කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
නව නිපැයුම් බිහි කරමින් ජාත්‍යන්තර තලයට යන නාලන්දා සිසුවෝ

නව නිපැයුම් බිහි කරමින් ජාත්‍යන්තර තලයට යන නාලන්දා සිසුවෝ

ලෝ පුරා උගතුන් බිහිකළ ඉන්දියාවේ නාලන්දා විශ්ව විද්‍යාලය අදටත් ලෝක ප්‍රකට ය. අමරණීය ඉතිහාසයකට උරුමකම් කියූ නාලන්දා විශ්ව විද්‍යාලය මෙන් නොවුණත් මේ පුංචි නාලන්දාවත් අද ටිකෙන් ටික ජාත්‍යන්තර ලෝකය ස්පර්ශ කරමින් සිටියි. පාසල් ක්ෂේත්‍රයට අමරණීය රන් සලකුණක් සනිටුහන් කරමින්, අධ්‍යාපනයට නව හැරවුම් ලක්ෂයක් නිර්මාණය කරමින් අපේ නාලන්දා විද්‍යාලයත් පසුගිය ‍දෙවසරක පමණ කෙටි කාලය තුළ විවිධ ඉසව් හරහා ජාත්‍යන්තරය අවදි කරමින් සිටියි.

‍රඛිත ඉන්දුනීසියාවේ ජකර්තා නුවරට ගියේ විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගි වීමට ය. අභියෝගයට රටවල් 40 ක් තිබුණත් මුල සිටම වූ ස්ථිර අධිෂ්ඨානය නිසා රචිතට ජයග්‍රහණය හිමි විය. කුඩා කල පටන් ම නාලන්දා පරිසරයෙන් පරිණත වූ රචිත නව නිපැයුම් කරන්න දැක්වූයේ ද උපන් හැකියාවක්. විද්‍යාඥයකු සතු දැනුම් සම්භාරයක් උරුම කරගත් මේ පාසල් ශිෂ්‍යයාගේ තරගකාරී නිපැයුම වූයේ ශ්‍රී ලංකාවේ තේවල තිබෙන කැටජින් නමැති රසායනිකය නැනෝ තාක්ෂණය සමඟ මුසුකර ලියුකේමියා නම් දරුණු රෝගයට ප්‍රතිකාර සොයා ගැනීමයි. ඉන්දුනීසියාවෙන් ලද ජයග්‍රහණයෙන් නොනැවතුණු රබිත ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැති විද්‍යා ඉංජිනේරු ප්‍රදර්ශනයට ද සිය නව නිපැයුම ඉදිරිපත් කරමින් සුවිශේෂි ඇගැයුම් සම්මානයක් හිමිකර ගත්තේ ය.

වසර දෙක හමාරක කාලයක් තුළ අන් පාසල් වලට නොදෙවෙනි ආකාරයේ ජාත්‍යන්තර ජයග්‍රහණ 165 ක් දිනා ගැනීම නාලන්දාවේ පුත්තු සමත් වූහ.‍

මිනි නොබෙල් ත්‍යාගය කුඩා හපනුන් සඳහා ම වූ උසස් සම්මානයකි. ඒ සම්මානය කරා යම් දරුවෙකු ළඟා වූයේ නම් ඒ යම් පාසලක් ලද සුවිශේෂීවූ ජයග්‍රහණයකි. මිනි නොබෙල් තරගාවලිය පැවැත්වෙන්නේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ය. රටවල් ගණනාවක තරගකරුවන් අතිවිශාල සංඛ්‍යාවක් මේ තරගාවලියට සහභාගි වූ අතර නාලන්දා විදුහල මුලින් ම මිනි නොබෙල් ත්‍යාගය සඳහා ප්‍රවිෂ්ට වූයේ 2013 වසරේ දී ය. ඒ රචිත මාලේවන සිසුවා ය.

ඉහ­ළම ජාත්‍ය­න්තර ජය­ග්‍ර­හණ හිමි­ක­ර­ගත් භානුක , රබිත හා ඉසුරු

“..... ගිය වසරේදී ඩෙංගු රෝගය සඳහා ප්‍රතිකර්මයක් යෝජනා කර මුලින් ම මම නාලන්දාව මිනි නොබෙල් කරලියට ගෙන ගියා. 2014 දී ලියුකේමියාව සඳහා සොයා ගත් ප්‍රතිකර්මයට සම්මානයක් ලබාගත්තා. අද නාලන්දාවේ සහෝදර ශිෂ්‍යයන් පර්යේෂණ අතරින් ඉදිරියට ගමන් කරමින් සිටිනවා. අපේ ඉදිරි බලාපොරොත්තුව වෛද්‍ය අංශය සඳහා වූ මිනි නොබෙල් ඉලක්කයට ගමන් කිරීමයි...”

නාලන්දා දරුවන් මේ සුවිශේෂී ජයග්‍රහණ හිමිකර ගත්තේ එක් අංශයකින් පමණක් නොවේ. මෑතකදී පාසල් ඉතිහාසයටම තාරකා විද්‍යා ක්ෂේත්‍රයෙන් සුවිශේෂීම ජයග්‍රහණය හිමිකර ගත්තේ ද නාලන්දා දරුවෙකි. “අන්තර්ජාතික තාරකා විද්‍යා හා තාරකා භෞතික විද්‍යා ඔලිම්පියාඩ් 2014 තරඟාවලිය පැවතුණේ අගෝස්තු 01 දා සිට 11 දා දක්වා රුමේනියාවේ ය. රුමේනියාව, ඇමෙරිකාව, චීනය, කැනඩාව, ඉන්දියාව, සිංගප්පූරුව වැනි ප්‍රබල රටවල් 42 ක් සමඟ තරඟ වැදුණේ නාලන්දාවේ ඉසුරු අඹේරත්නය.

“..... 8 වැනි අන්තර්ජාතික තාරකා විද්‍යා හා තාරකා භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය තිබුණේ රුමේනියාවේ. මේ තරගාවලියෙන් ‍මම ලෝකඩ පදක්කම හිමිකරගෙන ලංකාවට ආවා. ලංකාවේ කිසිම පාසලක සිසුවෙක් මේ සම්මානය ගත්තේ නැහැ. මේ ජයග්‍රහණය නාලන්දාවටම හිමියි. ලබන වසරේ මම රන් පදක්කම හිමිකර ගන්නවා...”

2007 වසරේ සිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සිසුන් සහභාගි වුව ද මෙවැනි පදක්කමක් හිමිකර ගත්තේ නාලන්දා වේ ඉසුරු අඹේරත්නය.

අන්තර්ජාතික ඉංග්‍රීසි සාහිත්‍ය තරගාවලිය ඉන්දියාවේ ලක්නව් නුවර පැවැත්වුණේ 2014 අගෝස්තු 23 සිට 26 දක්වාය. ලොව රටවල් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ මෙම තරගාවලියේ නාලන්දාව නියෝජනය කළේ රවිඳු සදීපා බිම්සර දේමිත්ත, මිහිඳු පණ්ඩිත, තුෂාන් කාවින්ද, වත්සුනු ජයතිලක, හා රුචිත බණ්ඩාර ය. මෙහිදී නාලන්දා සිසුන් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවට ආවේණික නර්තන අංශය ලොව පුරා රටවල් 100 ක් පරදවමින් සිවුවැනි ස්ථානයට පත්විය.

විදු­හ­ල්පති
කර්නල් රංජිත් ජය­සු­න්දර මහතා

නාලන්දා දරුවන් පසුගිය වසර දෙක හමාර ජාත්‍යන්තර කරළියේ සම්මාන පිට සම්මාන දිනාගත් තවත් ක්ෂේත්‍රයක් වන්නේ පිහිනුම් හා ජීවිතාරක්ෂක තරගයන් ය.

ප්‍රංසයේ පැවැති ලෝක ජීවිතාරක්ෂක තරගාවලියට රටවල් 63 ක් තරග වැදුණි. කණ්ඩා‍යමේ ජාතික පුහුණුකරු වූ ආදි ශිෂ්‍ය රොෂාන් විජේසිංහ, කළමනාකරු ආදි ශිෂ්‍ය හිරාන් උක්වත්ත, ජීවිතාරක්ෂක ක්‍රීඩා භාර ආචාර්ය ආදී ශිෂ්‍ය ලසල් ජයතුංග ද මේ තරගයට සහභාගිවූ අතර නාලන්දා දරුවකු වන භානුක විජේසුන්දර 90 x 4 වෙරළේ සහාය දිවීමේ තරගාවලියෙන් ලෝකඩ පදක්කම හිමිකර දුන්නේ ය. වසර 30 ක් තුළ මරු කටින් ජීවිත 628 ක් බේරාගත් නාලන්දීය ජීවිතාරක්ෂක කණ්ඩායම ද මේ හා සමාන ජයග්‍රහණ ද මීට පෙර ලබාගෙන ඇත.

ජපානයේ පැවැති ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාව, ඔස්ට්‍රේලියාවේ පැවැති ජල රොකට් තරගාවලිය, ජර්මනියේ පැවැති වායු රයිෆල් වෙඩි තැබීම් තරගාවලිය, අන්තර්ජාතික ශිෂ්‍ය භට ජම්බෝරි, ලෝක ශූරතා චෙස් තරගාවලිය නාලන්දාවේ දරුවන් පසුගිය කාලයේ සම්මාන පිට සම්මාන හිමිකරගත් තවත් ජාත්‍යන්තර ඉසව් ගණනාවකි.

......... නාලන්දීය දරුවන් සැම වසරකදීම නව නිපැයුම් කර සුවිශේෂි ජයග්‍රහණ වාර්තා කළා. මෙය නාලන්දා පාසල් ඉතිහාසයේ පමණක් නොව පාසල් ඉතිහාසයේ ද සුවිශේෂි වාර්තාවක් වුණා. අන්ධ අයට පාර මාරුවීමට පරිගණක මෘදුකාංගයක් සොයා ගත්තෙ නාලන්දයේ දරුවෙක්. තවත් වතාවක් කාර්මික අංශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවලට ආරක්ෂිත පද්ධතියක් හඳුන්වා දීමෙන් ජයග්‍රහණය කළා. එසේ ම ඉන්දියාවේ පැවැත්වූ දකුණු ආසියාතික රටවල් සහභාගිවූ හරිත පාසල් ව්‍යාපෘතියේදී හොඳම හරිත පාසල ලෙස ජාත්‍යන්තර සම්මාන දිනා ගත්තේ කොළඹ නාලන්දා විදුහලේ දරුවන්...” ඒ නව නිපැයුම් භාරව කටයුතු කරන උපේක්ෂා අඹේසේකර ගුරු මහත්මියයි.

දිනූ සම්මාන

අද නාලන්දා මාතාව සිය 90 වැනි විය සපුරන්නේය. එය නාලන්දා මාතාවට තවත් සතුටු දායක දිනයක් වුවත් නාලන්දා මාතාව නිහඬව සතුටු කඳුළු වගුරවන්නේ මේ දූපුතුන් කෙරේ උපන් ආ‍ඩම්බරයෙනි. ඔවුන් පාසලට මෙන් ම ලක් මාතාවට ද ශ්‍රේෂ්ඨ ය.

විදුහල්පති කර්නල් රංජිත් ජයසුන්දර මහතාගේ එකම අරමුණ වන්නේ ද රටට බරක් නොමැති විශ්වයටම වැඩක් ඇති දරු පිරිසක් නාලන්දයෙන් බිහි කිරීමට ය. නාලන්දයේ එකම දරුවෙකු හෝ ‘මිනි නොබෙල් ත්‍යාගය’ කරා යවන්නට ය. ගෞරවණීය පුරවැසියෙක් සමාජයට බිහි කරන්නට ය. අද ඔහුගේ ඒ අරමුණ නාලන්දය 90 වසර සපුරණ විට ඉටු වී හමාර ය.

ජාතික අධ්‍යාපන අරමුණුවලට අනුව පාසල් දරුවෙකුට යා හැකි ඉහළ ම තරග බිම කරා නාලන්දයේ දරුවන් ගෙන යාමේ වැඩ සටහන් සකස් කළා. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදය වාර්ෂිකව සංවිධානය කරන ‘මිනි නොබෙල් ත්‍යාගය’ සඳහා දරුවන් සංවිධානය කළා. මිනි ඔලිම්පික් පදක්කම කරා යෑමට දරුවන්ට දොර විවර කළා.

පසුගිය වසර 4 ක කාලය තුළ ලෝකයේ විවිධ මහාද්වීප වල රටවල් 26 ක පැවැති විවිධ මට්‍ටමේ තරගාවලි 83 ක් සඳහා නාලන්දා දරුවන් 290 කට වැඩි පිරිසක් සහභාගි වුණා. ඒ අනුව 2012 අගෝස්තු සිට 2014 අගෝස්තු දක්වා 4 වැනි ජාත්‍යන්තර මට්ටමේ තරගවලින් ජාත්‍යන්තර ජයග්‍රහණ 165 ක් ලබාගත්තා....” යැයි නාලන්දා විදුහල්පති රංජිත් ජයසුන්දර මහතා පැවසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]