![]() ![]() |
|||||
|
![]() ආනන්ද බිරිය චන්දුා සමග... |
ආනන්ද ජයරත්නයි සිසිර සේනාරත්නයි තමයි ඒ කාලෙ කලා ලෝකෙ හොඳට ම ඇඳුම් ඇන්දෙ. චන්ද්‍රාගේ පියා ආනන්දට කැමැති නැති නිසා මිනිහා ඉස්සෙල්ලා ම බොන්නෙ නැතිව ගිහින් ගෙදර බොරු ‘පාට්’ එකක් දාලා තියෙනවා. එදාට පස්සෙ මාමණ්ඩි සද්ද කරලා නෑ. කොහොම හරි ආනන්ද මැරුණාට පස්සෙ කලාකරුවන් වෙනුවෙන් කතාව පැවැත්වුවෙ විජය කුමාරතුංග. මිත්‍රයන් වෙනුවෙන් කතා කළේ මමයි.
එදා ඉන්දියාවෙ තමයි අපේ හුඟාක් චිත්‍රපටවල රසායනාගාර කටයුතු කෙරුණේ. එහෙම වැඩකට ආනන්ද ඉන්දියාවෙ චිත්‍රාගාරයක ඉන්න වෙලාවෙ එකපාරම මහ කලබලයක් ඇතිවෙලා. හේතුව එදා ඉන්දියාවෙ මහා නළුවා සිවාජි ගනේෂන් එතැනට එන නිසා. ඔහුට ඉන්දියාවෙ සලකන්නෙ හරියට මහාරාජා කෙනෙකුට සලකනව වගෙයි.
සියල්ලන් පෙළ ගැහෙනවා එයාට ගරු ගාම්භීරව සලකන්න. සිවාජි චිත්‍රගාරයට එනකොට සියලු දෙනා අසුන්වලින් නැගිට්ටා. ඒත් ආනන්ද වාඩිවෙලා හිටි ආකාරයටම අසුනේ හිටියා. සිවාජි මේක දැක්කා. ඔහුටත් පුදුමයි. කවුද? මාව ගණන් ගත්තෙ නැත්තෙ කියලා ඔහු ආනන්ද ගැන චිත්‍රාගාරයෙන් විමසුවා. එයා ලංකාවෙ නළුවෙක්.
ආනන්ද ජයරත්න. ඔහුට පිළිතුරු ලැබුණා. සිවාජි මොහොතක් කල්පනා කරලා කෙළින් ම ඇවිත් ආනන්ද ළඟට කතා කළා. නිහතමානීව. ආනන්දත් නැගිටලා ඔහුව පිළිගත්තා. ඔහු ඊට පහුවනදා ‘රිලීස්’ වන තම චිත්‍රපටයක් බලන්ඩ එන්න කියලා ආරාධනාත් කළාලු.
ආනන්ද ඒ වගේ අමුතු මිනිහෙක්. ඒ අමුතුකම නරක දෙයක් නම් නොවේ.
ආනන්ද ජයරත්නයන් ඉතාම විශිෂ්ට ගුරුවරයකු බව කියැවේ. එනිසා ඔහුගේ ගෝලයකු සොයා ගැනීම මගේ වෑයමයි. රංජිත් පෙරේරා ආනන්දගේ සිසුවකු පමණක් නොව මේ රටේ වාණිජ සිනමාවේ චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කළ අයෙකි. ‘වානරයෝ’ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ද රංජිත් පෙරේරා ය.
මා එතුමා හඳුනන්නේ කුඩා කාලේ සිටයි. ක්‍රිස්තු දේව විදුහලේ අපේ ඉංග්‍රිසි ගුරුතුමා ආනන්ද මහත්තයා. හරිම ප්‍රසන්න ගුරු ගෞරවය රැකගත් කෙනෙක්. කොච්චර ජනප්‍රිය නළුවෙක් වුණත් ඒ ජනප්‍රියකම අභිමානය පාසල් ගේට්ටුවෙන් මෙහාට ගෙනාවෙ නෑ. එයාට තිබුණෙ බටහිර නළුවෙක්ගෙ පෙනුමක්.
ගෑනු ළමයි පිස්සු වැටිලා හිටියා. ඒත් එතුමා ඒ කවුරුවත් ගණන් ගත්තෙ නෑ. පසු කාලයක ක්‍රිස්තු දේව ස්කෝලෙ ප්‍රින්සිපල් වුණා. බණ්ඩාරවෙල ඉස්කෝලෙක උගන්වලා අපේ ස්කෝලෙට ආවෙ. පාපන්දු ක්‍රීඩාවට අතිදක්ෂයි. එහෙම පාපන්දු මැච් එකක් බලන්ඩ ඇවිත් තමයි මරදානෙදි ට්‍රොලි බස් එකකදි සිරිල් පී. අබේරත්න මහත්තයා මුණ ගැහිලා තියෙන්නෙ. මං රඟපාපු ‘වානරයෝ’ චිත්‍රපටයෙන් ඩොක්ටර් කෙනෙක්ගෙ චරිතයත් එතුමා කළා.
අපට ඉංග්‍රීසි විතරක් නොවේ පාපන්දුත් කියා දෙන්ඩ එතුමා මහන්සි ගත්තා. මට මතකයි දහවල් වන විට එතුමා පංතියේ දරුවකුට කියනවා. (බොහෝ වෙලාවට මට) දෙහිවල හන්දියට ගිහින් බටර් පාන් පෙති 2 යි කෝලිකුට්ටු ගෙඩියයි උණු කිරි තේ එකයි ගෙනැවිත් දෙන්ඩ කියා. බොහෝ වෙලාවට ඒ ටික තමයි එතුමා දවල්ට කෑවෙ.
රුපියල් 50 කොළයක් තමයි දිගු කරන්නෙ. ඒ ටික ගෙනැවිත් ඉතිරි සල්ලි දුන්නාම අහනවා ඇයි දරුවො? ඔයා මුකුත් කෑවෙ නැත්ද? කියලා. කාලා එන්ඩ එපායැ කියලා අර කොටහින් ටිකක් දෙන්ඩ බලනවා. මෙහෙම කිව්වාම පස්සෙ ඉතින්! ආයිත් සර්ට කඩේ ගියොත් අපිත් බඩ පිරෙන්න තෝසෙ කාලා එන්නෙ. කවරදාවත් ඒවාට මුකුත් කියලා නෑ.
හවසට අපි පාපන්දු සෙල්ලම් පුරුදු වෙන තැනට පොක්ස්වගන් කාරයෙන් එන්නෙ බනිස් මල්ලක් හා බොන්ඩ මොනවා හරි පුරවාගෙන. ඉතාම උතුම් ගුරුවරයෙක්. උගන්වන ශෛලියත් හරිම ආස්වාදජනකයි. එතුමා සතු බටහිර පෙනුම නිසා මා හිතන්නෙ ‘කහ බළල්ලු’ (Yellow Cats) කියලා ඉංග්‍රීසි චිත්‍රපටයකත් රඟපෑවා. එතුමාගේ නෝනා පාසල් ඉන්ස්පැක්ටර් කෙනෙක්.
![]() රංජිත් පෙරේරා |
![]() රූපසේන සිල්වා |
![]()
|
![]()
|
මං ස්කාගාර සංස්ථාවෙ වැඩ කළ කාලයේ මගෙ ගුරුතුමා නිතර කැඳවාගෙන ඇවිත් සංග්‍රහ කළා. බීමට නම් පුදුම කැමැත්තක්. අපේ ගල්කිස්සෙ ගෙදරට එතුමා නොවරදවාම නිවාඩු වෙලාවට එන්නෙ දරුවකු බලන්ඩ එනවා වගේ. අපේ නෝනා හදන වටලප්පන් කන්ඩත් ආනන්ද මහත්තයා ආසයි. එතුමාට ලොකු සෙම අමාරුවක් තිබුණා. මැරෙනකොට මා ලංකාවෙ හිටියෙ නෑ.
මා හිටියෙ මාලදිවයිනේ. සංවේදී රත්තරං ගතිගුණ තිබුණු ඒ ගුරුතුමා අපට දෙවියෙක්. ලංකාවට දිලිප් කුමාර් ආපු වෙලාවෙ ළඟින් හිටියෙ ආනන්ද මහත්තයා. දිලිප් සිගරට්ටුවක් පත්තු කරන්ඩ ආනන්ද මහත්තයාගෙන් ගින්දර ඉල්ලුවා. එයා ළඟ තිබුණෙ ගිනිපෙට්ටියක්. ඒකෙ එකම ගිනිකූරයි තිබුණෙ. ආනන්ද මහත්මයා කියලා තියෙනවා එක ගිනිකූරයි තියෙන්නෙ.
පරිස්සමින් පත්තු කරමු කියලා. දිලිප් හිනාවෙලා කිව්වලු මිස්ටර් ආනන්ද, මේකෙන් මේ මුළු ලෝකෙම ගිනි තියන්ඩ පුළුවන් කියලා. මේ වගේ සිද්ධි අපට ඇවිත් කියනවා. සිවාජි ගනේෂන් එදා චිත්‍රාගාරයට ආපු ගමනේදී වෙච්ච සිද්ධියේදී අන්තිමට තමන්ගෙ චිත්‍රපටයක රිලීස් එකට එන්නැයි කියලා කාඩ් එකක් දුන්නනෙ. ඇත්තටම අපේ සර්ට මේකට තනියෙන් යන්ඩ සැකයි.
එතුමා ඉන්දියාවෙ ප්‍රධාන විනිසුරුවරයෙක්ගෙ දුවක් හඳුනනවා. එයාට දුරකථනයෙන් කතා කරලා ඒ අවස්ථාවට තමන් සමඟ එනවාදැයි ඇහුවලු. ඇයත් කැමැති වෙලා. ඊට පස්සෙ ඒ උත්සවයට ගියාම සිවාජි බොහොම ගෞරවයෙන් ඒ අයව පිළිගෙන. එහෙම කිසිම ප්‍රශ්නයක් වෙලත් නෑ.
ඇත්තටම සර්ව හඳුනාගන්ඩ අවස්ථාව ඉල්ලලා අපේ හඳුනන අය හා ඥාති සහෝදරියගෙන් පවා පුදුමාකාර කරදර ආවා. ඇත්තටම සර්ගේ රූපය ඇසට රසඳුනක්. ප්‍රවීණ මාධ්‍යවේදී රූපසේන සිල්වා එදා ‘ගීතා’ නම් සිනමා පුවත්පතේ කර්තෘවරයා විය. ඔහු අපට බොහෝ තොරතුරු කීය. ඉන් සමහරක් මෙසේ වෙයි.
‘සුරතලී’ චිත්‍රපටයෙන් ආනන්ද ජයරත්න ආවෙ. අලුත් නළුවෙක් හා අලුත් ගායකයෙක් සිනමාවට ගෙනාවෙ ‘සුරතලී’ චිත්‍රපටිය. නළුවා ආනන්ද. ගායකයා එච්. ආර්. ජෝතිපාල. එයා ඉපදිලා තියෙන්නෙ මාතර නූපේදී. හැදුණෙ වැඩුණෙ බණ්ඩාරවෙල. ලජ්වන්ති කියන හින්දි චිත්‍රපටිය ආශ්‍රයෙන් ආනන්ද ‘ආදරයයි කරුණාවයි’ නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා.
ගාමිණි, ක්ලැරිස් වගෙ නළු නිළියන් හිටියා. නමුත් ඒ චිත්‍රපටයේ කොල්ලා විජයරත්න වරකාගොඩ. හිටපු විභාග කොමසාරිස් එල්. කේ. ගුණතුංග ගේ ‘විපර්යාස’ නාට්‍යයේ ආනන්ද මුලින්ම රඟපෑවා. 1950 දී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට සම්බන්ධව සෙල්ලම් කරලා තියෙනවා. ඩේලි නිවුස් හා ඔබ්සර්වර් පත්තරවල වාර්තාකරුවෙක් ලෙසත් ඉඳලා තියෙනවා.
1955 දි ‘මැච්’ එකක් බලන්ඩ කොළඹ ඇවිත්නෙ නළුවා වෙන්නෙ. ආනන්ද ජයරත්න සියදිවි නසාගත්තා කියලා අපට පිළිගන්න බෑ. ඔහුට ජනප්‍රියකම, සමාජයේ පිළිගැනීම තිබුණා. නාන කාමරය ළඟ ගිනි තබා ගන්ඩ පුළුවන් ද? අනෙක මුහුණට හානිවුණේ කොහොම ද? මේ වගේ දේ ඉතිරි වෙනවා.
චිත්‍රපට අධ්‍යක්ෂ හා ගීත රචක විමලදාස පෙරේරා අප වෙනුවෙන් ලේක්හවුසියටම පැමිණියේය. ඒ ආනන්ද ගැන බොහෝ දේ කියන්නට ය. ගාමිණි, විජය, මාලිනි රඟපෑ ජනප්‍රිය චිත්‍රපටයක් වන ‘සැණකෙළිය’ ඔහුගේ අධ්‍යක්ෂණයකි.
ආනන්ද ජයරත්න මං බොහොම කාලයක් දැන හිටියා. එයා මැරෙන්ඩ මාසයකට පමණ පෙර නුගේගොඩ ‘පුබුදු’ ක්ලබ් එකේ මා හා තවත් පිරිසක් සමඟ මධුවිත තොලගාන ගමන් අපූරු කතාවක් කිව්වා. ‘මා, ළඟ සල්ලිත් නැහැ මචං, ගෙදරත් ප්‍රශ්න. කියලයි එදා ඒ කතාව පටන්ගත්තෙ. ඔහුගේ බටහිර පෙනුම හරිම ආකර්ෂණීයයි.
ඔහු ඒ පෙනුමට ශෝකාකූල බවක් එක්කරමින් මෙහෙම කිව්වා බලන්ඩ. මං මැරෙන්නෙත් රටපුරා ප්‍රසිද්ධියක් ඇතිවන විදියට. කවරදා හරි ඒ ගැන සොයා බලන්ඩත් උඹලට සිද්ධ වේවි කියලා. එහෙම කියලා මාසයයි ගියේ. එයා ගිනි තියාගත්තා කියන කතාව ඇත්ත. මා විශ්වාස කරන්නෙ එහෙමයි.
ආනන්ද හරිම ආඩම්බරකාර මිනිහෙක්. එයා සිරිල් පී. අබේරත්නගේ ‘සුරතලී'ට සම්බන්ධ වෙලා ඉන්දියාවට යන්ඩ පෙර ඒ ශිල්පි කණ්ඩායම කෝච්චියෙන් දර්ශන රූගත කිරීමකට යනවා. ඒ වෙලාවෙ එයා මාව එතරම් ගණන් ගත්තේ නෑ.
එයාගෙ පළමුවැනි චිත්‍රපටය වෙලත්. ඒ වෙලාවෙ මා ‘සිනමා’ නමැති පත්තරේ කර්තෘ. අලුතින් එන නළුවා කවුද කියලා හොයනකොට මිනිහා කතාවට ආවෙ නෑ. අලුතින් එන ගායකයා කවුද කියා හොයනකොට අනේ ජෝතිපාල ඇවිත් අපිත් එක්ක කතා කළා. එහෙම වුණත් පස්සෙ කාලෙ ආනන්දට අපව නැතිවම බැරිවුණා.
ආනන්ද ජයරත්න මා සමඟ හොඳටම මිතුරු වෙන කොට අනුලා විදුහලේ හොස්ටල් එකේ කෙල්ලො ටිකක් මගෙන් ඉල්ලා සිටියා. අනේ අයියේ, ආනන්ද ජයරත්න මහත්තයා පොඩ්ඩක් මෙහෙට එක්කන් එන්න කියලා. මේකෙන් බේරෙන්නම බැරි වුණා. මා ආනන්දව දවසක් එක්කගෙන හොස්ටල් පැත්තට ආවා.
මං පොඩ්ඩක් එහෙට මෙහෙට වුණා විතරයි. කෙල්ලො ටික ආනන්දගෙ කෙස්ගස් ටිකත් ගලවලා. ඇඳුම ඉරලා කෑලි කෑලි ගන්ඩ. ලේන්සුව අරගෙන කෑලි කෑලි කපාගෙන. මට මේකට හිතට අමාරුයි. මං ඊළඟ පත්තරේට ලිව්වා. ප්‍රින්සිපල් මේක දැකලා අර ළමයි සේරම ගෙනැවිත් දඬුවම් කරලා. ඒ කාලෙ ආනන්ද කියන්නෙ සුපිරි තරුව.
කවුරුත් සමඟ කතා කළත් ආනන්ද ජයරත්නයන්ගෙ ඥාතිවරයකු සමඟ කතා කිරිම තරම් වටින්නේ නැතැයි මට සිතේ. ආනන්ද ජයරත්නයන් කලින් ජීවත්වූ ඔහුගේ මවගේ මහගෙදර අද ජරාවාස වී ගොසිනි. ඊට එහා වත්තේ ඔහු පසුව ජීවත්වූ නිවස අද නවීකරණය කැර ඇත.
එහි නිවෙසන්නේ ඔහුගේ පුතා වරුණ ජයරත්නය. වරුණට බාල තවත් පුතෙක් ආනන්දට සිටියි. ඔහු හර්ෂ ජයරත්නය. හර්ෂ දැන් ඔස්ට්‍රේලියාවේ බැංකුවක සේවය කරයි. වරුණ ලංකාවේ සිටියත් මේ දිනවල නිවෙසින් බැහැරව කෑගල්ලේ ඔහුගේ බිරියගේ මහගෙදර සිටින බැවින් අපි දුරකථන මාර්ගයෙන් වරුණ සම්බන්ධ කරගතිමු.
තාත්තා මැරෙනකොට මට අවුරුදු 19 යි. මල්ලිට අවුරුදු 17 ක්. තාත්තා අපට හැමදාම කිව්වෙ හොඳට ඉගෙන ගන්න කියලයි. මා රඟපාන්ඩ තරමක් උත්සාහ කරනකොට ඒවාට විරුද්ධ වුණා. ඒ නිසා අම්මා මාර්ගයෙන් කියවලා මං ගාමිණි ෆොන්සේකා මහත්මයාට අයිති පදියපැලැල්ල කබරගලවත්ත තේ වත්තෙ වැඩ කළා.
තාත්තා ආනන්ද ජයරත්න කියලා ඇහුවාම මේ සමාජය හැමදාම අපේ දිහා බැලුවෙ කිසියම් වටිනාකමකින් කියලා මට හිතුණා. අම්මත් ක්‍රීඩා අධ්‍යක්ෂිකාවක්. තාත්තාගේ ෂූටිං කටයුතුවලදි මාත් පොඩි එකා හැටියට නොයෙක් තැන්වල ගියා. ‘සංදේශය’ රඟපානකොටත් බලන්ඩ ගියා මතකයි. තාත්තා අවසන් කාලෙ ක්‍රිස්තු දේව විදුහල්පති.
‘සරදියෙල්ගෙ පුතා’ චිත්‍රපටයෙ කපිතාන් චරිතයට තාත්තා පණ පොවන හැටි මගේ මතකයේ තියෙනවා. තාත්තා හොඳටම බිව්වා. විජය කුමාරතුංග මාමා තාත්තා මැරුණු වෙලාවෙ කතාවක් කරලා පසුව මට අත්සන් කරලා ලියුමකුත් එව්වා.
ඒවා මා ළඟ සුරැකිව තියෙනවා. තාත්තාගේ මරණය ගැන බොහෝ දෙනා බොහෝ දේ කියනවා ඇති. ඒත් අපේ තාත්තා සිය දිවි නසා ගත්තේ නෑ. එයා සිගරට් එකක් පත්තු කරන්ඩ ගිහින් ගෑස් ළිප පුපුරලා මැරුණෙ.
ඔබේ තාත්තාට කවුරු හරි ගිනි තැබුවා කියලා මතයකුත් රටේ තියෙනවා යැයි මම කීමි.
ඒක කිව්වෙ නැන්දා කෙනෙක්. මුලින්ම මේ වගේ දේවල් කියාගෙන ගියේ එයා. එහෙමනම් පොලිසී කළේ මොනවා ද? වැරැදිකාරයන් අල්ලගන්ඩ තිබුණානෙ. උසාවි දාන්ඩ තිබුණානේ. මරණ පරීක්ෂකවරුන් මොනවා ද? කළේ. මේවා පිස්සු කතා. තාත්තා හදිසි අනතුරකට පත්වුණා. ඒක තමයි ඇත්ත.