කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
පණ ගැහෙන හදවතක් එනතුරු බලා සිටි කාලය ඉවරයි

පණ ගැහෙන හදවතක් එනතුරු බලා සිටි කාලය ඉවරයි

මියගිය හදවතක් සාර්ථකව බද්ධ කළ ඓතිහාසික ශල්‍යකර්මයක්
 

මැරුණු හද­වත් බද්ධ කිරීමේ ශල්‍ය කර්මය සිදු කළ ශල්‍ය වෛද්‍ය
මහා­චාර්ය කුමුද් දිටාල්, හද­වත ලබා­ගත් මිචෙල්, නිව් සවු­ත්වේල්ස් සෞඛ්‍ය ඇමැ­තිනී ජිලි­යන් ස්කින්ර්, හද­ව­තක් ලබා­ගත් ජැන්ඩ­මෙන් හා සෙන්ට් වින්සන්ට් ‍‍රෝහලේ හද­වත් බද්ධ අංශයේ අධ්‍යක්ෂ
මහා­චාර්ය පීටර් මැක්ඩො­නල්ඩ්

ඕස්ට්‍රේලියාවේ සිදුවූ ඓතිහාසික ශල්‍ය වෛද්‍ය හාස්කම හෘදය රෝගීන්ගේ ඉදිරි අනාගතයට බලාපොරොත්තු සහගත තත්ත්වයක් එක් කරනු නොඅනුමාන ය. මෙය පු‍රෝගාමී මෙහෙවරකි. එසේ ම ගල් යුගයේ ජීවත්වූ මිනිසා වර්තමානයට පැමිණි ආකාරයත් වර්තමානයේ සිට තෙරක් නොපෙනෙන අනාගතය කරා යන ආකාරයත් පෙන්නුම් කළ තවත් මං සලකුණක් ලෙසත් හඳුන්වාලිය හැකි ය.

හෘදය වස්තුව ශරීරයේ ඉතාමත් වැදගත් ම ඉන්ද්‍රියයි. එය අක්‍රිය වුවහොත් ඉන් එහාට ජීවිතයක් නැත්තේ ය. හෘදය වස්තුව නිශ්ක්‍රීය වීම වැළැක්වීමට නොයෙකුත් ප්‍රතිකාර ඇතත් එම ප්‍රතිකාරවලින් ඵලක් නොවුණහොත් හදවතක් බද්ධ කිරීම අවශ්‍ය වේ. මෙතෙක් එලෙස බද්ධ කෙරුණේ පණ ගැහෙන හදවත් පමණි. එහෙත් අලුතෙන් සිදුවනුයේ පණති හදවතක් වෙනුවට අලුත මියගිය හදවතක් බද්ධ කිරීම ය.

හදවත් බද්ධ කිරීමේ පුරෝගාමියෙකු ලෙස ඉතිහාසයට එක් වුණු දකුණු අප්‍රිකානු වෛද්‍ය විශේෂඥ ක්‍රිස්ටියන් බානාඩ් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු පුරෝගාමී චරිතයක් වන්නේ ඔහුගෙන් ඇරඹුණු හදවත් බද්ධ කිරීම අද බොහෝ රටවල සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව තිබීම මිනිසාගේ දියුණුව සනිටුහන් කරන මංසලකුණු වන්නේ ය.

ඒ කෙසේ වෙතත් හදවත් බද්ධ කිරීම ඉතා සීරුවෙන් කළයුතු ප්‍රතිකර්මයකි. සුළු වැරදීමකින් පවා බද්ධ කිරීමට භාජනය වන රෝගියාගේ ජීවිතය අහිමිවීම සිදුවිය හැකි ය. මේ සඳහා කළ යුතු ක්‍රියාමාර්ග රැසකි. ප්‍රධාන වශයෙන් ම හදවතක් බද්ධ කිරීම සඳහා මෙතෙක් ‍යොදා ගනු ලැබුවේ පණ ගැහෙන හදවතකි. බද්ධ කරන හදවත අයත් රෝගියා මොළය මරණයට පත්වී තිබිය යුතු ය. එනම් මොළය අක්‍රිය විය යුතුවේ. සාමාන්‍යයෙන් මොළය අක්‍රිය වූ තත්ත්වයේ පසුවන රෝගියෙකු නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීම සිදුවන්නේ ඉතාම කලාතුරකිනි. ඔහුගේ මොළය මරණයට පත්වී ඇතත් ඔහුගේ හදවත ක්‍රියාත්මක වෙමින් පවතී. වෙනත් වචනයෙන් කිවහොත් ඔහු සක්‍රීය මළ සිරුරකි. මෙවැනි අවස්ථා අපට බොහෝ විට හමුවන්නේ මෝටර් රථ අනතුරු වැනි සිදුවීම්වලිනි.

මොළය මරණයට පත්වූවත් සිරුරේ එතෙක් ක්‍රියාත්මක වෙමින් පවතින හෘදය වස්තුව ශල්‍යකර්මයකින් ඉවත්කොට පැය කිහිපයක් අයිස් මත තබා එය හදවත් රෝගියාට බද්ධ කිරීම සිදුකරයි. එවන් ශල්‍ය කර්මයක් සඳහා සක්‍රීය හදවතක් තිබීම අත්‍යවශ්‍යවේ. මොළය මැරුණු රෝගියෙකු එනතුරු බලා සිටින හෘද‍ රෝගීන් අතිවිශාල සංඛ්‍යාවක් ලොව පුරා සිටින බව ද රහසක් නොවේ.

හෘද රෝගීන්ගේ හෘද බද්ධ සිහිනය සැබෑ කරමින් පුරෝගාමී මෙහෙවරක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ සෙන්ට් වින්සන්ට් රෝහලෙන් පසුගියදා වාර්තා විය.

57 හැවිරිදි මිෂෙල් ග්‍රිබිරාස් මෙසේ දරුණු හෘදය රෝගයකින් පෙළෙන්නියකි. ඇය හෘදය වස්තුවක් බද්ධ කරගැනීම අත්‍යවශ්‍යයෙන් ම සිදුකර ගත යුතු රෝගියෙක් වූවා ය. ඇය ශල්‍ය කර්මය සඳහා ඇතුළු වූයේ සෙන්ට් වින්සන්ට් රෝහලට ය. ඇය ගේ තත්ත්වය එතරම් යහපත් නොවී ය. ඇයට සක්‍රීය හදවතක් ලැබෙන තුරු බලා සිටීම පවා ජීවිත අවදානමක් විය. වාසනාවට හදවතක් ලැබිණ. එහෙත් එම හදවත මිනිත්තු 20 ක් නතර වී තිබූ එකකි. එවැනි හදවතක් තවෙකකුට බද්ධ කිරීමට මෙතෙක් ලොව සිදුකර නොමැත.

එහෙත් එවැනි තත්ත්වයකට මුහුණදීමට සෙන්ට් වින්සන්ට් රෝහලේ හදවත් බද්ධ කිරීමේ ඒකකයේ අධිපති මහාචාර්ය පීටර් මැක්ඩොනල්ඩ් සහ ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය කුමුද්දිටාල් ඇතුළු ශල්‍ය වෛද්‍ය විශේෂඥයෝ සූදානම්ව සිටියෝ ය.

මේ සඳහා ඔවුනට සහාය වූයේ ‘හාට් ඉන් අ බොක්ස් (Heart in a box) (පෙට්ටියක බහාලූ හදවත) යන අතිවි‍ෙශ්ෂ උපකරණයයි. මිනිත්තු 20 ක් අක්‍රියව පැවැති හදවත මේ උපකරණය තුළට බහාලූ විට එම උපකරණය මගින් උණුසුම් රුධිරය එම හදවත තුළට ඇතුළු කරනු ලබයි.

“මේ ශල්‍ය කර්මයට පෙර අප විසින් හදවත හිමි තැනැත්තාගේ රුධිරය මෙම උපකරණයට ඇතුළු කර තිබුණා” යැයි මහාචාර්ය මැක් ඩොනල්ඩ් පැවසීය.

“ඉන්පසුව හෘදය වස්තුව ඔහුගේ සි‍රුරෙන් ඉවත් කොට එම උපකරණයට සවිකරනවා. එහිදී එය උණුසුම් වෙනවා. එසේ උණුසුම්වීමත් සමඟ හෘදය වස්තුව සක්‍රීය වන්නට පටන් ගන්නවා. එම හෘදය වස්තුව ලබාගන්නා තැනැත්තා සූදානම් වූවාට පසු එම උණුසුම් හදවත එම උපකරණයෙන් ගලවා රෝගියාට බද්ධ කරනු ලබනවා” යැයි මහාචාර්යවරයා පවසයි.

මේ හෘදය වස්තුව ලබාගත් මිෂෙල් ග්‍රිබිරාස් ඉතාම සුවයෙන් පසුවන අතර ඇය මහත් උද්දාමයට පත්වී ඇති බව ද වාර්තාවේ. ශල්‍ය කර්මයට පෙර යාර 110 ක් වත් ඇවිද යෑමට අපහසු තත්ත්වයේ සිටි ඇය දැන් සැතපුම් 2 ක දුරක් වුවත් ඉතාම පහසුවෙන් කිසිදු මහන්සියකින් හෝ හතියකින් හෝ තොරව ඇවිද යෑමට හැකි බව ද පැවසේ.

“මම දැන් සම්පූර්ණයෙන් ම වෙනස් පුද්ගලයෙකි. හරියට මං වයස හතළිහක කෙනෙකු ලෙස දැනෙනවා” යනුවෙන් ඇය පැවසුවේ සතුටිනි.

මේ අන්දමේ අක්‍රීය වූ හදවත් තවත් දෙදෙනෙකුට බද්ධ කරනු ලැබූ අතර ඔවුන් තිදෙනාම ඉතාම සුවයෙන් සිටින බවද කියැවේ.

සක්‍රීය හදවත් ලැබෙන තුරු දුක්විඳින හෘද රෝගීනට මේ නව ඓතිහාසික වෛද්‍ය ක්‍රියාවලිය නව බලාපොරොත්තුවක් ඇති කරවන බව සෙන්ට් වින්සන්ට් රෝහලේ මහාචාර්ය මැක්ඩොනල්ඩ් ප්‍රකාශ කරන අතර මෙම නව උපකරණයත් සමඟ ලෝ පුරා හෘදය රෝගීන්ට හදවත් බද්ධයත් පහසු කරනු ඇතැයි ද පැවසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]