කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
දයානන්දගේ 'හිත ඉල්ලන ආදරේ'

දයානන්දගේ 'හිත ඉල්ලන ආදරේ'

කුසලතා පූර්ණ යොවුන් ගායන ශිල්පියකු වන වයි. දයානන්ද තම කුලුුඳුල් ගීත නිර්මාණ එකතුව පසුගිය දා එළිදැක්වීය. නවතම ගීත පහකින් යුතු මෙම ගීත එකතුව නම්කර ඇත්තේ “හිත ඉල්ලන ආදරේ” නමිනි.

හොරණ ප්‍රදේශයේ ප්‍රසංග වේදිකා මතදී නිතර දක්නට ලැබෙන දයානන්ද තම කලා දිවිය පිළිබඳ සහ කුලුුඳුල් ගීත නිර්මාණ එකතුව පිළිබඳව ‘රසඳුන’ වෙත තම අදහස් පළ කළේ මෙසේ ය. “මගේ ගම, හොරණ, මොරගහහේන.

මොරගහහේන මහා විද්‍යාලයෙනුත් හොරණ විද්‍යාරත්න විද්‍යාලයෙනුත් තමයි මම අධ්‍යාපනය ලැබුවේ. උසස් පෙළට කළේ කලා විෂයයන්. සංගීතයට වගේම ගායනයටත් පුංචි කාලෙ ඉඳලම මට තිබුණේ ඉතාම ළැදියාවක්. මම ගායනා කරන්න කැමැතිම අසංක ප්‍රියමන්ත පීරිස් මහතාගේ ගීත.”

“හොරණ ප්‍රදේශයේ පැවැත්වෙන එළිමහන් සංගීත ප්‍රසංගවලට ආරාධනා ලැබෙන විදියට මම සහභාගි වෙනවා. ගායනයෙන් ඉදිරියට යන්නනම් මගේම ගීත කීපයක් නිර්මාණය කරගත යුතුයි කියන හැඟීම මට ආව නිසා නවතම ගීත පහකින් යුතු සංයුක්ත තැටියක් නිර්මාණය කළා.

එම ගීත රචනා කර තිබෙන්නේ ශාන්ත රොෂාන් සහ ශාන්ත දේශබන්දු යන ගීත රචකයින් විසින්. නන්දන ලියනගේ සහ අනුර විජේසිංහ යන සංගීතඥයින් දෙදෙනා එම ගීත සංගීතවත් කර තිබෙනවා. මෙහි එන ‘සමාවෙන්න බුදු සමි‍ඳේ’ ගීතය නිර්මාණය වුණේ මා ලැබු අත්දැකීමක් අනුව.”

“මම පවුලේ බාලයා. අයියල තුන් දෙනකුයි අක්කල දෙදෙනකුයි මට ඉන්නවා. දෙමවුපියන්ගෙනුත් සහෝදර සහෝදරියන්ගෙනුත් මගේ සංගීත ජීවිතයට විශාල උදව්වක් මඟ පෙන්වීමක් ලැබෙනවා.”

“ආචාර්ය අජන්තා රණසිංහයන් මට ලියා දුන් ගීත දෙකක් ළඟදීම ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා.

හොඳ ගීත නිර්මාණ ගයමින් රසික රසිකාවියන් අතරට යාමයි මගේ බලාපොරොත්තුව. මේ වන විට මම නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ පෞරාණික භාණ්ඩ අලෙවිසලක් පවත්වාගෙන යනවා.”


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]