![]() ![]() |
||
සාහිත්‍ය ප්‍රශ්න පත්තරයපොත් කියැවීමේ පුරුද්ද විමසන මෙම ප්‍රශ්න මාලාව ඇරැඹෙන්නේ, පාඨක ඔබටත් ගත හැකි යමක් එහි ඇති බැවිනි.
ඔබේ ප්‍රියතම ප්‍රබන්ධ කෘතිය...
ප්‍රබන්ධ නොවන කෘතිය... මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘ගම්පෙරළිය'. උඩරැටියකු වූ මා, පහතරට ජන ජීවිතය පරිපූර්ණ ලෙස දුටුවේ ගම්පෙරළියෙන්. වෙළෙඳාම නිසා ඉහළට යන මිනිසුන්ගේ සිත් දූෂ්‍ය වන හැටිත් ආදරයත් ආර්ථිකයත් අතර තමන්ගේකම නැතිවී යන විට දැනෙන හිස්කමත් ඉන් අපූරුවට පෙනුණා. තමන්ගෙම පන්තිය පහළට දමා, ඉහළට එන්න දඟළන අරගලය, සමාජ පරිණාමය ගෙනහැර දක්වන්නට වික්‍රමසිංහයන් දැරූ ව්‍යුත්පන්න උත්සාහයත් මෙයින් දුටුවා.
මේ දිනවල ඔබ කියවන්නේ... නෝබට් අයගමගේ ‘කාල නදී ගලා බසී'. පාරුකරුවන්ගේ ජීවිතයේ අභ්‍යන්තරයටම කිඳා බැස, ඔවුන්ගේ දේශපාලනය, සමාජය හා බද්ධ වී ඉදිරියට යන ආකාරය ඉතාමත් අපූරුයි. එසේම, ජීවිතය නදියක් හා සමාන කර ඊට අනුරූපී ලෙස ඔහු භාෂාව හසුරුවා තිබීම, මෙහි විශේෂත්වයයි.
කෙනකුට කියවන්න යැයි ඔබ නිර්දේශ කරන කෘතීන් තුනක්... සෑම දරුවකුම කියැවිය යුතුයි, ‘විසිවසක් වන්නියේ’ ළමා පොත. දරුවෙක් වසර විස්සක් වන්නියේ ගත කළ ජීවිතයයි මින් කියැවෙන්නේ. එය මා දහපාරක් කියැවූ පොතක්. තරුණ පරපුර නම් ‘ගොළු හදවත’ කියැවිය යුතුමයි. ප්‍රේමණීය පොත් කොපමණ කියැවුවත් තරුණ ජීවිතවලට ගැඹුරින් එබී බැලීමක් සහ එය ස්පර්ශ කළ හැකි ජීවාත්මක ගතියෙන් එය පොහොසත්. අද පරපුරේ ඇතැම් අයගේ ඇති ශෘංගාරයට වඩා, ආදරය ගැඹුරින් කියැවීමක් මෙහි තිබෙනවා. සෑම වැඩිහිටියෙක්ම කියැවීම ඇරැඹිය යුත්තේ, ගම්පෙරළියෙන්. පන්ති ක්‍රමය, සමාජ පරිණාමය, වෙළෙඳ ආධිපත්‍යය පැතිරීම, අපේ මිනිසුන්ගේ යටත් විජිත මානසිකත්වය ඉස්මතු වීම ගම්පෙරළියේ ඉතා ගැඹුරු ලෙස ඉදිරිපත් කර ඇති කාරණා.
මේ කාරණා සියල්ලම බද්ධ විය යුතුයි. ආකෘතිය, අන්තර්ගතය, චරිත නිරූපණ හා භාෂාව එකින් එකට බද්ධව නැතිනම් එය සාර්ථක කෘතියක් වන්නේ නැහැ.
ඔබ ළමා කාලයේ දී කියැවූ හොඳම පොත... ‘විසිවසක් වන්නියේ’ සහ ‘රොබින්සන් කෲසෝ'. එවිට මා, ගලේවෙල මහා විද්‍යාලයේ හතේ පන්තියේ සිසුවෙක්.
ඔබ කියැවීමට කැමැති විශේෂ වර්ගයක ග්‍රන්ථ තිබෙනවාද... විචාර පොත් වලටයි මා වැඩිපුර කැමැති. විචාරයකදී පරිකල්පනය ගැඹුරින් අවදි කර ගන්න පුළුවන් වනවා සේම කතුවරයාගේ තර්ක විතර්ක සමඟ අපිට ද තාර්කික විය හැකියි. එයින් ඥානනය ප්‍රඥාව අවදි වෙනවා.
මෙතෙක් කියැවූ පොත්වලින් ජීවිතයට ලැබුණු දේ... බුද්ධියේ වර්ධනය, මාගේ නිර්මාණශීලී ආවේගයන් ආවේශයකින් තොරව යම් සංයමයකට ලක්කොට ඉදිරිපත් කිරීමට හැකියාව ලැබීම මෙන්ම මා ලේඛකයකු බවට පත් කළේ ද ඒ පොත් කියැවීමේ පුරුද්දයි.
ඔබට අනුව, පොතකින් තැනුණු හොඳම චිත්‍රපටය... ඩොක්ටර් ෂිවාගෝ.
ඔබ ඉහළින්ම අගයන කතුවරයා... මාර්ටින් වික්‍රමසිංහයන් සහ සයිමන් නවගත්තේගම. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ රචනා ශෛලිය අපිට සමීපයි. එසේ කිරීමට ඔහු දැරූ සානුකම්පිත උත්සාහය සහ දේශීය සමාජය කෙරෙහි ඔහු දැක්වූ පුළුල් දැක්ම මෙන්ම ඒ දැක්මේ තිබූ විශ්වාසයට මා ඉතා ප්‍රියයි. කාෂ්ටක පොළොවක දලුලා වැඩෙන පැළයක් වැනි මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ඔවුන් මුහුණ දෙන දුක්ඛ දෝමනස්සයන් ශාරීරික දුබලතා, ආහාර අහේනිය ලිංගික සූරාකෑම, සුරාවේ ආදීනව පිළිබඳ නවතාවකින් චිත්‍රණය කළෝ ඔහුයි. ඒ චිත්‍ර ඔස්සේ ඔහුගේ හෘද ස්පන්දනයයි, අපට දැනුණේ. එසේම, දේශීය නවකතාවට ‘කාෆ්කා’ කතා කලාව ගෙනාවේ ඔහුයි.
ඔබගේ ප්‍රියතම සම්භාව්‍ය කෘතිය... ‘සද්ධර්ම රත්නාවලිය'. මා ගැමියකු නිසා ධර්මසේන හිමියන්ගේ ගැමි භාෂාවට ඉතා ප්‍රියයි. එසේම මා ගොවි පුතකු නිසා ඒ කෘෂිකාර්මික වටපිටාව, ඒ ජීවිත උපහැරණත් සමඟ එන මිනිසුන්ගේ විදග්ද ජීවන විවරණයට ද ප්‍රියයි. එහි සරලව ඉදිරිපත් කිරීම සියල්ලටම වඩා හිත් ගත් කාරණයයි.
ඔබේ ප්‍රියතම පරිවර්තන කෘතිය... ගුස්තාව් ප්ලෝබෙයාර් ගේ ‘මැඩම් බොවාරි’ කෘතියෙන් සිරිල් සී පෙෙර්රා පරිවර්තනය කළ ‘එමා බොවාරි'. මේ නවකතා විචාරය කරන බොහෝ අය හිතන්නේ නවකතාවේ ආරම්භය මෙය බවයි. ඔහුගේ සරල රචනා උපක්‍රම මුල් කතුවරයාගේ ජීවිත විග්‍රහය අපේ අත්දැකීම් කර සිරිල් සී.පෙරේරා ඉදිරිපත් කර තිබෙන විලාසය විශිෂ්ටයි. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |