කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
වැසි ජලය වකුගඩු රෝගයට හොඳ පිළියමක්

වැසි ජලය වකුගඩු රෝගයට හොඳ පිළියමක්

සෙට්ටිකුලම රෝහලේ වෛද්‍ය ශ්‍රීමතී හේරත්

මාස ගණනක් මුළුල්ලේ පැවැති නියඟය නිමා කරමින් දැන් රටේ බොහෝ ප්‍රදේශවලට වැසි ලැබෙන්නට පටන්ගෙන ඇත. වගා කරන්නට පමණක් නොව බොහෝ ප්‍රදේශවල බීමට ද ජලය හිඟවූ පසුගිය මාස කීපය තුළදී අපේ රටේ බොහෝ පිරිසකට දිය බිඳක වටිනාකම තදින් දැනුණ බව නිසැකය.

අහසින් වැටෙන එක ජල බිඳුවක්වත් නිකරුණේ මුහුදට ගලා යන්නට ඉඩ නොදිය යුතු බව මහාපරාක්‍රමබාහු රජතුමා ප්‍රකාශ කළේ මීට වසර සිය ගණනකට පෙරදීය. එම ප්‍රකාශය කෙතරම් අරුත්බරදැයි පැහැදිලි වන්නේ උග්‍ර ජල හිඟයක් ඇතිවූ විටෙක ය. විද්වතුන්ගේ මතය වන්නේ මුළු ලොවම ඉදිරි වසර කීපය තුළදී උග්‍ර ජල හිඟයකට මුහුණ දෙන බවය.

අපේ රටේ තෙත් කලාපයට එතරම් ජල හිඟයක් නැත. එහෙත් වියළි කලාපයට ජලය ලැබෙන්නේ ඔක්තෝබර්, දෙසැම්බර් මාසවල ලැබෙන ඊසාන දිග මෝසම් වැස්සෙනි. රජරට ගොවියා මුළු රටටම බත සපයන්නේත්, තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගන්නේත් වැසි දියෙනි.

අපේ රජ දරුවන් රටේ විවිධ ප්‍රදේශවල විශේෂයෙන්ම වියළි කලාපයේ මහා වැව් බැන්දේ අහසින් වැටෙන ජල බි‍ඳෙන් උපරීම ප්‍රයෝජන ලබා ගැනීමටය. රජරට ජනතාව ප්‍රධාන වශයෙන්ම තම අවශ්‍යතා සඳහා භාවිත කරන්නේ වැව් ජලයයි. මෙම ප්‍රදේශවල ජනතාව ළිං හෝ වර්තමානයේදී නළ ළිං මඟින් බීමට ජලය ලබාගත්ත ද, එම ජලය බොහෝ විට බීම අපහසුය.

ඒ, එම ජලයේ ඇති අධික ලවණ ස්වභාවය නිසා දැනෙන කිවුල් රසය නිසාය. එය එම භූමි ප්‍රදේශවලට උරුම වූ තත්ත්වයකි. මෙම ප්‍රදේශවල බීමට ගන්නා ජලයේ කැල්සියම් කාබනේට් අධිකව ඇති නිසා එම ජලය ප්‍රදේශයේ ජනතාවගේ වකුගඩු අකර්මණ්‍ය කිරීමට ප්‍රධාන හේතුවක් වී ඇත.

එදා වේල සපයා ගැනීමට මහ පොළොව සමඟ ගැටෙන ජනතාවගේ වකුගඩු රෝගී වූ විට ඔවුන් වැටෙන අසරණ තත්ත්වය කනගාටුදායකය. මෙම ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට තිබෙන කදිම විසඳුමක් ලෙස වැසි ජල ටැංකි යොදාගත හැකි බව අපට පැහැදිලි වූයේ පසුගිය දිනෙක රජරට ප්‍රදේශයේත් වව්නියාව දිස්ත්‍රික්කයේත් කළ සංචාරයකදීය. මෙම සංචාරය සංවිධානය කරනු ලැබුවේ ලංකා වැසි ජලය රැස් කරන්නන්ගේ සංසදය (Lanka Rainwater Harvesting Forum) නමැති සංවිධානය මඟිනි.

ලංකා වැසි ජලය රැස් කරන්නන්ගේ සංසදය රාජ්‍ය නොවන සංවිධානයකි. එහි අධ්‍යක්ෂිකා තනුජා ආරියනන්ද මහත්මිය පවසන පරිදි මෙම සංවිධානය ආරම්භ කරන ලද්දේ 1996 වසරේදීය. ක්‍රමයෙන් වර්ධනය වූ මෙම සංවිධානය දිවයිනේ බීමට සුදුසු ජලය සපයාගත නොහැකි ජනතාවට වැසි ජලය රැස් කිරීමේ ටැංකි ලබා දෙමින්, පොළොවට වැටෙන වැසි ජලය පොළොවේ ජල මට්ටම ඉහළ නංවා ගැනීමට යොදාගන්නා ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් සුවිශේෂී සමාජ සද්කාර්යයක නියැළී සිටී.

රජයේ මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කීපයකම අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාව පුරා වැසි ජලය රැස් කිරීමේ ටැංකි 42,000 කට අධික සංඛ්‍යාවක් සාදා ඇත. ඉන් වැසි ජල ටැංකි 6000 කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කර ඇත්තේ ලංකා වැසි ජලය රැස් කරන්නන්ගේ සංසදය විසිනි.

මෙම සංසදය වව්නියාව දිස්ත්‍රික්කය තුළ වෙන්ගල චෙට්ටිකුලම, වව්නියාව දකුණ, වව්නියාව උතුර සහ වව්නියාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ මේ වන විට වැසි ජල ටැංකි 750 ක් නිර්මාණය කර දී ඇත. මේ ප්‍රදේශ පසුගිය කාලයේ යුද්ධයෙන් බැට කෑ ප්‍රදේශයන්ය. මෙම ප්‍රදේශවල වෙසෙන ජනතාවට පසුගිය වසර තිස් ගණනක කාලය තුළ විඳින්නට සිදුවූයේ යුද්ධයේ අමිහිරි අත්දැකීම්ය.

යුද්ධය නිසා දුක් විඳින අතරතුර පිපාසයට ජලය සොයමින් ඔවුන් ගෙවන්නට ඇත්තේ කෙබඳු ජීවිතයක් දැයි සිතාගැනීමට පවා අසීරුය. එම ප්‍රදේශවලට හඳුන්වා දී ඇති වැසි ජල ටැංකි ඔවුන්ගේ ජීවිතවලට නව බලාපොරොත්තුවක් එක් කරන්නට සමත් වී ඇත. මෙම ප්‍රදේශවල වැඩි වශයෙන් ජීවත් වන්නේ දෙමළ සහ මුස්ලිම් ජනතාවය.

පිපාසයක් දැනුණු විට දිය පොදක අවශ්‍යතාවය දැනෙන්නේ සිංහල දෙමළ, මුස්ලිම් යන සියලුම ජනයාට එක හා සමාන ලෙසටය. වසර තිහකට ආසන්න කාලයක් ඉහත ප්‍රදේශවල ජනයා මැදිව සිටි කුරිරු යුද්ධයෙන් මුදවා ගැනීමට අපේ ත්‍රිවිධ හමුදාවන් කටයුතු කළා සේම, වකුගඩු රෝගයෙන් මෙන්ම බීමට ජලය හිඟයෙන් ඔවුන්ව මුදවා ගැනීමට රජය සහ විවිධ රාජ්‍ය නොවන සංවිධාන ගනු ලබන වෙහෙස ඉතා අගය කළ යුතුය.

ලංකා වැසි ජලය රැස් කරන්නන්ගේ සංසදය මඟින් වව්නියාව ප්‍රදේශයේ තෝරාගත් නිවෙස් සඳහා ඉදිකර දී තිබෙන වැසි ජල ටැංකිවල ධාරිතාවය ලීටර් 8000 කි. රෝහල් පාසල් වැනි පොදු ස්ථාන සඳහා ලීටර් 30,000 ටැංකි නිර්මාණය කර දී ඇත.

මෙම සංචාරයේ දී අප පළමුව හමුවූ මාමඩුව, මහකච්චකොඩිය, කුඩා කච්චකොඩිය වැනි ගම්මානවල ජනතාව බහුතරයක් පසුගිය වසර ගණනාව පුරාම යුද්ධයෙන් බැට කෑ සිංහල ජනතාවය. ඔවුන් අතර වකුගඩු රෝගයට ගොදුරු වූවන් බහුලය. සෑම පවුලකම වාගේ වකුගඩු රෝගයට ගොදුරු වූ එක් අයකු හෝ සිටී.

කුඩා කච්චකොඩිය ප්‍රදේශයේ දී අපට හමු වූ වසන්තා කුමාරි වැසි ජල ටැංකි පිළිබඳව කතා කළේ ඉතාම විශ්වසනීය හැඟීමකිනි. “මම රැකියාව කරන්නෙ සිවිල් ආරක්ෂක බළකායේ. මගෙ මහත්තයා මීට අවුරුදු කීපයකට ඉස්සර වෙලා මිය ගියා. මගේ දරුවො ජීවත් කරවන්නෙ මම. පසුගිය කාලෙ යුද්ධය නිසාත්, ජල හිඟය නිසාත් අපි ගොඩක් දුක් වින්දා.

මීට අවුරුද්දකට විතර ඉස්සර කොළඹින් ආව නෝනා මහත්තුරු පිරිසක් වැසි ජලය ප්‍රයෝජනයට ගන්නා හැටි අපිට කියල දුන්නා; විශේෂයෙන්ම බීමට සහ ගෙදර දොරේ වැඩට. ඊට පස්සෙ වැසි ජලය රැස් කරන ටැංකියක් සාදා ගන්නත් මට උදව් කළා. ඊළඟ වැස්සෙන් එම ටැංකියට වැසි ජලය රැස්කර ගත්තා. ඒත් ඒව බොන්න ගත්තේ නෑ.

ඒ මොකද ඒ වතුර බොන්න සුදුසු ද කියන විශ්වාසය මට නොතිබුණු නිසා. ඔය අතරේ මේ ප්‍රදේශයේ වැඩිවීගෙන යන වකුගඩු රෝගයට හේතුව හොයන අදහසින් ජල සම්පාදනේ මහත්තුරු පිරිසක් අපි වතුර බොන ළිංවල වතුර පරීක්ෂා කරන්න අපේ ගමට ආව. ඒ මහත්තුරු අපි වතුර බොන ළිංවල වතුර බෝතලයක් අරගෙන එන්න කිව්වා.

මම අරගෙන ගියේ වැසි ජල ටැංකියේ වතුර බෝතලයක්. ඒ මහත්තුරු අපේ අය ගෙන ගිය වතුර බෝතල්වල ලවණ ප්‍රමාණය පරීක්ෂා කළා. ඒ පරීක්ෂාවේදී සමහර අයගේ ළිංවල ලවණතාවය දාහක පමණ අගයක් ගත්තා. තවත් සමහර ළිංවල ජලයේ ලවණතාවය 700, 800 වැනි අගයන් ගත්තා. නමුත් මම ගෙනිච්ච වැසි ජලය බෝතලයේ ලවණ තාවය 40 යි.

බොන්න සුදුසුම වතුර මම ගෙන ගිය වතුර කියල ඒ මහත්තුරු කිව්වා. එදා ඉඳල මම කිසිම බයක් නැතිව වැසි ජල ටැංකියේ ඇති ජලය බීමට ගත්තා. අපි ඉතාම පරිස්සමින් තමයි මේ වැසි ජලය ප්‍රයෝජනයට ගන්නෙ." ඒ වසන්තා වැසි ජලය ගැන දැක්වූ අදහස්ය.

ඉන් පසුව අප ගමන් කළේ වව්නියාව ප්‍රදේශයේ ඇති එකම රජයේ ආයුර්වේද රෝහල වෙතය. එම රෝහලේ වැසි ජලය රැස් කරන්නේ වෙනස්ම ක්‍රමයකටය. ඒ පිළිබඳව අපි එම රෝහලේ වෛද්‍ය කීර්තිකා සුරේන්ද්‍ර මහත්මියගෙන් විමසා සිටියෙමු.

මේ රෝහල තමයි වව්නියාව දිස්ත්‍රික්කයට තියෙන එකම ආයුර්වේද රෝහල. දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් මේ රෝහලේ සේවය ලබා ගන්නවා. රෝහලේ තියෙන ළි‍ඳේ සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේදී වතුර නැති වෙනවා. එහෙම වුණාම බවුසර්වලින් තමයි රෝහලට වතුර ගේන්නේ. ඒ වැඩේට මාසෙකට රුපියල් 5000 ක් විතර වියදම් වෙනවා.

නමුත් පසුගිය කාලෙ මේ ළි‍ඳේ වතුර නැතිවුණේ නෑ. ඒකට හේතුව තමයි පසුගිය වැසි කාලෙ ලැබුණු වතුර මේ ළිඳට එක්රැස් කිරීම. වැසි ජලය ළිඳට එකතු කරන්නේ ෆිල්ටර් ක්‍රමයක් මඟින් වැසි ජලය ෆිල්ටර් කිරීමෙන් පසුවයි. දැන් මේ ළි‍ඳේ වතුර හි‍ඳෙන්නේ නෑ.”

මීළඟට අප ගියේ සෙට්ටිකුලම ආඬියාපුලියන්කුලම මහා විදුහලටය. අප එහි යන විට මධ්‍යාහ්න 12 ට පමණ ඇත. පාසලේ ඇති වැසි ජල ටැංකියෙන් තම පිපාසය සංසිඳුවාගන්නා දරු දැරියන් කීප දෙනෙක්ම අපට එහිදී දැකගත හැකි විය. ඉතාම ක්‍රමානුකූලව සකසා ඇති, ඉතා හොඳින් නඩත්තු කරන එම වැසි ජල ටැංකිය ලීටර් 30,000 ක ධාරිතාවයකින් යුක්තය.

එහිදී වැසි ජල ටැංකියෙන් පාසලට ඇති ප්‍රයෝජනය පිළිබඳව අපට කරුණු පැහැදිලි කළේ පාසලේ විදුහල්පති මොහොමඩ් ජාබීර් මහතාය. අපේ පාසලේ ළමයි 500 ක් විතර, ගුරුවරුන් 17 දෙනෙකුත් ඉන්නවා. අපේ ළමයි මීට කලකට ‍ඉස්සර වතුර බිව්වේ ළි‍ඳෙන්. ඒ වතුර පිරිසිදු නෑ. ඒ වතුර බීලා සතියකට දරුවො කීප දෙනෙක්ම අසනීප වුණා. දැන් අපේ ජල අවශ්‍යතාවයෙන් 50% ක්ම ගන්නේ මේ වැසි ජල ටැංකියෙන්. මේ ටැංකිය අපිට හරිම ප්‍රයෝජනවත්. මේක නඩත්තු කරන්නේ අපේ දරුවන් විසින්මයි.

අප අවසන් වරට ගියේ සෙට්ටිකුලම රජයේ රෝහල වෙතය. ලංකා වැසි ජලය රැස් කරන්නන්ගේ සංසදය මෙම රෝහලේ ද ලීටර් 30,000 වැසි ජල ටැංකියක් ස්ථාපනය කර ඇත. ඒ මීට මාස කීපයකට පෙරදීය. රෝහල් සේවකයින් බලා සිටින්නේ මීළඟ වැස්සෙන් එම වැසි ජල ටැංකිය පුරවා ගැනීමටය. එම රෝහලේ වෛද්‍ය ශ්‍රීමතී හේරත් මහත්මියගෙන් ප්‍රදේශයේ වකුගඩු රෝගීන් පිළිබඳව අපි විමසීමක් කළෙමු.

“අපේ රෝහලේ සායනවලට සතියකට වකුගඩු රෝගීන් 100 ක් විතර එනවා. සෑම මාසෙකම අලුත් වකුගඩු රෝගීන් තුන් හතර දෙනෙක් වාර්තා වෙනවා. මේ ප්‍රදේශයෙන් මෙතරම් වකුගඩු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ මේ ජනතාවට බොන්න තිබෙන ජලයේ ලවණතාවය ඉතා ඉහළ අගයක් ගැනීම නිසයි. එම ජලයේ කැල්සියම් ප්‍රමාණය ඉතාම ඉහළයි. මම හිතනවා වැසි ජලය බීමට ගැනීම වකුගඩු රෝගයට හොඳ පිළියමක් කියලා.

වව්නියාව ප්‍රදේශයේ අප කළ නිරීක්ෂණ චාරිකාවේදී අපට හමුවූ විවිධ තරාතිරමේ පුද්ගලයින්ගේ අදහස වූයේ ඔවුන්ගේ පානීය ජල ගැටලුවටත්, ලවණතාවය අධික ජලය බීම නිසා ඇතිවන වකුගඩු රෝගයටත් වැසි ජල ටැංකි ඉතා කදිම පිළිතුරක් බවය. ඔවුන් සැම දෙනා වැසි ජල ටැංකි ඉල්ලන්නේ එබැවිනි. එය ලංකා වැසි ජලය රැස් කරන්නන්ගේ සංසදයට හෝ රජයට පමණක් කළ නොහැක්කකි. මේ පිළිබඳව අවබෝධයක් ශක්තියක් ඇති පිරිස් මෙම සද්කාර්යයට දායක විය යුත්තේ එබැවිනි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]