කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
පොත් පුවත්

“ගිහිගෙදරට බුදු බණ” 28 දා දොරට වඩී.

අනුරාධපුර බුද්ධශ්‍රාවක විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් සමඟ කළ සාකච්ඡා ඇසුරින් මාධ්‍යවේදිනී වාසනා සුරංගිකා විතානගේ විසින් සම්පාදිත “ගිහි ගෙදරට බුදු බණ” බෞද්ධ ග්‍රන්ථය මේ මස 28 සිකුරාදා සවස 3.00ට කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී දොරට වඩී.

මහරගම, නාවින්න සාහිත පොත් පියසෙහි නවතම ප්‍රකාශයක් වන මෙම ග්‍රන්ථය, ජය සතුට හා සැනසුම අපේක්ෂා කරන සෑම කෙනකු විසින් ම කියවිය යුතු අගනා ග්‍රන්ථයකි.

‘උදුම්බරගිරි වංශය’ සහ ‘අස්ගිරි පුවත’ අද දොරට වඩී

කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන පූජ්‍ය අම්බුළුගල සුමංගල හිමියන් විසින් රචනා කරන ලද ‘උදුම්බරගිරි වංශය සහ අස්ගිරි පුවත’ ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය අද සවස 2.00 ට කොළඹ 10, මාලිගාකන්දේ මහාබෝධි අග්‍රශාවක මහා විහාරයේදී පැවැත්වේ.

දිඹුලාගල සහ ඒ අවට ඇති ඓතිහාසික ස්ථාන පිළිබඳවත්, අස්ගිරි විහාරවංශය පිළිබඳවත් මෙතෙක් පළ නොවූ බොහෝ වැදගත් තොරතුරු උන්වහන්සේගේ අවධානයට ‍ලක් කෙරෙමින් ඉතා විශිෂ්ට අයුරින් ‘උදුම්බරගිරි වංශය සහ අස්ගිරි පුවත’ ග්‍රන්ථය රචනා කර තිබේ.

නිර්මාණයේ මහා ශෝකය වින්සන්ට් වෑන් ගෝ

පරිවර්තනය - සුභා රණවීර

මිල - රු. 790.00

ප්‍රකාශනය - සරසවි ප්‍රකාශකයෝ

අර්වින්ග් ස්ටෝන් (Irving stone) විසින් දහ නවවන සියවසේ යුරෝපයේ ඇරඹුණු චිත්‍ර ප්‍රවණතාවයේ පු‍රෝගාමියෙකු වන වින්සන්ට් වෑන් හෝ ගේ චරිතය අළලා ලියන ලද සම්භාව්‍ය නවකතාවේ සම්පූර්ණ පරිවර්තනයකි.

දණ්ඩභූමි

කර්තෘ - ටෙනිසන් පෙ‍රේරා

මිල - රු. 475.00

ප්‍රකාශනය - සරසවි ප්‍රකාශකයෝ

සිය ආත්මාර්ථකාමී ආර්ථික වර්ධනය සඳහා රට ජාතිය පාවා දෙමින් පුරාවස්තු මංකොල්ලයේ යෙදෙන කැලෑ කපා දමා මෙන් ම මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයන්ට හා දූෂිත ඇමැතිවරයෙකුට මැදිව සිටින පුරාවිද්‍යා මහාචාර්යවරයෙකු හා ඔහුගේ දූ පුතුන්ගේ කතාවයි.

යාමයේ හඬ

පරිවර්තනය - කාංචන මාලා මනම්පේරි

මිල - රු. 550.00

ප්‍රකාශනය - ඕෂන් පබ්ලිකේෂන්

පිලිප් ජී. වීරසිංහම් නැමැති දක්ෂ වෛද්‍යවරයා විසින් තම ජීවිතයේ අත්දැකීම් පිළිබඳව ලියූ The cry of the Devil Bird කෘතියේ සිංහල පරිවර්තනයයි. ද්‍රවිඩ වෛද්‍යවරයකු වුව ද සිංහල කතක හා විවාහ වී සිංහලයන්ට හා බුදු දහමට විශේෂ සැළකිල්ලක් දැක්වූ එතුමාගේ අත්දැකීම අපූරුය. සමහරක් සංවේදී ය.

විස්මිත පිළිසඳර කලාව

පරිවර්තනය - ආනන්ද හේරත්

මිල - රු. 600

ප්‍රකාශනය - සරසවි ප්‍රකාශකයෝ

ලීල් ලෝන්ඩ්ස් ගේ How to Talk to Anyone ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි‍. ඕනෑම කෙනකුට සුහදව කතා බහ කළ හැකි නුවණට හුරු පිළිවෙල,

ඇයි හොඳයිකම් පැවැත්වීමේදී උපකාරී වන පුංචි උපාය 92 ක් සහිත කෘතියකි. කතුවරිය උලුප්පා දෙන්නේ වාග් සුචරිතය පිළිපැදීමේ අනුසස් ය.


 

පරාක්‍රම කිවිඳුන්ට ‘රාමායන මහා කවී’ සම්මාන උපාධිය

ඉකුත්දා රාමක්‍රිෂ්ණන් ශාලාවේ පැවැති ද්‍රවිඩ සාහිත්‍ය උලෙළේදී ද්‍රවිඩ සාහිත්‍යයට හා සමාජයට කරන ලද මෙහෙවර උදෙසා පරාක්‍රම කොඩිතුවක්කු කවියාට ‘රාමායන මහා කවි’ (කම්බන්) උපාධි සම්මානය පිරිනමනු ලැබීය.

පරාක්‍රම කොඩිතුවක්කු කවියා විසින් ‘ඉන්දු ලංකා’ සහ ‘පිබිදෙන පැය’ නමින් ඉන්දීය හා ලාංකික ද්‍රවිඩ නව කවි සිංහලයට පරිවර්තනය කරන ලදී. එමෙන් ම ඔහු ‘දෙවියන්ගේ මිනිසුන්’ නමින් වතුකරයේ ද්‍රවිඩ කම්කරු ජනතාවගේ ජීවන පුවත දීර්ඝ කාව්‍ය ආඛ්‍යානයකට නැඟුවේය. මෑතකදී ‘රතුරෝස - නිල් රෝස’ නමින් කරන ලද දැවැන්ත පරිවර්තන - විමර්ශන ග්‍රන්ථයෙහි සාක් රටවල නව කවි සියයක් පමණ සිංහලයට පරිවර්තනය කොට ඇත. මෙම සාහිත්‍ය සේවාව ඇගැයීම සඳහා ප්‍රදානය කරන ලද මෙම සම්මාන උත්සවයට ඉන්දියාව මැලේසියාව ආදී රටවලින් ද ආරාධිත කලාකරුවෝ සහභාගි වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]