කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
අලි මෙහෙයුමක් වැළකූ අදිසි බලවේගය

 4 කොටස

අලි මෙහෙයුමක් වැළකූ අදිසි බලවේගය

අටුකොටු වනසා මිනීමරා අලි මිනිස් ගැටුමට මුල්වන්නේ වැඩිපුරම තනි අලියාය. බොහෝවිට තනියකු ලෙස දඩබ්බරකම් කර මියයන්නේ ද පිරිමි සතුන්මය. මිනිසා මෙන්ම සමාජශීලී සත්ත්වයකු වූ අලින්ගේ පිරිමි සතුන් මෙසේ තනි වන්නේ ඇයි? හිටපු වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නන්දන අතපත්තුගේ අත්දැකීම් හා දැනුම අනුව සොයා බලමු...

මිනිසුන්ට නොදෙවෙනි වන තරමටම අලියා සමාජශීලී සතෙකු බව වෛද්‍ය නන්දන අතපත්තු පවසන්නේ වසර තිහකට අධික අත්දැකීම් සහ විද්‍යාත්මක කරුණු ද පදනම් කරගෙනය. දිවියා, වළහා වැනි සතුන් සමාජශීලී නොවන ගණයටත්, රිලවා, වඳුරා, ගෝනා මුවා වැනි සතුන් රංචු ගැහෙන බැවින් සමාජශීලී සතුන් ලෙසත් ඔහු හඳුන්වයි.

“අලි සමාජයේ අපූර්වත්වය තමයි අපේ වගේම පවුලක් තිබීම. අලින්ගේ පවුල් බැඳීම ඉතාම වැඩියි. හැබැයි මේ පවුල්වල වෙනසක් තිබෙනවා. ඒ තමයි පවුලකට තාත්තා කෙනෙක් නැතිවීම. පවුලක ඉන්නේ අම්මයි පැටුවුණුයි විතරයි. පැටවෙක් ලැබෙන්න ආ දවසේ ඉඳලාම තාත්තා කෙනෙකු ඇවිත් අම්මාගේ හා දරුවන්ගේ දුක සැප හොයන සිරිතක් අලින්ට නැහැ.”

අලි පවුල

පියකු නැතිව මේ පවුල් අතර කුඩාම ඒකකයට සාමාජිකයින් තිදෙනකු අයිති බව වෛද්‍ය අතපත්තු පවසයි. මවත්, දූවරුන් හා පුතුන් සංඛ්‍යාව අනුව තිදෙනකු හෝ ඊට වැඩි වන පවුල් කීපයක් එකතු වී සිටින අවස්ථා ද තිබේ. කෙසේ වෙතත් මෙහි නායකත්වය ද පැවරෙන්නේ අපූරු අයුරිනි.

“එහෙම පවුල් දෙක තුනක් එකතු වෙන්නත් සාමාජිකයින් අතර ලේ නෑකමක් තිබෙන්න ඕනා. ඒ අතරින් වැඩිහිටිම ඥානාත්විතම ඇතින්න තමයි නායිකාව වෙන්නේ. මොකද දුවලාගේ මතකයේ තමන්ගේ අක්කලා අම්මලා ගැන තිබෙන නිසා වයසින් වැඩිම ගැහැනු සතාට නිතරගයෙන් නායකත්වය හිමි වෙනවා. හැබැයි පුතාලාගේ මතකයේ මේ නෑකම පවතින්නේ ටික කාලයයි. ඊට පස්සේ එයාලා නෑදෑකම් සලකන්නේ නෑ.”

මෙසේ වීමට ද අපූරු හේතුවක් තිබෙන බව වෛද්‍ය අතපත්තු පහදා දුන්නේ මෙසේය.

“රංචුවේ උපදින පැටවුන්ට ගැහැනු පිරිමි භේදයක් නැතිව මව වගේම රංචුවේ අනිත් ඇතින්නන් ආදරය සෙනෙහස දක්වනවා. සාමාන්‍යයෙන් උපතේ දී උස අඩි 3යි අඟල් 3ක් පමණ වන බර කිලෝ 75ක් 100ක් පමණ වන අලි පැටියෙක් කිසිම භේදයක් නැතිව හරිම හුරතල් පාමින් වැඩෙන්නේ. හැබැයි ගැහැනු පැටවුන් මුල් කාලෙදි ඉතා වේගෙන් වැඩෙනවා. හරියට අපේ වගේ. සම වයසේ පිරිමි සතුන්ට වඩා ගැහැනු සතුන් පුංචි කාලෙදි උස මහතයි. හැබැයි හික්මීම අතින් හොඳයි. ඒත් පිරිමි පැටවුන් කරදඬු දික් වෙද්දි හිතුවක්කාර මුරණ්ඩු ගති පෙන්වන්න ගන්නවා.”

ඕන නැති වැඩ

“ගැහැනු පැටවුන් අවුරුදු 8 - 10 වෙද්දි මල්වර වෙනවා. පිරිමි පැටවුන් වැඩිවිය පැමිණෙන්නේ අවුරුදු 12ක් 13ක් වගේ වෙලා. ඒකත් දළ අ‍ැතෙක් නම් අවුරුදු 15ක් විතර වයස වෙද්දි තමයි වැඩි විය පැමිණෙන්නේ. මේ මල්වරයත් සමඟම වර්ධනයේත් වෙනසක් වෙනවා.

එතකොට අලි කොල්ලො හොඳට උස මහත් වෙලා ශක්තිමත් වෙලා හැඩ වැඩ වෙලා හැදෙනවා. අලි ‍කෙල්ලන්ගේ වර්ධනය ඊට වඩා අඩු වෙනවා. ඒ එක්කම ලිංගික හෝමෝනවල බලපෑමත් මේ අයට ලැබෙනවා. අලි කොල්ලන්ට මෙය අලුත් හැඟීම් උපදවන කාරණයක් නිසා රංචුවේ ඉන්න අයගේ වයස නොබලාම අත්හදා බැලීම් කරන්නයි හිතන්නේ. හැබැයි එයාලට තාත්තලා වෙන්න තාම බැහැ.”

“එකට වැඩුණු අලි නෑම්බියෝ ඒ වගක් නොදන්නවා වුණාට මේ ගැටවරයන්ගේ දේවල් අම්මලා පුංචි අම්මලා නැන්දලා වගේ අත්දැකීම් සහිත අය දන්නවා. ඒ නිසා මේ දඩබ්බරයන්ගේ අලුත් අත්හදාබැලීම්වලට වැඩිහිටි ඇතින්නියන් ඉවසන්නේ නැහැ. නොමේරූ නෑම්බියන් නොතේරුම්කමට ඒ දේවල් ඉවසුවත් වැඩිහිටි ඇතින්නියෝ හොඳට හොඬවැල දිග හැරලා මතක හිටින්න පහර දෙනවා ඕන නැති වැඩවලට එන නාම්බන්ට.”

වෛද්‍ය අතපත්තු පවසන අන්දමට නොතේරුම් කමට හෝ අලි ගැටිස්සියන් මේ දඩබ්බර අලි නාඹරයන්ට අනුකූලතාවක් දැක්වුවහොත් දෙදෙනාටම පහර දීමට අම්මලා නැන්දලා ඉදිරිපත් වන්නේ මිනිස් සමාජයේ මෙනි.

“මේ තත්ත්වය යටතේ අලි තරුණයෝ කලකිරීමට පත්වෙනවා. ඊට පස්සේ වෙන රැලක හරි තමන්ට අවස්ථාවක් ලැබෙයි ද බලන්න උන්හිටි තැන් අතහැරලා යනවා.”

“මේ ගැන මත දෙකක් තිබෙනවා. වඩා ජනප්‍රිය මතය තමයි ගැහැනු පැටවුන්ව මේ කරදරකාරයින්ගෙන් බේරා ගැනීමට රැලෙන් පන්නා දමනවාය කියන එක. නමුත් මම බාරගන්නේ දෙවැනි මතය. ඒ තමයි එකම රැලක පවතින එකම ලේ නැත්නම් ජාන මුසුවීමෙන් පැටවු ඇතිවීම වළක්වා ගැනීම හා වෙනත් ජාන මිශ්‍ර වීමෙන් පරපුරේ තත්ත්වය ඉහළ නංවා ගැනීම.

ලිංගික ‍හෝමෝන උද්දීපනය වෙලා නුහුරු නුපුරුදු රාජකාරී කරන්න යද්දි ගහල පැන්නුවාම අසහනයට පත්වන අලින් රැලෙන් පැන්නුවාම කොහොමත් තනිවෙනවා. එහෙම වෙලා තව රංචුවකට එක් වෙන්න ගියත් තාම පොඩි වැඩියි කියලා දැනුණොත් ඉඩ දෙන්නේ නෑ. කොහොම හරි කාලා බීලා හොඳට උස් මහත් වෙලා පෙනුමට ආවාම නම් බඹා කෙටූ හැටියට තමන්ට ගැළපෙන අලි කුමාරිකාවක් හොයාගන්න ඒ තරම් අමාරු නැහැ.”

මෙසේ පැන්නූ අලි තරුණයන්ගෙන් ඇතෙක් හමුවීමට ඇති සම්භාවිතාව සියයට 4ක් තරම් අඩු බව වෛද්‍ය අතපත්තුගේ මතයයි. එසේම ඇතෙකු දුටු විට වැඩිහිටි ඇතින්නියන් ද එවැනි කුලවත් පිරිමි සතකු තම පවුලට බඳවා ගැනීමට මැලි නොවන බවත් ඔහු පවසයි.

ඒ හැරුණු කොට ඇත් තරුණයකු තනියකු වූ විට පවා ආරක්ෂාවට හා‍ ‍ෙස්වයට පරිවාර අලි දෙදෙනෙක් සිටින අවස්ථා ද බහුලය. අනෙක් අතට තනි අලින්ට වඩා තනි ඇත්තු හැස‍ිරෙන්නේ ද වැදගත් අයුරින් බව වෛද්‍ය අතපත්තුගේ අත්දැකීමයි.

චණ්ඩිකම් කරමින් රස්තියාදුකාරයන් මෙන් අටුකොටු කඩා මිනී මරා විනාශ කරමින් ඇවිදීමට දළ ඇත්තු එතරම් ප්‍රිය නැතුවා හෝ නැතහොත් ඇත් පැටවකු දුටු පමණින්ම ඒ සතා අල්ලාගෙන එන්නට මිනිසුන් පියවර ගන්නා නිසා හෝ වැඩිපුරම තමන්ට අල්ලන්නට සිදුවී ඇත්තේ තනි අලින් බව ‍වෛද්‍ය අතපත්තු කීවේ පැනයක් ඉතිරි කරමිනි.

ඒක දන්ත

කෙසේ වෙතත් ඒක දන්තයා නම් මිනිසුන් 7ක් මැරූ අලියා සොයා කරුවලගස්වැව ගිය ගමන ඔහුට අමතක නොවන්නේ දළයක් තිබූ නිසා නොව වල් අලියා ඇල්ලීමට බාධා කළ අද්භූත බලවේගය නිසාය.

“කරුවලගස්වැව ප්‍රදේශයේ වනගත ගම්මානවල ජන ජීවිතයට බලවත් කරදරයක් වෙලා තිබුණු “ඒක දන්ත” කියන අඩි 9ක් පමණ උසැති සද්දන්ත අලියා කෙසේ හෝ ඇල්ලීමට නියෝගයක් අපට ලැබුණා. මේ අලියාට තිබුණේ දකුණු දළය විතරයි. එය උපතින් වුණු දෙයක් නොවේ. කැලේදි කැඩිලා ගිය නිසා වුණු දෙයක්. වන සංරක්ෂණ නිලධාරියකුට පසුකාලෙකදී ඒක හමුවුණා ගහක් යට තිබිලා.”

කොහොම වුණත් අටුකොටු, වගාබිම් හානියට වගේම මිනිස් ඝාතනවලට නම් දරා හිටිය මේ අලියාත් අර අපේ ‘අලි අවතාරය’ වගේ කොතරම් සෙව්වත් හමුවුණේ නැහැ. අවසානයේ අපට නියෝගයක් ආවා මොන ක්‍රමයකින් හරි සතා අල්ලන්න කියලා”

සුපුරුදු පරිදි වෛද්‍ය අතපත්තු ඇතුළු කණ්ඩායම ගියේ කූඩාරම් ගසාගෙන අලියා සෙවීමේ මෙහෙයුම ඇරඹීමටය. එහෙත් හිටපු ඇමැතිවරයකු සතු අක්කර ගණනක ගොවිපොළක් හා සැප පහසුකම් ඇති බංගලාවක් දුටු පිරිස කූඩාරම් ගැසීම පසෙක ලා රාජ්‍ය බලය භාවිත කර මේ බංගලාවේ නවාතැන් ගැනීමට සැරසුණහ. මේ වන විට අදාළ ඇමැතිවරයා මෙලොවින් සමුගෙන තිබිණි. එහෙත් මුරකරු සිය හාම්පුතාට දැක්වූ ගෞරවයක් ලෙස කියා පෑවේ ප්‍රධාන කාමරයේ නවාතැන් නොගන්නා ලෙසයි.

“ඒ වුණාට මට ඒ කාමරය දැක්කම හරි ආශා හිතුණා. ඒ පාර මම එතැන ඉන්නවා කීවාම මුරකරු මට කීවා මහත්තයා හිටියට කමක් නෑ එහෙනම් මේ ඇඳේ නිදා ගන්න එපා කියලා. ඒත් ඒ ඇඳ හොඳ උඩු වියන් බැන්ද ස්ප්‍රිං මෙට්ටයක් දැමූ එකක්.

“ඒ නිසා මම ඇහුවා ‘ඇයි?’ කියලා.

“මහත්තයා ඕකේ නිදාගන්න ඕ‍න ජගතෙක්ව මහ රෑට කකුල් දෙකෙන් අල්ලලා පොලේ ගහනවා මේ ගෙදරට අරක් අරගෙන ඉන්න භූතයෙක්.” කියලා මුරකාරයා මට කීවා.”

මුරකරුට හා කියලා මම දොර වහගත්තා.

පසුවදා තබ්බෝව වැවට පහළ ගමේ ඒක දන්තයා අටුකොටු විනාශ කළ බව ආරංචි වී කණ්ඩායම උදේ රැයින් ගියමුත් අවසානයේ අලි අඩි ආදියෙන් තහවුරු වුණේ ඒ අලි රංචුවකගේ වැඩක් බවය.

අදෘශ්‍යමාන බලවේගය

“බලාපො‍ෙරාත්තු අත ඇරගෙන එන අතරෙ ගම්මු දාපු දැලක කිලෝ පහක විතර මාළුවෙක් පැටලිලා ඉන්නව දැකලා සමරේ පීනලා ගිහින් ඒකාව අරගෙන ආවා.”

“ඉතින් අපි රෑට මාලුත් උයන්න කියලා මුරකරුට කියලා ඉන්න අතරේ ඒ මනුස්සයා කීවා සර්, සර්ලාට ඔය අලියා අල්ලන්න හම්බ වෙන්නේ නෑ කියලා. මම එදා මුරකරුට හා කියලා දොර වහගත්තට නිදාගත්තේ ඒ වියන් ඇ‍ඳේ බව මනුස්සයාට අහුවෙලා. ඒ නිසා අදෘශ්‍යමාන බලවේගය අපේ වැඩ අඩපණ කරනවා කියලා කීවා.”

“ගොජ ගොජ ගාලා ඉදෙන මාලු හොද්දෙ සුවඳ දැනෙද්දි පුෂ් බයිසිකලයක් පැදගෙන හතිදාගෙන ආපු ගැමියෙක් කීවා ඒක දන්තයා අහල පහල කුඹුරු යායක ඉන්නවා කියලා. අපි හුස්මක් ගන්නත් කලින් ලෑස්ති වෙලා එතැනට ගියා. ඒත් අලියකු අල්ලන්න තරම් ඒ වෙලාවේ කරුවල වැඩියි.”

“වැඩේ අසාර්ථක වෙලා ආව ගමන් ආපහු අර මුරකරු කීවේ මම ඇඳේ නිදාගත්ත වරද නිසා අලියා අල්ලන්න බැරිවුණා. ඉදිරියටත් එහෙමම වෙයි කියලයි.”

“කොහොම හරි ඒ කාලේ වෙද්දි අපිට වෝකි ටෝකි තිබුණා. කලින් දා හවස ගිය තැන කිට්ටුවට අපි යද්දි අලියා ළඟපාත ඉන්න බවට ලකුණු හැටියට කොළ අතු අලි බෙටි ඔක්කොම තිබුණා. භූතයාට ඕන එකක් කොරගන්ඩ කියලා අපි කිලෝ මීටර දෙකක් කැලේ ඇතුළට යද්දි ඒක දන්තයා හිටියා. නිර්වින්දන ඖෂධ එහෙම ලෑස්ති කරන්න හදනකොටම අපේ වෝකි ටෝකි එකට පණිවුඩයක් ආවා පොලිස‍ියෙන් දෙන්නෙක් මාව එක්කන් යන්න ඇවිත් කියලා හදිසියකට.”

ඒක දන්තයා ඇල්ලීම පසෙක දැමූ වෛද්‍ය අතපත්තු ආපසු වාහනය ළඟට එද්දි පොලිස් නිලධාරීන් දෙදෙනා සැලියුට් ගසා තමන්ට ළඟම ඇති පොලිස් ස්ථානයට කැඳවාගෙන ගිය පසු ස්ථානාධිපති ද නැඟිට ආචාර කොට දුරකථන ඇමතුමක් ගෙන වෛද්‍යවරයාට දී තිබේ.

හදිසි ඇමැතුමක්

හලෝ...

හලෝ ඩොක්ට මම ප්‍රේමේ

ආ ඔව් ප්‍රේමේ මොකද හදිසියේ?

මෙය ඇසුණු ස්ථානාධිපතිවරයා නැඟී සිටියේ සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකි ලෙසිනි. දුරකථනයේ එහා කෙළවරින් ඇසුණු පිළිතුරෙන් පසුව වෛද්‍ය අතපත්තුගේ සුෂුම්නාව දිගේ ගිනි පුළිඟුවක් යන්නා සේ දැනිණි.

“මේ.. ඩොක්ට මම ආර්.ප්‍රේමදාස. කතරගමට ලොකු අලි ප්‍රශ්නයක් ඇවිත්. ඔතන මෙහෙයුම නතර කරලා දැන්මම එහෙට එන්න. ඔක්කොම දේවල් ජී.ඒ.ගෙන් ඉල්ලගන්න.

තමන්ගේ සගයකු යැයි සිතා ප්‍රේමේ කියා ඇමතුවේ වැරදීමකින් බව පොලිසියේ දී හිඳගෙන සිටි පුටුවෙන් නැඟිටිමින් බැගෑපත්ව කියූ වෛද්‍ය අතපත්තු ඇතුළු පිරිස වහාම කතරගම බලා පිටත්වුණේ ඒක දන්තයා ගේ දළ පහරක් වැදුණාටත් වඩා භීතියකිනි.

“අපි දිසාපති ළඟට යද්දි එතුමා මටත් වැඩිය බයවෙලා. තියෙන වාහන ඔක්කොම අරගෙන කතරගම යන්න කීවා. අපි වාහන දෙකක් විතරක් අරගෙන ගියා. ඒක දන්තයා එහෙම්මම අවුරුදු ගාණකට අමතක වුණා.”

වියන් ඇඳේ නිදාගත් වරදට අලියා ඇල්ලීමේ මෙහෙයුම වළක්වාලූ අදෘශ්‍යමාන බලවේගය එසේ ජය ගත්තේය. ඒක දන්තයාගෙන් ගමට සිදුවූ කරදර ද කලකට අඩුවී ගියේය. එහෙත් පසුකාලයකදී සුපුරුදු පරිදි නවගත්තේගම රදවි බැඳි ඇළ දී සාමාන්‍ය පරිදි කූඩාරම් ගසාගෙන ඒක දන්තයා අල්ලා ගන්නාවිට බලපෑමක් කිරීමට අදෘශ්‍යමාන බලවේගයට නොහැකි විය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]