![]() ![]() |
||
බොලිවුඩ් පෙම් හබ
දිලිප්-සයිරා අතරට ආස්මා පැමිණෙයි
එහෙයින් එසේ ලැබුණු ඇරැයුම් බොහොමයක් ප්‍රතික්ෂේප කළ ඔහු තම බිරිය සමඟ රඟපාන්නට චිත්‍රපට දෙකක් පමණක් තෝරා ගත්තේය. ඒ තපාන්සිංහ ගේ ‘සගීනා’ (1970) සහ ඒ.භීම් සිං ගේ ‘ගෝපි’ (1970) යන චිත්‍රපටවලටය. විවාහ වූවත් දිලිප් තම බිරිය සයිරාට රඟපෑමෙන් ඉවත්වන්නැයි පැවසුවේ නැත. එමෙන්ම ඇය රඟපාන චිත්‍රපට ගැන හෝ ඇය රඟපෑමට තෝරාගන්නා චිත්‍රපට ගැන හෝ ඔහු කිසිම බලපෑමක් කළේ නැත. දිලිප් - සයිරා විවාහය සාමාන්‍ය ආකාරයට ගෙවී ගියේය. ඒ පිළිබඳ කටකතා හා ඕපාදූප ඇති වූයේ ද නැත. එහෙත් දිලිප් ගේ හැසිරීම් රටාවල යම් වෙනසක් සිදුවී ඇති බව සයිරා බානුට නොදැනිනිද? දශකයකටත් වැඩි කාලයක් ඉතාමත් සාමකාමීව ගෙවී ගිය ඔවුන්ගේ යුග දිවිය මැදට හදිසියේ තවත් කාන්තාවක, ඉන්දීය නොව පාකිස්තානු කාන්තාවක කඩාවැදුණේ ෙකසේද? ඇගේ නම ආස්මාය. පසුව හෙළිදරව් වූ කරුණු අනුව දිලිප්ට මුලින්ම ආස්මා මුණගැසී ඇත්තේ හයිද්‍රාබාද්හි බී.ආර්.චොප් රා ගේ ‘නිකා’ (1984) චිත්‍රපටය රූගත කරද්දීය. ‘වයාදෝර්’ චිත්‍රපටය නිමවන දිනවල පටන් දිලිප්, බී.ආර්. චොප්රා ගේ කුලුපග මිත්‍රයෙක් වූයේය. ‘නිකා’ චිත්‍රපටයේ රඟපෑවේ නැතත් චොප්රා සමඟ වූ මිත්‍රත්වය මත ඔහු එම චිත්‍රපටයේ රූගත කිරීම් නරඹන්නට හයිද්‍රාබාද් වෙත ගිය අවස්ථාවක ඔහුට ආස්මා මුණගැසී තිබිණි. ආස්මා සතුවූයේ අසාමාන්‍ය පෙනුමකි. ඇය බුද්ධිමත් කතක වූ අතර උර්දු කවියට සහ සාහිත්‍යයට මහා ඇල්මක් දැක්වූවාය. දිලිප් කුමාර් ඇත්තෙන්ම වශී වූයේ ඇගේ බුද්ධිමත් භාවයට හා සාහිත්‍යය පිළිබඳ ඇල්මටද? කෙසේ වෙතත් ආස්මා විවාහක කාන්තාවක හා දරු තිදෙනකුගේ මවක ද වූවාය.
කෙසේ වෙතත් දිලිප් හින්දි සිනමා ක්ෂේත්රය පුරා තමන් නිසා ඇතිවූ ගින්නක් වේගයෙන් පැතිර යද්දී මුනිවත රැකගෙන සිටියේය. නිවෙසින් පිටතට බැසීම පවා ප්‍රතික්ෂේප කළ ඔහු තම සිනමා රසිකයන්ගෙන් වසංව කාලය ගත කළේය. ඒ අතරතුර ශුද්ධ වූ කුරානය හිස මත තබා දිවුරා කීවේ තමා හා ආස්මා නමැති කාන්තාවක අතර කිසිම ගනුදෙනුවක් නැත කියාය. ඒ අතරතුර සයිරා මාධ්‍ය වෙත දොස් පැවරුවාය. තම යුග දිවියේ සාමකාමී භාවයට අකුල් හෙළන්නේ මාධ්‍ය යැයි ඇය ප්‍රසිද්ධියේ චෝදනා නැඟුවාය. එම චෝදනා සැහැල්ලුවෙන් ගන්නට, විගස අමතක කරන්නට මාධ්‍ය කරුවන් සූදානම් වූයේ නැත. ඔවුන් ඉදිරියේ වූ ගැටලුව වූයේ ‘දිලිප් ගේ නම පිරිසුදු කර තමන් මත මඩ තවරා ගන්නවාද?” යන්නයි. ඔවුහු දිලිප් - ආස්මා සිද්ධියේ සුලමුල සොයමින් තවත් ගැඹුරට ගියහ. දිලිප් කුරානය හිස මත තබා දිවුරීමෙන් හරියටම මසකට පසු මාධ්‍ය දිලිප් - ආස්මා විවාහ සහතිකය පුවත්පත්වල පළ කළේය. එය මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුණේ ආස්මා ගේ පළමු සැමියාගේ බලකිරීම් මත ආස්මා විසින්ම බව පසුව හෙළිදරව් විය. දිලිප් භාරතීය රසිකයන් හා සිනමා ක්ෂේත්රයේ අය අතර පමණක් නොව සිය බිරිය ඉදිරියේ ද බොරුකාරයකු වංචාකාරයකු බවට පත්වූයේය. සයිරා දිගින් දිගටම දිලිප්ට බැණ වැදුණාය. තමා සහ ආස්මා යන දෙදෙනාගෙන් එක් අයකු පමණක් තෝරාගන්නැයි බල කළාය. පසුකලෙක සයිරා මේ සිද්ධිය සම්බන්ධයෙන් ‘සිනෙ බ්ලිට්ස්’ සඟරාවට කර තිබුණේ මෙවැනි ප්‍රකාශයකි.
“මගේසැමියා දෙවන විවාහයක් කරගත්තාය යන්න සනාථ වූ කාලය මට හරිම දරුණු කාලයක්
වූවා. ආත්මගරුත්වය ඇති කිසිම ගැහැනියක් තම සැමියාගේ දෙවන විවාහය ගැන
කරබාගෙන නොසිටිය යුතුයි. මුස්ලිම් පිරිමියකුට හතර වතාවක් විවාහ වෙන්න
පුළුවනි යන තත්ත්වය ඇතිවූයේ ශුද්ධ යුද්ධය ඇතිවූ කාලයේ. යුද්ධෙට නොගිහිං හිටියේ
පිරිමින් ටික දෙනායි. සංඛ්‍යාත්මකව ගැහැනුන් පිරිමින්ට වඩා වැඩි වුණා.
ගැහැනුන් ගේ ගෞරවය රැකගන්නටත් ඔවුන් ගණිකාවන් බවට පත්වීම වළකන්නටත් එදා පිරිමියකුට ගැහැනුන් සිවු දෙනකු විවාහ කරගන්නට අවසර ලැබුණා. අද එහෙම තත්ත්වයක් නැහැ. දිලිප් කුමාර් සමඟ විවාහ වීමට සයිරා බානු වාසනාවන්ත නම් ඔහුගේ පැත්තෙනුත් එය එසේම විය යුතුයි.” සයිරා නොකියා කීවේ තමා හා විවාහ වීමට ලැබීම දිලිප් ගේ වාසනාවක් බව නොවේද? සයිරා තම යුග දිවිය අවුල් කර නොගෙන දිලිප්ට බල කළේ ආස්මාගෙන් වෙන් වන්නට කියාය. 1983 ජූලි 22 දා දිලිප් ආස්මාගෙන් දික්කසාද වූයේය. කැනඩාව බලා ගිය ආස්මා තම දරු තිදෙනා සමඟ එහි විසූයේ තම සොහොයුරා සමඟිනි. පසුව ඇය තම පළමු සැමියා හා දරු තිදෙනාගේ පියා වූ සදීක් මොහියුද්දීන් සමඟ යළි විවාහ වූවාය. පසුව යළි පාකිස්තානයට පැමිණි ඔවුහු හයිද්‍රාබාදය අතැර බැංගලෝරයට පදිංචියට ගියහ. එම සිද්ධියෙන් අනතුරුව නම් දිලිප් කුමාර් නමැති අග්‍රගණ්‍ය නළුවා යළි පෙම් හබයක පැටළුණු බවක් වාර්තා වූයේ නැත. අද බෙහෙවින් රෝගාතුරව දුර්වලව සිටින දිලිප් කුමාර් ගේ වයස අවුරුදු 92කි. අදටත් ඔහුගේ දුක සැප බෙදා හදාගෙන ඔහු අසලින්ම සිටින්නී සයිරා බානුය.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |