කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
අකුරු කියවන්න බැරිවුණත් අවංක කමින්  “උපාධි” ලැබු පිටකොටුවේ වෙළෙඳ සේවකයා

අකුරු කියවන්න බැරිවුණත් අවංක කමින්  “උපාධි” ලැබු පිටකොටුවේ වෙළෙඳ සේවකයා

පිටකොටුව මැනිං මාර්කට් එකට ගොඩවදින හැම කෙනෙකුටම වගේම මටත් අඩු මිලට බඩු මිල දී ගන්නට පැමිණ රොද කන නානාවිධ මිනිසුන්ගේත්, වැඩි මිලට තම බඩු භාණ්ඩ අලෙවි කර ගන්නට පොරකන වෙළෙඳුන්ගේත්, ඝෝෂාකාරී කන්කරච්චලය සැබෑවටම කරදරයක් සේ නොසිතුණි.

ඒ නිතර පිටකොටුව පසුකර යන එන අපට එය හුරු පුරුදු දෙයක් වන බැවිනි. හැම මොහොතකම මිනිසුන් දහස් ගණන් එහා මෙහා යන එන මැනිං මාර්කට්ටුව විවිධාකාරයේ සිදුවීම් සිදුවන ස්ථානයකි. ඒ අතුරින් වැඩි හරියක් අපට අහන්නට දකින්නට ලැබෙන්නේ ඒ තුළින් මතුවන හා හමුවන සමාජ විරෝධී ක්‍රියාවන් හෝ පුද්ගලයන් පිළිබඳ කතා පුවත්ය.

එහෙත් පසුගිය දිනෙක මෙම මිනිසුන් අතරම සිටින, ඔවුන්ට වඩා සිතුවිල්ලෙන් හා ක්‍රියාවෙන් උසස් මිනිසෙකු පිළිබඳ සත්‍ය කතාවක් අපට අසන්නට ලැබුණි. මෙම සිදුවීමට මාධ්‍ය කිහිපයකින් ද ප්‍රසිද්ධියක් ලැබී තිබිණි.

ඉකුත් දිනක මැනිං මාර්කට්ටුවෙන් එළවළු මිලදී ගන්නට පැමිණි පුද්ගලයකු සතුව තිබු රුපියල් එක්ලක්ෂ හතළිස් පන්දහසක මුදලක් බිම වැටී තිබියදී අහුලා එම පුද්ගලයා අතටම භාර දීමට තරම් කරුණාබර හදවතක් තිබූ වෙළෙඳ සේවකයකු පසුගිය දා අපට හමුවිය.

ඔහු නමින් චන්දන පුෂ්පකුමාරය. චන්දන පුෂ්පකුමාරව සොයා ගෙන මමත් ඡායාරූප ශිල්පී විමල් කරුණාතිලකත් මැනිං මාර්කට් එකේ 652 වන තොග ගබඩාවට ගොඩ වැදුණේ ඒ අපූරු මිනිසා සමඟ තොරතුරු බිඳක් කතා කිරීමේ අටියෙන්.

චන්දන මැනිං මාර්කට්ටුවේ රැකියාවට පය ගැසු දා පටන් හැම දවසක්ම පටන්ගත්තේ හිමිදිරියෙනි. ලොරිවලින්, කරත්ත මඟින්, මැනිං මාර්කට්ටුවට ගෙන එන එළවළු පලතුරු ගෝනි තමා සේවය කරන වෙළෙඳ සලට ලබා ගනිමින් ඒ පිළිබඳ තිතට ගණන් හිලව් තබමින් වෙළෙඳ සලේ හිමිකරුට චන්දන ලබා දෙන්නේ නොමඳ සහායකි.

මේ කියන දවසේත් අලුයම හතරට පමණ චන්දන මාර්කට්ටුවට පැමිණියේය. අලුයම හතරේ සිට උදෑසන හිරු නැ‍ඟෙන 6.00 කණිසම දක්වාම චන්දන, ඔවුන් ගෙන් එළවළු පලතුරු මිලදී ගන්නට පැමිණෙන වෙළෙන්දන්ගේ අවශ්‍යතා සපුරමින් ඔවුනට එළවළු, පලතුරු ගෝනි විකුණමින් තම රාජකාරිය අකුරටම කරගෙන ගියේය.

වෙළෙඳුන්ට පෑගෙමින් එහාට මෙහාට විසිවෙන දුඹුරු පැහැති මුදල් පසුම්බියක් චන්දනගේ තියුණු දෙනෙතට හසුවුණේ මේ අතරේය. හිමිකරුවකු නොවූ ඒ මුදල් පසුම්බිය අතට ගත් චන්දනට එහි වූ මුදල් කන්දරාව දැකගන්නට ලැබිණි. එහි හිමිකරු කොයි මොහොතක හෝ පැමිණෙතැයි සිතමින් ඔහු මුදල් පසුම්බිය සුරැකිව තබා ගත්තේය. එතැන් පටන් සිදු වූ සිදුවීම් චන්දන අප සමඟ පැවසුවේ මෙලෙසිනි.

“මම පැය දෙකක් විතර බලාගෙන හිටියා. මුදල් පසුම්බියේ හිමිකරු දැන් එයි දැන් එයි කියල. බැරිම තැන මම මේ ගැන මම සේවය කරන වෙළෙඳ සැලේ මගේ බොස්ට (සුජිත්) කිව්වා. ඔහු කිව්වෙ මුදල් පසුම්බිය පොලීසියට බාර දෙන්න කියල. ඒ අනුව මැනිං මාර්කට්ටුවේ තිබෙන පොලිස් මුරපොළට ඇවිත් මම ඒ මුදල් පසුම්බිය පොලිස් නිලධාරී මහත්තුරුන්ට භාර දුන්නා.

ඔවුන් මා ඉදිරිපිට දීම මුදල් ගණන් කළා. එහි එක්ලක්ෂ හතළිස් පන්දහසක මුදලක් තිබුණා. පසුව පොලීසියෙන් පර්ස් එකේ තිබුණු ජාතික හැඳුනුම්පත බලලා ඒ අනුව මෙහි හිමිකරු සොයා ගත්තා. හිමිකරු ඇවිත් ඔහුගේ අනන්‍යතාවය සහතික කළා. ඔහු හුඟාක් සතුටට පත්වුණා. පර්ස් එක ආයෙ ලැබෙයි කියා හිතුවෙ නැතිලු.

මං බොහොම දුප්පත් කෙනෙක්. ඒත් මට අයිති නැති දෙයක් ගන්න මගේ හිත කිසිසේත්ම ඉඩ දුන්නෙ නැහැ. පර්ස් එක අතට ගත්තු මොහොතේ හිතුණේ, මට වගේම මේ පර්ස් එකේ අයිතිකරුටත් මේක කොච්චර වටිනව ද කියල. මම මේ සල්ලි අරන් වියදම් කළානම් ඒකෙ අයිතිකරුට මොන වේදනාවක් ඇතිවෙයි ද? ඒ වේදනාව මටත් දැනුණා. ඒ නිසා එය කොහොමහරි අයිතිකාරයාගෙ අතටම දෙන්න ඕන කියල මට හිතුණා.

මම ඉගෙන ගත්තෙ සේදවත්ත ගාමිණී විද්‍යාලයෙන්. ඉගෙන ගත්තෙ පස්වන ශ්‍රේණියට විතරයි. නම ලියාගන්න පුළුවන් වුණත් අකුරු කියවන්න ලියන්න දන්නෙ නෑ. ඒත් මම අදහන බුදුන්ගේ දහමට අනුව පින් පව් හොඳට දන්නවා. “මනුස්සකම” මට මගේ මවුපියන්, පාසලෙන් උගන්වල තිබෙනවා” යැයි චන්දන අප සමඟ කියාගෙන කියාගෙන ගියේ අහිංසක ස්වරයකිනි.

දිනපතා රුපියල් පන්සියයක දෛනික පඩියක් ලබන චන්දනට මෙම සිදුවීමෙන් අනතුරුව රුපියල් සියයක් දෛනික දීමනාවකට වැඩිකර ලබාදීමට වෙළෙඳසලේ හිමිකරු තීරණය කළේ ඔහුගේ අවංක භාවයට ගරු කරමිනි. මේ සිදුවීම ආරංචි වීමත් සමඟ අවට වෙළෙඳ මහතුන්ගෙන් තෑගි භෝග මෙන්ම ස්තුති ප්‍රශංසා ද චන්දනට ලැබෙන්නට විය.

“මට පුංචි දුවෙක් ඉන්නවා. ඇය මහවත්ත සංඝබෝධි විදුහලේ දෙවන වසරේ ඉගෙනුම ලබනවා. බිරිය විමලා ප්‍රියන්ති ඇය තේකොළ ස්ටෝරුවක සේවය කරනවා.

අපි දෙන්නම කරන්නෙ කුලී වැඩ. ඒත් අපි සතුටින් සමාදානයෙන් ජීවත් වෙනවා. මීට කලිනුත් මම පවුම් තුනක විතර රන් මාලයක් ඇහින්දා. එයත් හිමිකරුටම දුන්නා. ඊට පස්සෙත් රුපියල් තිස්දහසක මුදලක් ඇහින්දා. ඒකත් අයිතිකාරයටම දුන්නා. මේ තුන්වැනි වතාව. මේ පර්ස් එකත් අයිතිකාරයාටම දෙන්න ලැබීම ගැන හරිම සතුටුයි.

මම ගෙදර ගිහින් මේ ගැන බිරියටත් කිව්වා. ගෙදර අයත් හුඟාක් සතුටට පත් වුණා. මේක පුදුම දෙයක්නෙ. කාගෙවත් වටිනා දෙයක් නැතිවුණාම ඒක අයිතිකාරයට දෙන කෙනෙක් අද හොයාගන්න පුළුවන් ද? ඒකෙ අයිති කෙනාට ඇතිවෙන වේදනාව මටත් දැනෙනවා.

ඒ නිසා මනුස්සකමට ඒක අයිතිකාරයාට දෙන්න මං ඉදිරියටත් කටයුතු කරනවා. මේ ක්‍රියාව ආදර්ශයකට ගන්න කියල මම සමාජයේ හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.” චන්දන පුෂ්පකුමාර අප සමඟ කීවේ දැඩි සතුටකිනි.

මුදල් පසුම්බියේ හිමිකරු වන සම්පත් දයානන්ද ද මේ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේ ය.

“මම හිතුවෙ නැහැ සල්ලි නැවත ලැබේවි කියලා. මම එළවළු සහ පලතුරු වෙළෙඳම කරන්නෙ. කොළඹ ඩයස් පෙදෙසේ තමයි මම ජීවත්වන්නේ. සාමාන්‍යයෙන් පාන්දරින්ම මැනිං මාර්කට් එකට ගිහින් බඩු මිලදී ගන්නවා. එදා තරමක් දවල් වෙලා තමයි ගියේ. උදේ 7.00 ට විතර මේ සිදුවීම වුණේ. චන්දන වගේ අය අද සමාජයේ ඉතාම විරලයි.

මම ඔහුට රුපියල් පන්දහසක මුදලක් පරිත්‍යාග කළත් ඔහු එය ප්‍රතික්ෂේප කළා. ඒත් මගේ පෙරැත්තය නිසාම ඒ තෑග්ග ඔහුට නොගෙන සිටීමට බැරි වුණා. සිංහල අලුත් අවුරුද්දට මම ඔහුට ඇඳුම් පැලඳුම් අරන් දෙන්න හිතාගෙන ඉන්නවා. මම නැවත වතාවක් චන්දනටත් පොලිස් නිලධාරීන්ටත් ස්තුතිය පුද කරනවා.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]