කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
යටපත් කරන්න හැදූ  අවංක නිලධාරියකු නිසා නීතිය ඉෂ්ටවෙයි

යටපත් කරන්න හැදූ  අවංක නිලධාරියකු නිසා නීතිය ඉෂ්ටවෙයි

 

කොළඹ විශ්‍රාමික නාගරික හදිසි මරණ පරීක්ෂක

එඩ්වඩ් අහංගම මහතාගේ ජීවන අත්දැකීම්

2002 වසරේ ජූනි 15 වැනිදා පාන්දර 4.15 පසුවූවා පමණි. බොරැල්ල සේනානායක හන්දියෙන් බොරැල්ල මංසන්ධිය දෙසට හීන්සීරුවේ ඇදෙන ලොරි රථයකි. ඒ ලොරිය, නිවිහැනහිල්ලේ හතරමං හන්දිය පහු කරන්නට සැරසුණා පමණි. හරස් අතට වේගයෙන් ආ කාර් රථයක් ලොරියේ වම් පැත්තේ වැදුණේ ‘ඩෝං’ හඬක් නංවමිනි.

ලොරිය නැවතිණි. වට කිහිපයක් කැරකුණු මෝටර් රථය බොරැල්ල දෙසට විසිවී ගොස් පාරේ මැද නතර විය. ඒ හා සමඟම ලොරියේ රියැදුරු පිටුපස හැරී බැලූයේ සිය සහායකයා කොහේදැයි සැක හැර දැන ගනු පිණිසය.

පාන්දර යාමය වූ බැවින් මීට ටික වේලාවකට පෙර බලද්දී ද ඔහු සිටියේ තද නින්දේ බව රියැදුරුට මතකයට ආවේය. එහෙත් සහායකයා ලොරිය තුළ නැත. රියැදුරු බිමට පැන්නේය. ලේ විලක් මැද වැටී සිටින සිය සගයා දුටු ඔහු, අසල පිරවුම් හලේ සේවකයන්ගේ ද උදව් ඇතිව ඔහු රෝහලට රැගෙන ගියේය. තත්පර ගණනකදී සිදුවූ මේ සියල්ල ඔහුට ද අදහාගත හැකි දෙයක් නොවීය.

“මං හිටියෙ ක්ලීනර් ගැන අවධානයෙන්. ඒ නිසා කාර් එකේ හිටපු අය ගැන මට මතකයක් තිබුණේ නැහැ.” ලොරි රියැදුරා සාක්ෂි දෙමින් පැවැසීය.

රෝහල් ගත කෙරුණ ද ලොරියේ ‘ක්ලීනර්’ පසුව මිය ගියේය. ඒ වන විටත් මාරක අනතුර සිදු කළ මෝටර් රථය ගුවන් හමුදාවට අයත් එකක් බව හඳුනාගෙන තිබිණි. එය එළවූවා යැයි කියන ගුවන් හමුදා රියැදුරකු ද පොලීසියට ඉදිරිපත්ව තිබිණි.

පරීක්ෂණ පැවැත්වූ බොරැල්ල පොලීසිය කුමක්දෝ වසන් කරන බවක් කනින් කොනින් ආරංචි පැතිර ගියේය.

අනතුර සිදුකළ ‍මෝටර් රථය එවකට ගුවන් හමුදාවේ සිටි ඉහළම නිලධාරියකුගේ බවත් එය ඔහු විසින්ම පදවා ඇති අතර අනෙක් අසුනේ ඔහුගේ යම් සබඳතාවක් ඇති ගුවන් හමුදා කාන්තා නිලධාරිනියක ගමන් ගෙන ඇති බවත් අනාවරණය විය. නමුත් මේ දෙදෙනාගෙන් කිසිවකුටත් බරපතළ අනතුරක් නොවූ අතර ගමන් කළ මෝටර් රථය නම් කුඩු පට්ටම් වී තිබිණි.

බොරැල්ල පොලීසිය කෙතරම් වසන් කිරීමට උත්සාහ කළ ද එහි පරීක්ෂණ කටයුතු මෙහෙයවූ නිලධාරීන් අතර එක් අවංක නිලධාරියෙක් සිටියේය. ඔහු බණ්ඩාර නම් පොලිස් නිලධාරියෙකි. හේ සියලු සාක්ෂි ඇති සැටියෙන් සටහන් කළේය. විමර්ශන කටයුතු ද අපක්ෂපාතීව සිදු කළේය.

මෙම ක්ලීනර්වරයාගේ මරණින් දෙසතියකට පමණ පසු, කොළඹ මරණ පරීක්ෂණ උසාවියේදී මෙම සිදුවීම යළි විභාගයට ගැනුණේ, එවකට කොළඹ හදිසි මරණ පරීක්ෂක තනතුරේ හුන් එඩ්වඩ් අහංගම මහතා ඉදිරියේය.

“මෙම රියැදුරා ලොරිය ඉස්සරහට ගත්තේ බොරැල්ල සේනානායක හන්දියෙන් කොළ එළිය නිකුත් වූ පසුයි. ඒ හා සමඟමයි, රතු එළිය ද නොතකා මේ ගුවන් හමුදා කාර් රථය අධික වේගයකින් ඉදිරියට ආවේ. ඒ වේගය කොයිතරම් දැයි වටහා ගත හැකි වූයේ ඒ වෙලාවේ මහ පාරේ ඇඳී තිබුණු තිරිංග ලකුණු පහරින්. එය මා, ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කළා. ඒ අනුව කාර් රථය පැදවූ එම ඉහළ නිලධාරියා කුමන මානසිකත්වයකින් සිටින්නට ඇත්දැයි වටහා ගත හැකි වුණා.

ඔහු පොලීසියේ ඉහළ නිලධාරීන්ගේ උදව් ඇතිව සියලු සාක්ෂි වෙනස් කර තිබුණා. ඔහුගේ බේරීමට වෙනත් අහිංසකයෙක් පටලවා තිබුණේ ඒ ගුවන් හමුදා රියැදුරාගේ ද රැකියාව පරදුවට තබමින්.

අනික ඔහු වෙනුවෙන් නීතිඥවරු පස්දෙනෙක් පෙනී හිටියා. මුලින් හැමදේම නැහැ යැයි කියූ එම නිලධරයා පසුව සියල්ල පිළිගත්තා.

ඒත් ඒ වන විට 45 වියැති දරු දෙදෙනකුගේ පියකු වූ රත්නායක නම් ක්ලීනර්වරයා ජීවිතයෙන් සමුගෙන අවසන්. රටේ වගකිව යුතු තනතුරක් දරන ඔබ, රථයක් පදවද්දී මීට වඩා බොහෝ සෙයින් සැලකිලිමත් විය යුතුව තිබුණා. අනික ඔබ මෙය වසන් කිරීමට මොන තරම් සැලසුම් ක්‍රියාත්මක කළා ද? මා ඔහුගෙන් ප්‍රශ්න කළා.

මේ ප්‍රශ්න කිරීම් අවසන් වන විට ඔහුට විරුද්ධව තිබූ සියලු සාක්ෂි විමර්ශනය කළ විට ඔහුට සිදුවුණා මේ සියලු කාරණා පිළිගන්න. මොකද ඒ වන විටත් හබුරුගල පදිංචි ලංකේෂ්වර ආතර් නම් 52 හැවිරිදි මේ ලොරි රියැදුරාත් සාක්ෂි දී තිබුණා.

“මා කොළ පැහැ කලර් ලයිට්වලින් ඉදිරියට ඇදුණා. මගේ වම් පසින් විශාල බ්රේක් සද්දයක් ඇහුණා. ඒ සමඟම ඩෝං ගා වැදුණා. එය සිදුවූයේ මගේ වම් පැත්තේ පිටුපසින්. ලොරිය නවතා මා බිමට පැන්නේ ඉන් පසුවයි. ලොරිය දෙපසින්ම විවෘත එකක්. කාර් රථය ලොරියේ වැදුණු වේගයටයි සහායකයා බිමට වැටී තිබෙන්නෙ. ඔහු හිටියේ අමාරුවෙන්...”

මෙසේ ඔහුට මතක සියල්ල පැවසුවා. ජී. ඩබ්ලිව්. බණ්ඩාර නම්, බොරැල්ල පොලීසියේ එක් අවංක නිලධාරියෙක් නිසයි, මෙපමණ බලතල අතට ගෙන යට ගහන්න මුළු බොරැල්ල පොලීසියම දැරූ උත්සාහය, ව්‍යාර්ථ වුණේ.

අනික ඔහු සිටියේ කාන්තාවක් ද සමඟ. ඔහුට සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට හෝ පරීක්ෂණයට මුහුණ දීමට එවකට ආරක්ෂක අමාත්‍යවරයාව සිටි තිලක් මාරපන මහතා දැනුම් දුන්නා. අවසානයේ ජනාධිපතිනිය ඔහු ඉදිරිපත් කළ විශ්‍රාම යෑමේ ලිපිය පිළිගත්තා.

ඔහුට සිය තනතුර අහිමි වුණා වගේම සමහර විට පවුල් ආරවුල් ඇතිවන්නටත් ඇති. මොකද බලයෙන් ඉදිමෙන මිනිසුන් බොහෝ විට කටයුතු කරන්නේ පව් පින් නොබලා. බලය අනිසි ලෙස පාවිච්චි කරමින්.”

අහංගම මහතා පවසන්නේ සිය ජීවන අත්දැකීම් ඇසුරින්.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]