![]() ![]() |
||
සිනමාව වෙනුවෙන් බැදුණු සෙනෙහස කිසිදාක වෙනස් වන්නේ නෑමාලිනි ෆොන්සේකා
සිනමාව නිසා පුරා පනස් වසරක් මුළුල්ලේ මා ලද ජයග්‍රහණ අනන්තය අප්‍රමාණය. දේශීය වශයෙන් සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවගේ සිත් සතන් තුළ නිදන්ගත වන්නට මා හට හැකිවූවා සේ ම ජාත්‍යන්තර වශයෙන් මගේ රටේ සිනමාවට කීර්තියක් අත්පත්කර දෙන්නට හැකි වීම මා ලද තවත් සුවිශේෂ භාග්‍යයකි. තවත් එවැනි ම වූ කීර්ති ප්‍රශංසා හා සම්මාන ද හිමිවූ සුන්දර හෝරා කීපයක අමරණීය සිහිවටන ද සමඟ පසුගිය දිනෙක මම ප්‍රංශයේ සිට මෙරටට පැමිණියෙමි. ප්‍රංශයේ පැවැති දෝවිල් සිනමා උලෙළේ මා රඟපෑ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘නිධානය’, ධර්මසේන පතිරාජගේ ‘බඹරු ඇවිත්’ සහ ප්‍රසන්න විතානගේ ගේ ‘ආකාස කුසුම්’ චිත්‍රපටි ත්‍රිත්වය ප්‍රදර්ශනය කිරීමත්, මාගේ රංගන ජීවිතයේ අඩසිය වස සමරමින් හා සමස්ත සිනමා ක්ෂේත්රය වෙනුවෙන් මගෙන් ලද දායකත්වය අගයමින් මා වෙත පිරිනැමුණු සම්මානයත් මේ අමරණීය සිහිවටන අතර විය. මගේ ජීවිතයේ කිසිදාක අමතක නොවන මේ මොහොත උදාකරදීම වෙනුවෙන් මැදිහත් වූ සුවිශේෂී පුද්ගලයකු පිළිබඳ මා මේ මොහොතේ සඳහන් කළ යුතුම ය. අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළ පිළිබඳ මැනවින් දත්, පුරා වසර ගණනාවක් තිස්සේ මෙරට සිනමා නිර්මාණ එවැනි ජාත්‍යන්තර උලෙළ වෙනුවෙන් සම්බන්ධීකරණය කිරීමේ නියමුවකු වශයෙන් අප කාගේත් ගෞරවාදරයට පාත්‍ර වන ආසියානු සිනමා කේන්ද්‍රයේ අධ්යක්ෂ ඈෂ්ලි රත්නවිභූෂණ මහතාගේ මැදිහත්වීම ගෞරවයෙන් සිහිපත් කළ යුතු ය. එසේ ම සිනමාව පිළිබඳ විශේෂ ළැදියාවක් ඇති, කලක් මෙරට සිනමාව තුළ රැඳී සිටි ශ්‍රී ලාංකික තානාපතිවරෙයක් ප්‍රංශයේ සිටීම ද වාසනාවකි. කරුණාරත්න හඟවත්ත ප්‍රංශයේ ශ්‍රී ලංක තානාපතිතුමන් මේ සුවිශේෂ කාර්යය වෙනුවෙන් කැපවීමකින් කටයුතු කිරීම විශේෂයෙන් මා හට කළ ගෞරවයක් පමණක් නොව එය සමස්ත ශ්‍රී ලංකාවාසීන්ටම කළ ගෞරවයක් ලෙස මා දකිමි. මේ අවස්ථාවේ ජනමාධ්‍ය ඇමැතිතුමන්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තුමන්, ජාතික රූපවාහිනී සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා සහ ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර මහතා ඇතුළු මාගේ මාධ්‍ය හිතමිතුරන් සියලු දෙනාටමත් මාගේ බැතිබර ස්තුතිය පිරිනැමීම සිදුවිය යුතුම ය. දැන් මට මගේ ජීවිතය දෙස හැරෙන්නට අවසරය. ගතවූ පනස් වසර මට ආනන්දනීය සිනමා පටයකි. මගේ පාසලේ නාට්‍ය ගුරුවරයාගේ පටන්, කලාවට නිරන්තර මගේ සිත යොමු කළ මගේ සීයාගේ පටන්, දුක් කඳුළු වළදමින් මගේ සිනමා දිවි ගමනේ පමණක් නොව පෞද්ගලික ජීවිතේ පුරා ද සෙවණැල්ල වූ මගේ මවගේ සිට මගේ පියා ගේ සිට බොහෝ චරිත මේ චිත්‍රපටය තුළ මට මෙනෙහි වෙයි. ඒ අතරතුර එදා මෙදා තුර ජනප්‍රිය සිනමාව තුළත්, සම්භාව්‍ය සිනමාව තුළත්, මැද මාවතේ සිනමාව තුළත් මා අධ්‍යක්ෂණය කළ අධ්යක්ෂවරුන් බොහෝ ය. ඔවුහු සියලු දෙනා ම මා සිනමාව තුළ ඔප මට්ටම් කරන්නට දිරි දුන්නෝ ය. මා සමඟ එකට රඟපෑ නළු නිළියන් සේ ම තිරය පිටුපසින් සිට දිරිදුන් කාර්මික ශිල්පීන් ද මගේ ගමන් මඟ නම් වූ මුතු මාලයට මුතු කැට ඇමිණුවෝ වෙති. ගතවුණු අඩසිය වසක කාල පරිච්ඡේදය පුරා මට මා අහිමි වූ වාර එකසිය පනස් දෙකකි. ඒ චරිත 152 ක් සඳහා මාලිනී ෆොන්සේකාවූ මා අත්හැරිය නිසා ය. මා මාලනී අත්හැරිය ද මේ චරිත 152 පුරාම මාලිනී ෙෆාන්සේකා ජීවත්වූ බවත්, අදද ජීවත්වන බවත් දැන් මා දනිමි. ඒ ප්‍රේක්ෂක මනස තුළ අදටත් මා මැවූ චරිත ජීවමාන වන හෙයිනි. සිනමා ගමන් මඟ මල් අතුළ මාවතක් නොවන බව බොහෝ දෙනෙක් පැවසුව ද කටු කොහොළින් වැසුණු බිම මල් අතුරාගෙන, වැළඳූ දුෂ්කරතා සදා සතුටක් කොට ගෙන සිනමාවට ආදරයෙන් පැමිණි මේ ගමන තුළ අද මා රැජනක වී සිටින්නීය. සිනමාවේ මට තෝරා බේරා ගැනීම් නොවීය. නිළියක වශයෙන් මා මල් ගස් වටේ දුවමින්, නටමින් ජනප්‍රිය සිනමාවේ රැඳී සිටියාසේම, මැද මාවතේ යන සම්භාව්‍ය සිනමාවේ රැඳී සිටිමින් සම්මානයට ද පාත්‍ර වූවා ය. සිනමාවේ මට වර්ග කිරීම් නොමැත. මේ සියල්ල මා බෙහෙවින් ආදරය කරන සිනමාව නැමැති එක අම්මාගේ දරුවන් ය.
මගේ රංගනයෙන් සිනමාව සැරසුවා සේම පසු කලෙක කාලයක් පුරා මම සිනමාවෙන් ලබාගත් දේ, උගත් දේ ඇසුරින් යළි පෙරලා සිනමාවට උත්තමාචාර දක්වනු වස් චිත්‍රපට අධ්‍යක්ෂණයටත්, නිෂ්පාදනයටත් එක් විය. දශක පහක සිනමා ජීවිතයේ අත්දැකීම් සමඟ යළි යළිත් සිතා බලද්දී මා පසු පසින් මා දෙස බලාගෙන මේ ක්ෂේත්රයට පැමිණි නිළියන් බොහොමයක් දෙනා වන බව හොඳින් දන්නා කරුණකි. එසේ ම අදත් හෙටත් සිනමාවට ප්‍රවිෂ්ට වන්නට බොහෝ දෙනෙක් බලා සිටින බව ද මම දනිමි. මගේ අත්දැකීම් ඇසුරින් මේ මොහොතේ විශේෂයෙන් සඳහන් කළ යුත්තේ තමන් කරන්නේ කුමක්ද? එය හරියාකාරව, කැපවීමකින් යුතුව ඉෂ්ට කළහොත් තමන්ට කිසිදා නොවරදින බවයි. මම සිනමාවට සේවය කළෙමි. සිනමාවට ආදරය කළෙමි. ගෞරව කළෙමි. එසේ ම පෙරළා ඒ ආදරය ගෞරවය සිනමාව විසින් මා හට ලබාදී තිබේ. වර්තමානය වන විට සිනමාව වෙනුවෙන් තවදුරටත් මගෙන් ඉටු විය යුතු යුතුකම් ඉටුකිරීමට සුදුසු අන්දමේ අනඟි අවස්ථාවක් අතිගරු ජනාධිපතිතුමන් විසින් මා හට බාරදී තිබීම ද මගේ සතුටට කාරණයකි. අධීක්ෂණ මන්ත්‍රීවරියක වශයෙන් පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් මා වැන්නියක පත්කර ගැනීම සිනමා කර්මාන්තය වෙනුවෙන් එතුමා දැක්වූ ගෞරවයක් ලෙසට මම විශ්වාස කරමි. මගෙන් සිනමාවට තවදුරටත් විය යුතු යුතුකම් ඉෂ්ට කරන්නට ලැබුණු වරමක් ලෙසින් සිතමි. ඒ අතරම මට හැකි අයුරින් නිහඬව ජනතා සේවයක් කිරීම ද මගේ අභිප්‍රායයි. ජීවිතය කවදා කොයි මොහොතකදී කොතැනදී අවසන් වේ දැයි මම නොදනිමි. එහෙත් හදවතේ පන නල තිබෙන තුරා සිනමාව වෙනුවෙන් බැඳුණු සෙනෙහස කිසිදාක වෙනස් නොවනු ඇත. ඒ වෙනුවෙන් සේවය කිරීම ද කෙදිනකවත් මට වෙහෙසක් නොවනු ඇත. මේ යුතුකම් වගකීම් සමඟ සිනහවකින් කෙළවර වන ජීවිතයක් මා බලාපොරොත්තු වෙමි. මම ඔබේ ආදරණීය, මාලිනී ෆොන්සේකා |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |