![]() ![]() |
||
ඉස්ලාමීය ත්‍රස්තයන්ට එරෙහිව කුර්දි කාන්තාවෝ අවි අතට ගනිති
මෙම මානසික අධිෂ්ඨානය අෆ්ෂින්ට සීමාවූවක් නොවේ. මේ අන්දමේ තරුණියෝ රැසක් සිරියාවේ හා ඉරාකයේ වෙසෙති. ඒ දෙරටේ වෙසෙන කුර්දි ජාතික දියණියෝ අයිඑස්අයිඑස් ගරිල්ලන්ගෙන් සිය රටවල් රැක ගැනීමට මෙසේ යුද බිම ආක්‍රමණය කර සිටිති. ඉන් ඇතැමෙක් දැනටමත් සටන් බිමේ සිටින අතර තවත් පිරිසක් කඳු මුදුන්වල අවි පුහුණුව හා වෙනත් හමුදා පුහුණුව ලබමින් සිටිති. ඉස්ලාමීය රාජ්‍යය නමැති සංවිධානය අන්තවාදී ඉස්ලාමීය එකමුතුවකි. එහි අරමුණ ඉස්ලාමීය රාජ්‍යයක් ලෝ පුරා ඇති කිරීමයි. එයට බාධක වන සියලුම දේ විනාශකර ඉවත් කිරීමෙන් මිස තම අරමුණ කරා යා නොහැකි බව පවසන ඔවුහු දරුණු ආක්‍රමණශීලී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරති. සිරියාව හා ඉරාකය ඔවුන්ගේ ක්ෂේම භූමි බවට පත්කර ගැනීම සඳහා ඔවුන් ක්‍රියාත්මක මෙහෙයුම් දියත් කර ඇත. ඔවුහු තම ජීවිත යම් අරමුණක් ඉටුකර ගැනීම සඳහා පූජා කරන්නට සූදානම් සේම එයට විරුද්ධ වන සියලු පාර්ශ්වයන්ගේ ජීවිත විනාශ කිරීම සත්ත්ව ඝාතනයට සමාන කාර්යයක් ලෙස සලකති. මෙය සාමකාමී ජනජීවිතයට අතිශය දරුණු ලෙස බලපා ඇත. මෙම මූලික ආක්‍රමණශීලි ක්‍රියා පිළිවෙතට මූලිකව යට වී ඇත්තේ කුර්දි ජාතිකයින් ය. කුර්දි ජාතිකයින්ට මෙතෙක් තුර්කියෙන්, සිරියාවෙන් හා ඉරාකයෙන් ලැබුණේ කෙණෙහිලිකම් මිස පුරවැසියන් ලෙස සලකා ලැබිය යුතු සැලකීමක් නොවේ. මෙවැනි පසුබිමක් මත තම දිවි පෙවෙත ගත කළ කුර්දිවරුන්ට ඒ හැම අභියෝගයටම වඩා දරුණු තම අභියෝගය වූයේ ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන්ගේ ත්‍රස්තවාදී ක්‍රියා ය. අන්තවාදීන්ගේ මර්දන ක්‍රියා තවදුරටත් ඉවසා ගත නොහැකි වූ 32 හැවිරිදි බෙජාන් සියායි අවි ආයුධ සහිතව සටනට බැස්සා ය. තුර්කි කුර්දිස්තානයේ වැන් නගරයේ ජීවත්වූ බෙජාන් කුර්දි වරුන්ට වෙන ම රාජ්‍යයක් ලබා ගැනීමේ මෙහෙයුමට සහභාගි වූයේ වයස අවුරුදු 16 දී ය. “මම යුද්ධයට කිසිසේත් කැමති හා මගේ සිහිනය වූයේ ග්‍රන්ථ කතුවරියක වීමය. එහෙත් අප ජීවත් වෙන්නේ එවැනි ලොවක නොවෙයි” යනුවෙන් බෙජාන් පැවසුවා ය. ඇය දැන් කොබානි නගරය ඉස්ලාමීය ආක්‍රමණිකයින්ගෙන් ආරක්ෂාකර ගැනීම සඳහා යොමුවී ඇත. ඒ.කේ. 47, මෝටර් ආදිය ඇයට ක්‍රීඩා භාණ්ඩ වැනි ය. “ඇරින් මිර්කාන් මගේ ජීවිතය හා සමාන මිතුරියක්. ඇය බෝම්බ සිරුරේ බැඳගෙන ඉස්ලාමීය අන්තවාදීන් අතරට වැදී පුපුරුවා ගත්තා. එවැනි අසාමාන්‍ය තත්ත්වයකට වුවත් මුහුණදීමට අපේ කුර්දි කාන්තාවන් සූදානමින් සිටිනවා” යැයි බෙජාන් පැවසුවා ය. කොබානි නගරය මෙම සටනේදී පාර්ශ්ව කිහිපයකට වැදගත් වන නගරයකි. තුර්කිය අසල සිරියා දේශ සීමාවේ පිහිටි මේ නගරය කුර්දි ජාතිකයින් ගේ වාසභූමිය වේ. මෙය අල්ලා ගැනීමේ ඉස්ලාමීය අන්තවාදීන්ගේ අරමුණවන්නේ ඉන්පසු තුර්කිය කෙරේ අවධානය යොමු කිරීම විය හැකි ය. ඒ කෙසේ වෙතත් කොබානි නගරය රැක ගැනීම තම මවුබිම රැක ගැනීමක් ලෙස කුර්දි ජාතිකයෝ සලකති. එනිසා ම ඒ සඳහා දැන් කාන්තා බලකායක් සූදානම් කර ඇති බව ද පෙනේ.
19 හැවිරිදි නලිනේ අලුතින් ම එම ඒකකයේ පුහුණුවට බැඳුණු තරුණියකි. “මම පාසලට ගිය හැම මොහොතකම මගේ හිතට ආවේ ඉගෙන ගන්නවාට වඩා මගේ දේශය රැක ගැනීම වැදගත් බවයි. මට දැනුණු භීතියෙන් මගේ මිතුරන් බේරා ගැනීම මගේ හිත තුළ තිබුණු අධිෂ්ඨානයයි. මම මගේ අනාගතය අනුන්ගේ අනාගතය ගොඩනැඟීම සඳහා පූජා කළා” යැයි හැඟීමකින් තොරව ඇය පැවසුවා ය. සිරියානු ත්‍රස්ත පර්යේෂණ හා විශ්ලේෂණ පද්ධතිය ප්‍රකාශ කරන අන්දමට කුර්දි හමුදාවෙන් සියයට 35 ක් කාන්තාවන්ගෙන් සමන්විත වේ. කොබානි නගරයේ දැනට දරුණු සටන් පවතින බව වාර්තා වෙයි. මුළු ප්‍රදේශයම කළු දුමාරයකින් වැසී ඇති අතර එයට ප්‍රධාන හේතුව ඇමෙරිකාව ප්‍රධාන සන්ධානය මගින් දියත් කර ඇති ගුවන් ප්‍රහාරය. මේ අතර කුර්දි හමුදා මගින් දියත් කර ඇති දරුණු ප්‍රහාර හේතු කොටගෙන ඉස්ලාමීය අන්තවාදීන් අතිවිශාල පසුබෑමකට ලක්වී ඇතැයි ද වාර්තාවේ. “ඉස්ලාමීය රාජ්‍යය” ත්‍රස්තවාදීන් අපේ පවුල් විනාශ කළා. ජන ජීවිතය විනාශ කළා. අපි දැන් සටනට බැස සිටිනවා.” හමුදා ඇඳුම් හැඳ ගත් කුර්දි කාන්තාවෝ මහත් අධිෂ්ඨානයෙන් යුතුව පවසති. මේ අතර මේ බළ සේනාවට බැඳුණු සෑම කාන්තාවක් තුළ ම ඇත්තේ ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහි වෛරයකි. එම වෛරය ඔවුන් ඉදිරියට ගෙන යන ජවය බවට පත් වී ඇත. මෙම කාන්තා බළකායේ වෛරය පළිගැනීම මුසු අධිෂ්ඨානය නිසා දැනටමත් ඉස්ලාමීය අන්තවාදීන් කොබානි නගරයේ පසුබසිමින් සිටින බව ද වාර්තාවේ. තම දේශයට, ජාතියට, පවුල් වලට සිදුවූ විනාශය උසුලා ගත නොහැකි කුර්දි කාන්තාවෝ ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව සටනට බැස යුද පුහුණුව ලබමින් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන තත්ත්වයට පත්ව සිටිති. මේ කුර්දි කාන්තා බලකායේ නායිකාව ලෙස හැඳින්වුණු රෙහානා නමැති තරුණිය ගරිල්ලන් විසින් පෙරේදා හිස ගසා මරා දමන ලදැයි මාධ්‍ය වාර්තා කර තිබිණ. ඇය පිළිබඳව මුලින්ම තොරතුරු හෙළි කළේද බටහිර මාධ්‍යයන්ය. රෙහානා ගරිල්ලන් 100 දෙනකු මරා දමා තිබූ බවද එම මාධ්‍ය තොරතුරු හෙළි කර තිබිණ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |