කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
හැකියාවන් රැසකින් කලාවේ නියැළෙන දීප්ති ප්‍රියන්ත

හැකියාවන් රැසකින් කලාවේ නියැළෙන දීප්ති ප්‍රියන්ත

ඔහු දීප්ති ප්‍රියන්ත අන්ද්‍රා හැන්නදි ගුවන් විදුලි නාට්‍ය රච‍කයෙක්. හඬ කැවීම් ශිල්පියෙක්. වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක්. කවියෙක්.

විවිධ හැකියාවන් රාශියකින් පිරිපුන් ඔහු කලාවේ නව මං පෙත් සොයා යන කලාකරුවෙක්.

“මම අධ්‍යාපනය ලැබුවෙ අම්බලන්තොට ථේරපුත්ත මහා විද්‍යාලයෙන් සහ මැදිරිගිරිය ජාතික පාසලෙන්. පාසල් සිසුවකුව සිටියදීම මට ගුවන් විදුලියට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඉරිදා දහම් පාසල, සඳුදා පිළිසඳර, පසන් නිවස, කාන්තා කලඹ, රේඩියෝ සඟරාව වැනි වැඩසටහන්වලට දායකත්වය ලබා දුන්නා.

ඉන්පසු රූපා ඉන්දුමතී මහත්මිය සහ නෙල්සන් පීරිස් මහත‍ාගේ මඟ පෙන්වීමෙන් 1992 වසරේදී ගුවන් විදුලි නාට්‍ය රචනයට යොමුවුණා. එහිදී නවක රඟමඬලට හා ළමා රංග පීඨයට දාසියගේ කතාව, වැරැදුණු දඩයම, මී උගුල, කෙටවීම, යාපනයට පාලමක්, පුංචා සහ බකලා, සක්වළින් එහා, මී පුර නාටකය වැනි නිර්මාණ රචනා කළා. ඒ සමඟම ඒවායේ චරිත සඳහා හඬ කැවීම් වලටද දායක වෙන්නත් මට හැකියාව ලැබුණා.

මට ‘ප්‍රවීණා’ ටෙලිනාට්‍යයේ අග්‍රවාල් චරිතයට හඬ කැවීමට අවස්ථාව ලැබුණේ එයින් ලැබුණු පන්නරයෙන්.

මේ හැකියාවන් වලට අමතරව දීප්ති වේදිකා නාට්‍ය රංගනයට ද හපන්කම් දක්වනවා.

“මෙහි ආරම්භයත් පාසල් වේදිකාවමයි. ආර්.එම්. යසරත්නගේ සුර සහ නර, යුරේකා, කුණාටුව වැනි නාට්‍ය වල මුලින්ම රඟපෑවා. සාජන්ට් නල්ලතම්බි දෙක හෙවත් නිවටයා සහ කවටයා, නයිනගෙ සූදුව වැනි නාට්‍යවල රඟපෑමෙන් තමයි ප්‍රසිද්ධ වේදිකාවට පිවිසියේ.” ලේඛකයකු ද වන ඔහු සතු විවිධ හැකියාවන් සම්මානයෙන් පවා පිදුම් ලබලා.

“1987 දී අන්තර් යෞවන සමාජ පොළොන්නරුව දිස්ත්‍රික් සංස්කෘතික නිවේදක තරගයෙන් ජයගත්තා. ඒ වගේ ම මා ලියූ ‘පිපුණු මල්’ කෙටිකතාවට දෙවැනි ස්ථානයත් කවි හා නිසඳැස් නිර්මාණ වලට දෙවැනි ස්ථානයත් හිමිවුණා. ඒ වගේ ම ‘මතකයේ සටහන්’ නමින් මම ලියූ කෙටි කතාවට කුසලතා සම්මානයක් හිමිවුණා.”

මේ දිනවල දීප්ති තවත් කාර්යයක නිරතවෙලා.

‘වැරැදුණු දඩයම’ නමින් මා ලියූ ගුවන් විදුලි නාට්‍යය ග්‍රන්ථයක් ලෙස පාඨකයන් අතට පත්කළා. ‍”


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]