කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සංවාද මණ්ඩපය

ආණ්ඩුවේ දේශපාලකයන් කරන දූෂණ වංචා යට ගහනවා

එජාප මහලේකම්

තිස්ස අත්තනායක

එජාප ඡන්ද ප්‍රතිශතය වැඩි කරගනිමින් මේ පළාත් සභා දෙක ජයගන්නා බවත් ඡන්ද මධ්‍යස්ථාන මට්ටමින් ඡන්ද පොළට නොයන ඡන්දදායකයා ඡන්ද පොළට ගෙන්වා ගැනීමට ගෙයින් ගෙට යන මැතිවරණ ව්‍යාපාරයක් එජාපය ක්‍රියාත්මක කරන බවත් එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා කියයි.

සිළුමිණ සමඟ මෙදා මැතිවරණ සටන පිළිබඳව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහලේකම්වරයා මේ ප්‍රකාශය කළේය. එහිදී ඇසූ ප්‍රශ්න කිහිපයක් හා ඒවාට අත්තනායක මහතා දුන් පිළිතුරු මෙසේ ය.

විරුද්ධ පක්ෂයේ ප්‍රධානතම පක්ෂයේ මහලේකම්වරයා ලෙස ඔබ මෙදා මැතිවරණ සටන දකින්නේ කොහොම ද?

මේක පළාත් සභා දෙකක මැතිවරණයක් වුණත් එජාපයට විශාල ප්‍රතිචාරයක් ලැබෙමින් තිබෙනවා මේ ඡන්දයේදී. ඒකට පළමු ප්‍රධාන හේතුව තමයි අද ජීවන වියදම උහුලගන්න බැරි තැනකට ඉහළ නැඟලා. සාමාන්‍ය මිනිහෙකුට අද වේල් තුනක් කාල ඇඳල මාසෙ පඩියෙන් ජීවත්වෙන්න බැහැ.

ජීවන වියදම අඩු කරන්න මේ ආණ්ඩුවට කිසිඳු වැඩ පිළිවෙළක් සැලැස්මක් නැහැ. ඒ විතරක් නෙවෙයි මේ මිනිස්සුන්ගේ සැබෑ ප්‍රශ්නය ගැන ආණ්ඩුව කිසිඳු සැලකිල්ලක් දක්වන්නේ නැහැ.

යුද්දෙන් පසුව ජනතාවට සහන සලසන්න කතා කළ ආණ්ඩුවට අදත් බදු බර ජනතාව පිට පටවමින් කිරිපිටි ටිකෙන් අල ගෙඩියෙන් මිරිස් කරලෙනුත් බදු අය කරමින් සිටිනවා.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුවම හතර දෙනකුගෙන් යුත් පවුලකට අද ජීවත්වෙන්න රුපියල් 59000 ක්වත් ඕන. මෙවැනි පඩියක් රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවය කරන කීයෙන් කී දෙනාට ද ලැබෙන්නේ.

අනෙක් කරුණ අද මේ රට ආසියාවේ කුඩු මධ්‍යස්ථානය වෙලා. කුඩු මත්ද්‍රව්‍ය එතනෝල් ජාවාරම් අද කරන්නේ වෙන කවුරුත් නෙවෙයි ආණ්ඩුවේ දේශපාලනඥයන් හා ආධාරකරුවන් බවට ප්‍රබල චෝදනා එල්ල වෙනවා. රාජ්‍ය අනුග්‍රහය ලබන මේ මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන අද හරිහමන් පරීක්ෂණයක් කෙරෙන්නේ නැහැ. මේ පිළිබඳව ප්‍රබල ජනතා විරෝධයක් තියෙනවා.

ආණ්ඩුවට හා එහි දේශපාලනඥයන්ට විරුද්ධව එල්ල වෙලා තියෙන තවත් ප්‍රබලම චෝදනාවක් තමයි වංචා හා දූෂණ පිළිබඳ චෝදනාව.

ලබන ආදායමින් ජීවත්වෙන්න බැහැ කියන චෝදනාව ඔබ ඉදිරිපත් කළත් රජය කියන්නේ ඒක පුද්ගල ආදායම වසර 2016 වන විට දෙගුණයක් කරනව කියලයි...?

ආණ්ඩුව කියන දේවල් බොහොමයක් තියනවා ඒව කෙරෙන්නේ නැහැ. දැන් බලන්න මිනිස්සුන්ට ජීවත්වෙන්න සරිලන පඩි වැඩිවීමක් ඉල්ලුවත් අද වෙනකම් දීල නැහැ. යුද්ධ කාලේ යුද්ධෙ ඉවර වෙනකම් ඉන්න කිව්වා. යුද්ධෙ ඉවර වුණාට පස්සේ අද පඩි වැඩි කිරීම ගැන කතාවක් නැහැ. මේ බඩු මිල වැඩි වන විදියට සොච්චමකින් පඩි වැඩි කරල කිසිසේත් සෑහෙන්නේ නැහැ.

අද ඉතාම සුළු පිරිසක් වන ආණ්ඩුවේ ලොක්කන් හා ඔවුන්ගේ ගජමිතුරන් කීපදෙනකු පමණක් අසීමිත ආදායම් ලබමින් සිටිනවා. ඒ ඇරෙන්න සාමාන්‍ය මිනිස්සුන්ගේ ආදායම් තත්ත්වයන් වැඩිවෙලා නැහැ. බොරු සංඛ්‍යා ලේඛනවලින් මිනිස්සුන්ගේ ආදායම් වැඩිවුණා කියල පෙන්නන්න හැදුවත් මිනිස්සුන්ට මිලදී ගත හැකි මූර්ත, නියම බඩු ප්‍රමාණය බඩුමිල වැඩිවීමෙන්ම අඩුවෙලා.

එජාපය පසුගිය කාලය තුළම ඡන්දවලින් ලැබුවේ පරාජයයි. මේ ඡන්දය එජාපයට ජය ගන්න පුළුවන් ද?

මැතිවරණ ජයග්‍රහණයක් බලාගෙන තමයි අපි අපේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්නේ. ආණ්ඩුව කඩින්කඩ ඡන්ද තියල ආණ්ඩුවේ සම්පත් මුළුමනින් ඒ තැන්වලට දමල ඡන්ද ජය ගන්න හැදුවත් ඔවුන්ට ඒක දිගටම කරන්න ඉඩ දෙන්න පුළුවන්කමක් නැහැ. පියවර කීපයකින් අපේ ජයග්‍රහණය සාක්ෂාත් කරගන්නවා.

මුලින්ම අපට අවශ්‍යයි 2009 මැතිවරණය එක්ක ගත්තම අපේ ඡන්ද ප්‍රතිශතය විශාල වශයෙන් වැඩි කරගන්න. ඒ තුළින් පළාත් සභා මන්ත්‍රී සංඛ්‍යාව වැඩිකර ගැනීම. ඒ සඳහා ඡන්ද මධ්‍යස්ථාන මට්ටමින් අපේ ඡන්ද ප්‍රමාණය වැඩි කරගන්න අප ඉලක්ක කර තිබෙනවා. මේ තුළින් මන්ත්‍රී කොට්ඨාසයන් ඒ තුළින් දිස්ත්‍රික්කයන් දිස්ත්‍රික් ජයග්‍රහණ තුළින් පළාත් ජය ගැනීමටත් අප සංවිධාන කටයුතු කරනවා. අද යන යන තැන මිනිස්සු මේ ආණ්ඩුවට බණිනවා. ආණ්ඩුවට බැණල ගෙදරට වෙලා හිටියට වැඩක් නැහැ.

ඡන්දෙ දාට උදෙන්ම ඡන්ද පොළට ගිහිල්ලා මේ ආණ්ඩුව පෙරළන්න ඡන්දෙ දෙන්න කියල අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ ආණ්ඩුව පෙරළන්න පුළුවන් එකම විකල්ප පක්ෂය එජාපයයි. ඔය අනිත් පක්ෂවලට ඡන්දය දුන්න කියල ඒ අයට ආණ්ඩුව පෙරළන්න බැහැ. ඒ නිසා ‍හොඳට හිතල එජාපයටම ඡන්දය දෙන්න කියල අපි ඉල්ලනවා.

ඇයි මේ ආණ්ඩු පෙරළන්න ඕන කියල ඔබ කියන්නෙ...?

අහන්න ඕන මේ ආණ්ඩු පෙරළන්න ඕන ඇයි කියල නෙවෙයි. මේ ආණ්ඩුව තියාගත යුත්තේ ඇයි කියලයි. යුද ජයග්‍රහණයෙන් පසුව ආර්ථික කළමනාකරණයෙන් ආණ්ඩුව අසමත් වෙලානම් කම්හල් නව රැකියා නව ආයෝජන කිසිවක් මේ රටට ලැබෙන්නේ නැහැ. අපි දන්න ආර්ථික විද්‍යාව අනුව රටක් දියුණු කරන්න පුළුවන් ඒ රටේ ආයෝජනය වැඩිකර නිෂ්පාදනය වැඩි කිරීමෙන් රටේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමෙනුයි.

අද කවුද මේ රටට එන ආයෝජකයා. මොන නිෂ්පාදන කම්හල ද මේ රටේ අලුතෙන් ඇතිවෙන්නේ. සිදුවෙන්නේ තියන කම්හල් ටිකත් අකුලගෙන යාමයි.

ඔබ ඔහොම කිව්වත් අද මේ රටේ ශීඝ්‍ර සංවර්ධනයක් වෙනව කියලයි ආණ්ඩුව කියන්නෙ?

අද රට සංවර්ධනය කියල හදල තියෙන්නේ අධිවේග මාර්ග, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය හා හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වගේ දේවලුයි. මේ ඔක්කොම වගේ හදල තියෙන්නෙත් හම්බන්තොට.

මේක ජාතික සංවර්ධනයක් ද කියලයි අහන්න ඕන. මේව හදල තියෙන්නෙත් ජාතික අරමුදල්වලින් නෙවෙයි චීනයෙන් අධික වාණිජ පොළියට ගත්ත ණය මුදල්වලින්. මේව බොහොමයක් ප්‍රතිලාභ නොලබන ව්‍යාපාර. නමුත් මේ ව්‍යාපාරවලට ගත් ණය හා ණය පොලී මහජන මුදල්වලින් ආපසු ගෙවන්න වෙනවා. එතකොට මේ බර අවසානයේ පැවරෙන්නේ මේ රටේ සමස්ත පුරවැසියන් වෙත.

අද රටේ සමස්ත ණය ප්‍රමාණය වැඩිවෙලා, එක් පුද්ගලයෙක් ලක්ෂ 4 ක් විතර ණයයි. මේ මුළු බරම අවසානයේ ජනතාව පිටයි පටවන්න වෙන්නේ.

සාමාන්‍ය මිනිහට ජීවත්වන්න බැරුව හිටියට ආණ්ඩුවේ දූෂණයට වංචාවට හසුවුණ මෙගා ව්‍යාපෘති නම් ගජරාමෙට යනවා. මේ ව්‍යාපෘතිවල පෙන්නන තරම් සුන්දරත්වයක් නැත්තේ මේව අවසානයේ ජනතාවටම හිසරදරයක් වී ඇති නිසයි.

ඇත්තටම ආණ්ඩුව කරන්නේ වංචාවක් රජයේ සීමිත මුදල් සම්පත් අපි වගේ දුප්පත් රටක යෙදවිය යුත්තේ ජනතාවට වැඩිම ප්‍රතිලාභ ගෙන දෙන ව්‍යාපෘතිවලයි. ඒ අනුව කරන්නට යන ව්‍යාපෘති ගැන ජනතාව ගැන හිතල ප්‍රමුඛතා ලේඛනයක් තිබිය යුතුයි. එතකොට වැඩිම ප්‍රතිලාභ දෙන ව්‍යාපෘතිවලටයි ජනතා මුදල් ජනතාව වෙනුවෙන් යෙදවිය යුත්තේ. ඒ යෙදවීමත් දූෂණ වංචා අඩුවන ක්‍රමවේදයකට කරන්න ඕන.

විපක්ෂය මෙවැනි ප්‍රබල චෝදනා ඉදිරිපත් කළත් ඒව එකක්වත් ඔප්පු කරගන්න බැරිවෙලා තියනවා නේද?

අද රජයේ ටෙන්ඩර් ක්‍රියාමාර්ග හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ලොකු ව්‍යාපෘතිවලට විතරක් නෙවෙයි පොඩි ව්‍යාපෘතිවලටවත් මේ ටෙන්ඩර් ක්‍රියාත්මක නැහැ.

පසුගිය සතියේ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළා වරාය පුරවරය කියන ආණ්ඩුවේ ලොකු ව්‍යාපෘතිය ගැන මෙතන මහ පරිමාණ වංචාවක් කරන්න යන්නේ මෙතන ආයෝජනය කරනව කියන මුදල ඉතිහාසයේ කිසි දිනක නොවූ ඩොලර් මිලියන 1300 ක් කියනවා. මේවට ටෙන්ඩර් නෑ.

විනිවිද භාවයක් නෑ. තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලත් නෑ රජයේ තනි තීන්දුවක් අනුව මේක ක්‍රියාත්මක කරන්න යන්නේ. ඒ ගොඩ කරන ඉඩම්වලින් සීයට 50 ක් ඒක කරන සමාගමටම දෙන්න යනවා කියනවා. 99 අවුරුදු වුණත් සින්නකර වුණත් රටට අයිති ඉඩම් විදේශිකයන්ට සින්නක්කර විකුණන්න යන්නේ. මේ ආයෝජනය ගැන අද වෙනකම් තොරතුරු පාර්ලිමේන්තුවට දීල නැහැ. මේක එකක් විතරයි. මේ විදියට දූෂණ වංචාව අද උතුරා ගිහිල්ලා තියනවා.

එජාපයේ බෙදීම් මේ මැතිවරණයට බලපෑම් කරනව ද නැද්ද?

මේ මැතිවරණයේ අභ්‍යන්තර කාරණා එතරම් වැදගත් වෙන්නේ නැහැ. අපේ පක්ෂයේ බෙදීම් තියනවා කියල කියන්නේ ආණ්ඩුව හා මාධ්‍ය. මේව මාධ්‍ය මවන්නේ ආණ්ඩුවේ වුවමනාවට. රනිල්, සජිත්, කරු බෙදීම තියනවා කිව්වා.

අද තිදෙනාම පක්ෂය දිනවන්න ඡන්ද කටයුතුවල නියැළිලා ඉන්නවා. සජිත් හම්බන්තොට බර කරට අරන් තියනවා. නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ඡන්ද ව්‍යාපාරය කරනවා. කරු ජයසූරිය මහතාත් නායකත්ව මණ්ඩල සභාපති ලෙස විශාල කැපවීමකින් කටයුතු කරනවා. හැම කෙනාම ඡන්ද ව්‍යාපාරයට කැපවෙලා තියනවා. කවුරුත් මග ඇරලා නැහැ. ඉතින් කොහෙද පක්ෂයේ බෙදීමක් තියෙන්නේ.

මොකක්ද එජාපය මේ ඡන්දෙදි ජනතාවට දෙන පණිවුඩය?

එජාපයේ ප්‍රධාන තේමාව දේශපාලන බල පෙරළියකට කොළ එළිය කියන එකයි. අපි කියන්නේ ජනතාවට එළියට ඇවිල්ල මේ ඡන්දයේදී එජාපය වෙනුවෙන් එළියට ඇවිල්ල ඡන්දෙ පාවිච්චි කරන්න කියන එකයි. අපි මැතිවරණ ප්‍රකාශයක් ඉදිරිපත් කළත් ආණ්ඩුව කිසිඳු ප්‍රකාශනයක් මේ ඡන්දයට ඉදිරිපත් කරල නැහැ.

ආණ්ඩුව කියන්නේ ආණ්ඩුව ශක්තිමත් කරන්න ඡන්දෙ දෙන්න කියලයි. අපි අහන්නේ දූෂණය වංචාවට පාර කපන මේ ආණ්ඩුව තවත් තියාගන්නේ ඇයි කියලයි. අපි පරාද වුණේ ඡන්ද නැති නිසා නෙමෙයි අපේ ඡන්දදායකයා ඡන්ද පොළට නොආ නිසයි.

අපි ඡන්දදායකයා ගෙන් ගෙට ගිහිල්ල උනන්දු කරනවා. 1992 න් පසු උපන් පළමු වරට ඡන්දය පාවිච්චි කරන තරුණ ඡන්ද දායකයාට අපි කියන්නේ රටට මොන පක්ෂය ද වැඩ කරල තියෙන්නෙ කියල හොයල බලල තම ඡන්දය පාවිච්චි කරන්න කියලයි.

දැන් මේ වෙනකොට මේ රජය පළාත් සභා පාලනය වාර 4 ක් ගෙනිහිල්ලා තියනවා. මොනව ද කරල තියෙන්නේ. මොනව ද කරන්නේ කියල ජනතාවට සෑහීමට පත්විය හැකි වැඩපිළිවෙළක් ඉදිරිපත් කරල නැහැ.

මේ ඡන්දෙදි කලකිරිල ඉන්න ශ්‍රීලනිප ඡන්දදායකයන් යම් ප්‍රතිශතයක් අපට ඡන්දෙ දෙනවා. මේක තමයි ආණ්ඩුව පෙරළන සංඥාව දෙන මැතිවරණය කියල අපි කියනවා.


විපක්ෂයේ දිනන කතා හැමදාම අහන වෙළෙඳ දැන්වීම් වගේ

නියෝජ්‍ය කථානායක

චන්දිම වීරක්කොඩි

මේ වෙනකොට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කතා කරන්නේ බස්නාහිර සහ දකුණු පළාත් උඩින්ම දිනලා වගේයි. ඒක හීනයක් වේවිද?

ඒක හීනයක් නෙමෙයි පැහැදිලිවම එ.ජ.නි.ස ආණ්ඩුව දිනනවා. මේ රටේ ජනතාව බොහොම කෘතවේදීයි. ජනාධිපතිතුමා අතුළු රජය ත්‍රස්තවාදය අවසන් කරලා වෙනදා නොදැකපු නොදුටු සංවර්ධනයක් හැම ප්‍රදේශයකටම ගෙන ඒම නිසා මේ ආණ්ඩුව මේ පළාත් දෙක ඉහළින්ම දිනනවා කියන එක අමුතු දෙයක් නෙමෙයි.

කිසිම අභියෝගයක් නෑ?

අභියෝගයක් ඇත්තටම නෑ. එක් අතකින් අපි ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් අරගෙන ජනතාවාදී ලෙස සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යනවා. ඉතිහාසයේ ශක්තිමත්ම අභිමානවත් රාජ්‍ය මේ රටේ පිහිටුවලා තිබෙනවා.

අනෙක් පැත්තෙන් විපක්ෂය තමන්ගේ ඇතුළේ ප්‍රශ්න විසඳා ගන්ඩ බැරුව විශාල බෙදීමකට ලක් වෙලා ඇතුළේ වෙනසකට සටන් කරනවා. ඒ නිසා තමන් ගැනවත් විශ්වාසයක් නැති පක්ෂයක් ගැන ජනතාව විශ්වාසයක් තියන්නේ නෑ

ඔබතුමා කියන්නේ එ.ජා.ප , ජ.වි.පෙ සහ ෆොන්සේකා හාන්සියි කියලාද?

අනිවාර්යයෙන්ම. ෆොන්සේකා වගේ අකෘතඥ මිනිහෙකුට ජනතාව ඡන්දය දේවිද. ෆොන්සේකාට ගෞරවයක් ඇති කර දෙන්ඩ ඉදිරිපත් වෙච්ච මේ රටේ රාජ්‍ය නායකයාට පිටුපාලා අකෘතඥව හැසිරෙන ආකාරය දැක්කාම ජනතාව ඡන්දය දේවිද.

ඒ වගේම යුද හමුදාපති වීම නිසා රටේ නමක් හදා ගෙන ඊට පස්සේ රටේ ගෞරවය විනාශ කරන්ඩ හදන හැටි දැක්කාම ජනතාව ඡන්දය දේවිද. ඒ නිසා ලංකා ඉතිහාසයේ හරියට හැසිරෙන්ඩ දන්නේ නැති කෙනෙකුට රටේ තැනක් ලැබිලා නෑ. ෆොන්සේකාට වෙන්නෙ ඒකමයි.

ජ.වි.පෙ නව නායකයෙකු යටතේ අලුත් පිම්මක් පැනලා තියෙනවා. ඒක ආණ්ඩුවට අභියෝගයක් නෙමෙයිද?

කිසිම පිම්මක් පැනලා නෑ. අද ජ.වි.පෙට ශක්තිමත් සංවිධාන ජාලයක් නෑ‍. කම්කරුවා , ගොවියාගේ සිතුම් පැතුම් හඳුනාගත් ජනතාවාදී ක්‍රියාකාරී දේශපාලන සංවිධානයක් විදියට තමයි මුල දී ජනතාව ජ.වි.පෙ දැක්කේ. නමුත් කොළඹ රවි කරුණානායකගේ දේශපාලන සංස්කෘතියට සම්බන්ධ නායකත්වයක් ඇති කර ගත්තාම කොහොමද ජ.වි.පෙ ගමේ ජනතාවට සමීප වෙන්නේ. ඒ නිසා ජ.වි.පෙට වෙන්නේ ඔවුන්ගේ තියෙන ඡන්දත් නැති වීම විතරයි.

ඔබ කියන්නේ ජ.වි.පෙ හෝ ෆොන්සේකා සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් කරන්නේ නැහැ කියලාද?

ජනතාවගේ අවශ්‍යතාව තමයි මේ රට දියුණු කිරීම. ජනතාවගේ අවශ්‍යතාව මේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ක්‍රියාත්මක වීම. ඒ අරමුණු දෙක නැතිව වෛරී ලෙස කාගෙන් හරි පළිගන්න අරමුණකින් යුතුව දේශපාලනය කරන මේ පක්ෂවලට සහයෝගය දීමේ හේතුවක් දකුණේ හෝ බස්නාහිර බුද්ධිමත් ජනතාව දකින්නේ නෑ. මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය පළි ගන්ඩ හෝ වෛරය පිරිමහ ගන්ඩ කාටවත් බලය දෙන්ඩ නෙමෙයි. ඒ නිසා බුද්ධිමත් මිනිස්සු ඒ දේශපාලන ක්‍රියාමාර්ග අනුමත කරන්නේ නෑ.

බල පෙරළියට කොළ එළියක් කියලා මෙවර පළාත් සභා මැතිවරණවලට ප්‍රතිපත්ති ප්‍රකාශයක් එ.ජා.ප ය ඉදිරිපත් කරනවා. කෝ ආණ්ඩුවට ප්‍රතිපත්ති ප්‍රකාශයක් නැද්ද?

ඔය කියන්නේ එ.ජා.ප ය ඇතුළේ තියෙන බල පෙරළිය ගැන තමයි‍‍. එයාලාගේ ප්‍රශ්න අවසන් කර ගත් දාට තමයි ජනතාව එයාලාට දීලා තියෙන රතු එළිය නිවා ගන්නේ. බල පෙරළියට කොළ එළියක් එයාලා පත්තු කරලා තියෙද්දී ජනතාව එයාලාට රතු එළියක් පත්තු කරනවා.

ඒ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා තියෙන මහින්ද චින්තන ඉදිරි දැක්ම කියන වැඩපිළිවෙළ ඡන්දයට විතරක් ඉදිරිපත් කරලා පස්සේ විසි කර දාන ප්‍රතිපත්තියක් නෙමෙයි. මේ රජයේ අරමුණ, ප්‍රතිපත්තිය මොකක්ද කියන එක ජනතාව තේරුම් ගෙන තියෙනවා. ඌව පළාත් සභාවට තවත් එ.ජා.ප යේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එයි. ඒ නිසා පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශයක් කියන්නේ චිත්‍ර කතා පත්තරයක් නෙමෙයි.

රතුපස්වල සිදු වීමක් වෙනවා. හංවැල්ලේ සිදු වීමක් වෙනවා. විශ්වවිද්‍යාල සිසු අරගල එනවා. මේවා ආණ්ඩුවට හරියට කළමනාකරණය කර ගන්ඩ බැරිද?

මේ ර‍ටේ විපක්ෂය අවස්ථාවාදීව තමන්ගේ පටු අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා කරනු ලබන යම් යම් උත්සාහයන් තිබෙනවා. ඒ අය විසින් කුපිත කරන ලද ජනතාව එවැනි දේට පෙලඹීමේ ඉතිහාසයක් මේ රටේ හැමදාම තිබුණා. ඒ ඉතිහාසයත් එක්ක සන්සන්දනය කරනකොට උතුරේ ඉඳලා දකුණට එනතුරු මේ සිදු වීම් දෙක තුන විතරයි විපක්ෂයට කියන්ඩ තියෙන්නේ.

ඇත්තටම ආණ්ඩුව හිතන්නේ මේවා ප්‍රශ්න නෙමෙයි කියලාද? ආණ්ඩුව බෝලේ පාස් කරලා අත පිසදා ගන්ඩද හදන්නේ?

ජනාධිපතිතුමා හෝ එතුමාගේ රජය අත පිස දමා ගැනීමේ දේශපාලනයක් කරන්නේ නෑ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනේදී ජනාධිපතිතුමා හෝ මේ රජය විදේශ බලපෑම් හමුවේ අත පිස දමා ගැනීම් කළේ නෑ. මේ ආණ්ඩුවට වැටුණු කකුල් මාට්ටු හමුවේ එහෙනම් ෂේප් න්‍යාය අනුගමනය කරනවා. එහෙම මේ රජය කරලා නෑ.

ජනාධිපතිතුමා විසින් තීන්දු කරපු හැම සංවර්ධන කටයුත්තක්ම කරන්ඩ බැහැ කියලා විපක්ෂය කිව්වා. නමුත් ඒ හැම දෙයක්ම කරන්ඩ පුළුවන් වුණේ ජනාධිපතිතුමාගේ නායකත්වය නිසායි. ඒ නිසා අත පිස දමා ගැනීමේ සංස්කෘතියක් මේ රජයට නෑ.

කොළඹ වනාතේ සහ ඇපල් වත්ත ආදී ප්‍රදේශවල ජනතාව ඔවුන් පදිංචි ස්ථිර නිවෙස්වලින් ඉවත් කළා. දැන් ඔවුන්ගේ චෝදනාවක් තමයි තමන්ට ලැබෙන්ඩ යන්නේ වර්ග අඩි 330 විතර කුඩා නිවෙසක් කියලා. මේ හැම දෙයක්ම බස්නාහිර ඡන්දයට බල පාන්නේ නැද්ද?

වනාතමුල්ලට කවදාවත් අත තිබ්බේ නෑ. හැබැයි ඉතින් වනාතමුල්ලේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමයි මේ සියල්ල කරන්නේ. එවැනි සංස්කෘතියක ජීවත් වෙන පිරිසක් සිටින ඕනෑම රටක ඒ සංස්කෘතිය හා බැඳුණ විවිධ ජාවාරම් නීතියට පටහැණි ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා එවැනි අසම්මත ව්‍යාපාරවලින් වාසි ලැබු අය මෙවැනි තත්ත්වයන්වලදී කැලඹෙනවා. ඒ කැලඹීම අපේක්ෂාවෙන් තමයි ඒ වගේ දෙයකට අත තිබිය යුතු වෙන්නේ.

අපිත් කැමැතියි වර්ග අඩි 350 නෙමෙයි වර්ග අඩි 1350 ගෙවල් දෙන්ඩ පුළුවන්නම්. නමුත් නව නිවාසවල තියෙන සෞඛ්‍ය තත්ත්වය සහ වෙනත් පහසුකම් , ආරක්ෂාව සහ පරිසරය මේ සියල්ල බලනකොට මේ වර්ග අඩි 350 සැපට ඉන්න ලැබෙන එක වාසනාවක් කියලා නව නිවාසවල පදිංචියට ගියාම තමයි ඒ අයට තේරෙන්නේ. ඒ යහපත් තත්ත්වයන් යටතේ ජීවත් වෙන දරුවන්ට ඉන් එහාට අධ්‍යාපනය ලබලා වර්ග අඩි 3500 විතර ගෙයක් හදා ගන්ඩ පුළුවන් වෙන වාසනාව තිබෙනවා.

ඔබතුමා කියනවා ඔය විවිධ ගැටුම්වලට හේතුව විවිධ උසිගැන්වීම් කියලා කවුද මේවා කරන්නේ?

කවුරුවත් නෙමෙයි ජනතාව කුලප්පු කරලා යම් දේශපාලන වාසියක් ගන්ඩ පුළුවන්ද කියලා උත්සාහ ගන්නා දේශපාලන පක්ෂවලට තමයි. එ.ජා.ප ය , ජ.වි.පෙ සහ ෆොන්සේකාගේ පක්ෂවල උදවිය තමයි මේ පිටුපස ඉන්නේ.

බඩු මිල වැඩියි. ජිවන වියදම වැඩියි. ආණ්ඩුව සංවර්ධන කටයුතු කරනවා ඒත් මිනිස්සුන්ගේ අතේ මිටේ සල්ලි නෑ කියලා චෝදනාවක් තිබෙනවා?

පැහැදිලිවම බඩු මිල වැඩි වෙනකොට පාර්ලිමේන්තුවට මිනිස්සු පත් කරලා එවපු මේ මන්ත්‍රීවරු ඇමැතිවරු බඩු ගන්නෙත් මිනිස්සු බඩු ගන්ඩ කඩවලින්ම තමයි. අපිටත් බඩු මිල ජීවන වියදම දැනෙන්නේ නැත්තේ නෑ. මොකද පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ගේ ගෙවල්වලට කවුරුවත් කොහෙන්වත් කෑම ගෙනත් දෙන්නේ නැ‍හැනේ.

ඇයි පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට සැලකිය යුතු හොඳ වැටුපක් ලැබෙනවානේ?

වැටුප කියන එක හැමෝටම සාපේක්ෂව ලැබෙනවා. දැන් මං නීතීඥයකු විදියට උපයපු මුදල මට මන්ත්‍රීවරයෙක් විදියට ලැබෙන්නේ නෑ. අපි මෙතැන පාර්ලිමේන්තුවට ඇවිත් තියෙන්නේ ජනතාව වෙනුවෙන් යම් කැප කිරීමක් කරලා. ඒකත් කිව යුතුයි. හැම වෙලේම මුදලම නම් වැදගත් වෙන්නේ මුදල් විතරක් හොයන්න මේ මන්ත්‍රීකමෙන් අවස්ථාව නැත්තේමත් නෑ.

ජනතාවට ඇති විය හැකි ප්‍රශ්න තේරුම් අරගෙන තමයි අපි දිවි නැඟුම වගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේ. අද ප්ලැට් එකකට ගියත් මාළු මිරිස් කරලක් , මිරිස් කරලක් හිටවලා තියෙනවා. ඒකට අනුගත වු ජනතාවට තමන්ගේ ජීවන වියදම දරා ගන්ඩ යම් තාක් දුරකට අවස්ථාව ලැබිලා තියෙනවා.

දැන් ඔබතුමාලා මොනවා කීවත් විපක්ෂය කියනවා මේ ආණ්ඩුව පෙරළන සටනේ වැදගත් පියවරක් මේ මැතිවරණය කියලා .එහෙම වුණොත් ?

එහෙම නොකියා ඒ අය වෙන මොනවා කියන්ඩද. 1994 ඉඳලා ඒ අය කීවතාවක් එහෙම කීවද? 2001 දී කියපු එක හැර අනෙත් හැම වතාවකම එයාලා කියපුවා බොරු වුණා. 2001 දී මිනිස්සු බාර දීපු ආණ්ඩුව පවත්වාගෙන යන්ඩ තරම් දේශපාලන ශක්තියක් එ.ජා.ප යට තිබුණේ නෑ. එවැනි නායකයකුට යළිත් එ.ජා.ප යේ බලය දෙන්ඩ බෑ කියලා ජනතාව තීන්දු කරලා තියෙනවා. ඔය කතාව ප්‍රවෘත්තිවලට කලින් හැමදාම දාන වෙළෙඳ දැන්වීම වගේ තමයි.

දැන් අපි දන්නවා 28 වැනි දා ජීනීවා ඡන්ද විමසීම තියෙනවා. 29 වැනි දා දකුණු සහ බස්නාහිර ඡන්දය තියෙනවා. ජීනීවා විකුණාගෙන කනවා කියලා ආණ්ඩුවට චෝදනාවක් තියෙනවා?

ජීනීවා විකුණාගෙන ඒකෙන් පෝෂණය වෙන්ඩ බලා ගෙන ඉන්න පිරිසක් මේ රටේ ඉන්නවා. මේ ර‍ට අද වේගයෙන් සංවර්ධනය වෙමින් ඉදිරියට යන ගමන අඩාළ කරන්ඩ විවිධ බලවේග දරන උත්සාහයන් පරාජය කළ යුතුයි කියලා එ.ජ.නි.ස ය නෙමෙයි මේ රටේ ජනතාව තීන්දු කොට තිබෙනවා.

මේක ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය හා අභිමානය පිළිබද ප්‍රශ්නයක්. ඒ අභිමානය රකින්ඩ පුළුවන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට කියලා මේ රටේ කුඩා දරුවාගේ පටන් ජනතාව දන්නවා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය රජයෙන් ඉවත් විය යුතු බවට එහි උත්තරීතර මණ්ඩලය තීන්දු කොට තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණා. දැන් මොකක්ද තත්ත්වය?

2005 සහ 2010 ජනාධිපතිවරණ අපි දිනුවේ ඒ අයගේ සහයෝගය නැතිවයි. නමුත් බහුතර මුස්ලිම් ජනතාව එ.ජ.නි.ස ය සමඟ සහ ජනාධිපතිතුමා එක්ක ඉන්නවා. බොහෝ මුස්ලිම් රටවල් ජනාධිපතිතුමාගේ මිත්‍ර රටවල්. ඒ නිසා මුස්ලිම් කොංග්‍රසයට සිදු වුණා රජයට එක් වෙන්ඩ.

ඒ නිසා මං විශ්වාස කරන්නේ නෑ මේ මොහොතේ ඔවුන් රජය අත හැර යාවි කියලා. ඒ අය මේ වෙලාවේ වෙනම ඡන්දය ඉල්ලන විට ඒ අයටත් ඡන්ද ලබා ගැනීමේ උපක්‍රමයක් විදියට ඔය විදියට කතා කරන්ඩ වෙනවා. ඡන්දයට පස්සේ ඔය කතා ඒ අය කියන එකක් නෑ.

දැන් ගීතා කුමාරසිංහ කියනවා මහ ඇමැතිකම නැති වුණොත් යනවා කියලා. මාතර සහ හම්බන්තොටත් මහ ඇමැතිවරු ඉන්නවා. එ.ජා.ප යේ කවුරුත් එහෙම කියන්නේ නෑ?

එ.ජා.ප ය දිනන්නේ නැති නිසා මහ ඇමැතිකමක් ලැබෙන්නේ නැති නිසා කොහොමත් එහෙම කියන්නේ නෑ. මහ ඇමැතිකම ලැබෙන්නේ අපේ පක්ෂයට නිසා මහ ඇමැති වෙන්ඩ කවුරුත් කැමැතියි. ඒ නිසා කවුරු ආවත් ගියත් ජනාධිපතිතුමා විවෘතවම කියලා තියෙනවා මේ පක්ෂයට ඕන කෙනෙකුට යන්ඩත් පුළුවන් එන්ඩත් පුළුවන් කියලා. මේ පක්ෂයේ කවුරුත් බලෙන් තියා ගන්නේ නෑ. පළපුරුද්ද , පක්ෂයේ ජ්‍යෙෂ්ඨත්වය , හොඳ දැක්මක් සහ පළාත දියුණු කරන්ඩ බුද්ධිමත් නායකත්වයක් දිය හැකි කෙනාට මහ ඇමැතිකම ලැබේවි.

ආණ්ඩුව පැත්තෙන් බස්නාහිර සහ දකුණු පළාතේ ජනතාවට ඔබට දෙන්ඩ පුළුවන් පණිවිඩය මොකක්ද?

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයට අභියෝග කරන්ඩ පුළුවන් නායකයෙක් මේ මෑත ඉතිහාසයේ බිහි වෙලා නෑ. එතුමා වෙනුවට පත් කරන්ඩ කෙනෙක් මේ ‍රටේ පේන මානයකවත් නැති බව එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් දේශපාලන පක්ෂවල ප්‍රධානීන් පවා ඉතාම පැහැදිලිව දන්නවා.

එ.ජා.ප යේ මන්ත්‍රීවරු පවා අපිත් එක්ක කතා කරනකොට ඒක අනේක වාරයක් කියලා තියෙනවා. ඒ සඳහා ගෙන යන වැඩපිළිවෙළට ශක්තිමත්ව සහයෝගය දෙන්ඩ කියන එක තමයි කියන්ඩ තියෙන්නේ. සහයෝගය දෙන්ඩ කිව්වාම ඒ සහයෝගය බුලත් කොළයට මිසක් වෙන කාටවත් දීලා වැඩක් නැතෙයි කියන එක අමුතුවෙන් කිව යුතු දෙයක් නෙමෙයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]