කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
කවි

කවි

සොරා ගත් සිත...
පාළු වූ මගේ සිත
නුවන් දුටු ඔබේ වත
සොරා ගෙන ගොසින්
ඇත...

හොරණ තිළිණි විජේමාන්න

***********************************

සසරක පෙම

නෙතු හිනැහෙන
තොල් මතුරන
හද හඬනා
හඬ නෑසෙන
අතැඟිලි බැඳ
සසර සරන

පෙමක් පතා
සිත් වෙහෙසෙන
 

නිට්ටඹුව,

චමෝදි සත්සරා තිලකරත්න

***********************************

මාවතේ

මහා මාවතේ සුවිසල් බිතු කොනක
අසරණියක විලස නුඹ සිටියා වැතිර
කැට කැබලිති ගසා එළවූවත් නිතර
උඹනම් ගියේ නැහැ මේ බිම් පෙත අතැර

කරදර කම්කටොලු නෙක බාධා මැද්දේ
ඇසුණා ගුටි කමින් මග තොට යන සද්දේ
ඉඳුලක් සොයන් කා සැඟවී සිට බැද්දේ
ආයෙත් මහ මඟයි නුඹ ඇරඹුවේ යුද්දේ

නිතර මග තොටේ යන එන බලු රෑනේ
කරදරයෙන් මිදෙන්නට නුඹ හට බැහැනේ
පැටවුන් ලැබී මිය යන මොහොතක් ගානේ
වැලහින්නක් විලස නුඹ වැලපෙනවානේ

මග තොට යනෙන බලු පැටවුන් සනසන්නේ
කිනිතුල්ලන් කඩා ලෙවකා නාවන්නේ
කිරි දී නොනිමි සෙනෙහෙන් උන් රැකගන්නේ
උන් නුඹ අතැර ගිය විට කඳුළැලි බොන්නේ

නපුරු, අධම මිනිසුන් මග තොට යනෙන
‍නොසිතු ලෙසට උන් නුඹ හට කළා වින
නතුකර පාළුවට නුඹ සිටි මාවතම
අනේ ගිලිහුණා නුඹගේ දිවි සුසුම

තිඹිරිගස්කටුවේ

ස්වර්ණා ද සිල්වා

***********************************

සිතිජ ඉම

කවදාවත් ළං වෙන්න බැරි වුණත් ඒ දෙන්නා තරහා වුණේ නෑ. හැබැහින් ළං නොවුණත් ලෝකෙට පේන්න එයාලා ළං වුණා. කවුරුත් දැන ගෙන හිටියා එයාලට කවමදාවත් එකතු වෙන්න බෑ කියලා. ඒ වුණත් හැමදාම ඒ දෙන්නා ආදරය කළා. දුක බෙදා ගත්තා. අවරට යන හිරු දිහා බලා ගෙන අපි සතුටු වුණත්, එයාලා ලෝකෙට පේන්න හැමදාටම මායාවක් වුණා. අවරට යන හිරුත් එක්ක රණ්ඩු කරමින් ඒ දෙන්නා ඒ දෙන්නව ඉල්ලලා කෑගැහුවා, වැලපුණා. ඒත් ඒ හඬ කිසි කෙනෙකුට ඇහුණෙ නෑ. කවදාවත්, කාටවත් ළං කරන්න බැරි ළං වෙන්න බැරි බොහෝ දේ අතරේ අහසයි මුහුදයි... හැමදාම ලෝකෙට පේන්න සිතිජයක් වුණා.

හිඳම

ඒ. පී. සචිනි රසාංගනී සිසිර කුමාර

***********************************

නික්ම යෑම

මහා වීදියක
එක් අයිනක
නැඟී සිටින
අකලට වැඩුණු
බෝ රුකක
සිලි සිලිය යට
බලා සිටින
ඈ යසෝදරා දෝ
සිදුහත් දෝ ඔහු
සැරසී අභිනිෂ්ක්‍රමණයකට
නෙතු වෙහෙසවයි,
බසය එනතුරු
නොදත්
ගම් පියසකට යන
 

කොළඹ විශ්වවිද්‍යාලයේ

එල්. නිමාෂා සඳරුවනි

***********************************

ගමන

දිගු ගමනක අවසානය
දකින විට දි සතුට නැ‍ඟේ
තවත් එවැනි වූ ගමනක්
ඉදිරියටම යන්නට තිබේ
ඒ ගමනේ ජය කඩඉම
අතට අරන් හිනැහෙන විට
නුඹෙ දෑසට කඳුළු නැගේ
පියාණනේ ඒ කඳුළින්
නුඹේ සිහින ඉටුවන විට
ආඩම්බරක් නැගේවී
දුරු කතරක තනි වීලා
නුඹ ගොඩනැඟු මගේ දිවිය
නුඹේ සිහින පොදිය සමඟ
පෙරටම යම් හැමදාකම
ළාහිරු රැස් පායාලා
නුඹේ හිතේ හැඩ බලන්න
මම ආසයි හැමදාකම
නුඹේ තුරුලේ හිනැහෙන්නට

ගන්දර

කශ්මිරා නිකේෂිනී

***********************************

මතක

ඔබ මා හමුවූ රඟ ශාලාවේ
මතක ද පෙරදින ගැයූ ගී රාවේ
එක මොහොතකි දෙදෙනා තනි වූවේ
සිතුවිලි හද කැලඹුණ වේලාවේ

හිරු සේ සඳු සේ ඔබ මට පෙනුණා
අඳුරුයි රඟහල සොඳුරුයි දැනුණා
ළං වී ඉන්නට බැරි බව සිතුණා
ඔබ මා සමුගත යුතු බව හැඟුණා

රෑ සිහිනෙන් ඔබ මුමුනනු ඇසුණා
සිරකර ගන්නට ඔබ රුව සිතුණා
එනමුදු එය සිහිනෙකි බව හඳුනා
මා නිහඬව මගෙ ලොව තුළ රැඳුණා

ගල්කිස්ස

මාලිකා රයිගම


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]