කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
“අපේ කට්ටිය”ට එකතුවේ

මුදු දිය දහරක්.... 17

“අපේ කට්ටිය”ට එකතුවේ

සිංහල සහ ඉංග්‍රිසි භාෂා පිළිබඳ ප්‍රගුණත්වයක් ලබා ගැනුමට නම් පරිවර්තන කෘතින් නොමඳවම හදාළ යුතු බව මා තුළ ජනිත කරවූයේ මගේ සමීපතම ගුරුතුමා වූ මහාචාර්ය තිලක් රත්නකාර මහතාය. මුල් කෘති‍යත් එහි සිංහල පරිවර්තනත් කියැවීමට සෑහෙන කාලයක් වැය කිරීම හේතුවෙන් මම තරමක අසම්මත ගණයේ පුද්ගලයකු බවට පත්වීමි. මහාචාර්ය තිලක් රත්නකාර මහතා මඟින් ලබාගන්නා ලද හෙන්රික් ඉබ්සන්ගේ සම්පූර්ණ කෘති සමුදාය කියවූ මම ඉන් කීපයක් සිංහලට පරිවර්තනය කළ යුතු යයි තීරණය කළෙමි. මගේ අවධානය වඩාත් යොමු වූයේ ‘හෙඩා ගබ්ලර්’ (Heda Gabler) නමැති නාටකය කෙරෙහිය. මම, ඒ කෘතින් පෙළ සිංහලට පරිවර්තනය කොට රත්නකාර ගුරුතුමාට පෙන්වූයෙමි. ඔහු ඉහවහා යන සතුටකින් “වැ‍ෙඩ් හොඳට කෙරිල තියෙනවාÓයි කීය. මම ඉන් දිරිමත්ව එය ගුවන්විදුලි පිටපතක් පැයකට සීමාවෙන පරිදි සැකසුවෙමි. ගුවන්විදුලි නාට්‍ය සංවිධායක පී.වැලිකල මහතාට මම ඒ පිටපත බාරදුන්නෙමි.

මේ කාලයේ දී (1960 - 61 පමණ) ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහයෙන් මාසිකව ‘සම්භාව්‍ය නාට්‍ය’ යන හිසින් යුතුව පැයකට සීමාවන නාට්‍ය නිෂ්පාදනය කරනු ලැ‍බීය. ඒ සඳහා බෙහෙවින් කාලය කැප කෙ‍ෙළ් ඒ.පී.ගුණරත්න මහතාය. ‘සම්භාව්‍ය නාට්‍යය’ ප්‍රචාරය වූයේ මාසයේ අවසන් සතියේ ඉරු දින රාත්‍රි 9.30 සිට 10.30 දක්වාය. ගුවන්විදුලියට නාට්‍ය පරිවර්තනය කිරීමේ කාර්යය භාරධූර වූවක් වුවද ඉන් අත්වූ සොම්නස පිරී ඉතිරී යන තරම් විය. මම සම්භාව්‍ය නාට්‍ය 5ක් පමණ සැකසුවෙමි. ජේ.බී.ප්‍රිස්ට්ලි (J.B.Priestley) නමැති ඉංග්‍රිසි නාට්‍යකරුවාගේ ‘Time Play’ නමින් හැඳින්වූ කෘතියක් වන ‘I have been here before’ කෘතිය මම ‘පුනර්ජීවනය’ යනුවෙන් පරිවර්තනය කළෙමි. එහි අන්තර්ගත තේමාව වූයේ පුනර්ජන්මය නමැති සංකල්පයයි. බ්‍රිතාන්‍යය සුප්‍රකට නාට්‍ය නිර්මාතෘවරයකු අතින් එබඳු කෘතියක් බිහිවීම මට දැනුණේ මහා හාස්කමක් ලෙසිනි.

ඉන්පසුව මගේ අවධානය යොමු වූයේ ඇන්තන් චෙකොව් ගේ ඉවැනොව් (Ivanov) කෘතිය කෙරෙහිය. එහි සිංහලානුවාදයක් කොළඹ විශ්වවිද්‍යාලයේ දී රංගගත විය. එය ‘කලකිරීම’ නමින් හැඳින්විණ. ඊට පෙරදී ද ඇන්තන් චෙකොව්ගේ නාට්‍ය කීපයක් සිංහලට පරිවර්තනය වී තිබිණ. එහෙත් ඒවා හැමෙකක්ම නැරඹීමේ අවස්ථාව මට උදා නොවීය. කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත මහාචාර්යවරයා වූ ඩග්ලස් අමරසේකර මහතා ‘වලාකුළු’ නමින් නාට්‍යයක් ලියුවේය.

එය ප්‍රථම වරට ග්‍රීක නාටකයක් වූ ......මෝපානිස්ගේ ‘ක්ලවුඩ්ස්’ නාට්‍යයේ පරිවර්තනයක් විය. මම පසුකලයේදී මේ නාට්‍යය කියැවූයෙමි. ඒ පිළිබඳ මම මහාචාර්ය අමරසේකරට ද කීවෙමි. මහාචාර්ය අමරසේකර ‘වලාකුළු’ නාට්‍යයට යොදා තිබුණේ ‘ඇත්ත කුමක්ද?’ යන්නය. එහෙත් පසුකාලයේදී වුවද ඒ නාට්‍ය පිටපත මුද්‍රණය කිරී‍ෙම් උවමනාවක් මහැදුරු අමරසේකර තුළ නොවීය. මෙහි ප්‍රධාන භූමිකාව රඟපෑවේ ඩී.ඇම්.කොළඹගේ මහතාය.

කොළඹගේ මහතා, අප හිතමිත්‍රයකු වූ අසෝක කොළඹගේ ගේ පියාණන්දෑය. කොළඹගේ මහතා ගුවන්විදුලි කාර්යාලයේ සිංහලාංශයේ උසස් තනතුරක් දැරීය. ඒ තනතුර සිංහල වැඩසටහන් සංවිධායක නමින් හැඳින්විණි. පසුව කොළඹගේ මහතා භාරයේ නව ගුවන්විදුලි නාළිකාවක් හැන්දෑ වරුවල පටන් ගැනිණ. ඒ නාළිකාව හඳුන්වනු ලැබූවේ ‘සන්ධ්‍යා සේවය’ නමිනි. මා ගුවන්විදුලි ආධුනික ශිල්පියකු බව දැනගත් කොළඹගේ මහතා මා සමඟ නිතර හමුවී කතාබහ කරන්නට ද පටන්ගත්තේය. මම වතාවක් මා මිත්‍ර අසෝක සමඟ ඔහුගේ නිවසට ද ගියෙමි. මුල්වරට බර්නාඩ් ෂෝ ගෙ සියලුම නාට්‍ය එක්තැන් කළ මහා වෙළුමක් දැකගැනීමට මට ලැබුණේ එහිදීය. ඒ කෘතිය Complete Works of Bernard Shaw නමින් හැඳින්විණ. මම ඒ වෙළුම මහත් ඇල්මෙන් යුතුව පෙරළා බැලූවෙමි. මගේ පරිවර්තන කාර්යය ගැන කතා සැකෙවින් කොළඹගේ මහතා සමඟ කතා කළෙමි.

මහාචාර්ය ඩග්ලස් අමරසේකර මහතා මුණගැසීමේ දැඩි ඇල්මක් ඇතිවූයේ “ඇත්ත කුමක්ද?” නාට්‍යයේ කොළඹගේ මහතාගේ භූමිකාව හේතුවෙන් බව මා කිව යුතුය. එහෙත් මහාචාර්ය අමරසේකර මහතා මට මුණගැසුණේ අහම්බෙනි. ඒ කෙසේදැයි මා සිහිපත් කරගත යුතුය. මවිසින් රංග පිටපතක් වශයෙන් සකස් කරන ලද ඉබ්සන්ගේ ‘හෙඩා ගාබ්ලර්’ නාට්‍ය මැනවින් ටයිප් කොට මා ගෙන ගියේ සුගතපාල ද සිල්වා හමුවීමටය. ඔහු එකල බෙහෙවින් ප්‍රකට රංගධරයෙක් ලෙස පෙනී සිටියේ ‘බෝඩිංකාරයෝ’ නාට්‍ය කතාබහට ලක්වීමෙනි. ඔහු නතර වී සිටියේ දෙහිවල ෆෙයාලයින් පාරට නුදුරු ගමගේ හෝටලයේ පසුපස කාමරයකය. කිසිදු කලින් දැන්වීමක් නොමැතිව මම ඔහු මුණගැසීමට ගියෙමි. මා ආ කාරණය ද ඔහුට දැන්වූයෙමි. සුගතපාල ද සිල්වා මුණගැසීමට ආගිය අය අතර මා ප්‍රිය කළ අය බොහෝ වූහ. සිරිල් බී.පෙරේරා ඉන් පළමු තැන ගනියි.

එක්වරම මෙන් සිරිල් බී.පෙ‍රේරා මා කලින් දැන සිටි කෙනකු මෙන් හඳුනාගත්තේය. ඒ සැබෑවකි. ඊට කලින් මට සිරිල් බී.පෙරේරා මුණගැසී ඇත්තේ පිටකොටුවේ ‘සිංහල ජාතිය’ කාර්යාලයේදීය. එම කාර්යාලය පිහිටි‍ෙය් මෙකල ගුණසිංහපුර නමින් හැඳින්වෙන ස්ථානයට නුදුරුවය. මා ‘සිංහල ජාතිය’ පුවත්පත් කාර්යාලයට ඊට අවුරුදු ගණනාවකට කලින් ගියේ කිසියම් ලිපියක් පළකරවා ගැනීමටය. මා මුණගැහුණේ එම පුවත්පතේ කතුවරයා වී සිටි සිරිල් බී.පෙරේරාය.

“මීට කලින් අපි මුණගැහිලා තියෙනවා නේද?Óයි ඔහු ඇසුවේය.

“ඔව්” මම කීමි.

“මට මතකයි”

“මම වතාවක් දෙකක් ඇවිල්ල තියෙනවා ‘සිංහල ජාතියට'.

“අන්න හරි”

එකල ‘සිංහල ජාතිය’ අතිශයින් ප්‍රසිද්ධියට පත්වූ පුවත්පතක් විය. කලක් ‘සිංහල ජාතිය’ ‍සතිපතා පළවූ අතර තවත් කලක් ‘ජාතිය’ නමින් දිනපතා පළවිය. මේ අතරවාරයේ ‘සියබස’ නමින් මාසික සඟරාවක් ද පළ විය. අපේ ආනන්දයේ ගුරුතුමා වූ එස්.පී‍.පෙරේරා මහතාගේ ‘පාඨකයා’ සඟරාව මෙන්ම ‘සියබස’ ද රීඩර්ස් ඩයිජස්ට් වර්ගයට අයත් වූ ‘සාරසංග්‍රහයක්’ විය. සිරිල් බී.පෙරේරා හා සුගතපාල ද සිල්වා අතර පැවතියේ බොහෝ කලක් මුළුල්ලේ පැවැති සන්නිවේදන සම්බන්ධතාවක් බව මම කෙමෙන් දැන සිටියෙමි. “සිංහල ජාතිය” පුවත්පතට “සයිබුනානා” කතා පෙළ මුලින්ම හඳුන්වාදී ඇත්තේ සුගතපාලයන්ය. ඔහු ඒ සඳහා භාවිතයට ගත්තේ “අගසු” යන්නය. එය ඔහුගේ දිගු නම වන “ඒ.ජී.සුගතපාල ද සිල්වා” යන්න කෙටි කිරීමක් විය. අගසු විසින් පටන්ගන්නා ලද ඒ කතා පෙළ පසුව වෙනත් අය විසින් ද ඉදිරියට ගෙන යනු ලැබීය. ‘සයිබුනානා’ කතන්දර මඟින් සමාජයේ පවතින ගුණදොස් ‍ෙකාතෙකුත් නිර්මාණශීලී ලෙස විවරණය වන්නට වීය.

සිරිල් බී, මා සමඟ බොහෝ වේලවක් තත්කාලීන එතෙර මෙතෙර සාහිත්‍ය කලා නිර්මාණ පිළිබඳව කතාබහ කරන්නට පටන් ගත්තේය. මා දැන සිටියේ සිරිල් බී, අපූරු කෙටිකතාකරුවකු වශයෙනි. මා හමුවන විටදී ඔහු විසින් ලියන ලද කෙටිකතා සංග්‍රහ දෙකක් මට කියවීමට ලැබිණ. එකක් ඔහුගේ මුල්ම කෙටිකතා සංග්‍රහය වන ‘නිඹුල්ලු’ ය. දෙවැන්න නම් කර තිබුණේ ‘මොහොතින් මොහොත’ යනුවෙනි.

“මම හුඟාක් කැමැති කෙටිකතා ඒ සංග්‍රහ දෙකේම තිබෙනවා යැයි මම කීමි. සිරිල් බී තුළ ඇතිවූයේ අපූරු උද්දාමයකි.

“මම අලුතින් කෙටි නවකතාවක් ලියල තියෙනවා යැයි ඔහු ඊළඟට කියමින් මගේ අතට ඉන් පිටපතක් බාර කළේය. එය ඔහුගේ ප්‍රථම නවකතාව වූ “ම‍රණ තුනක් ඇති මිනිහෙක්” කෘතියයි. එය මම පැයක පමණ කාලයක් ඇතුළත දී කියවා අහවර කළෙමි. මට සිහිපත් වූයේ මේ වන විට මවිසින් කියවා තිබූ ප්‍රංශ නවකතාකරණයේ ප්‍රවණතාවය. ඒ ප්‍රවණතාව ඉංග්‍රිසියෙන් හඳුන්වනු ලැබුවේ “existentialist trend” යනුවෙනි. ඊට ගැළපෙන යෙදුම වන්නේ “භවසත්තාවාදී ප්‍රවණතාව” යන්නය. මම, මේ සම්බන්ධයෙන් මගේ අදහස් සිරිල් බී ට දැක්වූයෙමි. ඔහු විස්මයෙන් ඇළලී ගියේය. ඔහු කී එක් දෙයක් මට දැනුදු සිහිපත් වේ.

“ඔබ ඇල්බෙයා කැමූ‍ගේ නවකතා කියවල තියෙන බව පේනවා.”

“ඔව් මම ‘අවුට්සයිඩර්’ කියෙව්වා. හරි අපූරු පොත. අනිත් ඒවාත් කියවගෙන යනවා.”

“කැමූගේ බලපෑම හුඟක් ලැබුණු කෙනෙක් තමයි නෝර්මන් මේලර්” සිරිල් කීය.

“මම නෝර්මන් මේලර් ගේ” ඩියරි පාක් විතරයි කියවල තියෙන්නේ.

“ඒක තමයි මේලර්ගේ හොඳම නවකතාව” සුගත් (සුගතපාල ද සිල්වා) අපේ කතාවට සවන් දෙමින් මගේ නාට්‍ය පිටපත කියවූ අයුරු මට මතකය. ඔහු මදෙසට හැරී ඇසූ ප්‍රශ්නය මට මතකය.

“මොකටද ලියනවත් වෙලා ස්වාධීන නාට්‍ය පිටපතක් නොලියන්නේ?”

“මගේ කල්පනාවක් තියෙනවා”

“ඉතින් මේක පැත්තක තියල එකක් පටන් ගන්න බැරියැ”

“ඇයි ඉබ්සන් අපේ රටට හඳුන්වා දෙන්න හොඳ නැද්ද?”

“හඳුන්වාදීමේ නම් වරදක් නෑ. ඒත් ඔරිජිනල් ප්ලේස් (ස්වීය නාටක) තමයි මේ ක‍ාලේ උවමනා කරන්නේ”

සුගත් මෙසේ පවසන්නේ මවිසින් අනුවර්තනය කරන ලද ඉබ්සන්ගේ හෙඩා ගාබ්ලර් නාටකය අවතක්සේරු කිරීමට නොවන බව මට හැඟිණි. ඒ වන විට සිංහල නාට්‍ය සම්ප්‍රදායට බොහෝ අනුවර්තන එක්වී තිබිණ. අනුවර්තනවලට බෙහෙවින් අනුබල ලැබුණේ විශ්වවිද්‍යාල නාට්‍ය සංගම් මඟිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇන්ටන් චෙකොව්, මොලියර්, ඔස්කාවයිල්ඩ්, පෙරිඩන්, ටෙනසි විලියම්ස්, රබින්ද්‍රනාත් ඨකූර්, සහ තවත් අයගේ නාට්‍යවල ඡායානුවාද බිහිවන්නට පටන්ගති.

කෙමෙන් හවස්වරුව වන විට සුගත් නවාතැන් ගෙන සිටි දෙහිවල ගමගේ හෝටලයේ පිටුපස කාමරය තවත් දෙතුන් දෙනෙකුගෙන් පිරී යන බව පෙනිණ. කොහේ හෝ සිට සුප්‍රකට ඡායාරූප ශිල්පියකු වූ රැලෙක්ස් රණසිංහ (ඔහු ටෝනි රණසිංහගේ වැඩිමහල් සොහොයුරාය) පැමිණේ. ඊළඟට ජී.ඩබ්ලිව්.සුරේන්ද්‍ර පැමිණේ. ඇතැම් දිනයක දෙහිවල සිට පයින්ම වැල්ලවත්තේ සැවෝයි ශාලාවේ උඩුමහලේ පිහිටි අවන්හල ද මුණගැසෙන ස්ථානය බවට පත්වේ. ඉන්පසුව සිදුවන්නේ දෙහිවල හෝටලයේ දී මෙන් තේ පැන් බීම වෙනුවට වෙනත් වර්ගයේ බීම වර්ග ඇනවුම් කරගැනීමයි. කොහි හෝ තැනක සිට මෙතැනට එන්නේ ධර්මසිරි වික්‍රමරත්නය. ඔහු සේවය කළේ ‘දැන්වීම්කරණ’ ඒජන්සියකය.

මට මෙසේ හමුවූ මගෙ සහෝදරවරු වූත්, මට වඩා තරමක් වයසින් මුහුකුරා ගියා වූත්, කලාකරුවන්ගේ අතේ පතේ මුදල් යහමින් ගැවසෙන බව හැඟිණි. සිරිල් බී පෙරේරා ‘ජාතිය’ හා ‘සිංහල ජාතිය’ පුවත්පත වසා දැමීමෙන් පසුව රාජකාරි කටයුතු කළේ ‍ෙකාල්ලුපිටියේ ඉන්දියානු තානාපති කාර්යාලයේ තොරතුරු සම්පාදන කාර්යාලයකය. ඔහු බොහෝවිට පරිවර්තන කාර්යයේ නියැළී සිටි කෙනෙකි. මේ අතර සුගතපාල ද සිල්වා, සුප්‍රකට පොත් සාප්පුවක් වූ කේ.ජී. ද සිල්වා පොත් සාප්පුවේ රැකියාව කරමින් හිඳ මහා බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ ප්‍රවෘත්ති අංශයක වැඩ ‍කළේය. ඔහු ‘බ්‍රිතාන්‍ය තොරතුරු’ නමැති පුවත්පතේ සංස්කාරක මණ්ඩලය ජනමාධ්‍ය කරුවකු වශයෙන් සේවය කළ බව දැනගැනීමට ලැබිණ. ඒ අතරවාරයේ බොහෝ පොත් කියවමින් නාට්‍ය කරුවකු බවට පත්විය.

රැලෙක්ස් රණසිංහ නිශ්චිත රැකියාවක් වශයෙන් කළේ කැමරා ශිල්පියකු ලෙස කාලය ගත කිරීමය. ඔහු බොහෝ දෙනෙකුට අවශ්‍ය විය. කලක් මුළුල්ලේ, බොරැල්ලේ ‘ඥානාර්ථ ප්‍රදීපය’ පුවත්පතේ සේවය කළේය. ඉන්පසුව ‘දවස’ කාර්යාලය ඇරඹෙත්ම එහි කැමරා ශිල්පියා ලෙස කටයුතු කළේය. ඔහු නව ප්‍රවණතා බිහි කළ කැමරා ශිල්පියකු ලෙස සුපතල වී සිටියේය. රැලෙක්ස් අතිරේක දක්ෂතාවක්ලෙස පෙන්නුම් කළේ ‘නාට්‍ය පෝස්ටර්’ නිර්මාණය ය. පරණ පන්නයේ නාට්‍ය ‍පෝස්ටර් හා බැනර් වෙනුවට ඔහු කිසියම් නව මාදිලියක පෝස්ටර් නිර්මාණය කිරීමට වෑයම් කළේය. ඇතැම්හු ඔහුගේ පෝස්ටර් දෙස බොහෝ වේලා බලා හිඳ “ඉතින් මේකෙන් මොකක්ද කියැවෙන්නේ?” යනුවෙන් අසන බවක් ද ප්‍රචලිත වී තිබිණ.

සුගතපාල ද සිල්වා ගේ “බෝඩිංකාරයෝ” නාටක‍යත් සමඟම නව නාට්‍ය කණ්ඩායමක් ද බිහිවිය. එය හඳුන්වනු ලැබුවේ “අපේ කට්ටිය” යනුවෙනි. මෙය ද සිරිල් බී විසින් යොදන ලද නමකි. “අපේ කට්ටිය” බොහෝ විට මුණගැසුණේ දෙහිවල ගමගේ හෝටලයේ සුගත්ගේ කාමරයේදී වුවද ඊට නිශ්චිත ස්ථානයක් හෝ නියමිත ලිපිනයක් තිබුණේ නැත. එපමණක් නොව කිසිදු අයුරක ලිඛිත හෝ වාචික ව්‍යවස්ථාවක් තිබුණේ ද නැත. සාමාජික පිරිසක් නම් වශයෙන් තිබුණේ ද නැත. මේ නිසා ‘අපේ කට්ටිය’ යනු විවාදයට ලක්වුණු විකල්ප කලා සන්ධානයක් බවට පත්විය. ‘ඒක අපේ කට්ටියගේ වැඩක්’ යනුවෙන් කීම ද සාමාන්‍ය සිරිතක් විය. ‘මිනිහා අපේ කට්ටියේ කෙනෙක්’ යි කියනු ද ඇසිණි. ‘අපේ කට්ටිය'ට ඇතුළු වීමට කිසිවකුගේ අවසරයක් අවශ්‍ය ‍ෙනාවීය. අවශ්‍ය වූයේ සුගත්ව හෝ සිරිල්ව හෝ රැලෙක්ස්ව මුණගැසීම පමණකි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]