කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සම්මාන 453 ක් ගත් බොරැල්ලේ හිටපු ඕ.අයි.සී.

සම්මාන 453 ක් ගත් බොරැල්ලේ හිටපු ඕ.අයි.සී.

ජ්‍යෙෂ්ඨයන් රැසකගෙන් අවසන් බුහුමන්

“අක්කේ මම මැරුණොත් අඬනවා දැයි” හංවැල්ලට යන්න කලින් මල්ලි ඇහුවා. මියගිය බොරැල්ල ඕ.අයි.සී. ගේ අක්කා කීවාය. “මල්ලී බොහොම සාමයට ලැදි කෙනෙක්. හරිම අවංකයි සහෝදරියන්ට දරුවන්ට ආදරෙයි. එදා උදේ පාන්දර රාජකාරියට ගියේ මගෙන් තේ එකක් ඉල්ලගෙන බීලා. ඒ වෙලාවේ එයා මගෙන් අමුතු කතාවක් ඇහුවා. “අක්කේ මං මැරුණොත් ඔයා අඬනවාද” එයා ඇහුවා මගේ පපුව කීරි ගැහිල ගියා. ඒත් මං ඒ බව නොහඟවා “පිස්සු කතා නොකියා ඉන්න මල්ලි” කියා කීවා.

අනේ මගේ රත්තරන් මල්ලිට වෙච්ච දෙයක් මියගිය පොලිස් අධිකාරි ප්‍රසාද් සිරිවර්ධන ගේ අක්කා නිරෝෂා අප සමඟ කීවේ හැඬූ කඳුළිනි. ඇය මෙසේ පැවසුවේ හංවැල්ල තුන්තානේ දී ගසකට යටවී මියගිය පොලිස් අධිකාරි ප්‍රසාද් සිරිවර්ධන මහතා ගේ අවමංගල නිවසේදීය.

පසුගිය බදාදා බොරැල්ල ප්‍රදේශයට ශෝක දිනයක් විය. පළාතම සුදු කොඩිවලින් සැරසී තිබිණි. සොබාදහම ද සෝක වන්නාක් මෙන් අහස අඳුරින් බරවිය. මේ ශ්‍රී ලංකා පොලිසියේ අවංක කාර්ය ශූර දක්ෂ පොලිස් නිලධාරියෙකු ගේ නික්ම යාමෙන් එදින බොරැල්ල කනත්තට රැස්වූ බොහෝ දෙනාගේ නෙත් කඳුළින් පිරී තිබිණි. හදවත්වල දුක් සුසුම් වාතලයට එක්විය.

කැලණිය ප්‍රදේශය ද දින දෙකක් පුරා සෝබරිත වැහි කඳුළින් තෙමී ගියේ ද කැලණිය ප්‍රදේශය සිය උපන්ගම කරගත් ප්‍රසාද් සිරිවර්ධන නම් වූ පාංශු දේහධාරි ඒ තේජාන්විත කැලණි පුත්‍රයා දිවියෙන් සමුගත් නිසාවෙනි.

ඉකුත් 16 වෙනිදා උදෑසන හංවැල්ලේ තුන්තාන ප්‍රදේශයේ පැවැති උද්ඝෝෂණයට සහභාගි වූ 700 ක් පමණ මහපිරිස මහමඟට ගස් පෙරළා දමා තවත් ගස් අඩක් කපා දමා මහා මාර්ගයේ ටයර් පුළුස්සමින් ඉල්ලා සිටියේ ඒ ප්‍රදේශයේ ඇති රබර් අත්වැසුම් කම්හලේ අපද්‍රව්‍ය නිසා සිය පළාතේ භූගත ජලය අපවිත්‍ර වන බැවින් ඒ කම්හල වසා දමන ලෙසය. එහෙත් නීතියෙන් එවැන්නක් කිරීමට බලවතකු සිටියේ නැත. ඒ ඒ පිළිබඳව උසාවියේ නඩුවක් පවතින බැවිනි. පොලිස් නිලධාරිහු පිරිසට විසිරයන ලෙස ඉල්ලා සිටියත් ඔවුන් ගේ උද්ඝෝෂණ එන්න එන්නම දරුණු විය. පොලිසියට ගල් මුල් ප්‍රහාර එල්ල කිරීම සාමයට ලැදි පොලිස් නිලධාරින්ට ප්‍රතිප්‍රහාර එල්ල කරනු විනා වෙනකළ හැකි දෙයක් නොවීය.

නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස්පති අනුර සේනානායක මහතාගේ ඉල්ලීම පරිදි මේ ගැටුම නැවැත්වීමට විශේෂ කාර්ය බළකාය ඇතුළු පිට පළාත් පොලිසි වල භට පිරිස් කැඳවිණ.

බොරැල්ල පොලිස් ස්ථානාධිපතිව සිට ප්‍රසාද් සිරිවර්ධන මහතා ද සිය කණ්ඩායම සමඟ එහි ගියේ මේ නියෝගය මතය.

එසේ ගිය ඔහු සිය කණ්ඩායම සමඟ වැටී ඇති ගස් ඉවත් කරමින් ඉදිරියට ගියේ ය. සමහරු වැටී ඇති ගස් මතින් පැන ඒවා ඉවත් කරමින් යද්දි ප්‍රසාද් සිරිවර්ධන වෙන් නොවන්නට කපා ඇති විශාල රබර් ගසක් යටින් රිංගා යාමට තැත් කළේය. ගස ලිස්සා වැටුණේ ඔහු පමණක් නොව අතුල පතිරණ, ගයාන් මහේෂ, ගාමිණි සඳරුවන් යන සහෝදර පොලිස් නිලධාරින් ද යට කරමිනි.

ගසේ බර දෙකොටස ප්‍රසාද්ගේ උදරය හා ඉණ ප්‍රදේශය මතට වැටීමෙන් ඔහු කෙළින්ම ගසට යටවිය. අනිත් අය සුළු තුවාල ලබා බේරෙද්දි ප්‍රසාද් ගසට යටවී සිටියේය. ඔහු ඉවතට ගැනීමට නිලධාරින් විසිදෙනෙකුට තවත් දැඩි වෙහෙසක් ගැනීමට සිදුවිය. ඉතා බරපතළ තත්වයෙන් අභ්‍යන්තර හා බාහිරව ලේ ගලමින් සිටි ප්‍රසාද් වහා ගෙනගියේ අවිස්සාවේල්ල රෝහලටය.

එහිදී ඔහු බේරා ගැනීමට වෛද්‍යවරුන් විශාල උත්සාහයක් ගත්තත් සිරුරින් ගලායන ලේ සඳහා ලේ පයින්ට් පහක් පමණ ලබාදීමට සිදුවිය. එහෙත් ඔහුගේ පිටකොන්ද කැඩී අභ්‍යන්තර ලේ ගැලීම තදින් තිබිණි.

ඒ අවස්ථාවේදී ඔහු අසල සිටි ඔහ‍ුගේ ඥාති සහෝදරියක වන දොස්තර ආශා පෙරේරා මහත්මිය අප සමඟ කීයේ ඔහුගේ රුධිර පීඩනය ඉතා පහත් තත්වයකට වැටී, ලේවල හිමොග්ලබින් ද ශීඝ්‍රයෙන් අඩ‍ුවෙමින් තිබූ බවයි.

වහාම ඔහු කොළඹ ගෙන ඒමට හෙලිකොප්ටරයක් පවා සූදානම් කළද ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි විය. හෙලිකොප්ටරය ගෙන එද්දිම ඔහුගේ ප්‍රාණය නිරුද්ධ විය.

ප්‍රසාද්ගේ මාමා කෙනෙකු වන ගාමිණි අල්ගම මහතා අපට මුණ ගැසුණේ අවමංගල නිවසේදීය.

“මං ප්‍රසාද් හඳුනාගත්තේ ඔහු ඉපදුණු දා සිටමයි. මං ඔහු පුංචි කාලෙ වඩාගෙන හිටපු දරුවා. ඒත් මේ වනවිට අපි ඇසුරු ක‍ෙළ් මිතුරන් වගේ. මං හිතන්නේ නෑදෑයන්ගෙන් ඔහු ජීවත්ව සිටියදි අවසන් වතාවට හමුවී කතා කළ නෑදෑයා මමයි. එදා උදෑසන ප්‍රසාද් රැකියාවට යනකොට මං නුවර යන්න බස් එකට යන්න ආවා. මට මගදි ප්‍රසාද් හමුවුණා. ඔහු එදා නිල ඇඳුමින් සිටියේ.

“මාමේ කොහෙද යන්නේ.”

“මං නුවර යනවා.”

“මං එහෙනම් මාමාව කොළඹින්ම බස්සන්නම් කියල එයා මාව කාරෙකේ බොරැල්ලටම ගිහින් ඇරලුවා. එහිදි මට එයා එක්ක කතා කරන්න ලැබුණා.”

“මාමේ මම තාමත් එදා හිටපු ප්‍රසාද්මයි මං වෙනස් වෙලා නැහැ. මට ළඟදි ඒ ඇසි පී ප්‍රමෝෂන් එක තියෙනවා කියල මට කිව්වා. මට එතකොට ඇහෙනව එයාට එයාගේ රේඩියෝ සෙට් එකෙන් කතා කරනවා. ඒ කතා කළේ මේ සිද්ධිය ගැන. මං දැන් එනවා. ඉක්මනට එනවා කියල ඔහු නිලධාරින් හා වෙනත් ඕ අයි සී ලා එක්ක කතා කළා.

ඉන්පසුව එයා බොරැල්ල පොලිසියට ආවා. “මං එන්නම් මාමා බුදු සරණයි.” කියල මට අත් විහිදාලා පෙන්නා සමුගත්තා. ඒ සමුගැනීමේ විදිහ මා තුළ කම්පනයක් ඇති වුණා. “මේ අපේ අවසන් සමුගැනීම කියලා මට හිතුණා.” ඉන්පසු මාව ඔහු බොරැල්ලෙන් කොළඹ බස් ස්ටෑන්ඩ් එකට ඇරලුවේ තවත් නිලධාරියෙකු සමඟයි.

මං නුවර බස් එකේ නැගලා ගියා මට වරකාපොල හරියෙදි කෝල් එකක් ආවා මගේ ඥාති දියණියක් වන දොස්තර ඌෂා පෙරේරා ගෙන්. මාමේ ප්‍රසාද් මල්ලිට කරදරයක් අවිස්සාවේල්ල රෝහලට එන්න කියලා. මං බස් එක නවත්තගෙන කොහොම හරි අවිස්සාවේල්ලට ගියා.

රෝහලේදී දොස්තර ඌෂා මට හම්බ වුණා. එතකොට දොස්තරවරු ඉතා කලබලයෙන් එහෙ මෙහේ දුවනවා. මට තේරුණා ප්‍රසාද්ට අමාරු බව. දොස්තර ඌෂා මට කීවා ‘මාමේ ප්‍රසාද් මල්ලිගෙ තත්වය හොඳ නැහැ. දැන් කොළඹ ගෙනියන්න හෙලිකොප්ටරයක් එනවා කියලා. හෙලි‍කොප්ටරයත් ආව. ඒත් දෙයියනේ එයාව ගෙනියන්න බැරි වුණා. එයා එතකොට සදහටම අප හැර ගිහින්.”

ගාමිණි අල්ගම මහතාගේ නෙතින් කඳුළක් ගලා ගියේය.

1969 ජුනි 20 වෙනිදා ඩබ්ලියු.ඒ. සිරිවර්ධන මහතා හා පාඨශාලාචාරිනි අයිරින් ග්‍රේස් පෙරේරා මාතාවගේ දරු හතරදෙනා අතරින් බාලයා ලෙස උපන් ප්‍රසාද් සිරිවර්ධන අකුරු කළේ කැලණිය ශ්‍රී ධර්‍මාලෝක විදුහලින් හා ගුරුකුල විදුහලිනි. පවුලේ බාලයා වශයෙන් කාගේත් සුරතලයට පාත්‍ර වූ ඔහු කුඩා අවධියේ සිටම පොලිසියට විශේෂ ලැදියාවකින් පසුවූ බව ඔහුගේ සොයුරිය නිරෝෂා සිරිවර්ධන මහත්මිය අප සමඟ කීවාය.

එරන්දි හර්ෂනී අබේනායක ඔහුගේ බිරිදයි. ඇය ද හැඬූ කඳුළින් පසුවන්නීය.

1989 දී ඔක්තෝබර 8 දින උප‍ පොලිස් පරීක්ෂකවරයකු ලෙස රත්නපුර පොලිසියේ සේවයට බැඳුණු ඔහු වව්නියාව සෙට්ටිකුලම කිරුලපන මෝදර පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය ගුවන් තොටු‍පළ ‍පොලිසිය ඇතුළු පොලිස් ස්ථාන තිස් ගණනක සේවය කළ ඔහු ඉතා දක්ෂ අවංක කාර්ය ශූර බුද්ධිමත් පොලිස් නිලධාරියෙකි.

මත්කුඩු ගංජා ගණිකා වෘත්තිය ඔහුට පෙන්නන්නට බැරිය. විවිධ දූෂණ කටයුතු සොය සොයා මර්දනය කළ ඔහුගේ දක්ෂතා හේතුවෙන් පොලිස්පති තුමාගෙන් උපහාර සම්මාන හා සහතික 453 ක් හිමිකරගෙන ඇත. ඔහු සිය විශේෂ දක්ෂතා නිසා පොලිසියෙන් තෑගි රැසක් හිමිකර ගත් නිලධාරියෙකි.

මිය යන විට සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස්වීම් ලබමින් ඔහු බොරැල්ල පොලිසියේ සේවය කළේය. මරණයෙන් පසුව පොලිස්පතිතුමා විසින් පොලිස් අධිකාරි ධුරයට උසස් කළ ඔහු බොරැල්ල ප්‍රදේශයේ බොහෝ දූෂණ මර්දන සිදුකරමින් ජනතාවගේ සිත් දිනාගෙන සිටියේය.

ප්‍රසාද්ගේ මාමා වන අල්ගම මහතා කියා සිටියේ ප්‍රසාද්ට දේශපාලනයක් නොතිබූ බවය.

“ප්‍රසාද්ට දේශපාලනයක් නැහැ. එයාට තිබුණේ රාජකාරිය. රාජකාරිය දේවකාරිය වගේ එයා සැලකුවා. ඒ වගේ ම එයා හිත හොඳ මිනිහෙක් සැකකරුවෙක් අල්ල ගත්තම සමහරවිට ඔහු බඩගින්නේ ඉන්නවා නම් කන්න පවා අරන් දෙනවා. බස් එකේ යන්න සල්ලිත් දෙනවා.

මට දුක අපේ පවුලෙ හිටපු හොඳ නෑදෑයෙක්, ගමට හොඳ අසල්වැසියෙක්, පොලිසියට හොඳ අවංක නිලධාරියෙක් හා රටට හිතැති පුරවැසියෙක් නැති වෙච්ච එක ගැනයි. පොලිසියේ ලොක්කෙක් වුණත් එයාට ‍උණුවන හදවතක් තිබුණේ.

අපට ද ඒ බව වැටහුණේ ඔහුගේ මළගමට සහභාගි වී සිටි මෙන්ම ගෙදරට ද වැල නොකැඩී ආ පිරිස් දෙස බලනවිටය.

පොලිස් අධිකාරි ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ ගෙදරදී බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති එල්.පී. කුලරත්න මහතා මට හමුවිය.

“මං ප්‍රසාද්ව දන්නේ 2002 රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක වෙලා ඉන්න කාලෙ ඉඳල. මට හමුවුණු දක්ෂ නිලධාරියෙක්. අසාධාරණයට එරෙහිව සටන් කළ උසස් නිලධාරින්ට විනය ගරුක හොඳ නිලධාරියෙක්.

මං මේක කියන්නේ අවංක හිතින්. කුඩුවලට දූෂණයට එරෙහිව කටයුතු කළ අවංක නිලධාරියෙක්. ඔයාට පේනව ඇති මෙතන ඇවිත් ඉන්න විශ්‍රාම ගිය උසස් පොලිස් නිලධාරින්. ඒ සියලු දෙනාම ප්‍රසාද්ගේ සේවය අගය කරන අය.”

නියෝජ්‍ය පොලිස්පති කුලරත්න මහතා අපට කී‍ෙව් ප්‍රසාද්ට අවසන් ගෞරවය දක්වන්නට පැමිණ සිටි විශ්‍රාම ලත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් කීප දෙනෙකු පෙන්වමිනි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]