කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
දෙවියන්ට බුදුන්ට පහන් දැල්වීමේ වෙනස වටහා ගන්න

දෙවියන්ට බුදුන්ට පහන් දැල්වීමේ වෙනස වටහා ගන්න

ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි

දකුණු පළාතේ නැකැති කුලයට අයත් මිනිසුන් ජීවත්වන කුඩා ගම්මානයක් තිබුණි. විධිමත් පාරක් තොටක් නැති ඒ ගම පිහිටා තිබුණේ වගුරු බිමකය. විදුලිය හෝ නළ ජල පහසුකම් ආදී කිසිත් එහි නොවීය. අසල ගම් කුලීනයන්ගේ හඳහන් පිරික්සා නැකැත් සීට්ටු සාදා දුන් ඔවුන්ට තුටු පඬුරු ලෙස ලැබුණේ මිල මුදල් ‍ෙනාව රා පොල්කටුවකි. බුලත් විටකි. ඉදින් ඒ ගම් වැසියන් බොහෝ දෙනෙක් නිරායාසයෙන් ම බේබද්දන් බවට පත්වුණි. මිනිසුන් ලෙස, සිටි තැනින් ගොඩ එන්නට නොහැකි වුණි.

කලෙකදී මැද පෙරදිග රැකියා සඳහා ගිය ගමේ කාන්තාවෝ දුක් මහන්සියෙන් උපයා ගත් පනම් හතරෙන් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ‍ලබා දෙන්නට ‍වෙහෙසුණාහ. එහි ප්‍රතිඵලයක් ලෙස ටිකෙන් ටික ගම ගොඩනැඟුණි. එක් වකවානුවක දකුණු පළාත් සභාවේ ලේකම්වරයකු ද ඒ ගම් පියසෙන් බිහිවුණි.

මිනිසුන් ලෙස නැඟී සිටින්නට ඉඩ නොදී ඔවුන් ගේ සේවයට සරිලන මුදලක්, කුලියක් නොදී ඒ ගමේ නොදියුණුකම ගැන කතා කළ කුලීනයන් යැයි කියාගන්නා පිරිස් එදා බොහෝ වූහ.

“ඔය ගම දියුණු වෙන්නෙ නැත්තේ අසුවල් පන්සලේ විහාර ගෙයි වැඩ ඉන්න බුදුපිළිම වහන්සේ ගේ නේත්‍රා දෘෂ්ටිය වැටෙන නිසා” යැයි ඔවුහු ඊට බොහෝ හේතුසාධක පෙන්වූහ.

මුළු ලෝකයටම කාරුණික වූ සම්මා සම්බුදුවරයකු ගේ නේත්‍රා දෘෂ්ටියට ගමක් අඳුරේ හෙළන්නට පුළුවන්ද? ගමේ දියුණුව අඩාල කරන්නට පුළුවන්ද? මිථ්‍යා විශ්වාස කරපින්නා ගත් අය මිස තිසරණ සරණ ගිය, අවබෝධයෙන් ධර්මය ඉගෙනගත් කිසිවෙක් මෙවැනි මත ඉදිරිපත් කරන්නේ හෝ විශ්වාස කරන්නේ හෝ නැත.

මේ හා සමාන මිථ්‍යා විශ්වාසයන් අද ද අප සමාජයේ, විශේෂයෙන් ගෘහ ජීවිතය සම්බන්ධව ගොඩ නැඟී තිබේ. අදෘශ්‍යමාන බලාවේගවලින් සිදුවන බලපෑම් දුරු කර ගැනීමට; එසේත් නැතිනම් අවම කර ගැනීමට අපි විවිධ උපක්‍රම භාවිත කරමු. නිවෙස තුළ සිදු කෙරෙන ආගමික වතාවත්වලට එහිදී ප්‍රමුඛතාවයක් ලැබෙන අතර බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීම, විවිධ දිශාභිමුඛව දේව රූප එල්ලා තැබීම, පුද පූජා පැවැත්වීම ආදී විවිධ ආගමානුකූල ක්‍රියාවන්හි නිරත වෙමු. එය යහපත් කටයුත්තකි. එහෙත් කවර ආගමක් නියෝජනය කළ ද කෙනෙක් තම ආගමික ශාස්තෘවරයාණන් වෙනුවෙන් පුද පූජා කරන තැන ඉතා පිරිසිදු තැනක් වීම අනිවාර්යය. එය ඔබ බලාපොරොත්තු වන ආශිර්වාදය ලබාගැනීමේ ලා ප්‍රබල කරුණකි. කෙනෙක් තුළ මානසික ප්‍රබෝධයක් ඇතිවන්නේ එවිටය.

නිවෙසක ආගමික වතාවත් සඳහා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ‍හෝ බුද්ධ රූපයක් තැබීමට වඩාත් සුදුසු දිශාවක් තිබේද? දවසින් දවස නිවසේ අයට පැමිණෙන දුක් කරදරවල කෙළවරක් නොදැක ගෙයි දෝෂ වෙත්දැයි බලන ලෙස ජ්‍යොතිෂකරුවකු ගෙන් කළ ඉල්ලිමක දී ඔහු,

“ඔබ ගේ නිවෙසේ දුක් කරදර වැඩිවෙන්නට එකම හේතුව බුදු පිළිම වහන්සේ තබා ඇති දිශාව වැරැදි යැයි ඔබට කියා තිබේද? බුදුරජාණන් වහන්සේ මේ ලොව පහළ වූ අසම සම ශාස්තෘවරයෙකි. සසර ගැන කතා කරන, මේ ලෝකයෙන් විනිර්මුක්ත වූ ලෝකෝත්තර උත්තමයෙකි. උන්වහන්සේ ලෞකිකත්වය සමඟ බැඳී නැත. බුදුරජාණන් වහන්සේ දිශා අතික්‍රමණය කළහ. උතුරු දිශාවට, දකුණු, නැ‍ඟෙනහිර ආදී කිසිදු දිශාවකින් උන්වහන්සේට බලපෑමක් නොවේ. තථාගතයන් වහන්සේට වඩා දිශාවට අධිපති දෙවියකු බලවත් වී ඔබට හානියක්, විපතක් වේ යැයි කියනවා නම් එය බුදුරදුන්ට කරන බලවත් නිගාවකි. ධජග්ග සූත්‍ර දේශනාව කියවන්න. තමන් වහන්සේට බලපෑමක් කළ හැකි කෙනෙක් නොවන බව බුදුරදුන් එහි පැහැදිලිව පෙන්වා දී තිබේ. ඒ ඒ දේව කොටස්, ඒ ඒ දේව නායකයා ගේ ධජය දෙස බලා බිය නැතිකර ගත්ත ද අවසානයේ මහා බ්‍රහ්මයාට ද බිය වේ. ඒ මහා බ්‍රහ්මයා බිය නැති කර ගන්නේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, හා සංඝරත්නය සිහි කිරීමෙනි.

මේ නිසා බුද්ධ රූපයක් තැන්පත් කිරීමේදී දිශා ගැන අවධානය යොමු කිරීම ඵල රහිත ක්‍රියාවකි. අවශ්‍ය එකම දෙය නිවෙසක පිරිසිදු තැනක බුදු කුටියක් නිර්මාණය කර ගැනීමය. එයින් සියලු අයහපත් දේට, භූත ප්‍රේත දෝෂ දුරු කරගැනීමට හැකි වේ.

ඔබ අබෞද්ධයකු වුවද, නිවෙසක යම් තැ‍නක ගෞරවනීය ලෙස, ඔබගෙන් අකටයුත්තක් නොවන ලෙස බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීම වැදගත් වන්නේ බුදුරුවක් ඇති තැනකට ප්‍රේත භූත බලපෑම් නොඑන බැවිනි. යුරෝපීය රටවල ජනයා ශීඝ්‍රයෙන් බුදුදහම වැලඳගන්නා බව දැන් ප්‍රකට කරුණකි. අබෞද්ධයින් වන බොහෝ යුරෝපීයයන් ද තම නිවසේ ‍ෙදාරකඩ සමීපයෙහි බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කර ගැනීමට උන්දු වන්නේ එයින් මහා භාග්‍යයක්, සෙතක් උදාවන බව විශ්වාස කරන හෙයිනි.

ඔබ බෞද්ධයකු නම් බුදු කුටිය නිර්මාණය කරගත යුතු වන්නේ වැඩි පිරිසක් නොගැවසෙන කාමරයකය. ඈතට දර්ශනය වන ලෙස, සිත් පහන් කරවීමේ අරමුණින් උඩු මහලේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීම වරදක් නොවුණ ද ආගමික වතාවත් සඳහා එවැනි තැනක් නුසුදුසු වන්නේ වැඩිහිටියන්ට වන්දනා කිරීමට අපහසු බැවිනි. පහත මාලයේ වුවද උඩු මහලේ නාන කාමරයට පහළින් බුදුකුටිය සෑදීම නුසුදුසුය. නොපෙනුණද අපවිත්‍ර දේ එහි සිදුවන බව ඔබ ගේ සිත දන්නා බැවිනි. ඔබ ආගමික වතාවත් කරන තැන පරණ බඩු බාහිරාදිය සියල්ල ගොඩගසනා තැනක් නොවිය යුතුය. උදැල්ල, විල්බැරෝව, දරුවන්ගේ කැඩී බිඳී ගිය සෙල්ලම් බඩු ආදී අනේකවිධ දේ එහි තිබෙනවා නම් බුදුරදුන්ට ආදරයෙන් එහි එන සම්‍යක්දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදය ඔබට හිමි වන්නේ නැත. එවැනි අපිරිසිදු වැඩ කරන්නට දෙවියන් ඔබට ඉඩ දෙන්නේ නැත.

බුදුරුවක් සමඟ දේව රූප එල්ලා තැබීම අවශ්‍ය ද අනවශ්‍යද? එය හොඳද නරකද? මෙය ද ඔබට ගැටලුවක් වන්නට ඇත. මෙසේ සිතන්න. ඔබගේ නිවස ඉහළම තාක්ෂණික මෙවලම් භාවිත කර සොර සතුරන්ගෙන් ආරක්ෂා කර තිබේ. එසේ තිබියදීත් නිවසේ ආරක්ෂාවට යැයි සුනඛයකු ඇති දැඩි කිරීම අනවශ්‍ය දෙයකි. මන්ද එකම මස් කටුවකින් ඒ සතා රවටා ගත හැකි බැවිනි. එසේත් නැතිනම් සතාට අනතුරක් කොට අභිමථාර්ථය ඉෂ්ට කරගත හැකි බැවිනි. කෙනෙක් එයින් ද සැහීමට පත් නොවී මුරකරුවෙක් ද තබා ගනී. එහෙත් මේ මනුෂ්‍යයාගෙන් ද සොර සතුරන්ට ඇවැසි තොරතුරු ලබා ගත හැකිය.

බුදුරුවක් ළඟින් දේව රූප තබාගැනීම ද මේ හා සමාන නිෂ්ඵල ක්‍රියාවකි. අතීතයේ පටන් අපි එකතු කරගෙන තිබෙන්නේ බුදුහිමියන්ට, බෞද්ධ ධර්මයට අදාළ දේ නොව දේව ආගම්වලට ඇවැසි දේය. දෙවියන් අදහන ආගමිකයන්ට ඒ ඒ ආගමට අනුව දේව රූපවලට පුද පූජා දැක්වීම කළ යුතුම දේය. එහෙත් බෞද්ධයන්ට දෙවියන් යනු කවුද යන්න පිළිබඳව හොඳ අවබෝධයක් තිබිය යුතුය.

‘දෙවියා’ යනු දුර්වල කෙනෙකි. ඒ දුර්වල තැන් වසා ගන්නට යම් යම් දේ දෙවියන් වෙත ළඟා කර දිය යුතු වේ.

එහෙත් ඔබ ශක්තිමත් කරන, ඔබගේ මනස ගොඩනඟන ශාස්තෘවරයා බුදුරජාණන් වහන්සේ නම් දෙවියන් ඇදහීම, අවශ්‍ය නොවේ. බෞද්ධයා යනු උදේ සවස බුදුරුවක් අබියස මල් පහන් පුදා හැකි තරම් පාපී ක්‍රියාවල නිරතවීම නොවන බව ද සිහි තබා ගත යුතුය. බුදු මඟ යනවා නම් ඔබ පංචශීලයෙන් සුරක්ෂිතය. වැරදිවලින් තොරය. ඔබගේ නිවසේ මවුපියන්ට වැඩිහිටියන්ට සතුටින් ජීවත්වන්නට අවකාශය තිබේ. මහා සංඝරත්නයට, ආගන්තුකයින්ට ගරු සත්කාර ලැබේ. ඉදින් ඔබ ගේ නිවෙසේ තවත් දේව රූප තබාගැනීම අවශ්‍ය වන්නේ නැත.

එසේ නම් ‍රටේ ප්‍රධාන බෞද්ධ විහාරස්ථානවල පවා විවිධ දේව රූප තබා තිබෙන්නේ ඇයි දැයි ඔබට ගැටලුවක් වන්නට ඇත. පන්සලකට විවිධ පුද්ගලයන් පැමිණේ. ඔවුන්ගේ මානසික මට්ටම, විශ්වාසයන් විවිධාකාරය. ඒ විශ්වාසය මත එන මනුෂ්‍යයාට පන්සලක දී තමන් අදහන ආගමක නායකයෙක් දැකීම අස්වැසීමකි. එහෙත් නිවෙස එවැනි තැනක් නොවේ. එය ඔබ අඹුදරුවන් සමඟ ජීවත්වන තැනය.

බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි පහනක් දල්වන්නේ ඒ ආ‍ලෝකයෙන් අඳුර දුරුවී ගියා සේ අප ගේ මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥාව පහළ වේවා යන ප්‍රාර්ථනයෙනි. දෙවියන්ට එවැනි ප්‍රර්ථනයකින් පහන් දල්වන්නේ හෝ පුද පූජා දෙන්නේ නැත. එවැනි දේ සිදු කරන්නේ දෙවියන් සතුටු කොට අපට යමක් ලබා ගැනීමටය.

ඒ සඳහා බුදු රුව ඇති තැනක දේව රූප එල්ලා තැබීම අවශ්‍ය නොවේ. ඔබට අවශ්‍ය නම් ඒ සඳහා එළිමහනේ පහනක් දැල්විය හැකිය.

බෞද්ධයන් අතර බොහෝ දෙනා ගම්භාර දෙවියන්, සූනියම් දෙවියන් අදහති. පුද පූජා පවත්වති. ඒ ආධ්‍යාත්මික වශයෙන් නොව භෞතිකමය වශයෙන් විවිධ දේ බලාපො‍ෙරාත්තුවෙනි. තමන් දුක් මහන්සි වී වපුරා ගත් කෙත අලි ඇතුන් ආදී වන සිවුපාවුන්ගෙන් ආරක්ෂා කර ගැනීම, දුරබැහැර ගමනක් යන විට විපතක් කරදරයක් නොවී නිරුපද්‍රිතව ආපසු ඒමට ආශිර්වාද ලබාගැනීම ආදී විවිධ ප්‍රාර්ථනා එහි වේ. එවැනි අපේක්ෂාවන් අකැප නොවේ. එහෙත් දේවාශිර්වාදය ලබන්නට නම්, අප පැවතිය යුතු නිවැරදි පිළිවෙතක් තිබේ. ඒ පිළිවෙත මඟහරින්නේ නම් කොපමණ ආගමික වතාවත්වල නියැළුණත්, කොපමණ මල් පහන් පූජා සිදු කළත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත.

ලබන සතියේ : දේවාශිර්වාදය ලබන්නට නම්.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]