කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ජනාධිපති ධුර කාල සීමා ඉවත් කිරීම ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වයට හේතු වුණා

ජනාධිපති ධුර කාල සීමා ඉවත් කිරීම ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වයට හේතු වුණා

ෆෝබ්ස් සඟරාව

ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරය සඳහා පනවා තිබු ධුර දෙකේ කාලසීමාව 2010 දී ඉවත් කිරීම ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වයට හේතු වී ඇතැයි පෙන්වා දෙන ෆෝබ්ස් සඟරාව ඒ මඟින් ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සඳහා වූ ආයෝජන පුළුල් වී ශ්‍රී ලංකා ආර්ථිකයේ සාමයේ ප්‍රතිලාභ ඉහළ යමින් ඇතැයි කියයි.

ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ලෝකයේ ඉහළම සාර්ථකත්වයක් අත්කර ගත් කොටස් වෙළෙඳපොළ දහය අතර වන බව ද එම සඟරාව කියා සිටී. ෆෝබ්ස් සඟරාව පෙන්වා දී ඇති අනෙකුත් කරුණු මෙසේ ය.

විදෙස් ආයෝජන සඳහා දකුණු ආසියාවේ වඩාත්ම සුදුසු රට ශ්‍රී ලංකාවය. නිවාස, ජල විදුලිය, මහා මාර්ග සහ සන්නිවේදන ක්ෂේත්‍රයන්හි ඇතිවූ ශීඝ්‍ර යටිතල පහසුකම් සංවර්ධනය අතිවිශාලය.

මෙරට සංචාරක ක්ෂේත්‍රයෙහි ශීඝ්‍ර වර්ධනයක් අත්කර ගනිමින් සිටී. ශ්‍රී ලංකාවේ සෘජු විදෙස් ආයෝජන අතර වාර්තා බිඳ හෙළන්නට සමත් වූ ඇමෙරිකා ඩොලර් බිලියන හතරක වටිනාකමක් සහිත කොළඹ වරාය නගර ඉදිකිරීමේ ව්‍යාපෘතිය, නොරොච්චෝලේ තාප බලාගාරය ඇතුළු චීන ව්‍යාපෘති, සිංගප්පූරුව සහ ඩුබායි රාජ්‍යය සමඟ කරට කර සිටිමින් වරාය හා නාවුක මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව තරග කිරීමට සූදානම්ව සිටී.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳ සහකරුවා ලෙස කටයුතු කරන අතර පසුගිය වසරේ චීනය ලංකාවේ දෙවැනි ප්‍රධාන වෙළෙඳ සහකරුවා ලෙස කටයුතු කිරීම, ලෝක බැංකුවේ නිර්දේශය අනුව ඉදිරි වසර දෙක තුන ඇතුළත ශ්‍රී ලංකාව ලෝකයේ මැදි ආදායම් ආර්ථිකයක් සහිත රටක් බවට පත්වීම, විදෙස් ආයෝජන සඳහා ආයෝජන මණ්ඩලය හා සෙසු රාජ්‍ය ආයතනවලින් ලැබෙන සහාය, ආකර්ෂණීය බදු සහන සහ ආකර්ෂණීය දේපළ මිල ගණන් යන කරුණු මෙරට ආයෝජනය සඳහා හේතු වන සෙසු වැදගත් සාධක ලෙස තවදුරටත් එම සඟරාවෙහි සඳහන් කර තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]