කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සජිත් බලන්නේ රනිල් උස්සල අතහරින්න

සජිත් බලන්නේ රනිල් උස්සල අතහරින්න

- ආචාර්ය නලින් ද සිල්වා

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තුන්වැනි වරට තරග කළ හැකි ද යනුවෙන් ජනාධිපතිවරයාම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ මත විමසීමට හෙට අනිද්ද වෙනකොට උත්තර ලැබෙන්න ඉඩ තියනවා. ඒ ගැන ඒ උත්තරේ ලැබුණාට පසුවම කතා කරන්න පුළුවන්.

විපක්ෂයෙන් ඉදිරිපත් කරන්න යන පොදු අපේක්ෂකයා කවුරුන් විය යුතු ද කියල ලොකු තරගයක් තියනවා. බටහිර රටවල තානාපති නිලධාරිනුත් වගේම මහකොමසාරිස්වරුත් රටපුරා එහෙ මෙහෙ දුවනවා. ඒ ඔය පොදු අපේක්ෂකයා හොයාගන්න.

ඒ අය වැදි නායකයාවත් හමු වෙනවා. වැදි නායකයා මේ අයට වැඩිය හොඳයි. මේ මහකොමසාරිස්ල ගිහිල්ල මහනායක හිමිවරුත් හමු වෙනවා. ඒ උන්නාන්සේලාට තියන ගෞරවයකට නෙවෙයි පොදු අපේක්ෂකයට සහාය දෙන්න කියන්නයි. යාපනෙත් යනවා.

දැන් ආණ්ඩුවේ මත ගැටුම් ගැන කතා කළ එජාපයේ මත ගැටුම් පුපුරා යන තැනටම ඇවිල්ලා. රනිල් ජනාධිපතිවරණයට තරග කළොත් 29 හෝ 30 වැනි වරටත් පරාජය වන නිසා සජිත්ගේ වුවමනාව කොහොමහරි රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරල පරාද වුණාට පස්සේ රනිල්ගේ තැන ගැනීම.

සජිත් දන්නව තමන්ට පක්ෂ නායකයා වෙන්න රනිල් දේශපාලනයේ ඉන්නකම් බැහැ කියලා. මේ පාර රනිල්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් කරල ඔහු පරාද වුණහම රනිල්ගේ දේශපාලනය අවසන් වෙනවා. රනිල් - සජිත් සමඟිය තහවුරු වුණොත් තමන්ට පක්ෂය තුළ තියන තැන අහිමි වෙයි කියන බිය මංගල, ලක්ෂ්මන් කිරිඇල්ල, රවි හා විජේදාස රාජපක්ෂට තියනවා. සජිත් එජාප නායකයා වෙනවට මේ හතර දෙනාම කැමැති නැහැ. ඒකට රනිල්ව දිගටම නායකයා විදියට තියාගන්නයි ඔවුන්ට ඕන කරන්නේ.

එහෙම තියාගන්න නම් රනිල්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් නොකර කවුරුහරි පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරල රනිල්ව ආරක්ෂා කර ගන්න ඔවුන්ට ඕන කරල තියනවා. ඒ නිසයි ඔවුන් කියන්නේ එජාපය ජනාධිපති අපේක්ෂකයෙන් ගැන තීරණයක් අරන් නැහැ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕන කියල.

නමුත් සජිත් කියන්නේ එජාප මෙහෙයුම් කමිටුව රනිල්ව ජනාධිපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් කරන්න තීරණය කරල ඉවරයි කියලා. සජිත් බලන්නේ තමුන්ට දැන් ලැබිල තියන අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් රනිල්ව උස්සල අතඅරිනව වගේ වැඩක් කරන්නයි.

රනිල්ම දන්නව තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් ලැබෙන්නේ පරාජය කියලා. බටහිර රටවලුත් දන්නවා රනිල් ඉදිරිපත් කළොත් පරාද වෙනව කියලා. ඒ නිසා බටහිර රටවලටත් ඕන වෙලා තියනවා රනිල්ව අතඇරල දිනනව කියල හිතන පොදු අපේක්ෂකයෙක්ව ඉදිරිපත් කරන්න මේ තත්ත්වය තේරුම් ගැනීම නිසා රනිලුත් දැන් ජනාධිපතිවරණය මඟහරින්න හදනව වගේ පේනවා. ඒ වෙනුවට දැන් චන්ද්‍රිකා නෝනව ඉදිරිපත් කරන්න බටහිර රටවලට සැලැස්මක් තියනවා. ඇය මේ දිනවල ලංකාවට ගොඩ බැහැල සැලැසුම ක්‍රියාත්මක වෙයි ද නොවෙයි ද කියල බලා ඉන්නවා.

තුන්වැනි පාරට මහින්දට ඉල්ලන්න බැහැ කියල සරත් සිල්වා ගෙනාපු තර්කය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හෙට වෙනකොට විසඳයි කියල බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය තමයි මහින්දට පුළුවන් ද බැරි ද කියන ප්‍රශ්නය දැන් විසඳන්න තියෙන්නේ. ඒක අධිකරණයේ වැඩක්. හැම බාධකයක්ම ජයගත්ත ජනාධිපතිවරයා මේ බාධකයත් ජයගන්න බව සහතිකයි.

ඒකට හේතුව ජනාධිපතිවරයා සම්පූර්ණ කළ යුතු තව වගකීම් තියනවා.

එතුමා තම පළමු ධුර කාලය තුළ දෙමළ ත්‍රස්තවාදය පරාද කළා. තම දෙවැනි ධුර කාලයේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම තහවුරු කිරීමත් යම් ආකාරයක සංවර්ධනයක් රට තුළ ඇති කිරීමත් කළා. දැනටත් ඒ දෙක කෙරීගෙන යනවා.

මේ තුන්වැනි ධුර කාලයේ පැවරිලා තියන දේ තමයි රට තුළ කෙරීගෙන යන සංවර්ධනය තවදුරටත් පවත්වාගෙන යමින් දෙමළ ජාතිවාදය පරාජය කිරීම.

ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයට කරන්න පුළුවන් එතුමා ඒකත් කරනවා.

දෙමළ ජාතිවාදය අද පවත්වගෙන යන්නේ දෙමළ ජාතික සන්ධානය ඇමෙරිකාවේ එංගලන්තයේ විශේෂයෙන් එංගලන්තයේ ඉන්න දෙමළ ඩයස්පෝරාව නමින් හඳුන්වන දෙමළ විසුරුණු ජනයා හරහා තමයි. එංගලන්තය මේකට විශේෂයෙන් වගකිව යුතුයි.

අවුරුදු 25 ක් 30 ක් තිබුණ දෙමළ ත්‍රස්තවාදය පරද්දන්න බැහැ කියද්දි අපි තමයි පරද්දවන්න පුළුවන් පැරදවිය යුතුයි කිව්වේ. ඒ වගේ අද කියනව මේ තියන දෙමළ ජාතිවාදයත් පැරදවිය යුතු ය කියලා.

මේ සඳහා තවදුරටත් මේ රට සංවර්ධනය තහවුරු කරල ශක්තිමත් තත්ත්වයකට යා යුතුයි.

මේ සඳහා මහින්ද ජනාධිපතිවරයා තුන්වැනි ධුර කාලය සඳහා සීයට 55 කට වැඩි ඡන්ද ප්‍රමාණයකින් මේ රටේ ජනයා දිනවිය යුතුයි. මගේ විශ්වාස මහින්ද ජනාධිපතිවරයාට සීයට 55 ට වැඩියෙන් ඡන්ද අරන් දිනන්න පුළුවන් ය කියලයි.

එතකොට තමයි නියම වැරැදිකාරයන් වන ඩේවිඩ් කැමරන් හා ඔබාමා වගේ අයට කෙළින් ඉඳල කියන්න පුළුවන් ඔබල ලංකාවට පිටුපාල කරන වැඩේ වැරැදියි කියලා. මේ දෙමළ ජාතිවාදය අද පවතින්නේ ඇමෙරිකාව එංගලන්තයේ අාධාරයෙන් හා බටහිර රටවලින් කෙළින්ම යැපෙන රාජ්‍ය නොවන සංවිධාන නඩය මත.

දැනට තියන තත්ත්වය උඩ පොදු අපේක්ෂකයා කියල චන්ද්‍රිකා දාල පොදු අපේක්ෂකයගේ සහායට තවත් සහායක පොදු අපේක්ෂකයෙක් දාන්නත් උත්සාහයක් දරමින් සිටින බව පේනවා. මේ සහායක පොදු අපේක්ෂකයා දාන්න හදන්නේ මහින්දට ලැබෙන සිංහල ඡන්ද කඩන්න.

මේකට සෝභිත හාමුදුරුවන් හෝ රතන හාමුදුරුවන් යොදාගන්න ඉඩකඩක් තියනවා. එතකොට අර චිත්‍රපටිවල එනව වගේ සහායට ඩැනී කෙනෙකුත් එනවා. මේ වැඩේට ස්වාමින් වහන්සේ හවුල් වෙලා උන්වහන්සේට තියන ගෞරවය නැතිකර නොගත යුතුයි.

මේ රටේ කවුරුවත් සිවුරු දාගෙන රජ වෙලා නැහැ. සෙනරත් වගේ රජෙක් වුණත් ඒ රජ වුණේ සිවුරු අතඇරලා ඇවිල්ලා. මාත් ශ්‍රද්ධාව තියන බෞද්ධයෙක් ලෙස මේක කියන්නේ.

අපි කැමැති වුණත් අකමැති වුණත් කවුරු කැමැති අකමැති වුණත් මේ රටේ සංවර්ධනයක් මේ යුගය තුළ කෙරීගෙන යනවා. රටේ මිනිස්සුන්ගේ ජීවිත පල්ලෙහාට වැටිලා නැහැ යම් ආකාරයක උසස්වීමක් වෙමින් තියනව කියල පිළිගන්න වෙනවා. ජංගම දුරකථන අද හැමෝ ළඟම තියනව වගේ ජනගහනයට වැඩිය මේ රටේ ජංගම දුරකථන එක්කෙනාට දෙක තුන තියනව කියලත් කියනවා.

දෙමළ ජාතිවාදයෙන් ඇතිවන අභියෝගයට මුහුණ දෙන්න මේ රට සංවර්ධනය කරල ශක්තිමත් කරන්න ඕන.

ඉතාම පැහැදිලියි මහින්ද ජනාධිපතිවරයාගේ පාලනය යටතේ 13 සංශෝධනය මෙතනින් එහාට යන්නේ නැහැ. පොලිස්, ඉඩම් බලතල දෙන්නේ නැහැ. දැනටම කියල තියනව රනිල් දිනුවොත් 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනව කියලා ඒ කියන්නේ දෙමළ ජාතිවාදයට යට වෙනවා කියන එකයි.

ඊළඟ ජනාධිපතිවරණයේදී තීරණය කරන්න වෙන්නේ දෙමළ ජාතිවාදයට යටවෙනව ද නැද්ද කියන එකයි. ජනාධිපතිවරණයේදී තීරණය කරන්න වෙන්නේ මේ කේන්ද්‍රීය ප්‍රශ්නය තමයි.

ජාතික හෙළ උරුමයටත් මේ ප්‍රශ්නයෙන් මඟහරින්න බැහැ. රනිල් අද දූෂණය ගැන කතා කරනවා. රනිල් ආව කියල දූෂණය නැති වෙන්නේ නැහැ. රනිල් දූෂණය නොකළත් වටේ ඉන්න අය දූෂණය කරනවා. දූෂණය ගැන කතා කරමින් යහපාලනය වගේ දේවල් ගැන කතා කරල ආණ්ඩු බලය ගන්න උත්සාහය තියෙන්නේ.

ජාතික හෙළ උරුමයට අද තීරණය කරන්න තියෙන්නේ සිංහල විරෝධීව දෙමළ ජාතිවාදය පැත්ත ගන්නව ද නැද්ද කියලා. මේ තීරණය හරියට නොගත්තොත් ජාතික හෙළ උරුමයත් කරන්නේ තදබල වරදක්.

මේ වැරැද්ද කළොත් වෙන්නේ අර ගමේ භාෂාවෙන් කියනව වගේ ඒ ගොල්ලන්ගෙත් ඇඩ්ඩ්‍රස් නැති වෙන එක තමයි.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]