කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
වගකීම් පැහැර හරින වතු සමාගම් රජයට පවරා ගන්න පුළුවන්

වගකීම් පැහැර හරින වතු සමාගම් රජයට පවරා ගන්න පුළුවන්

- ජනමාධ්‍ය ඇමැති

රජය යටතේ තිබී පෞද්ගලික අංශය විසින් පාලනය බාරගත් වතු සමාගම් එහි ජනතාව වෙනුවෙන් වගකීම් හා යුතුකම් පැහැර හරිනවානම් හෝ අවදානම් තත්ත්වයන් දැනුම් දී තිබියදීත් ඒ ගැන සැලකිල්ලක් නොදක්වා ක්‍රියාකර තිබෙනවානම් වගකීම් රහිතව ක්‍රියාකොට ඇතිනම් එම වතු සමාගම් යළි රජයට පවරා ගත හැකි බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති සහ ඇමැති මණ්ඩල ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඇමැති මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ සිදුවූ නායයාම පිළිබඳව කරුණු සඳහන් කරමින් ඇමැතිවරයා මේ බව කීය.

රජය සතුව තිබි වැවිලි සමාගම් ලබාගත් වතුවල සියයට දහයක (රන් කොටස්) තවමත් රජය සතුව පවතින බවත් මේ වතු පිළිබඳව රජයට ඕනෑම අවස්ථාවක මැදිහත් වී ක්‍රියා කළ හැකි බව ද ඇමැතිවරයා කීය.

මේ ප්‍රදේශවල යථා තත්ත්වය ගැන පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා දෙන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පොලිස්පතිවරයාට නියෝගයක් ද ලබා දී තිබෙන බවත් ඇමැතිවරයා සඳහන් ‍ෙකළේය.

මෙහිදී රජයේ පැත්තෙන් නිලධාරීන් අතපසුවීම් නොසලකා හැරීම් සිදුකර තිබේනම් වැවිලි සමාගම් අදාළ පියවර ගෙන නැත්නම් වගකිවයුත්තන්ට තරාතිරම නොබලා විරුද්ධව කටයුතු කිරීමට නිත්‍යානුකූල පියවර ගන්නා බව ද ඇමැතිවරයා කීය.

ජනාධිපතිතුමා නායයාම් ගිය ප්‍රදේශවලට ගොස් කරුණු පරීක්ෂා කිරීමේදී අසරණ වූ ජනතාව ජනාධිපතිතුමා වෙත කරුණු දක්වද්දී ඒ සියලු කරුණු කෙරෙහි කම්පා සිතින් සවන් දුන් ජනාධිපතිතුමා කිසිවකුට අසරණ වන්නට ඉඩ නොදෙන බවත් සියලු දෙනාට රැකවරණ ලබා දෙන්නට පියවර ගන්නා බවත් පැවැසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]