කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
මහාචාර්ය සරච්චන්ද්‍ර ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් ජාත්‍යන්තර නාට්‍ය උළෙලක්

මහාචාර්ය සරච්චන්ද්‍ර ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් ජාත්‍යන්තර නාට්‍ය උළෙලක්

ඉන්ටර් ඇක්ට් ආර්ට් සංස්කෘතික සංවිධානය තුන්වන වරටත් සංවිධානය කරන “කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ” 2014 මාර්තු මස 28 දින සිට අප්‍රේල් මස 02 දින දක්වා කොළඹ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

මෙවර ශ්‍රී ලංකාව, ජර්මනිය, නේපාලය, ඉන්දියාව සහ මෙක්සිකෝව යන රටවල නාට්‍ය කණ්ඩායම් “කොළඹ ජාත්‍යන්තර ‍රංග කලා උලෙළේ දී” නාට්‍ය දර්ශන ඉදිරිපත් කිරීමට නියමිතය. එම උත්සවයේ සංවිධායක නාට්‍යවේදී එම්. සෆීර් සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සැකසුණි.

ඉන්ටර් ඇක්ට් ආර්ට් සංස්කෘතික සංවිධාන‍ය තෙවන වරටත් පවත්වනු ලබන ජාත්‍යන්තර නාට්‍ය උලෙළ මෙවර නම් කර ඇත්තේ “මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ” යනුවෙනි. ඒ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ඉල්ලීමක් නිසාය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ජන්ම ශත සංවත්සරය යෙදෙන්නේ මෙම වසරේදීය.

“නාට්‍ය කලාව දියුණුවීමට නම් අපි ලෝකයට විවෘත වෙන්න ඕනෙ. ඒ වගේම ලෝකය අපිට විවෘත වෙන්න ඕනෙ” ජාත්‍යන්තර රංග කලා උලෙළක් සංවිධානය කිරීම පිළිබඳව ඉන්ටර් ඇක්ට් ආර්ට් සංස්කෘතික සංවිධානය දක්වන්නේ එවැනි අදහසකි.

එසේම මෙවැනි ජාත්‍යන්තර නාට්‍ය උලෙ‍ළකදී අපේ සංස්කෘතික සබඳතාවය ලෝකයාට හොඳින් විවෘත කළ හැකිය. අපේ නාට්‍ය කරුවන්ට අලුත් ජාත්‍යන්තර රංග සබඳතාවන් ගොඩනංවා ගත හැක. වර්ධනය කරගත හැක. මෙම විදේශීය නාට්‍යවල රඟපාන බොහෝ නළුවන් වෙනත් ‍නාට්‍යවල අධ්‍යක්ෂවරුන් ද වන නිසා අපේ නාට්‍ය අධ්‍යක්ෂවරුන්ට බොහෝ දෙනෙකු සමඟ තම දැනුම හුවමාරු කරගැනීමේ මහඟු අවස්ථාව උදාවෙනු ඇත.

උළෙලේ සංවිධායක
එම්. සෆීර්

දෙදහස් දොළහ වසරේ කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළට සහභාගිවීම සඳහා විදේශීය ඉල්ලුම් පත්‍ර දොළහක් ලැබුණි. දෙදහස් දහතුන වසරේ දී විදේශීය ඉල්ලුම් පත්‍ර විසිඅටක් ලැබුණි. මෙවර විදේශීය ඉල්ලුම් පත්‍ර හතළිස් අටක් ලැබුණ අතර එයින් දොළහක්ම ඉන්දියාවෙන්ය.

මාර්තු මස විසිහත්වන දින සිට අප්‍රේල් දෙවන දින දක්වා කොළඹ දී පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර රංග කලා උත්සව‍ෙය්දී විදේශීය නාට්‍ය පහක් ද දේශීය නාට්‍ය තුනක් ද ප්‍රදර්ශනය වීමට නියමිතය.

මෙවර කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ජන්ම ශතසංවත්සර අනුස්මරණ උත්සවය ලෙස නම්කර ඇති නිසා උත්සවය ආරම්භ වන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍ය රංග ගත කිරීමෙනි. පරාක්‍රම නිරිඇල්ලගේ හුණුවටයේ කතාව, රවිබන්දු විද්‍යාපතිගේ ඔතෙලෝ නර්තන රංගය ද රංගගත වීමට නියමිතය.

විදේශීය නාට්‍ය අතරට ඉන්දියාවෙන් නාට්‍ය දෙකක්, නේපාලය, ජර්මනිය, මෙක්සිකෝව යන රටවලින් එක නාට්‍ය බැගින් විදේශීය නාට්‍ය පහක් නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට හිමිවෙයි. හෑන්ස් ක්‍රිස්ටියම් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතාවක් ඇසුරෙන් ජර්මනිය ඉදිරිපත් කරන “ලිට්ල් ක්ලවුස්, බිග් ක්ලවුස්” නාට්‍ය අධ්‍යක්ෂණය කළේ ටාකි පපා කොන්ටිනොව්ය. ඉතාමත් දුක්ඛිත අවස්ථාවන්හිදී පවා වඩාත් වාසි ලබාගන්නා අන්දම මෙම සුරංගනා කතාවෙන් කියැවේ.

මෙක්සිකෝවෙහි ගිල්බර්ටෝ ගුයෙරේරෝ අධ්‍යක්ෂණය කළ 72 මයිග්‍රන්ට්ස් / ඇල්ටර් නාට්‍ය ඉදිරිපත් කර ඇත. 2010 අගෝස්තු මාසයේ ටැමෝලිපැස් හි දී අමානුෂික ලෙස ඝාතනය කෙරුණු දකුණු සහ මධ්‍යම ඇමෙරිකානු සංක්‍රමිකයින් 72 සිහිපත් කිරීම සහ ඒ ඝාතනය සිදු කළ අයවලුන් පිළිකුල් කිරීම සඳහා, මාධ්‍යවේදීන් සහ ලේඛකයින් කණ්ඩායමක් 72 මයිග්‍රන්ට්ස් සී කොම් නැමැති වෙබ් පිටුවක් සාදන ආකාරය මෙම නාට්‍යයෙන් විදහා දක්වයි.

උළෙලට ඉදිරිපත් කර ඇති විදෙස් නාට්‍යයක්

ලෝකයේ දැනට පවත්නා නාට්‍ය සම්ප්‍රදායන්ට වෙනස්ම ආකරයකින් ඉදිරිපත් කරන නේපාලයේ “ද කත්මන්ඩු බ්ලූස්” අධ්‍යක්ෂණය කළේ ටන්කා චවුලන්ය. කථනයෙන් තොරව සන්දීප් නැමැති 5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙකු පිළිබඳ කථාව මෙම නාට්‍යයෙන් කියයි. ඔහුගේ මුරණ්ඩු චරිතය ඉදිරියේ දෙමාපියන්ට “බැහැයි” කීමට නොහැකිවීම නිසා ඔහු කලහකාරී සහ ඇබ්බැහි වූවෙකු බවට පත්වන ආකාරයත්, අවසානයේ තම වැරදි අවබෝධ කරගන්නා සන්දීප් දෙමාපියන් සමඟ එක්වන ආකාරයත් “ද කත්මන්ඩු බ්ලූස්” නාට්‍යයෙන් විදහා දක්වෙයි.

ඉන්දියාව ඉදිරිපත් කළ නාට්‍ය අතරින් “බැලැන්සින් ඇක්ට්” නාට්‍ය අධ්‍යක්ෂණය කළේ විද්‍යානිධි ප්‍රසාද් වනරාසිය. න්‍යෂ්ටික පවුලකට කොටුවන යෞවනයන් හැම පැත්තකින්ම දකින්නේ ප්‍රචණ්ඩත්වයය. රූපවාහිනියේ ප්‍රදර්ශනය වන කාටුන්වලින් පවා ඔහු දකින්නේ ප්‍රචණ්ඩත්වයය. එවැනි පරිසරයක වෙසෙන යෞවනයන්ගේ ජීවිතය කිනම් ස්වරූපයක් ගනු ඇත්ද යන්න පිළිබඳව මෙම නාට්‍ය පිළිසඳරක නිරත වෙයි.

නිර්මාණය කළ දා සිට ආහාරයට හැර අනික් සෑම දෙයකටම මිනිසා භාවිත කරන, නිශ්චිත අවසානයක් නැති උපද්‍රවශීලී ලෙස ලොව පුරා පැතිර යන ප්ලාස්ටික්වලින් සිදුවන විපත ඉන්දියාවේ ශ්‍රීකන්ත් බයිඩ් අධ්‍යක්ෂණය කළ “ට්‍රාන්ස්පේරන්ට් ට්‍රැප්” නාට්‍ය මඟින් පුළුල් කථාබහකට යොමු කරයි.



ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]