කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
දේශපාලන කුරුබිලිය

සමහරු රට ජාතිය අමතක කොට රට ආපස්සට හරවන්න හදනවා

එල්ලාවල මේධානන්ද හිමි

අයවැය කාරක සභා විවාදය අතරතුර ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ ගේ කාමරයට පැමිණි එල්ලාවල මේධානන්ද හිමියන් “සමහර තැන්වල සිද්ධවෙන දේවල් ඒ තරම් හොඳ නෑ සමහරුන්ට රට ජාතිය ලොකු නෑ. රට ආ පස්සට හරව ගන්නයි ඒ අයට ඕන වෙලා තියෙන්නෙ.” කියමින් දිගු විස්තරයක් කරන්නට වූහ.

“ඔබවහන්සේ අපි හිතන විදියට හැමෝම හිතනව නම් ප්‍රශ්නයක් නෑ. එහෙම වෙන්නෙ නෑනේ.” හෙට්ටිගේ කීවේය.

“අපේ ම සමහර භික්ෂූන් වහන්සේලා යන්න හදන ගමන කල්පනාවෙන් ඉන්න ඕනැ.” මේධානන්ද හිමියන් කියද්දී අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, ජගත් පුෂ්පකුමාර, ප්‍රියංකර ‍ජයරත්න, සරත් කුමාර ගුණරත්න, දුලිප් විජේසේකර, නෙරංජන් වික්‍රමසිංහ, ලොහාන් රත්වත්තේ, ඇතුළු මැති - ඇමැති පිරිසක් පැමිණියේ අපේ හාමුදුරුවන්ගේ ජාතික හෙළ උරුමයට ඔබ වහන්සේවත් නිසි මඟ පෙන්වනු මැනවි.” කියමිනි.

“නිසිමඟ කියා දෙන්න ඕන හිතේ දෙකක් නැති අයට නේ.” මේධානන්ද හිමියෝ කීහ.

“මේ කතාබහ අතරට විජිතමුණි සොයිසා ඇමැතිවරයා පැමිණියේ අතුරලියේ රතන හිමියන් දෑතින්ම අල්ලාගෙන ය.

“අපේ රතන හාමුදුරුවන් යන්න හදන ගමන ඒ තරම් හොඳ නෑ. වැඩිහිටි නායක හාමුදුරුනමක් හැටියට හරි උපදේශයක් දෙන්නකො.” විජිතමුණි සොයිසා අමාත්‍යවරයා කීවද මේධානන්ද හිමියෝ පුවත්පතකට නෙත යොමුකර නිහඬව සිටියහ. පුවත්පතක් කියවා ගිලන්පස එකක් ද වැළඳීමෙන් පසුව එතැනින් පිටතට වැඩම කළහ.

ආරක්ෂක හා නාගරික සංවර්ධන හා නීතිය හා සාමය යන අමාත්‍යංශවල කාරක සභා අවස්ථාවේ විවාදය 4 වැනිදා පැවැත්විණි. විවාදය පැවැත්වෙන අතර එම අමාත්‍යංශවල ලේකම්වරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද බාලසූරිය යන මහත්වරුන් හෙට්ටිගේ ගේ කාමරයේ සිටියේ විපක්ෂයෙන් එල්ලවන චෝදනාවලට ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට අවශ්‍ය කරුණු ලබා දෙමිනි.

කෙහෙළිය රඹුක්වැල්ල, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, සරත් වීරසේකර, ලක්ෂ්මන් සෙනවිරත්න, ප්‍රියංකර ජයරත්න, උදිත ලොකු බණ්ඩාර ඇතුළු මැති ඇමැති පිරිසක් එහි වූහ.

“ද්විත්ව පුරවැසිභාවය ගන්න බැහැ කියල විපක්ෂය ගේන චෝදනාවට හරි උත්තරයක් දෙන්න ඕන.” ගෝඨාභය රාජපක්ෂ මහතා කියද්දී “ඒ ගැන මම කියන්නම්. මට කරුණු ටිකක් දෙන්න.” ජගත් පුෂ්පකුමාර අමාත්‍යවරයා කීවේය.

“ද්විත්ව පුරවැසිභාවය ගන්න ක්‍රමවේදයක් තියෙනව. ඒකට ඉල්ලීමක් තියෙන්න ඕන. ඒ අනුව සම්මුඛ පරීක්ෂණයක් තියෙනව. සුදුසු අයට දෙනව. දැනටමත් ගොඩක් දෙ‍නකුට දීලා. හැබැයි මේ රට ජීවත්වෙන්න සුදුසු නෑ කියල රටට එරෙහිව වැඩකරල පිට රටට ගිය අයට නම් දෙන්න බැහැ. හැමදේටම වැඩිය අපි රටට ආදරය කරන්න ඕන. රටට එරෙහිව ගිය ද්‍රෝහීන්ට මොන ද්විත්ව පුරවැසි කම්ද?” ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේ මහත් හැඟීමෙන් යුතුවය.

“රටට විරුද්ධව එන බලවේග තවම නැති වෙලා නෑ. අපි කල්පනාවෙන් වැඩ කරන්න ඕන.” අමාත්‍ය අනුර යාපා කීවේය.

“ආණ්ඩුවෙ ඇතුළෙ ඉඳන් ම ආණ්ඩුවට විරුද්ධව සමාජය කරන වැඩ නම් හරි හිරිකිතයි.” ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා කියද්දී “ඕව ගැන අහන කොට සිරිල් ඒ. සීලවිමල ලියපු වික්ටර් රත්නායක ගයන සින්දුවක් මතක් වෙනව. ඒක නිතර කිව්ව නං හරි” හෙට්ටිගේ කීවේය.

“අපිත් කැමැතියි ඒ සිංදුව අහන්න පොඩ්ඩක් කියන්න බලන්න. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටිද්දී

“ළි‍ඳෙන් වතුර බීලා - එයින් වතුර නාලා
ළිඳට ගල් ගසාලා වතුර බොර කරයි
මිනිසා ගඟට ආ වඩයි...
ගහේ වැල එතීලා - යා වී ඇදී
පසුව පිළිල වීලා - සාරේ අදී
කාල බීල නිදලා කාලේ ගෙවයි
කාපු තැනද වනසා මිනිහා දුවයි....”

හෙට්ටිගේ කියද්දී හැමෝම අත්පොඩියක් ගැසුවේ “අපේ සමහර අයට මේ සිංදුව මරුනේ කියමිනි.

ගිය සතියේ ශ්‍රිලංකන් ගුවන් සේවයට නව එයා බස් යානයක් මිලදී ගෙන තිබිණි. එය ශ්‍රීලංකන් ග්‍රවන් සේවයේ සේවා කටයුතු සදහා එක් කිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ශ්‍රිලංකන් ගුවන් සේවයේ නිලධාරීන් විසින් සංවිධානය කොට තිබිණි. මේ උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්නගේ ප්‍රධානත්වයෙනි.

එහෙත් එම උත්සවය අවසානයේ පැවැතියේ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්නගේ ප්‍රධානත්වයෙනි. මේ ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබිණි. ඊට හේතු වී තිබුණේ නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩිගේ මාධ්‍ය ලේකම් නිශාද් උපේන්ද්‍රගේ විවාහය සදහා අස්සන් කිරීමට ඇමැති ප්‍රියංකර ජයරත්නට හදිසිසේ සිදු වීමය. එම විවාහ උත්සවයේ මනාලයාගේ පාර්ශවයෙන් විවාහයට අස්සන් කළේ ජනාධිපතිතුමා විසිනි. මනාලියගේ පාර්ශවයෙන් ඇමැති ප්‍රියංකර ජයරත්න ඇස්සන් කළේය.

මේ අතරතුර ඇමැති ප්‍රියංකර ජයරත්නට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ලේකම් කාර්යාලයේ ලේකම් සුමිත් විජේසිංහ හමු වුණේය. " මොකද ඇමැතිතුමා ඔබතුමා එයා බස් එක ලෝන්ච් කරන උත්සවයේ හිටියේ නැත්තේ. නියෝජ්‍ය ඇමැතිතුමා නේද හිටියේ " සුමිත් විජේසිංහ විමසා සිටියේය.

" ඔව් ඔව් නිශාද්ගේ මඟුලට හදිස්සියේම අස්සන් කරන්ඩ වුණේ මට. නියෝජ්‍ය කථානායකතුමා අස්සන් කරන්ඩ හිටියේ. ඒත් එතුමට පාර්ලිමේන්තුවේ අය වැය විවාදයට පාර්ලිමේන්තුවට යන්ඩ වුණා. අන්තිමට මට එයා බස් ලෝන්ච් එකට යන්ඩ බැරි වුණා. ගොඩක් අයට හේතුව නොදන්නා නිසා මේක ප්‍රශ්නයක් වෙලා. " ඇමැති ප්‍රියංකර ජයරත්න කියා සිටියේය.

ජිනීවා මානව හිමිකම් කොමිසමේ ශ්‍රීලංකාවට එරෙහි පැමිණිලිකාර පාර්ශ්ව රටවල්වල නියෝජිතයන් පිරිසක් ගිය සතියේ විදේශ ඇමැති ජී.ඇල් පිරිස් විසින් හමුවී තිබිණි.

" මානව හිමිකම් විමර්ශන කමිටුව ලංකාව ගැන කරනු ලබන විමර්ශනයේ ප්‍රශ්න සහගත ක්‍රියාවලිය සහ එහි අවංක භාවය ගැන ගැටලු මතු වෙලා තිබෙනවා. මේ විමර්ශනයේ තෝරා ගත් පිරිසකට නිශ්චිත ප්‍රථිපල ලබා ගන්ඩ තමන් කැමැති තොරතුරු සපයා ගන්ඩ හැකි වෙන ආකාරයේ පක්ෂපාතී ප්‍රවේශයක් අනුගමනය කරන බව පෙනෙන්නට තිබෙනවා. ඒ ගැන මාගේ අප්‍රසාදය පළකරනවා. " විදේශ කටයුතු ඇමැති ජී. ඇල් පිරිස් ලංකාවට එරෙහිව පැමිණිලි කල රටවල නියෝජිතයන් හමුවේ කියා සිටි‍යේය.

" මේ දෝෂ සහිත ක්‍රියා කලාපය හේතුකොට ගෙන යුක්තිය හා සාධාරණය ගැන විධි හා නියමයන් උල්ලංඝනය වෙනවා. ඒ වගේම තමයි සින්නතම්බි ක්‍රිෂ්ණරාසා නොබෝදා අත්අඩංගුවට ගැනීම ගැන කරුණු රාශියක් අනාවරණය කළේය. මේ කියන ක්‍රිෂ්ණරාසා දෙමළ ජාතික සන්ධානය සමග සමීප සබදකම් පැවැත්වු අල්වා පුල්ලේ විජේන්ද්‍රකුමාර් හෙවත් සන් මාස්ටර් විසින් සේවයට යොදවා ඇති අයෙක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් වන්දි ලබා ගැනීම සදහා ගැටුම්වලින් විපතට පත් පුද්ගලයන්ගේ අත්සන් අතුළත් හිස් පෝරම ඔහු සතුව තිබුණා. "විදේශ ඇමැති ජී.ඇල් පිරිස් කියා සිටියේය.

" ඒ විතරක් නෙමෙයි යුද්ධයේ අවසාන අදියරේදී මියගිය පුද්ගලයන්ගේ මරණ සහතික ජාතික හැදුනුම්පත් විස්තර යුද්ධයේදී වැන්දඹු බවට පත්වුවන්ගේ පෞද්ගලික තොරතුරු සහ අතුරුදන්වුවන්ගේ ඡයාරූප ලබා ගැනීමටද සන් මාස්ටර් ඔහුට උපදෙස් දී තිබෙන බව හෙලි වෙලා තියෙනවා" ඇමැති ජී.ඇල් පිරිස් කියා සිටියේය.

" ඒ විතරක් නෙමෙයි පසුගිය මාස දෙකක කාලයේදී ක්‍රිෂ්ණරාසා සහ සන් මාස්ටර් අතර දුරකථන සංවාද ඉතා විශාල ප්‍රමාණයක් හුවමාරු වෙලා තිබෙනවා. පීඩාවට පත් වු පුද්ගලයන්ට වන්දි ලබා දෙන බවට ව්‍යාජ පොරොන්දු ලබා දී ඔවුන් මගින් ජිනීවා මානව හිමිකම් කාර්යාලය හරහා පැවැත්වෙන විමර්ෂණයට විකෘති කරන ලද සාක්ෂි ඉදිරිපත් කොට මහකොමසාරිස් කාර්යාලයේ විමර්ෂණ වැරැදි ලෙස යොදා ගන්නා අකාරය ක්‍රිෂ්ණරාසා අත්අඩංගුවට ගැනීමෙන් හෙළි වුණා. " ඇමැති ජී.ඇල් පිරිස් විදෙස් රටවල නියෝජිත පිරිස් හමුවේ කියා සිටියේය.

" ඒ විතරක් නෙමෙයි දෙමළ ජාතික සන්ධානයේ නායකයන් සහ සන් මාස්ටර් අතර සමීප සම්බන්දයක් පැවැතීම ගැන මාගේ දැඩි කනස්සල්ල ප්‍රකාශ කරනවා. ඒ විතරක් නෙමෙයි රටින් බැහැරව සිටින හානියට පත් පුද්ගලයන්ගේ සාක්ෂි ලබා ගැනීමට යුරෝපයේ , ආසියා සාන්තිකර කලාපයේ සහ උතුරු ඇමෙරිකා රටවලට යාමට ප්‍රතිපාදන ලබා දෙන බවට සදහන් කොට තිබෙනවා. නමුත් නඩු විභාග පවත්වන දින සහ ස්ථාන පිළිබදව විස්තර ලබා දී නැහැ. " ඇමැති ජීත.ඇල් පිරිස් විදෙස් නියෝජිතයන් හමුවේ කියා සිටියේය.

ඉන් පසුව එම විදෙස් නියෝජිතයන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් ඇමැති ජි.ඇල් පිරිස් කියා සිටියේ ජාතික උවමනා එපාකම් ආරක්ෂා කර ගැනීමට ශ්‍රීලංකා රජය තමන් සතු සම්පුර්ණ ශක්තිය යොදා කටයුතු කරන බවද කියා සිටියේය.

ගෙවී ගිය සතිය තුල පක්ෂයේ විවිධ පදවි තානාන්තර හා වගකීම් උසුලන මන්ත්‍රීන් මෙන්ම ක්‍රියාකාරිකයන් ද එ.ජා.ප නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය මහතා හමු වී කියා සිටියේ රජය විසින් දැනටමත් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කර ඇති හෙයින් පක්ෂය විසින් ද ඒ වෙනුවෙන් වහා ක්‍රියාකාරී විය යුතු බව ය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේ දී මෙන්ම කරු ජයසූරිය මහතා සහභාගී වූ රැස්වීම් වාර කීපයකදී ම ප්‍රසිද්ධියේ හා හමුවීමට පැමිණි පිරිසට කියා සිටියේ ලැබී ඇති තොරතුරු අනුව දැනටමත් සිය රජය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන බවයි.

මේ අතරතුර එ.ජා.ප නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසුරිය විසින් දිවයිනේ විවිධ දිස්ත්‍රික් සංවිධායකවරුන්, සිරිකොත මන්දිරයට කැඳවා ළඟ එන මැතිවරණ මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී. ජාතික නායක, සභාපති හා මහලේකම්වරයා ද සහභාගී වූ මේ සාකච්ඡාවල දී කරු ජයසූරිය මහතා පුන පුනා කීවේ බිම් මට්ටමට ගොස් ජනතාව හමුවීමට යෑමේ අවශ්‍යතාවයයි. තමා යන සෑම තැනකම පාක්ෂිකයින් තුල නව උද්යෝගයක් හා බලාපොරොත්තුවක් ඇති බවත්, බිම් මට්ටමේ සංවිධාන තර කළහොත් එය විශාල පිටුවහලක් වන බවත්කරු ජයසූරිය මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ගෙවී ගිය සතිය තුල විහාරස්ථාන කිහිපයක කඨින පිංකම් ඇතුළු තවත් ආගමික උත්සව රාශියකට ද කරු ජයසූරිය මහතා සහභාගී විය. පසුගිය දා සර්වෝදය නායක ඒ.ටී ආරියරත්න මැතිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් ඔහු දිවයිනේ නොසිටියත් ඔහුගේ මොරටුවේ නිවසට ගොස් ඒ.ටී ආරියරත්න බිරිය නීතා ආරියරත්න මහත්මිය හමුවී ඒ.ටී ආරියරත්න මහතා රටට කළ සමාජ සේවය ගෞරවයෙන් සිහිපත් කළේය. තවද, ආනන්දයේ තමා සිසුවෙකුව සිටිය දී නාලන්දාවේ ගුරුවරයෙකුව සිටි ආරියරත්න මහතා සමග එම සමාජ ව්‍යාපාරයන්ට එක් වූ අන්දම ද සිහිපත් කළේය.

එක්සත් ජාතික පක්ෂ බෞද්ධ කටයුතු ලේකම්වූත්, ප්‍රකට ලේඛකයෙකු වූත්, සුජිත් අක්කරවත්ත මහතා විසින් රචිත ග්‍රන්ථ තුනක් එළි දැක්වීමේ උත්සවයක් රාජගිරියේ මහ බැංකු ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ අතර, එම අවස්ථාවට ද කරු ජයසූරිය මහතා ද සහභාගී විය.

තම අතීතය ගැන චීන තානාපති ඇමති බැසිල්ට කියයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති වූ ජියෑන්ගෝ මහතා පසුගිය ඉරු දින සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේ දී සිය යටගියාව සිහිපත් කළේ ය. පාසැල් වියේදීත් ඉන්පසුව යොවුන් වියේදීත් මේස පන්දු ක්‍රීඩකයෙකු සේ කටයුතු කළ ඔහුට සිය යටගියාව සිහිපත් වූයේ එදින කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේ පැවති සමස්ත ලංකා මේස පන්දු කණිටු තරගාවලිය නරඹන අතරතුරය.

මේ තරගාවලිය මේස පන්දු සම්මේලනයේ සභාපති නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න සහ එම සම්මේලනයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් යන මහත්වරු ඇතුළු ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනය විසින් සංවිධානය කර තිබිණි. වූ ජියෑන්ගෝ මහතා සමග එම තරගාවලියේ සමාප්තිය දැක බලාගැනීමට ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද විශේෂ ආරාධිතයෙකු වශයෙන් එහි පැමිණියේ ය. ශ්‍රී ලංකාවේ කණිටු මේස පන්දු ශූරයින්ගේ ක්‍රීඩා බුහුටිත්වය දුටු චීන තානාපතිවරයා සදහන් කළේ මේස පන්දු ක්‍රීඩාවට අදාළව ඕනෑම ජාත්‍යන්තර කණ්ඩායමක් සමග ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග කරට කර තරග වැදීමට ශ්‍රී ලාංකීය මේස පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් බවය.

මේ උත්සව සභාව අතරතුර ශ්‍රී ලංකාවේ යාපනයේ පේදුරුතුඩුවේ පටන් දකුණු අන්තය දක්වා පැතිර ඇති පාසැල් 150ක ප්‍රයෝජනය පිණිස මේස පන්දු මේස 150ක් පරිත්‍යාග කිරීමට වූ ජියෑන්ගෝ මහතා එදින කටයුතු කළේ ය. රුපියල් ලක්ෂ 300කටත් වඩා වටිනා එම උපකරණ තොගය ශ්‍රී ලංකාවේ මේස පන්දු ක්‍රීඩාවේ නියලෙන පාසැල් දරුවන්ගේ ප්‍රයෝජනය සදහා නොමිලේ ලබාදීමට චීනය ගත් තීරණයේ යටගියාව ද එදින චීන තානාපතිවරයා හෙලිදරව් කළේ ය.

පසුගිය දිනෙක ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ මේස පන්දු ක්‍රීඩාව නංවාලීම සදහා උපකාර වන්නැයි තම රජයෙන් ඉල්ලා සිටි බව කී තානාපතිවරයා ඊට කඩිනම් ප්‍රතිචාර දක්වමින් මෙම මේස පන්දු මේස 150 සහ ක්‍රීඩාවට අදාළ සෙසු උපකරණ ශ්‍රී ලංකාවට ලබාදීමට පියවරගත් බවද කීය .

ඊට අමතරව ශ්‍රී ලංකාවේ මේස පන්දු ක්‍රීඩා උපදේශකයින් හා පුහුණුකරුවන් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ කුසලතා නංවාලීම සදහා එම ක්ෂේත්‍රයේ ප්‍රවීණ චීන උපදේශකයින්ගේ සහ පුහුණුකරුවන්ගේ සේවය ලබාදෙන බවද තානාපතිවරයා සදහන් කළේ ය

මම මෙහි ගතකළ පැය කිහිපය මේස පන්දු ක්‍රීඩකයෙකු වශයෙන් මගේ පාසැල් දිවියත් අනතුරුව මගේ තුරුණු වියත් මට යළියළි සිහිපත් කළා.ඒ සොදුරු අතීතයට මා ගෙන යාම ගැන මේස පන්දු සංගමයේ නිළධාරීන්ට මෙන්ම දිවයිනේ සිව් දිගින් මෙහි පැමිණ තම

හපන්කම් දැක්වූ පාසැල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් විශේෂයෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාටත් මගේ ස්තූතිය පළකරන්නේ යැයි ද වූ ජියෑන්ගෝ මහතා සදහන් කළේ අතිශය ලෙන්ගතු හැගුමිනි. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට අවමානයක් විනැයි සබරගමු විපක්ෂය විරෝධතාවක. ජාතික අයවැය විවාදය සහ අවසන් ඡන්ද විමසුමින් පසු පක්ෂ ප්‍රතිපක්ෂ බේදයකින් තොරව සාදයක් සංවිධානය කිරීම මෙරට පාර්ලිමේන්තුවේ මෙන්ම පුංචි පාර්ලිමේන්තු යැයි විරුදාවලිය ලද දිවයිනේ පළාත් සභා බොහෝමයක සම්ප්‍රදායයකි. එහෙත් මෙවර සබරගමු පළාත් සභා අයවැය අවසන් ඡන්දයෙන් සම්මත වූ පසු සිරිත් පරිදි සංවිධානය කරන රාත්‍රී භෝජන සංග්‍රහය සහ සංගීත සාදය අවලංගුකිරීමට සබරගමු මහ ඇමති මහීපාල හේරත් මහතා තීරණය කර තිබිණි.

යාබද ඌව පළාතේ කොස්ලන්ද ප්‍රදේශයේ සිදු වූ නාය යාමෙන් විපතට පත් ජනතාව ගැන සිහිපත් කළ මහ ඇමතිවයා සදහන් කළේ සිරිත් පරිදි පවත්වන එවන් සාද සංග්‍රහ මෙවන් ඛේදනීය තත්වයක් තුළ නුසුදුසු බවය. ඒ වෙනුවට අයවැය විවාදය අවසන් වූ වහා ආණ්ඩුපක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් මහ ඇමතිවරයා සිය රත්නපුර නිල නිවහනේදී සරළ දිවා භෝජනයක් සූදානම් කර තිබිණි. එම දිවා භෝජන සංග්‍රහයට විපක්ෂයේ එකම මන්ත්‍රීවරයෙකු හෝ සහභාගී නොවිනි.ඒ සබරගමු පළාත් අයවැය විවාද අවසන් දෙදින ආණ්ඩුපක්ෂය හා විපක්ෂය අතර ඇතිවූ මත බේදයක් පදනම් කරගනිමිනි.

සිරිත් පරිදි විවාදය ආරම්භයේ දී ආණ්ඩුකාර ලේකම් කාර්යයාලය සහ ප්‍රධාන ලේකම් කාර්යයාලය, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යයාල සහ පළාත් කොමිෂන් සභා කිහිපයකට අදාල වැය ශීර්ෂ විවාදයට ගැනුනු අතර ආණ්ඩුපක්ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂයේ මැති ඇමතිවරු ආණ්ඩුකාර වි.ජ.මු.ලොකුබණ්ඩාර මහතා අගයමින් අදහස් දැක්වීම කැපී පෙනින. විපක්ෂයේ මන්ත්‍රීවරු ,ප්‍රධාන ලේකම්වරයා ,නියෝජය ප්‍රධාන ලේකම්(සැලසුම්) සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ සේවය අගය කරමින් අදහස් දැක්වූහ. ආණ්ඩුකාර ලේකම් කාර්යයාලය ඇතුළු එම වැය ශීර්ෂයන්ට එරෙහිව ඡන්දය පාවිච්චි නොකල විපක්ෂ කණ්ඩායම ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටියහ.

එහෙත් ගැටළු මතුවූයේ පළාත් මාර්ග අමාත්‍යංශයට අදාළ වැය ශීර්ෂයට අදාල විවාදය අතරතුරය. එජනිස පළාත් සභා මන්ත්‍රී නමින්ද අනුරප්‍රිය මහතා අදහස් දක්වන අතරතුර එම මන්ත්‍රීවරයා කළ සදහනක් නිසා විපක්ෂ නායකවරයා මෙන්ම තම පක්ෂ නායකයා ද වන රනිල් වික්‍රමසිංහ මහතාට අවමානයක් සිදුවිනැයි සදහන් කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම ඝෝෂාකරන්නට වූ අතර එම වදන් ඉල්ලා අස්කරනොගන්නේ නම් තම කණ්ඩායම සභාවෙන් පිටතට යන බවට විපක්ෂ මන්ත්‍රීවරු පැවසූහ.

එහෙත් ආණ්ඩුපක්ෂය සදහන් කළේ එම සදහන පුද්ගලයෙකු අවමානයට පත්කිරීම සදහා නොව දේශපාලන අර්ථයකින් කළ ප්‍රකාශයක් බවය. මෙම වාද විවාදවලින් අනතුරුව විපක්ෂය සභා ගැබෙන් පිටව ගිය අතර ඉතිරිව පැවති අමාත්‍යංශ තුනක සහ පසුදින පැවති අවසන් ඡන්ද විමසීමට ද විපක්ෂය සහභාගී නොවිනි. අයවැය සම්මත වීමෙන් පසු ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මහ ඇමති නිළනිවසේ පැවති දිවා භෝජනය සදහා නික්ම යන අතරතුරේ විපක්ෂ නායිකා තුසිතා විජේමාන්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබිණි.

එහිදී ගතවූ දෙදින පුරා සිදුවීම් මාලාව විපක්ෂයේ විවේචනයට ලක්ව තිබූ අතර ඉන් පරිබාහිරව විපක්ෂය චෝදනා කර තිබුණේ පළාත් මාධ්‍ය ඒකකයට ය. පළාත් මාධ්‍ය ඒකකය පක්ෂාග්‍රාහියැයි ඔවුන් එදින චෝදනා කර තිබූ අතර විපක්ෂයේ ක්‍රියාකාරකම් සදහා මහ ඇමතිවරයා යටතේ ක්‍රියාත්මක වන පළාත් මාධ්‍ය ඒකකයෙන් කිසිදු ඉඩකඩක් ලබානොදෙන බවට ඔවුන් තරයේ පළාත් මාධ්‍ය ඒකකයට චෝදනා කර තිබිණී.

දකුණු කොරියාවේ සෝල් නුවරදී පසුගිය 03 වැනිදා සිට 05 වැනිදා දක්වා පැවැත්වුණු පස්වැනි ආසියා ශාන්තිකර නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යවරුන්ගේ සමුළුව පැවැත්විණි. මේ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූයේ ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාය.

මේ සමුළුවට රටවල් 30කට ආසන්න සංඛ්‍යාවක නිවාස අමාත්‍යවරු ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. මේ සමුළුවට සමගාමීව එක් එක් රටවල නිවාස අමාත්‍යවරුන්ගේ හමු පැවැත්වුණු අතර ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ නිවාස අමාත්‍යවරුන් දෙදෙනා අතර සිදු වූ හමුවට බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබුණි. ඉන්දියාවේ නාගරික සංවර්ධන, නිවාස හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය වෙන්කයියා නයිදු මහතා හා විමල් වීරවංශ අමාත්‍යවරයා අතර හමුවේදී උතුරේ සිදු කෙරෙන නිවාස සංවර්ධන කටයුතු පිළිබඳව නයිදු මහතා සිය ප්‍රසාදය පළ කළේය. නිවාස පිළිබඳව කෙටි වේලාවක් කතා කිරීමෙන් අනතුරුව නයිදු අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දීය ජාතික ධීවරයකුට ශ්‍රී ලංකාවේ අධිකරණය මරණ දඩුවම ලබාදීම නිසා දකුණු ඉන්දියාවම කම්පාවට පත් වී ඇති බවයි.-

‘‘මේ මරණ දඩුවම දීපු එකෙන් ඉන්දියාවේ ධීවරයිනුත් දැඩි ලෙස කම්පා වෙලා තියෙනවා. තමිල්නාඩු ප්‍රාන්තයත් මේ සිද්ධියෙන් හුගක් කම්පා වෙලා’’ ඉන්දීය නිවාස සංවර්ධන අමාත්‍යවරයා දිගින් දිගටම ප්‍රකාශ කළේය. මීට ප‍්‍රතිචාර දක්වමින් විමල් වීරවංශ අමාත්‍යවරයා කියා සිටියේ, එම මරණ දඩුවම ලබාදී ඇත්තේ එම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමට සෘජුවම සම්බන්ධ වී ඇති බව අධිකරණයේදී තහවුරු වීම නිසා බවයි. එම ඉන්දීය ජාතිකයා ධිවරයකු නොවන බවත් ධීවරයකු ලෙස වෙස්වලාගෙන මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී ඇති බවත් විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.-

කොටි ත්‍රස්තවාදීන් විනාශ කළ යාපනය ගුරුනගර් මහල් නිවාස සංකීර්ණය මුළුමනින්ම පිළිසකර කරලා ජනතාවට බාරදෙන දවසේ නිරාවරණය කළ සමරු ඵලකය සඳහා විග්නේෂ්වරන් මහතාගේ නම ඇතුළත් කරලා තිබුණත් එම උත්සවයට විග්නේෂ්වරන් මහතා සහභාගී වුණේ නැහැ. අඩුම ගණනේ ජනතාවගෙන් තේරීපත්වූ නියෝජිතයන් සිටින උතුරු පළාත් සභාවවත් කිසිම සංවර්ධන කටයුත්තක් සඳහා සහයෝගය ලබා දෙන්නේ නැහැ. ඔවුන් ආණ්ඩුවට සංවර්ධන කටයුතු සිදුකරන්න දෙන්නෙත් නැහැ. මේක හරිම කනගාටුදායක දෙයක්. උතුරේ සිදු කෙරෙන නිවාස සංවර්ධන වැඩසටහනකටවත් අඩුම තරමින් මේ අය සහයෝගය ලබා දෙන්නේ නැහැ’’ විමල් වීරවංශ මහතා කනගාටුවෙන් සඳහන් කළේය.

සාර්ක් රටවල මාධ්‍ය ප්‍රධානීන්ගේ සමුළුව ගිය සතියේ නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්විණි. ඉදිරියේදී පැවැත්විමට නියමිත සාර්ක් රාජ්‍ය නායකයන්ගේ සමුළුවට සමගාමීව සාර්ක් රටවල මාධ්‍ය ප්‍රධානීන්ගේ සමුළුව පැවැත්විණි. මේ සමුළුවට ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ , ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක සීලරත්න සෙනරත් ,රූපවාහිනී සංස්ථාවේ සභාපති විමල් රූබසිංහ , ශ්‍රීලංකාව පුවත්පත් මණ්ඩලයේ සභාපති ඩබ්ලිව් දයාරත්න සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩසටහන් ප්‍රධානී රංග සමරවික්‍රම යන පිරිස එක්ව සිටියහ.

නේපාලය, ඉන්දියාව, පාකිස්ථානය, භූතානය, අෆ්ගනිස්ථානය, බංගලිදේශය සහ මාලදිවයින යන රටවල මාධ්‍ය ආයතන ප්‍රධානීහු ඊට එක්ව සිටියහ. මේ මාධ්‍ය සමුළුවේ විශේෂ යෝජනා හා සාකච්ඡා වාරයේදී සියළු රටවල මාධ්‍ය ප්‍රධානීන් විසින් ඒකමතිකව තීන්දු කරන ලද්දේ සාර්ක් රටවලට බී.බී.සී සහ සී.එන්. එන් වැනි මාධ්‍ය ජාලයක් තිබිය යුතු බවය. ඒ අනුව සාර්ක් කලාපයේ රටවල් අතර ප්‍රවෘත්ති ඒජන්සියක් තිබිය යුතු බවට සාර්ක් කලාපයේ මාධ්‍ය ප්‍රධානීන් තීන්දු කළහ. ශ්‍රීලංකාවේ සියළුම මාධ්‍ය ප්‍රධානීන් වෙනුවෙන් එදින සාර්ක් මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුව ඇමැතූයේ ශ්‍රීලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ඩබ්ලිව් දයාරත්නය.

මේ මාධ්‍ය සමුළුවේදී ඉන්දියාවේ මාධ්‍ය ආයතන ප්‍රධානියකු කීවේ අපේ මාධ්‍ය ආයතනයේ තේමා පාඨය "බහුජන හිතාය බහුජන සුඛාය " යන්න බවය. ඒ සමගම ඉන්දියාවේ තවත් මාධ්‍ය අයතන ප්‍රධානියකු කීවේ අපේ මාධ්‍ය ආයතනයේ තේමා පාඨය "සත්‍යම් ශිවම් සුන්දරම් " යන්න බවය. මේ අතරතුර මේ සමුළුවේ මාධ්‍ය ප්‍රධානීන්ගේ සාකච්ඡා වටයට එක් වෙමින් ශ්‍රීලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ කියා සිටියේ අපුරු කථාවකි.

" ඉන්දියාවේ මාධ්‍ය ආයතනවල තේමා පාඨයකට බුදු දහමේ එන "බහුජන හිතාය බහුජන සුඛාය " යන තේමා පාඨය අතුළත් වීම ගැන මා සතුටු වෙනවා. ඒ වගේම තමයි අපේ රටේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩි මැතිතුමා ඉතාම හොඳ මිත්‍රශීලී නායකයන් දෙපළක්. ඒක හොඳ ප්‍රවණතාවයක්. නමුත් දකුණු ඉන්දියාවේ හිටපු මහ ඇමැති ජයලලතා ජයරාම් සහ කරුණානිධි කියන දේශපාලඥයන් අපේ රට සහ ඉන්දියාව අතර තිබෙන සහජීවනය නැති කළා. හැබැයි අපිට බහුජන හිතාය බහුජන සුඛාය වගේම දිට්ඨ ධම්මවේදනීය කර්මයත් ජයලලිතාට පලදීලා තියෙනවා. " ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ කියා සිටියේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]