිල් යුද්ධය අවසන් වීම, 2010 දී ජනාධිපති ධූරය දැරිය හැකි වාර ගණන පිළිබඳ සීමාව ඉවත් කිරීම, රටේ ය‍ටිතල පහසුකම් වැඩි දියුණුවීම හා ආර්ථිකය ඉහළ යෑම ඒ අතර ප්‍රධාන කාරණා හැටියට සඳහන් කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ පළ කෙරෙන ලෝකයේ ප්‍රධාන සඟරාවක් වන ‘ෆෝබ්ස්’ සඟරාව ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වයට ඇතිවීමට ප්‍රධාන හේතුවක් හැටියට ජනාධිපති ධූරය ඉසිලිය හැකි වාර ගණන පිළිබඳ සීමාව ඉවත් කිරීම සම්බන්ධව කරන සඳහන ගැන ශ්‍රී ලංකාවේ සිටින හාන්සි පුටු දේශපාලන විචාරකයන් කියන්නේ කුමක්ද?

ෆෝබ්ස් සඟරාව පළ කරන්නේ විසි වැනි සියවසේ දී ධූර කාල හතරක් ම ඇමෙරිකන් ජනාධිපති ධූරය දැරූ ‍ෆ්‍රෑන්ක්ලීන් රූස්වේල්ට්ගේ රටින් වන අතර, ලෙල්ලටම ගොස් තිබූ ඇමෙරිකන් ආර්ථිකය නැවත ඔසවා ලෝකයේ නොම්මර එකේ රට බවට ඒ රට පත්වූයේ රූස්වෙල්ට්ගේ කාලයේ දී බව මෙහිදී අපගේ මතකයට එයි.

ශ්‍රී ලංකාව ආසියාවේ ආයෝජනය කිරීමට හොඳම රටක් හැටියට ‘ෆෝබ්ස්’ සඟරාව දුන් මේ සහතිකය අපේ රටට මෑත ඉතිහාසයේ ලෝකයෙන් ලැබුණු ඉහළ ම රෙකමදාරුවක් වන්නේ ‍'ෆෝබ්ස්’ වැනි සඟරාවක් එබඳු සහතිකයක් දීමට ආවාට ගියාට ඉදිරිපත් නොවන බව එබඳු පත්තර සඟරා ගැන දන්නන් දන්නා නිසා ය. තමුන් කියන්නේ මොකක් දැයි නොදැන ඔවුන් කවදාවත් එවැනි කතාවක් කියන්නේ නැත.

එහෙත් මේ සම්බන්ධව අපට කීමට තවත් දෙයක් තිබේ.

ලෝකයේ වැඩිම දිවි නසා ගන්නන්ගේ ලැයිස්තුවට, ලෝකයේ වැඩිම මත්පැන් පානය කරන්නන්ගේ ලැයිස්තුවට ආදී ‘නරක’ ලැයිස්තුවල අපේ රටට තැනක් ලැබුණු කළ අපේ මිනිසුන්ට හරි විනෝදය. ඔවුහු දවස් ගණන්, සති ගණන් නොව මාස් ගණන්, අවුරුදු ගණන් ඒ ගැන කතා කරති.

එහෙත් අපට, ධනාත්මක පිළිගැනීමක් ලැබුණු කල නොඑසේ නම් රට ‘හොඳ’ ලැයිස්තුවකට වැටුණු කල අපට ‘නරක’ ලැයිස්තුවකට වැටුණු කල ලැබුණු තරම් විනෝදයක් නැති සේ ය. එය ඍණාත්මකව හිතන්නට පුරුදු වීමේ ප්‍රතිඵලයකි. එවිට නරක මිස හොඳ පෙනෙන්නේ නැත. නරකින් තරම් හොඳින් සතුටක් නැත!


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]