කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
මරණය පෙනි පෙනී  දරුවකු බේරාගත් තුෂාරි

මරණය පෙනි පෙනී  දරුවකු බේරාගත් තුෂාරි

තුෂාරි පිළිබඳ මගේ මතකය බොහෝ කලක් සිතේ රැඳී තිබුණි. ඒ ඇගේ දෑස් මා අතින් පියවන්නට සිදු වුණු නිසාවෙනි. සුන්දර අනාගතයකට සිහින මවමින් සිටි තුෂාරි බදුල්ල දිස්ත්‍රික්කයේ ඈත ගමක සිට ලෙබනනයට ගෘහ සේවිකාවක් ලෙස පිටත්ව ගියාය. ඇය සේවය කළේ බීරූට් අගනුවර කතෝලික පවුලකටය. නිවසේ වැඩ කටයුතුවලට වඩා ඇයට පැවරී තිබුණේ වයස අවුරුදු හතරක පුංචි පිරිමි දරුවකු බලා ගැනීමය.

අපේ රටේ අම්මලා දරුවන්ට මුළු හදවතින්ම සෙනෙහෙවන්ත නිසාදෝ බොහෝ ශ්‍රී ලාංකික කතුනට විදේශීය දරුවන් ඇලුම් කරන බව මා ලැබූ අත්දැකීමකි. තුෂාරි ද ඇය බලාගත් පුංචි දරු පැටියාට තමන්ගේම දරුවාට මෙන් ආදරය කළාය. ඇය නැතුව බැරි තරමට මේ පුංචි දරුවා ද තුෂාරිට ආදරය කළේය. සමහර දිනවල මේ දරු පැටියා නිදා ගත්තේ තුෂාරිට තුරුලු වී ඇගේ පුංචි යහනේය. දේශපාලන ගැටුම්වලින් නිරන්තරයෙන්ම උණුසුම් වන ලෙබනනයේ 2008 වර්ෂයේ ජනාධිපතිවරණය ළංවෙමින් තිබුණි. උද්දාමයට පත් උද්‍යෝගීමත්

තරුණ තරුණියෝ තමන්ගේ අපේක්ෂකයා දිනන දවසට ජය පැන් බොන්නට පෙර සූදානමක් තිබුණි. සෑම නිවෙසකම වාගේ ගිනි අවියක් තිබෙන නිසා ජය පැන් බොමින් අහසට වෙඩි තබමින් මහ පාර දිගේ වාහනවල නැගී කෑ කෝ ගසමින් ගමන් කිරීමට නීතියෙන් බාධාවක් නොවීය. ඔවුනට එවැනි නිදහසක් තිබෙනුයේ එවැනි අවස්ථාවක පමණි. තුෂාරි සේවය කළ නිවසේ දෙවැනි මහලේ බැල්කනියේ සිට පහළ තණ පිට්ටනිය දක්වා ඇදී ගිය දැවැන්ත මිදි වැලකි. තණ බිම වටා යකඩ වැටකින් කොටු වූ විශාල මිදි වැලේ මිදි පොකුරු පිරී ඇත.

බැල්කනියේ සිට සෑම උදෑසනකම මේ පුංචි දරුවා තුරුල් කර ගන්නා තුෂාරි නිල් කැටයක් මෙන් දිස්වෙන ඈත මහ මුහුද දෙස බලාගෙන සිටී. විටින් විට අහසේ එහාට මෙහාට පෙනී නොපෙනී යන ගුවන් යානා දෙස ඇය බලා සිටිනුයේ තවත් සති දෙකකින් ඇය වසර දෙකහමාරක සේවාවෙන් පසු ලෙබනනයෙන් සමු ගෙන තම මවු රටට යන සුන්දර සිහිනය මෙනෙහි කරමිනි. නිම් හිම් නැති සතුටකින් ඇගේ සිත පිරී යයි. සමහර විටෙක අප සිත් තුළ උපදින මෙවන් සොඳුරු වූ රටා හදවතට තුරුලු වී යළිත් නිමේශයකින් බොඳ වී අඳුරු වී යයි. අහිංසක තුෂාරිට එය නොදැනුණා වෙන්නට ඇත.

තම එකම පුතු ඇයට මතක් වෙන විට ඇය තම අතේ සිටින පුංචි දරුවා සිප ගනී. දෑස දිගේ රූරා එන කඳුළු බිංදු ඒ දරුවාගේ මුහුණේ තැවරෙන විට ඇය ඒවා හොරෙන් පිස දමයි.

තුෂාරි අඬනව ද... මැඩම් ඇය ළඟට පැමිණ ඇති බව ඇය නොදත්තාය.

“නෑ මැඩම්”

“අඬන්න එපා, තව දවස් කීය ද. ඔයා ලංකාවට යනවනෙ. තුෂාරි ආයෙ එන්න ඕන. අපි ඔයාට ගොඩක් ආදරෙයි. ඊළඟ පාර අපි ඔයාට පඩි වැඩි කරන්න තීරණය කළා. ඔයාගේ දරුවාගේ අනාගතයටත් අපි උදවු කරන්නම්. ඒ ගැන බය වෙන්න එපා” මැඩම් දිගටම කතා කරයි. තුෂාරි අසාගෙන සිටියි.

“හෙට බබාගෙ උපන් දිනේ. ගොඩක් අය අපේ ගෙදරට එනවා. තුෂාරිට ටිකක් වැඩ වැඩි වෙයි.” තුෂාරි ගේ හිස අතගෑ මැඩම් යන්නට ගියාය.

තම පුංචි කාමරයට ගිය තුෂාරි, පොඩි දරුවා එහි නිදි කරවා මැඩම් ගෙන් අවසර ගෙන නිවසට දුරකථනයෙන් ඇමතුවාය. අම්මාට, තාත්තාට, තම සැමියාට මෙන්ම වසර පහක පුංචි පුතාට ද කතා කළාය. හෙට දවසේ මෙම නිවසේ පුංචි දරුවාගේ උපන් දිනය බව ද මතක් කළාය. තව සති දෙක තුනකින් ඇය ලංකාවට එන බව කියා තම පුංචි පුතාට අවශ්‍ය සෑම දෙයක්ම රැගෙන එන බවටත් ඇය පොරොන්දු වූවාය. පසුවදා ඉරු දින තුෂාරි වේලාසනින්ම අවදි වූවාය. ඒ මෙම නිවසේ දරු පැටියාගේ පස් වැනි උපන් දිනය සමරන දවසයි. තොර තෝංචියක් නැතිව සුබ පැතුම් දුරකථනය දිගේ ගලා එයි. උපන් දිනය සැමරීමේ උත්සවය සවසට වුවද, උදෑසනම සිට කාර්ය බහුල දිනයක් විය. කොතරම් වැඩ තිබුණ ද තුෂාරිට වැඩිපුරම පැවරී තිබුණේ දරුවා බලා ගැනීමය.

මේ සුවිසල් නිවසේ (විල්ලා) නෑදෑයින් සහ මිතුරු මිතුරියන් පිරී ඇති මොහොතේ දෙවැනි මහලේ බැල්කනියේ සිට පහළ තිබෙන තණ පිට්ටනිය දෙස නෙත් යොමා සිටින තුෂාරි පුංචි දරුවන් සෙල්ලම් කරමින් ඒ මේ අත දුව පනින සැටි මහත් ආශාවෙන් බලාගෙන සිටියාය. එදා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලත් අපේක්ෂකයා වෙනුවෙන් ඔල්වරසන් දෙමින් මහ මඟ දිගේ වාහන පෙළට ඇදී යනු තුෂාරි බලාගෙනය. මිනිසුන් පාට පාට කොඩි අතින් ගෙන වාහනවල එල්ලී යනු දුටු තුෂාරි පුංචි දරුවාට ඇඟිලි දිගුකර ඒවා පෙන්වමින් දරු පැටියා නළවන්නිය.

මීට පැය භාගයකට පෙර තණ පිට්ටනියේ සිටි තුෂාරි දරු පැටියා රැගෙන බැල්කනියට ආවේ ඒ මහ සෙනඟ සහ රැළිය දැක බලාගන්නටය. පුංචි දරු පැටියා තුෂාරි අත සිටින නිසා ඔහුගේ දෙමවුපියන් ඒ පිළිබඳව එතරම් තැකීමක් දැක්වූයේ නැත. ඒ අය සිටියේ වෙනම ලෝකයකය.

ලොරි සහ වෑන් රථවල ගමන් කළ තරුණයෝ අහසට වෙඩි තබති. ඔල්වරසං දෙති. මහ මඟ යන නොයන මිනිසුන් අහල පහල නිවාසවලට වී බලා සිටී. ඒ උණුසුම් වී අහසට යන වෙඩි උණ්ඩ ඇඟට වැටේ යන බියෙනි. මෙම කලබලකාරී ස්වභාවය පැය කිහිපයකට පමණි. මෙය සමහර අරාබි රටවල පවතින සම්ප්‍රදායකි. තුෂාරිගේ නිවස හිමිකාරිය දරුවා අතට ගෙන ඇය අතට ජංගම දුරකථනය දී ඇයගේ නිවසින් ආ ඇමතුම දුන්නාය. ඊට කෙටි පිළිතුරක් දුන් ඇය රෑ වෙලා කතා කරන්නම් යැයි කියා යළිත් දරුවා අතට ගත්තාය. නිවෙස හිමිකාරිය පහළ තණ පිට්ටනියට ගියාය.

සියල්ල මෙසේ සිදු වෙත්දී උපන් දින සාදය සමරන කිහිප දෙනෙක් බැල්කනිය දෙස නෙත් අදහා ගන්නට බැරිව කෑ ගසන්නට වූහ. තුෂාරි බැල්කනියේ සිට එක්වරම දරුවා පපුවට තද කර ගෙන අනිත් අතින් මිදි වැලේ එල්ලුණේ දරුවා ද ඇය සමඟ පහළට නොවැටෙන ලෙසටය. එහෙත් ඇය බැල්කනිය පහළට නැමී දෙපයින් වෙර දරා සිට ගත්තාය. ඇය බිමට වැටුණොත් දරුවා ද ඇය සමඟ වැටී මිය යන්නට හෝ බලවත් අනතුරකට පත්වන්නට ඉඩ තිබුණි.

ඇය මහ හඬින් “මැඩම්... මැඩම්...” කියා කෑගසන්නට වූවාය. අරාබි භාෂාවෙන් “දරුවා ගන්න” යැයි කෑගැසුවාය. හැකි සෑම උපක්‍රම යොදා විනාඩි කිහිපයකින් රැස්ව සිටි මිනිස්සු දරුවා ද තුෂාරි ද බිමට ගත්හ. තුෂාරි පපුවට අත තබාගෙන කුමක් දෝ කියන්නට වෙර දරයි. හදිසි අනතුරු රථය මොහොතකින් පැමිණිය ද ඇය සදහටම දෙනෙත් පියා ගත්තාය. එහෙත් ඇය මරණය දැක දැක පුංචි දරුවා බේරා ගත්තාය. කවුදෝ අහසට වෙඩි තැබූ විට ගිනි බෝලයක් මෙන් රත්වූ උණ්ඩය යළි පහතට නැවී ඇගේ ළැම පසා කරගෙන ගියේය. ආරෝග්‍ය ශාලාවට ගෙන ගියේ ඇගේ නිසල සිරුරයි. තුෂාරි වයස 28 ක සැබැවින්ම ලස්සන තරුණියකි. ඒ පියකරු නිසල සිරුර අබියස සිටි මට ඇය මා සමඟ සිනහ වෙනවාදැයි සිතුණි. මම ඇගේ දෑස් පියවා දැමුවෙමි. තුෂාරිගේ සිහිනය බොඳවී ගියේය. ලෙබනන රටේ වසර දෙකකට වැඩි කලක් සිට තුෂාරි මෙතුවක් කල් රැක බලාගත් පුංචි දරුවාගේ මව සහ පියා ද, ඥාතින් ද ඇගේ නිසල සිරුර අසල කඳුළු පිස දමනවා මම දුටුවෙමි.

අපගේ තානාපතිවරයාගේ ඉල්ලීම අනුව ඒ සෙනෙහෙවන්ත දිරිය මව වූ තුෂාරිට වන්දි මුදලක් ප්‍රදානය කිරීමට කටයුතු යෙදූ ඇය සේවය කළ නිවසේ ස්වාමි දුව සහ ඇගේ සැමියා මා හමුවීමට පැමිණි දිනක ඔවුන් පැවසූ දෙයකින් මගේ සිත මොහොතකට සසළ විය. “අපේ බබා රෑට හිටි ගමන් හීනෙන් නැගිටලා හඬනවා. තුෂාරි... තුෂාරි... කියල කියනවා. ඒ නිසා ටික දවසකට ඇමෙරිකාවට යන්නයි හිතාගෙන ඉන්නෙ. එතකොට එයාට තුෂාරි අමතක වෙයි.”

ලීලානන්ද ඉහළගමගේ

(විදේශ සේවාවේ යෙදී සිටියදී

ලැබූ සත්‍ය අත්දැකීමකි.)


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]