කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
නේපාල අහස් ගව්වේ අබිරහස් ගුහා 10,000ක්
බෞද්ධ ජන සමූහයක් විසූ බවට සාධක

නේපාල අහස් ගව්වේ අබිරහස් ගුහා 10,000ක්

උතුරු මැද නේපාලයේ පිහිටි උසින් අඩි 155ක් සහිත එක්තරා කඳු මුදුනක පිහිටි ගුහා 10,000ක් පමණ පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. ඈත අතීතයේ පිහිටියේ යැයි කියනු ලබන මස්ටාං නම් වූ රාජධානියට අයත් වූ මේ ප්‍රදේශයේ තිබී හමු වූ මේ ගුහා තවමත් පුරාවිද්‍යා අබිරහසක් ලෙස සලකනු ලැබේ.

වැලි ගුහා

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් යැයි සැලකෙන මේ අබිරහස් ගුහා තනනු ලැබුවේ කවුරුන් විසින් ද? යෝධ වැලි මාලිගාවක් හා සමාන මෙම ගිරි ශිඛරයේ තනා ඇති මෙම ගුහාවල ජීවත්වූවෝ කවරහුද? ඒ හැමටම වඩා මේවාට ඔවුන් යෑම් ඊම් කළේ කෙසේද? මේ ප්‍රශ්නවලට පුරාවිද්‍යාඥයින්ට තවමත් පිළිතුරු සොයා ගැනීමට නොහැකි වී ඇත.

මේ ගුහාවල අබිරහස හෙළිකර ගනු සඳහා ත්‍රාසජනක අත්දැකීම්වලට මහත් සේ ප්‍රියකරන ඡායාරූප ශිල්පී කෝරි රිචඩ්ස්, කඳු නැඟීමේ විශේෂඥ පීට් ඇතනස් හා පුරාවිද්‍යාඥ මාක් ඇල්ඩන්ඩර්ෆර් එක්වී විශේෂ මෙහෙයුමක් දියත් කළහ. එහි ප්‍රතිඵල මේ ඡායාරූපය.

“මම නේපාලයට ආවේ විද්‍යාත්මක අයුරින් කඳු නඟින අන්දම ෂර්පාවරුන්ට කියාදීමටයි. එහේදි තමයි මට පීටර් ඇතනස් හමුවුණේ. මස්ටාං අභිරහස සෙවීමේ අදහස මුලින්ම ඇතිවුණේ ඒ අන්දමටÓයි කෝරි රිචඩ්ස් පැවසීය.

මේ අතිවිශාල කඳු ශිඛරයේ පිහිටා ඇති ගුහාවලට යෑම ඉතාම අපහසුය.

“මෙම ගිරි ශිඛරය නැඟීම සඳහා එම ප්‍රදේශයම ආලෝකවත් කිරීම අවශ්‍ය වුණා. ඒ සඳහා විදුලි ආලෝක ධාරා යොදා ගනු ලැබුවාÓයි රිචඩ්ස් වැඩිදුරටත් පැවසීය.

“එහෙත් මෙය හරිම භයානක කාර්යයක්. එක් වතාවක් පය ලිස්සා ගොස් ඇදගෙන වැටිල මගේ කොන්ද බිම ඇනුණා. ඒ වගේම විඩියෝ කිරීම සඳහා අප කණ්ඩායමට එක්වූ ලින්කන් එල්ස් ගේ හිසට ගලක් වැටී ලේ ගලන්නට පටන් ගත්තාÓයි කී රිචඩ්ස් “මේ අනතුරු නිසා අපේ වෑයම අත්හැර දමා පැමිණ යළි ඊළඟ අවුරුද්දේ වැඩේට ආවා.Óයි රිචඩ්ස් තවදුරටත් පැවසීය.

කෙසේ හෝ මෙම පිරිසට ඉහතින් දැක්වූ ප්‍රශ්නවලට නියම අයුරින් උත්තර සෙවීමට නොහැකි වුවත් මේ අන්දමේ ගුහා රැසක් නේපාලයේ ගිරිශිඛරයක් මිනිසුන් අතින් නිමවා තිබෙන බව ලොවට එළිපෙහෙලි කිරීමට හැකි විය.

මේ අතර නේපාල හා ජර්මනියේ කොලෝන් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥයින් පිරිසක් විසින් කරනු ලැබූ පර්යේෂණයකට අනුව මෙම මස්ටාං ප්‍රදේශය ටිබෙට් ජාතික බෞද්ධ ජන සමූහයක් පදිංචිව සිටි බවත් මෙම අඩවිය චීනය හා සම්බන්ධ සේද මාවතට අයත්ව තිබූ බවත් සොයාගෙන ඇත. එහෙත් මේ ජනසමූහය කෙසේ ඇතිවූවාද යන්න සොයාගත හැකි සාධක තවමත් හමුවී නැත.

ගුහාවලට ඇතුළුවන විවරය

කෙසේ වෙතත් එක්තරා ගුහාවක තිබී බෞද්ධ චිත්‍ර 55ක් පමණ සොයා ගනු ලැබූ බවත් ඒ අතර බුදුන්වහන්සේ හා සම්බන්ධ චිත්‍ර රැසක් පැවැති බවත් වාර්තා වේ. මේ චිත්‍ර 14 වැනි සියවසට අයත් ඒවා බව ද සොයාගෙන ඇත. නේපාල ජාතික ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයකු වන ප්‍රකාශ් ඩාර්නෙල් පවසන ආකාරයට මෙම තොරතුරු පිළිබඳ කිසිදු සටහනක් තවමත් සොයාගැනීමට නොහැකි වී ඇත. මස්ටාං අඩවියේ තවත් සමීක්ෂණයක් කළ ඇමෙරිකන් ජාතික පුරාවිද්‍යාඥයකු වූ මාර්ක් ඇල්ඩන්ඩර්ෆර් විසින් එම ගුහාවල තිබූ මනුෂ්‍ය ශරීරවල කොටස් අනුව එම ගුහා මළවුන් තැන්පත් කිරීම සඳහා යොදාගනු ලැබුවේ යැයි සිතිය හැකි බව පවසා ඇත.

එසේම මෙම ගුහාවල තිබී සොයාගනු ලැබූ ඇට කටුවලින් මස්වැදලි කපා ඉවත් කොට ඇට කටු පමණක් තැන්පත් කරනු ලබ ඇති බව සොයාගැනීම නිසා එම ජනයා මළවුන් පිළිබඳව අනුගමනය කළ චාරිත්‍ර විධි ගැන ද දැනුමක් ලබා ගත හැකි බව ඇන්ඩන්ඩර්ෆර් ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් මෙම අබිරහස් ‘අහස්’ ගුහා පිළිබඳ සොයාබැලීම ඉතාමත් භයානක ක්‍රියාවක් වන්නේ එම ගිරි ශිඛරය ඉතාම පහසුවෙන් කැඩී බිඳී යාමේ තර්ජනයක් පවතින බැවිනි. කොයි මොහොතේ එයින් කොටස් බිඳ වැටේදැයි සිතාගත නොහැක.

මෙම මස්ටාං රාජ්‍යය මනුෂ්‍ය වාසයක්ව පැවැති බවත් ඔවුන් බෞද්ධාගමට සම්බන්ධ අය බවත් එපමණක් නොව ඔවුන් මෙම ගුහා ජීවත්වීමටත්, මළවුන් තැන්පත් කිරීමටත් පුද පූජා පැවැත්වීම සඳහාත් යොදා ගනු ලැබූ බව තීරණය කළ හැකි බවත් පුරාවිද්‍යාඥයෝ පවසති.

එහෙත් මේ අබිරහස් ගුහා තුළ තවත් බොහෝ අබිරහස් රැසක් සැඟවී තිබීම නොරහසක් බව කිව යුතුය.”

ගුහා ඇතුළත බොදු සිතුවම්

වැලි ගුහා ඈතට පෙනෙන අන්දම


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]