කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
මරුමුවේ දී ද දහම් දෙසූ රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක නාහිමියෝ

මරුමුවේ දී ද දහම් දෙසූ රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක නාහිමියෝ

කිරුළපනේ පූර්වාරාම මහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පද්බේරියේ විමලඥාන හිමි

මිනී පෙට්ටිය ගෙනෙන තුරු රන් මැණිකේගේ මළ සිරුර ඇතුළු කුටියෙක පටු ඇ‍ඳෙක තබා තිබිණ.

“අම්මේ” යි කියාගෙන ඇගේ දෙහැවිරිදි පුතා ඒ කුටියට දිව ගියේ ය. මවු තුරුලට පැන හැට්ටය ඇඳ කිරි උරන්නට සැරැසුණේය. ඒ සමඟ ම ඒ දරුවා ගේ පුංචි අම්මා එතැනට ආවා ය.

“අනේ මගේ පුතේ යි” කියමින් ඇය, ඒ මළ සිරුරෙන් ඔහු ඉවතට ඇදැගෙන ගොස් ඔහුගේ නැන්දාට බාර දුන්නා ය. නැන්දා එක් හැවිරිදි දරුවකුගේ මවකි.

“පුතේ මගෙන් කිරි බොන්න” ඇය ඔහු තුරුලු කැරැ ගත්තාය. ඔහු කිරි උගුරක් දෙකක් බී “අම්මාගෙන් කිරි බොන්න ඕනැ...” යි කියමින් හඬන්නට විය.

මුළු ගමම හඬවමින් ඒ කුඩා දරුවා මව ළඟට යන්නට දැඟලුවේය.

ගමක් හැඬ වූ ඒ දරුවා පසු කලෙක රටක් සැනසුවේය. ඒ උතුම් දහම් දෙසු මහ යතිවරයෙක් වෙමිනි; මහ පඬිවරයෙක් වෙමිනි; දක්ෂ ධර්මාචාර්යවරයෙක් වෙමිනි; ආදර්ශවත් සංඝ පීතෲ වරයෙක් වෙමිනි. ඒ සියම් මහ නිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරි, හා අනුනායක, රාජකීය පණ්ඩිත, විද්‍යා විශාරද, ශාස්ත්‍රපති රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක නා හිමියන් ගේ ගිහි නම රද්දැල්ලේ පල්ලැහැගේ පොඩි මහත්තයා ය. 1909 ජනවාරි 12 වැනි දා රත්නපුරයට කිලෝ මීටර් පහක් පමණ දුරින් පිහිටි රද්දැල්ලේ ගමේ උපන් පොඩි මහත්තයාගේ පියා චන්දනහාමි මහතා ය. ඔහු ගමේ ගම්මුළාදැනියා ය. පනිරැන්නැහැලාගේ රන් මැණිකේ මහත්මිය ඔහුගේ මව ය.

ඔහු ඉපදී දෙවසරකින් මව සදහටම සමුගත්තා ය. රද්දැල්ලට නුදුරු කරංගොඩ පාසලෙන් දෙවසරක් අධ්‍යාපනය ලැබූ, පොඩි මහත්තයා ඉන්පසු මාමා වෙසෙන එල්ලාවලට ගියේය. එල්ලාවල පාසලේ පස්වැන්න දක්වා ඉගෙනීමේ යෙදුණු ඔහුට මාමාගේ ගොවිතැන් වැඩට සහ මැණික් පතල් වැඩට හවුල් වීමට ද සිදු වූයේ ය. මාමා උගතෙකි. ඔහු පොඩි මහත්තයාට සංස්කෘත ශ්ලෝක කට පාඩම් කැරැවීය. බෑණා වෙදකු කිරීමට මාමාට වුවමනා විය. ඔහු ඇහැලියගොඩ මානිංගොඩ අභයවර්ධන වෙද මහතාට බාර දුන් මාමා “මේ ළමයා සංස්කෘත ශ්ලෝක පාඩම් කිරීමට හපනා. වෙදකම ඉගෙනීමට හොඳ වේවි” යි කීය. ඈත ළිඳක සිට වතුර ඇදීම වැනි කටයුතුවල ද යෙදෙමින් පොඩි මහත්මයා වෙද පොත් පාඩම් කළේය. ඒ සුළු කලකට පමණි. යළි මාමාගේ මැණික් පතල් වැඩට යන්නට ඔහුට සිදු විය.

මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනේ එල්ලාවල සංකිච්ච හිමියෝ ගමේ පන්සලට පැමිණ මාස කීපයක් ගෙවූහ. ඒ කාලයේ දී උන්වහන්සේට පොඩි මහත්තයාගේ ගති පැවතුම්වල ඇති සංවර, විනීත, බව පෙනිණ. සංස්කෘත ශ්ලෝක නිවැරැදිව උච්ඡාරණයෙන් යුතුව ගයන හැටි ද, ඒ ශ්ලෝකවල අරුත් පැහැදිලි කරන හැටි ද ඇසූහ.

“මේ දරුවාව සසුනට සුදුස්සෙක්” යි සිතු සංකිච්ච හිමියෝ ඔහුට සිංහල, පාලි, සංස්කෘත ඉගැන්වූහ. ඇසෙන ඇසෙන දේ, කියවන කියවන දේ වහා මුල් අල්ලන කෙතක් විය ඔහුගේ සිත. ඒ හිමියන් සමඟ පන්සලේ වැඩි කාලයක් ගෙවූ පොඩි මහත්තයාට පැවිදි වීමට අවශ්‍ය විය. මාමා විරුද්ධ විය.

මාමාගේ මරණයෙන් පසු පොඩි මහත්තයා සංකිච්ඡ හිමියන් ගේ මිතුරු පරකඩුවේ අමුහේන්කන්ද විහාරස්ථානාධිපති ගොඩිගමුවේ විමලසාර හිමියන්ගේ සහ කිරුළපන පූර්වාරාමාධිපති උන්දුරුගොඩ සුමනසාර හිමියන්ගේ ශිෂ්‍යයකු වශයෙන් 1925 ජනවාරි මාසයේ දී පැවිදි වූයේය.

පොඩි මහත්තයා රද්දැල්ලේ පඤ්ඤාලෝක හිමි බවට පත්විය. උන්වහන්සේ පාණදුරේ වලානේ සිරි සද්ධර්මාරාමයේදී කිරුළපනේ විමල හිමියන් ගෙන් මූලික බණ දහම් ඉගෙන ගත්හ.

1927 දී අප හිමියෝ කොළඹ මාළිගා කන්දේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළු වූහ. ඒ පිරිවෙනට වැඩම කළේ කිරුපනේ පූර්වාරාමයේ සිට ය. විහාරාධිපති පත්බේරියේ ධම්මාලෝක ලොකු හාමුදුරුවෝ මේ පඤ්ඤාලෝක පොඩි හාමුදුරුවන්ට සුත පෙමින් සැලකූහ.
 

විද්‍යෝදය ප්‍රාරම්භ පරීක්ෂණයෙන් උන්වහන්සේ සමත් වූයේ ප්‍රථම ස්ථානය ලබමිනි; ශ්‍රී සාරානන්ද පාළි ත්‍යාගය සහ සංස්කෘත ත්‍යාගය ද දිනා ගනිමිනි. විද්‍යෝදය මධ්‍ය පරීක්ෂණයෙන් පළමු පෙළ ගෞරව සාමාර්ථයක් ලැබු අප හිමියෝ ශ්‍රී සුමංගල සංස්කෘත ත්‍යාගය දිනා ගත්හ. විද්‍යෝදය පිරිවෙනේ අවසන් පරීක්ෂණයෙන් උන්වහන්සේ සිංහල, පාලි, සංස්කෘත භාෂා තුනෙන් ම ප්‍රථම ස්ථානය ලබා ශ්‍යාමරාජ ත්‍යාගය, උභයශේඛර සංස්කෘත ත්‍යාගය, ආටිගල විනය ත්‍යාගය, සහ රණසිංහ ධර්මවිමල ත්‍යාගය දිනූහ.

1928 ජුලි මාසයේ දී අප හිමියෝ කෝට්ටේ උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබූහ.

ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් ගෞරව පන්තියේ ප්‍රථමයා වී අමරසූරිය ත්‍යාගය, පියරතන සංස්කෘත ත්‍යාගය, අමරසිංහ සිංහල ත්‍යාගය, ද ප්‍රාචීන මධ්‍යම විභාගයෙන් ප්‍රථමයා වී සංස්කෘත ත්‍යාගය ද, ප්‍රාචීන අවසාන විභාගයෙන් ප්‍රථම පන්ති සාමාර්ථයක් ලබා ප්‍රථමයා වී රාජගුරු සුභුති ත්‍යාගය සහ ස්ටබ්ස් ත්‍යාගය ද දිනු අප හිමියෝ රාජකීය පණ්ඩිත උපාධිය ලැබූහ.

මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාණෝ මේ සිල්වත්, ගුණවත්, නැණවත් තුරුණු පඬිවරයා පිළිබඳව ඇසූහ.

“ලංකා විශ්ව විද්‍යාලයේ විද්‍යා විශාරද, උපාධි පාඨමාලාවක් ඇරැඹුවා. අපි ඔබ වහන්සේට ද ඒ සඳහා ආරාධනා කරනවා” එතුමා කීය.

අප හිමියෝ 1941 සිට 1944 දක්වා ලංකා විශ්ව විද්‍යාලයේ (යුනිවර්සිටි කොලීජියේ) විද්‍යා විශාරද උපාධි පාඨමාලාව හැදෑරුහ. හින්දි, දෙමළ, ප්‍රාකෘත, ඉංග්‍රිසි යන භාෂා ද, දර්ශනය, වාග් විද්‍යාව, මානව විද්‍යාව, සභ්‍යත්ව සහ ශිෂ්ටාචාර, ජාතික හා සර්ව භෞමික ආගම් සමඟ ඉතිහාසය යන විෂයන් ද ඒ පාඨමාලාවට ඇතුළත් විය. උන්වහන්සේ විශිෂ්ට සාමාර්ථයක් සහිත ව විද්‍යා විශාරද උපාධිය ලැබූහ.

1942 දී අප හිමියෝ විද්‍යෝදය පිරිවෙනේ ආචාර්යවරයකු බවට පත්වූහ.

උන්වහන්සේ සාමනේර වියේ සිට ම පොදු ජනතාවට සමීප වූහ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආදර්ශයට ගත් අප හිමියෝ ඉතා දිළිඳු පවුල්වල දාන, පිරිත්, බණ, පින්කම්වලට වඩාත් කැමැත්තෙන් වැඩියහ. ප්‍රිය මනාප පෙනුමෙන්, මුදු මෙළෙක් හඬින්, අපරිමිත දයාවෙන්, නොකිළිටි සිල් ගුණයෙන් හෙබි පඤ්ඤාලෝක හාමුදුරුවන් බණට, දනට වඩම්මවා ගැනීමට රේල් පාර අද්දර මුඩුක්කුවල, වගුරු බිම් මායිමේ පුංචි පැල්පත්වල මහ පාර අද්දර ලෑලි ගෙවල්වල මිනිස්සු කිරුළපනේ පූර්වාරාමයට පැමිණියහ.

“අපට ඒ හාමුදුරුවෝයි ඕන” මිනිස්සු කියති.

“ඒ හාමුදුරුවන්ට අනිද්දා පිරිවෙනේ විභාගයක්. ඔය බණට වෙන හාමුදුරු කෙනෙක් එවන්නම්” විහාරාධිපති හිමියෝ කියති.

ඒ සංවාදයට කන් දී සිටි පඤ්ඤාලෝක හිමියෝ පිටතට පැමිණෙති.

“අවසර, නායක හාමුදුරුවනේ, මම හෙට ඒ බණට යන්නම්”

පෝසත් නිවෙස්වල පින්කම්වලට සහ භික්ෂුන්ට වටිනා පිරිකර ලැබේ. පඤ්ඤාලෝක හිමියන්ට ලැබෙන්නේ සබන් කැටයක් හෝ කුඩා තුවායකි.

උන්වහන්සේ ඒවා ද එකතු කොට අසල්වැසි දුප්පත් ළමයින්ට දෙති.

ශිෂ්‍යයෝ උන්වහන්සේ මහත් සැදැහැයෙන් පිදූහ. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික තත්ත්වයේ සිට අනුනායක තනතුර දක්වා තනතුරු දැරු අප හිමියනට කටයුතු බහුල විය. එහෙත් නිවාඩු නොගෙනම පිරිවෙනේ ඉගැන්වීමෙහි යෙදුණහ.

“මුල් තැන ශිෂ්‍යයන්ට... ඉගැන්වීමේ කටයුතු අවසන් වූ පසු නිකායේ කටයුතු සහ අනෙක් කටයුතු” උන්වහන්සේ කීවේ එහෙමය. වැඩ කෙළේත් එහෙමය.

1959 දී අප හිමියෝ විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ප්‍රාකෘත භාෂා මහාචාර්යවරයා වූහ. උන්වහන්සේ සතුව පැවැති ප්‍රාකෘත භාෂා පිළිබඳ විශේෂඥ දැනුම ඉන්පසු වඩාත් ප්‍රකට විය.

උන්වහන්සේ ශාස්ත්‍රපති උපාධිය සඳහා ඉදිරිපත් කළ “බුද්ධකාලීන බ්‍රාහ්මණ සමාජය සහ බ්‍රාහ්මණවාද” පර්යේෂණ කෘතිය ගෞරව පත්තියෙන් පිළිගැනිණ.

රත්මලානේ පරිවේනාචාර්ය භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් ද, විද්‍යෝදය පිරිවෙනේ විභාගාධිකාරි සහ අධ්‍යාපන උපදේශක තනතුරු ද, එහි ත්‍රිපිටක අධ්‍යාපන අංශයේ ආචාර්ය තනතුරක් ද ලැබු පඤ්ඤාලෝක හිමියන්ට 1978 දී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙන්පති තනතුර ද ලැබිණ.

ජාතික, ආගමික, සංස්කෘතික, සංවිධාන රැසක ප්‍රධාන තනතුරු දැරීමට අප හිමියනට සිදුවිය. කවර තරමේ වගකීමක් පැවැරුණ ද උන්වහන්සේ එය ඉතා හොඳින් ඉටු කළහ.

මා පියන්ගෙන් බැහැර ව කිරුළපනේ පූර්වාරාමයේ වෙසෙන සාමණේර හිමිවරුන්ට මා පිය සෙනෙහසේ අඩුවක් නොදැනිණ. පඤ්ඤාලෝක ලොකු හාමුදුරුවන් නිසා ය ඒ. ශිෂ්‍ය හිමිනමක් රෝගී වූ විට ලොකු හාමුදුරුවෝ ම රෝගී ශිෂ්‍යයා සමඟ රෝහලට ගිය හ. ප්‍රතිකාර ලබා දුන් හ. ආහාර පාන ද, සපයා දුන් හ. උන්වහන්සේ ශිෂ්‍ය හිමිවරුන් ඇමතුවේ පුතා කියමිනි. උන්වහන්සේ ශිෂ්‍යයන් තැනුවේ වේවැලෙන් නොවේ. නියෝගවලින් නොවේ. තමා ම ආදර්ශයක් වශයෙන් සිටිමිනි.

ශිෂ්‍යයකුගේ හපන්කමක් දුටු සැණින් මේ ගුරු හිමියෝ එය අගය කළහ. උන්වහන්සේ ගේ අරමුණ වූයේ සිල්වත්, ගුණවත්, නැණවත්, තැන්පත්, යහපත් භික්ෂුන් සසුනට පිදීමය.

උන්වහන්සේ ශාස්ත්‍රවේදී පත්බේරියේ විමලඥාන හිමි ඇතුළු පැවිදි ශිෂ්‍යයන් කීප නමක් ඉතා හොඳින් හදා වඩා සසුනට පිදූහ.

ගුවන් විදුලි ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වශයෙන් ද අප හිමියෝ ප්‍රකට වූහ. විවිධ ප්‍රදේශවල ධර්ම දේශනා සඳහා වැඩීමට ද අප හිමියනට නිතර සිදුවිය. දහම් ගැටලු, ජීවිත ගැටලු, පවුල් ගැටලු සහිත අති විශාල පිරිසක් විසඳුම් පතා අප නා හිමියන් හමුවීමට කිරුළපනේ පූර්වාරාමයට පැමිණිය හ.

“නොබීපු වෙලාවක එන්න...”

මත් වතුර පානය කොට, කෙළින් සිට ගත නොහැකි එක් මිනිසකුට අප හිමියෝ කීහ.

“නොබීපු වෙලාවක් නැහැ හාමුදුරුවනේ. මම ඔබ වහන්සේගේ බණ අසා තිබෙනවා. මට මගේ ප්‍රශ්නවලට උත්තරයක් ඕන. මට මේක උසුළන්න බැහැ. මම බොන්න පටන් ගත්තේ ඒකයි.”

ඔහු කුඩා පුටුවක් මතට ඇදැ වැටෙමින් කීය.

1972 දී ඔහු සතුව පැවැති තේ, රබර්, වතු අක්කර සිය ගණනක් රජයට පවරා ගනු ලැබිණ. ඔහුට ඉතිරි වූයේ අක්කර පනහක් පමණි. එය ඔහුට දරාගත නොහැකි විය. ඔහු බීමට ඇබ්බැහි විය. ඒ මහා වතු යාය සිහි කරමින් ඔහු සුසුම් හෙළුවේය. ඔහුගේ සැනසිල්ල වූයේ බෝතලයයි. ඒ සැනසිල්ලේ රැවටිල්ල ද ඔහුට වැටහිණ. කලෙකට පෙර අප හිමියන්ගේ දහම් දෙසුම්වලට හුරු වී සිටි ඔහුට උන්වහන්සේගෙන් සැබෑ සැනසිල්ල ලබා ගත හැකි යයි සිතිණ.

අප හිමියෝ ඔහුට කන් දී සිටියහ. වතු ගැන කියමින් ඔහු හැඬුවේය. කඳුළු ගඟ සි‍ඳෙන තුරු හිමියෝ බලා සිටිය හ.

ඉන්පසු උන්වහන්සේ කතාව පටන් ගත්හ.

ඔහු ගේ ඉකිබිඳුම් හඬ නෑසි ගියේය.

උන්වහන්සේගෙන් මතු වූ අදහස්, වචන පසුව ඔහුගේම අදහස්, වචන බවට හැරිණ.

“එක මිනිසකුට අක්කර සිය ගණනක් කුමට ද? ඔය ඉතිරි වෙලා තියෙන අක්කර පනහ හොඳටම ඇති. එක බිම් අඟලක් නැති මිනිස්සුත් ලංකාවේ කොච්චර ඉන්නව ද? මිනිසකුට ඕනැ මහ පොළවෙන් රියන් හතරක් පමණක් බව ලියෝ ටෝල්ස්ටෝයි කියන රුසියානු මහා ලේඛකයා කීවා. ඒ හතර රියන අවශ්‍යත් මළ කඳකට පමණයි. මළ කඳත් අන්තිමට දිරාපත් වෙලා පොළොවට පස් වෙනවා. සියල්ල අනිත්‍යයි. හැම දේම අපට අතඅරින්න වෙනවා. දැන් ම ඉඳල අපි අත අරින්න පුරුදු වෙමු. අල්ලා ගැනීම දුකයි. අර අක්කර සිය ගණන නැතිවුණාම දුක ඇතිවුණේ ඒක අල්ලාගෙන සිටි නිසයි. සිතින් හරි අල්ලා ගැනීමෙන් තොර වෙමු. සියල්ල අතඅරිමු. අත හරිමු. අත හරිමු.”

ඔහු අත්හැරීම පුරුදු විය. පැවැති ඉඩම් අයිතිය පිළිබඳව තණ්හාව ද බොහෝ දුරට ගිලිහී ගියේය. ඔහු අප හිමියන් ගේ ප්‍රධාන දායකයකු බවට පත්වූයේය.

උන්වහන්සේ ද කිසිවක් දැඩිව බදාගත් කෙනෙක් නොවූහ. පන්සල් වත්තේ ආදායම, පිං පෙට්ටිවල බර කිසි විටෙකත් නොසෙවූහ. එහෙත් උන්වහන්සේගේ සියලු වුවමනා නො අඩුව සපිරිණ.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ සාමාජිකයකු වූ අප හිමියෝ පාළි ත්‍රිපිටකය සිංහලයට නැඟීමේ උදාර මෙහෙයට ද හවුල් වූහ.

1980 අප නා හිමියෝ අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පිඨාධිපතීන් වහන්සේ වශයෙන් පත්වූහ.

සිල්වත්, ගුණවත්, නැණවත්, තැන්පත්, යහපත් උතුම් භික්ෂුන් පිරිසක් සසුනට පිදීම අරමුණු කැරගත් මේ මහා ධර්ම පීඨය තුළ උන්වහන්සේ මහ මෙහෙයක් ඉටු කළහ.

ශිෂ්‍ය භික්ෂූන්ට දරුවන්ට මෙන් සැලකූ උන්වහන්සේට ශිෂ්‍ය හිමිවරු සමීප වූහ. දිනපතා හැන්දෑවේ උන්වහන්සේ ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය, ථූපාරාමය වන්දනා කිරීමට වැඩියහ. මුල් ම දවසේ උන්වහන්සේ සමඟ ගියේ සිය ශිෂ්‍යයකු වන ප්‍රේමරත්න දිසානායක පමණි. (අද කැලණි විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය) පසු ව සියලු ම ශිෂ්‍ය භික්ෂුහු උන්වහන්සේ සමග ඒ හැන්දෑ වන්දනාවට එක්වූහ. ශිෂ්‍යයන් සමඟ දහම් කතාවක යෙදෙමින් ගමන් කරන නා හිමියෝ ශ්‍රී මහා බෝධිය ළඟ දී නිහඬ වෙති. එතැන් සිට ඒ සිත බුදු ගුණ භාවනාවේ ය. රුවන්වැලි සෑය වටේ මහාසමය සූත්‍රය සජ්ඣායනා කරමින් වඩිති. දිනකට දෙපැයක් පමණ මේ ශුද්ධ භූමියේ සමාධි සුවයෙන් වැඩ වෙසෙන අප හිමියෝ අනුරපුරයේ ගෙවු පස් වසර සමාධි යුගයක් සේ සැලකූහ.

හැත්තෑපස් වසරකටත් වැඩි කාලයක් උන්වහන්සේ නිරෝගීව වැඩ සිටියහ.

“උන්වහන්සේ නිතරම සතුටින්, සිනාමුසුව වැඩ වෙසෙනවා. ඔය නිරෝගී බවේ රහස එයයි” සමහරු කීහ.

එහෙත් ජරාවට සහ ව්‍යාධියට සිය සිරුර ක්‍රමයෙන් ගොදුරු වන බව උන්වහන්සේට අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ දී වැටහිණ. මේ නිසා අප හිමියෝ පීඨාධිපති තනතුරෙන් ඉල්ලා අස්වී කිරුළපනේ පූර්වාරාමයට වැඩියහ.

උන්වහන්සේගේ සහෝදර හිමිනමක වන තලාපිටියේ හේමාලෝක හිමි, අද වලස්මුල්ල ඕමාරේ සද්ධානන්ද පිරිවෙන්පති ගලහිටියේ සෝරත හිමි, ප්‍රේමරත්න දිසානායක මහතා ඇතුළු ශිෂ්‍යයන්ගේ සත්කාර මැද සතුටින් වැඩ විසු අප නා හිමියන්ට ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශ්වය ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය සම්මාන උපාධිය පිදුවේය. උන්වහන්සේ ත්‍රිපිටක පරිවර්තන කටයුතුවල දී කැප වූ ආකාරය සැලකිල්ලට ගෙන එය ඇගැයීමට මේ සම්මානය පිදුණු බව කියැවිණ.

සම්මාන උලෙළ පැවැත්වීමට පෙර දා උන්වහන්සේ නාන කාමරයේ දී බලවත් රෝගාබාධයකට ගොදුරු වූහ. සෝරත හිමි, ප්‍රේමරත්න දිසානායක මහතා ඇතුළු ශිෂ්‍යයන්ගේ අත්වාරුවෙන් උන්වහන්සේ නාන කාමරයෙන් පිටතට වැඩියේ පක්ෂාවාත රෝගියකු වෙමිනි.

එතැන් සිට දස වසරක් ම අප හිමියෝ ඒ රෝගයට ප්‍රතිකාර ලබමින්, ශිෂ්‍යයන්ගේ සහ දායකයන්ගේ සත්කාර විඳිමින් යහනේ, රෝද පුටුවේ සහ අපහසුවෙන් සැරයටියෙන් කැරෙන සක්මනෙන් කල් ගෙවූහ.

සත්කාර නිසාම උන්වහන්සේගේ මුහුණේ මඳ සිනාව ඉවත් නොවීය. සිරුරේ දකුණු අඩ අඩපණව ගිය ද උන්වහන්සේගේ සිත මුළුමනින් ම පණ පිරුණු එකක් විය. මුළු ත්‍රිපිටකයම උන්වහන්සේට මතකයෙන් කිව හැකි විය.

සූත්‍ර පාඨයක් මුමුනමින්, එහි අරුත් විමසමින්, ධර්මයේ රසය විඳිමින් උන්වහන්සේ කල් ගෙවූහ.

“මා වෙහෙර වහන්සේ ළඟට එක්ක යන්න...” උන්වහන්සේ කියති.

කිරුළපන පූර්වාරාමය

මැදියම ළංවුව ද ශිෂ්‍යයෝ ඒ ඉල්ලීම ඉටු කරති. රෝද පුටුවෙන් හිමියෝ වෙහෙර මළුවට වඩිති.

සඳ රැසින් සෑ රදු බබළයි. අහසේ තරු නළියයි. සුදු වලාවක් පාවෙයි.

අප හිමියෝ සොබා සොඳුරත්, බුදු ගුණත් සමඟ සමාධිගත වේ.

“අපි ආපසු යමු...”

උන්වහන්සේ කියති. හිමි යහනට වැඩිය ද, එහි වැතිරුණ ද බොහෝ වේලා යනතුරු ඒ කුටියෙන් පිරිත් හඬ ඇසේ. පිරිතේ මිහිරෙන් ගෝලයෝ නින්දට වැටෙති. එහෙත් වහා පිබිදෙති.

“මම හොඳට ධර්මය ඉගෙන ගත්තා... ධර්මය ඉගැන්නුවා. ධර්මය අනුව ජීවත්වුණා. ඉතින් ඒ මදි ද?”

උන්වහන්සේ දායකයකුගෙන් අසති.

“එහෙමයි. ඔබ වහන්සේ නිසා තමයි අපි ධර්මය අවබෝධ කරගත්තේ. අපිත් දැන් ඒ ධර්මය අනුව ජීවත් වෙනවා. ධර්මයෙන් සතුට ලබනවා. සිත නිවෙනවා.”

දායකයෝ කියති. හිමියන්ගේ දෑස පියවෙයි. මුහුණ සතුටින් පිරෙයි.

1994 ජනවාරි 16 වැනි දා අපේ ලොකු හාමුදුරුවන්ගේ සිරුර මහා පීඩාවකට හසුවිය. දායකයෝ හා ශිෂ්‍යයෝ උන්වහන්සේ මහ රෝහලට ගෙන ගියහ. දෙදිනකට පසු ප්‍රතිකාරවලින් මඳ සුවයක් ලැබිණ.

“මේ ලෝකයේ මා තබාගන්න මේ ඇත්තන් කරදර වෙනවා. මම ඕනම වෙලාවක යන්න සූදානමින් ඉන්නේ. මට අත අරින්න බැරි දෙයක් නැහැ. මා කිසිවක් අල්ලාගෙන නැහැ. ඔය ඇත්තෝ මා නිසා කරදර වෙන්න එපා” යි කියමින් ඇඳ වටේ සිටි පිරිස ඇමතු අප හිමියෝ “සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. අප්‍රමාදව කුසල ධර්මයන්හි යෙදෙන්න...” යනුවෙන් කෙටියෙන් බණක් ද වදාළහ.

කවර කලෙක වුව ද, කවර තැනෙක වුව ද, කවර කෙනකු සමඟ වුවද උන්වහන්සේ කතාබහ අවසන් කරන්නේ ධර්මයට පිවිසෙමිනි. අසන්නන්ගේ සිත් ධර්මයට යොමු කරමිනි.

එදා 1994 ජනවාරි 20 වැනි දා ඇඳ වටා සිටි පිරිසට, වෛද්‍යවරුන්ට, හෙදියන්ට, උන්වහන්සේ ධර්ම පාඨයක් කීමට සැරැසුණහ. එහෙත් සද්ධර්ම විරෝධී මාරයා ඊට ඉඩ නොදුනි.

අප නා හිමියන්ගේ දෑස යළි නොහැරෙන පරිදි පියැවිණි.

විශේෂ ස්තුතිය : රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක ධර්ම නිකේතන පිරිවෙන්පති, ශාස්ත්‍රවේදී පොන්නිලව රතනපාල හිමි


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]