කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සාහිත්‍ය ප්‍රශ්න පත්තරය

පොත් කියැවීමේ පුරුද්ද විමසන මෙම ප්‍රශ්න මාලාව ඇරැඹෙන්නේ, පාඨක ඔබටත් ගත හැකි යමක් එහි ඇති බැවිනි.

ඔබේ ප්‍රියතම ප්‍රබන්ධ කෘතිය...

කපිල කුමාර කාලිංග

සයිමන් නවගත්තේගම සූරීන්ගේ, ‘දඩයක්කාරයාගේ කතාව.’ එහි ඇති ඔහුගේ භාෂාව හරිම සාරවත්. මේ කෘතිය නැවත නැවත කියැවීමේදී එහි සැඟැවුණු අරුත් මතුවෙනවා. එවැනි නැවත නැවත කියැවීමේ රුචියක් ඇති කරන කෘතීන් අල්පයි. මේ පොතත් එවැනි විරල ගුණයක් ඇති එකක්.

ප්‍රබන්ධ නොවන කෘතිය...

රණවීර ගුණවර්ධනයන් ලියූ, ‘සිවුර සහ නඟුල'. අපේ ඉතිහාසයත් භික්ෂුව සහ රාජ්‍ය පාලනයත් පිළිබඳ ලියැවුණු පර්යේෂණාත්මක කෘතියක් එය.

මේ දිනවල ඔබ කියවන්නේ...

ස්වර්ණ කාන්ති රාජපක්ෂ පරිවර්තනය කළ ‘පොකුරු මල් වීදිය'. ජපානය පදනම් කොටගත් මේ නවකතාවේ මුල් පොතේ නම ‘The street of a thousand blossoms'. එය ලියා ඇත්තේ ජපන් ලේඛිකා ‘ගේල් සුකියාමා.’

කෙනෙකුට කියවන්න යැයි ඔබ නිර්දේශ කරන කෘතීන් තුනක්...

මුලින් ම ධම්ම පදය. මොකද ධම්මපදයේ කොයි පිටුව පෙරළුවත් ජීවිතයේ කොයියම්ම ගැටලුවක් අරභයා ව‍ූවත් විසඳුමක් අස්වැසිල්ලක් තිබෙනවා. ඒ වගේ ම එදිනෙදා ජීවිතයේ ගැටලුවක් තිබුණත් නැතත් ධම්ම පදය පිටුවක් හැමදාම කියැවීම වටිනවා.

ඊළඟට මැක්සිම් ගෝර්කිගේ ‘My Childhood’ පොත් ත්‍රිත්වය. මේවා ‘මගේ ළමා විය’, ‘මිනිසුන් අතර’ සහ ‘මගේ සරසවි’ නමින් පරිවර්තනය වී තිබෙනවා.

ඔහුගේ මේ කෘතින්වලට පාදක වෙන්නේ පැරැණි රුසියාවයි. පිළිවෙළකට ලබාගත් උගත්කමකුත් ඔහුට නැහැ. පාදඩයන්, ගණිකාවන් වැනි සමාජයේ පහළ ස්ථරයේ මිනිසුන් ඇසුරයි ඔහුගේ සරසවි වුණේ. ඉතාමත් තියුණුව ජීවිතය විනිවිද දුටු ඔහු වැන්නකුගේ අත්දැකීම් අපි කාටත් ජීවිත පාඩම්.

ඉන්දියානු ලේඛක ආනන්ද මූර්තිගේ කන්නඩ නවකතාවක් වූ සංස්කාරයි, ඊළඟ කෘතිය. එනමින් ම ට්‍රිලීෂියා ගුණවර්ධනය මේ පොත සිංහලයට පරිවර්තනය කළා. කුලහීන බ්‍රහම්මණ ගමක සම්ප්‍රදාය සහ නවීනත්වය අතර සිදුවන ගැටුමකුයි මෙයින් කියැවෙන්නේ. එය ඉතාමත් රසවත් හා විඳිය හැකි කෘතියක්.

පොතක ඔබ වඩා වැදගත්කොට සලකන්නේ රචනා ශෛලිය ද? අන්තර්ගතය ද? නැතිනම් අවසානය ද?

විශිෂ්ට කෘතියක් යැයි කීමට මේ කාරණා තුනම අත්‍යාවශ්‍යයි. ඉතා හොඳ අන්තර්ගතයක් තිබුණත් එය රසවත්ව ලියැවී නැතිනම් පාඨකයා කියවන්නේ නැහැ.

ඔබ ළමා කාලයේ කියැවූ හොඳම පොත...

ටී.බී. ඉලංගරත්නයන්ගේ ‘විලම්බීත'. එවිට මා මහනුවර ධර්මරාජයේ තුනේ පන්තියේ සිසුවෙක්.‍ එලෙස 1960 දශකයේ මුල් කාලයේ මා එය කියැවූයේ අපමණ ප්‍රීතියකින්. මගේ ගම වන මහනුවර සහ අපේ පාසල් පරිසරය මේ පොතෙන් ඉතාමත් රසවත්ව කියැවුණා.

ඔබ කියැවීමට කැමැති විශේෂ වර්ගයක ග්‍රන්ථ තිබෙනවාද?

මානව විද්‍යාව, සමාජ ඉතිහාසය, සංචාරක සටහන් හෙවත් ගමන් විත්ති ‍කතා සහ චරිතාපදාන පිළිබඳ ලියැවූ පොත්.

මෙතෙක් ඔබ කියැවූ පොත්වලින් ජීවිතයට ලැබුණු දේ...

මිනිසකුගේ පටු ජීවිත රාමුව පුළුල් වන්නේ පොත් කියැවීමෙන්. විවිධ අත්දැකීම් සහ සංකීර්ණතා හඳුනා ගනිමින් ජීවිතයට මුහුණදිය හැකි ශක්තියත්, පහසුවත් ජීවිතාවබෝධයත් ලැබෙන්නේ පොත් කියැවීමෙන්. මේ සියල්ල මගේ ජීවිතයට එකතු වූයේ පොත් කියැවීමේ මේ පුරුද්දෙන්.

ඔබට අනුව පොතකින් තැනුණු හොඳම චිත්‍රපටය...

‘සංස්කාර’ නවකතාවෙන් කළ ‘සංස්කාර’ කන්නඩ චිත්‍රපටය...

ඔබ ඉහළින් ම අගයන කතුවරයා...

මාර්ටින් වික්‍රමසිංහයන්.

ඔබේ ප්‍රියතම සම්භාව්‍ය කෘතිය...

ඉතාමත් සාරවත් භාෂාවකින් සහ රමණීය රචනා ශෛලියකින් ලියැවුණු ‘අමාවතුර.’

ඔබේ ප්‍රියතම පරිවර්තන කෘතිය...

ලෙනාඩ් වුල්ෆ්ගේ ‘Village in the jungle’ කෘතියෙන් ඒ.පී. ගුණරත්නයන් පරිවර්තනය කළ, ‘බැද්දේගම'.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]