කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
මා කැමැතිම පිරිමි දහ දෙනා

මා කැමැතිම පිරිමි දහ දෙනා

ජීවිතයේ අනේකවිධ කැමැති අතර අමතකම නොවන කැමැති එක් තැන් කරන ‘මා කැමැතිම පිරිමි දහදෙනා’ විශේෂාංගයට මෙවර එක්වන්නී, මෙරට ක්‍රීඩා

ඉතිහාසයේ පළමුවතාවට ලංකාව වෙනුවෙන් වැඩිම වාර සංඛ්‍යාවක් බැඩ්මින්ටන් ක්‍රීඩාව සඳහා ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කළ ක්‍රීඩිකා තිළිණි ජයසිංහයි. තිළිණි වෘත්තියෙන් බැංකු විධායක නිලධාරිනියක ලෙස කටයුතු කරයි.

මේ ඇගේ කැමැතිම මතක පෙළ ගැස්වූ මොහොතයි.

1. ජීවිතයේ කැමැතිම උපදේශකවරයා - මගේ පියා අජන්ත ජයසිංහ.

මගේ පියා මගේ ජීවිතයට දෙන්නේ හරියටම හරි උපදේශ. මොකද ඔහු හැමවේලේ ම උපදෙස් දෙමින් කියන්නේ නැහැ. නමුත් මොනවා හෝ දෙයක් කියන්නේ එක්වරයි. ඒ කියන දේ හරියටම හරි. මම වැඩිපුරම ආදරේ මගේ තාත්තටයි.

2. කැමැතිම ක්‍රීඩකයා - රෆායල් නඩාල්

ඔහු ලොව කීර්තිමත්ම ටෙනිස් ක්‍රීඩකයායි. ඔහුගේ ඇති ක්‍රියාශීලි බවටත් ක්‍රීඩකයෙක් ලෙස අභියෝග හමුවේ නොසැලී ක්‍රීඩා කරන ආකාරයටත් මම කැමැතියි.

3. ජීවිතයට සමීපතම පුද්ගලයා - මගේ සොයුරා සිසිත ජයසිංහ.

මගේ මල්ලී තමයි මගේ ජීවිතයට සමීපතම පුද්ගලයා. මට ගැටලුවක් වේවා ඕනෑම දෙයකදී ඔහු මා ළඟින් ම ඉන්නවා. ඔහු වෛද්‍යවරයෙක්. ලංකාවේ නොහිටියත් ඔහු හැම මොහොතකම මා ළඟින් ම ඉදිමින් මට උදව් කරනවා. හැම මොහොතකම මා ගැන හිතනවා.

4. කැමැතිම, විදේශීය රාජ්‍ය නායකයා - නෙල්සන් මැන්ඩෙලා.

ඔහු පහළ තැනක ඉඳලා ඉහළම තැනකට ආ සාමාන්‍ය මනුෂ්‍යයෙක්. ඔහු තම ජාතිය ගැන හුඟක් හිතපු ඔවුන් වෙනුවෙන් බොහෝ දේ කළ ජාතියට ආදරේ කරපු නායකයෙක්.

5. කැමැතිම ගායකයා - ක්ලැරන්ස් විජේවර්ධන.

ඔහුගේ හැම ගීතයකටම වගේ මම කැමැතියි. ඔහු ගයන ගීතවල විශාල අර්ථයක් තිබෙනවා. ඒ වගේම ඒ ගීත කවද ඇහුවත් එපා වෙන ගීත නෙමෙයි. අහන්න අහන්න ආස හිතෙන ගීත.

6. කැමැතිම ජාතික වීරවරයා - මහත්මා ගාන්ධි

මහත්මා ගාන්ධිතුමා කියලා තිබෙන හැම දේකම මොනවා හෝ තේරුමක් තිබෙනවා. ඒවා අපේ ජීවිතේ හැම අවස්ථාවකටම සම්බන්ධ කරගන්න පුළුවන් වෙන ආකාරයට වැදගත් අර්ථවත් දේවල් කියා තිබෙනවා. ඒ වගේ ම ඒ දේවල් එතුමා ක්‍රියාවෙනුත් ඔප්පු කර තිබෙනවා.

7. කැමැතිම දේශීය රාජ්‍ය නායකයා - මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා

ලංකාවේ බිහිවූ රාජ්‍ය නායකයකු ලෙස එතුමාගේ ගතිගුණවලට මම මූලික වශයෙන් ම කැමැතියි. අවංකත්වය , එඩිතර බව, කැපවීම වගේ සංවේදීත්වය එතුමා සතුව පවතිනවා. ඒ වගේ ම එතුමා රටට කළ කාර්යය භාරය තවත් වසර සිය ගණනක් යනතුරු ම අපිට කතාබහ කරන්න පුළුවන්. එතුමා ඉතිහාසයෙන් මකා දමන්න බැරි ජාතික වීරවරයෙක් වගේ ම නායකයෙක් විදිහටයි මම දකින්නේ.

8. කැමැතිම නළුවා - ලියනාඩෝ කැප්රියෝ

ලියනාඩෝ ගේ රංගනයට ඔහුගේ ඉරියවුවලට මම හුඟාක් කැමැතියි. දක්ෂ රංගන ශිල්පියෙක් වගේ ම යෞවන යෞවනියන්ගේ සිත් වසඟයට ගන්න කඩවසම් බවක් ඔහු සතුයි. එනිසා මම ඔහුගේ රංගනයන් බලන්න හරිම කැමැතියි.

9. කැමැතිම පොත් රචකයා - මාර්ටින් වික්‍රමසිංහ

මාර්ටින් වික්‍රමසිංහයන් ගේ නවකතා කියවන්න පාසල් කාලයේ සිට ම මම කැමැතියි. ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය කියන නවකතා ඔස්සේ යථාර්ථය ලොවට ඔහු ප්‍රකට කර සිටියා. එවන් කතුවරුන් විරලයි. ඔහුගේ නවකතා අදටත් ගැළපෙනවා.

10. කැමැතිම චිත්‍ර ශිල්පියා - පිකාසෝ

පිකාසෝගේ තිබෙන්නේ අමුතුම ආකාරයේ ශෛලියක්. ඔහු තුළ ඇති ඒ ගුණාංගයට මම කැමැතියි. පිකාසෝ ඔහුගේ චිත්‍ර කලාව කෙරෙහි අනන්‍යතාවයක් ගොඩනඟා ගත් ප්‍රවීණයෙක්. පිකාසෝ ගේ චිත්‍ර රසවිදින්න මම කැමැතියි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]