කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ආසියා ශාන්තිකර විකාශන සංගමයේ විධායක පරිපාලන මණ්ඩලයට රූපවාහිනී සංස්ථාව තේරී පත්වේ

ආසියා ශාන්තිකර විකාශන සංගමයේ විධායක පරිපාලන මණ්ඩලයට රූපවාහිනී සංස්ථාව තේරී පත්වේ

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආසියා ශාන්තිකර විකාශන සංගමය හෙවත් ABU ආයතනයේ විධායක පරිපාලන මණ්ඩලයට තේරී පත්විය. මෙසේ තේරී පත්වූයේ ඉකුත් 22 වැනිදා ආරම්භ වූ ආසියා ශාන්තිකර කලාපයේ විකාශන සංගමයේ 51 වැනි මහ සමුළුවේදීය. මෙම සමුළුව 28 වැනිදා දක්වා චීනයේ මැකාවු නගරයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවට මේ අවස්ථාව උදාවී ඇත්තේ වසර 25කට පසුවය.

බෙදී ගිය මාධ්‍ය ලෝකය ගුවන්විදුලි හා රූපවාහිනී විකාශනයන්ගේ අනාගතය මෙවර ආසියා ශාන්තිකර විකාශන සංගමය මහ සමුළුවේ තේමාව විය. කලාපීය රූපවාහිනී හා ගුවන් විකාශන පිළිබඳව ප්‍රධාන මෙහෙයුම් ආයතනය වන ආසියා ශාන්තිකර විකාශන සංගමයේ ප්‍රධාන මෙහෙයුම් ඒකකය පරිපාලන මණ්ඩලයයි.

මේ සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව නියෝජනය කරමින් රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගි වූහ.

මෙම සංගමයේ සාමාජික රටවල්වල ඡන්දයෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පරිපාලන මණ්ඩලයේ රටවල් 14ට මෙසේ තේරී පත්වී ඇත්තේ වසර තුනක කාල සීමාවක් සඳහාය. මෙම පරිපාලන විධායක මණ්ඩලයට ශ්‍රී ලංකාව යෝජනා කර ඇත්තේ ඉන්දියාව වන අතර ජපානය එම යෝජනාව ස්ථිර කර ඇති අතර අනෙකුත් සාමාජික රටවල් එම ‍යෝජනාව ස්ථිර කිරීමට අවශ්‍ය සහය ලබා දෙන ලදී.

ආසියා හා ඕස්ට්‍රේලියා මහාද්වීප අයත් වන කලාපයේ මාධ්‍ය ආයතන 262ක් ආසියා ශාන්තිකර විකාශන සංගමයේ සාමාජිකත්වය ලබා ඇති අතර මෙම සංගමයේ සාමාජික රටවල් ගණන 52කි. 1963 වර්ෂයේ රාජ්‍ය නොවන සහ ලාබ නොලබන ආයතනයක් වශයෙන් ආරම්භ වුණු ආසියා ශාන්තිකර විකාශන සංගමය සාමාජික රටවල මාධ්‍ය ආයතනයන්හි විකාශන කටයුතු පිළිබඳ සමීක්ෂණය කරනු ලබන ආයතනයකි. මෙම සංවිධානයේ මහ ලේකම් කාර්යාලය පිහිටා ඇත්තේ මැලේසියාවේ ක්වාලාලම්පූර්හිදීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]