කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

- විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස්

ඇමෙරිකාව ලංකාවට විරුද්ධව ගෙන ඒමට යන යෝජනාව වරින් වර වෙනස් කරමින් වැඩි රටවල් සංඛ්‍යාවක සහාය ඒ සඳහා  ලබාගැනීමට උත්සාහ කරන බවත් ත්‍රස්තවාදය නැති කරන්න යුද්ධ කළාක් මෙන් මානව හිමිකම් දේශපාලන ආයුධයක් ලෙස  යොදාගනිමින් රටට විරුද්ධව කරන මේ යුද්ධයත් ජයගත යුතුව ඇති බවත් විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

සිළුමිණ සමඟ ජිනීවා සමුළුව ගැන සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා මේ ප්‍රකාශය කළේය. එහිදී ඇමැති වරයාගෙන් ඇසූ ප්‍රශ්න කීපයකට දුන් පිළිතුරු මෙසේය.

* අද රටම කතාකරන්නේ ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඇමෙරිකාව අපේ රටට විරුද්ධව ගේන යෝජනාව ගැන. මේ ප්‍රශ්නයේ දී රට වෙනුවෙන් පෙනී සිටින නියෝජිත කණ්ඩායමේ නායකයා ලෙස ඔබතුමා කුමක්ද කියන්නේ?

අපි උපරිමය කරගෙන යනවා. එතන තියෙන තත්ත්වය තමයි ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් අපට විරුද්ධව මේ යෝජනාව ගෙන ඒම.

මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය ගැන හිතනව නම් එතන සාමාජිකයන් 47ක් ඉන්නවා. එයින් 13ක් යුරෝපීය රටවල්. යුරෝපීය රටවල සම්ප්‍රදාය තමයි ඒගොල්ලෝ සාමූහිකව ඡන්දය දීම.

යුරෝපීය සමුළුවේ ප්‍රධාන කාර්යාලය තියෙන්නේ බ්‍රසල්ස් නුවරනේ. ඒ ගොල්ලෝ සුවිශේෂ අවස්ථාවක හැර එක විදියටයි ඡන්දය දෙන්නේ. ඒ කියන්නේ ආරම්භයේදිම 13ක් ඒ පැත්තේ. ඒක එක සාධකයක්. අනෙක තමයි ඇමෙරිකාව හා විශේෂයෙන්ම මහ බ්‍රිතාන්‍යය සුවිශේෂ බලපෑමක් කරනව.

විශේෂයෙන්ම කුඩා රටවලට ඒගොල්ලො කියනවා අනිවාර්යයෙන් මේකට සහයෝගය දිය යුතුයි එ‍ෙස් නොකළොත් දඬුවම් විඳින්න වෙනවා කියලා. මේ සමහර රටවල් පොඩි රටවල් තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් යැපෙනවා.

ඒ කියන්නේ තුන්වැනි පාර්ශ්වයක් ඒ රටවල් ආක්‍රමණය කළොත් ඒගොල්ලෝ රැකගන්න ඇමෙරිකා එක්සත් ජනපදය බැඳී ඉන්නවා. ඒ සමහර රටවල් අස්සන් කරල තියන ගිවිසුම් ප්‍රඥප්ති අනුව අනෙක් සමහර රටවලට මහ පරිමාණයේ මූල්‍යාධාර ලැබෙනවා ඇමෙරිකාවෙන්. ඒ රටවල යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන්.

* ලොකු රටවල බලපෑමට යටත් නොවන රටවලුත් තියෙනවනේ?

ඒ රටවල් ගණනාවක් අපට කියනවා මේක දිගටම ලුහුබැඳගෙන යන්න ඒ ගොල්ලන්ට කිසිම වුවමනාවක් නැහැ කියලා. ඔවුන් ශ්‍රී ලංකාව සමඟ හොඳ සබඳතාත් පවත්වනවා. ඒගොල්ලෝ පිළිගන්නව යුද්ධයෙන් පසු ගෙවී ගිය වසර හතර තුළ මේ රටේ ඇතිවුණ සංවර්ධනය ගැන. හැබැයි ඒ අතරේ ඒ රටවල් අහනවා මෙහෙම සම්බන්ධයක් අප සමඟ පවත්වන ඇමෙරිකාවට අපි කොහොමද සහාය දෙන්න ඉල්ලුවම නොදී ඉන්නේ කියලා. ඒකෙන් අපට ලොකු අවාසියක් සිදුවෙනවා. අපට සිදුවෙනවය ඇමෙරිකාව සමඟ ඡන්දය පාවිච්චි කරන්න වෙනවය කියලා. ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්.

* ත්‍රස්තවාදය නැතිනම් ඝාතක සංවිධානයක් සමාජයෙන් ඉවත් කිරීම කොහොමද මානව හිමිකම් කඩකිරීමක් වෙන්නේ. බලගතු රටවලට එක නීතියකුත් කුඩා රටවලට එක නීතියකුත් ක්‍රියාත්මක වෙන්න බැහැනේ?

ඔව්. ඇත්ත නැත්ත කරල පෙන්වන්න ඉඩ දෙන්න බැහැ.

මානව හිමිකම් කවුන්සිලයෙන් බලාපොරොත්තු වෙන්නේ අදාළ තත්ත්වය ගැන ගැඹුරුව අපක්ෂපාතීව සිතා බලල සාධාරණ තීන්දුවකට එළඹීම. 2006 තමයි මානව හිමිකම් කවුන්සිලය එතෙක් තිබුණ මානව හිමිකම් කොමිසම වෙනුවට ඇති කෙරුවේ.

කොමිසම අහෝසි කරල ජගත් මානව හිමිකම් කවුන්සිලය ඇති කෙරුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභාව. ඒ පියවර ගැනීමේ දී මහ සභාව එයට හේතුව පෙන්වා දුන්නා. ඒ අය කිව්වා කොමිසම සම්පූර්ණයෙන් දේශපාලනීකරණය වුණ ආයතනයක් වෙලා තියනවා කියලා.

ඒ හින්ද ඒ ගැන විශ්වාසය තබන්න බැහැ. ඒ නිසා ඒ වෙනුවට ඔවුන්ට අවශ්‍ය වන්නේ ‘ඔන් ද මෙරිට්’ ඒ කියන්නේ යම්කිසි කරුණකදී තර්ක විතර්ක ඇති කරල ඒව ගැන හිතල බලල දේශපාලන සාධකවලින් තොරව කඳවුරකට නොවැටී සාධාරණ තීන්දු ගන්න තැනක් විය යුතුයි කියලා. නමුත් මේ යන විදියට හොඳටම පැහැදිලියි එය කිසිසේත් සිදුවෙලා නැහැ. ඒ ගැන අපි කනගාටු වෙනවා.

නටවන උත්සාහයක්

* බලගතු බටහිර රටවල් කියන විදියට ශ්‍රී ලංකාව නටවන්නයි මේ උත්සාහය දරමින් තිබෙන්නේ?

මේක සමාන රටවල් දෙකක් අතර සටනක් නෙවෙයිනේ. බ්‍රිතාන්‍යයේ කැමරන් අගමැතිතුමා තමන්ගේ අස්සනින් මේ සියලුම සාමාජික රටවල්වලට ලියමනක් ලියල තියනවා. ඒ සෑම සාමාජික රටකම අගනුවරවල ඇමෙරිකාවේ හා මහා බ්‍රිතාන්‍යයේ තානාපති කාර්යාල තිබෙනවා. ඔවුන් පුළුවන් තරම් පීඩනයක් දානව මේ රටවල්වලට. ඒ තත්ත්වය තුළ අපි උපරිම උත්සාහය දරනවා මේ අභියෝගය ජයගන්න ඒ අනුව තමයි අපි ජිනීවා නුවර වැඩ කටයුතු කරගෙන යන්නේ.

* මානව හිමිකම් ගැන කතා කරමින් ජීවත්වීමේ අයිතිය නැතිකර දැමූ රටක ඒ අයිතිය නැවත ලබාදුන් රජයකට විරුද්ධවයි මේ යෝජනාව ගේන්නේ?

මේක සම්පූර්ණයෙන් අසාධාරණයි. ලංකාව තෝරගෙන තිනේනේ අපට ඒගොල්ලන්ට බලපෑමක් කළ නොහැකි නිසා. නැතිනම් ඔවුන් මෙහෙම බලපෑමක් අපට කරන්නේ නැහැ. ලොකු රටකට මේ වගේ දෙයක් කළා නම් ඒ රට පෙරළා ප්‍රහාරයක් එල්ල කරනවා.

ඒකට මේ දිනවල හොඳම උදාහරණය ඇමෙරිකාවේ ඉන්දියානු කොන්සල්වරියක් වන දෙව්යානි කොබ්රශාඩේ ඇමෙරිකාවේ දී අත්අඩංගුවට අරගෙන ඇගේ තත්ත්වයට නොගැළපෙන ලෙස හිරිහැර කරල තිබුණා. ඒකෙන් ඉන්දියාව කෝපයට පත්වෙලා දැඩි පියවර ගත්තා.

නවදිල්ලියේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක බාධක පවා ඉවත් කළා. ඇමෙරිකානු තානාපති නිලධාරීන්ට නවදිල්ලියේ තිබුණු ආරක්ෂාව ඉවත් කළා. ඒ නිසා ‍ෙලාකු රටවලට ඒගොල්ලෝ අපට වගේ අරියාදු කරන්නේ නැහැ. ලංකාව පස්සේ එළවන්නේ අපට එහෙම ප්‍රතික්‍රියා කරන්න බැරි නිසා.

ඒ නිසා තමා මේක සම්පූර්ණ අසාධාරණයි. ලංකාවේ යුද්ධය අවසන් වුණේ 2009 මැයි 19 වැනිදා. ඉන්පසුව කිසිම ත්‍රස්තවාදී සිදුවීමක් අපේ රටේ සිදුවෙලා නැහැ. එහෙම කියන්න පුළුවන් රටක් ලෝකයේ වෙන කොහෙවත් ඇත්තේ නැහැ. සමහර රටවල ත්‍රස්තවාදය තුරන් වුණා කිව්වට බ්‍රිතාන්‍යයම ගත්තත් ගුඩ් ෆ්‍රයිඩේ සම්මුතියෙන් පසුවත් දරුණු බෝම්බ පිපිරීමක් වෙලා පොලිස් නිලධාරීන් 50කට වඩා බරපතළ තුවාල ලැබුවා. ඒත් ශ්‍රී ලංකාවේ මේ තත්ත්වයේ අවසානයක් දකින්න අපට පුළුවන් වුණා.

මේකෙන් හොඳක් සිදුවුණේ ලංකාවට විතරක් නෙවෙයි මුළු දකුණු ආසියානු කලාපයටමයි.

අපි වැඩකරන්නෙ ආසියානු කලාපයටම

මොකද ත්‍රස්තවාදී කණ්ඩායම් හුදකලාව නෙවේ කටයුතු කරන්නේ. එකිනෙකා මත යැපෙමිනුයි ඔවුන් කටයුතු කරන්නේ.

ඒ ඇරෙන්න ලංකා‍ෙව අපි කටයුතු කරන්නේ මුළු දකුණු ආසියානු කලාපයටමයි. අග්නිදිග ආසියාවේ සමුද්‍ර මාර්ග අපි ආරක්ෂා කරනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ලොකු සේවයක් ඉටුකරනවා. අපි ඕස්ට්‍රේලියාව සමඟ ඒකාබද්ධ කමිටුවක් හදල ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව යන පුද්ගලයන් නැවැත්වීමට විශාල මෙහෙවරක් කරල තියෙනවා.

ඒක ඕස්ට්‍රේලියාවත් ප්‍රසිද්ධියේ පිළිඅරන් තියෙනවා. ඒ සියල්ල කරන්න පුළුවන් වුණේ ත්‍රස්තවාදය තුරන් කිරීම නිසයි. ඒක අගය කිරීම වෙනුවට මේ විදියට කටයුතු කිරීම කාටවත් අනුමත කරන්න බැහැ. ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට ආධාර කිරීම වෙනුවට ‍චෝදනා පැවරීමට උත්සාහ කිරීම අපි දකිනවා යුක්ති සහගත නොවන වැඩපිළිවෙළක් විදියට.

* දැන් ඇමෙරිකාව ලංකාවට විරුද්ධව ගෙනෙන යෝජනාවත් වරින් වර සංශෝධනය වෙමින් තිබෙන්නේ?

ඔවුන් එහෙම අපට විරුද්ධව ගේන්න හදන යෝජනාව සංශෝධනය කරන්නේ ඒකට පුළුවන් තරම් රටවල් සංඛ්‍යාවක සහයෝගය ලබා ගැනීම සඳහායි. හැබැයි දැනට තියන යෝජනාවේ 8 වැනි ඡේදය අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒක කිසිසේත්ම පිළිගන්න බැරි එකක්.

ඒකෙ හරය තමයි ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමේ වගකීම බාර කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්වරිය නවනීදන් පිල්ලේ මහත්මිය වෙතයි. නවනීදන්පිල්ලේ මහත්මිය තමයි යුද්ධය තිබෙන කාලේ කිව්වේ ශ්‍රී ලංකාව යම් යම් ජනකොටස්වලට දමිළ ජනකොටස්වලට විරුද්ධව මෙහෙම සහාසිකව කටයුතු කරගෙන යනවා.

කෘතීම නිර්මාණය කළ තත්ත්වයක් අනුව කියලා. ඒක පුදුම තත්ත්වයක්. එතකොට ත්‍රස්තවාදයක් නැහැ. එහෙම නම් මේ විනාශය කළේ කවුද? දහස් ගණන් මිනිස්සු මැරුවේ අපේ ආර්ථිකය ගිනිබත් කළේ කවුද? එහෙම කියපු පුද්ගලයා යුද්ධය අවසන් වෙලා සතියක් ඇතුළත ලෝකයට ප්‍රකාශ කළා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍යයයි කියලා.

ඒ කියන්නේ එතුමියට කිසිසේත් විවෘත මනසක් නැහැ. එතුමිය හිත හදාගෙන ඉන්නේ මෙහෙම වුණා කියලා නිගමනයකට පැමිණිලා ඒ නිගමනය මුළු ලෝකයටම ප්‍රකාශ කරල තියෙනවා. එවන් කෙනෙකුට මේ වගකීම බාර දීමේ කිසිදු අර්ථයක් සාධාරණත්වයක් නැහැ. ඒ විදියේ යෝජනාවක් තමයි මේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන්නේ.

අවසන් ප්‍රතිඵලය

* මේ යෝජනාවල අවසන් ප්‍රතිඵලය කුමක්ද? ඔවුන්ම කියනවා සම්බාධක ගැන කතාවක් නැතිය කියලත්?

සම්බාධක දැමීම ගැන කතාවක් නැහැ. මෙහෙට ආපු ඉහළම ඇමෙරිකානු නිලධාරිනිය වන නිෂා දේසායි බිස්වාල් ඇමෙරිකාවේ දකුණු ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්වරිය ලංකාවට ආපු වෙලාවේත් කිව්වා සම්බාධක පිළිබඳ යෝජනාවක් නැහැ.

එහෙම බලාපොරොත්තුවක් ඇමෙරිකාවට නැහැ කියලා. ඒ වගේම ලංකාවේ බ්‍රිතාන්‍ය මහ ‍කොමසාරිස්වරයා ජෝන් රැන්කිනුත් එහෙම කියල තිබුණා යෝජනාව සම්බාධකවලට සම්බන්ධයක් නැහැ කියලා.

ඕන වෙලාවක ඕනෑම රටකට පුළුවන් සම්බාධක පනවන්න. ඒ කියන්නේ අපි අපනයන භාණ්ඩ යවන රටකට පුළුවන් අපට විරුද්ධව සම්බාධක පනවන්න. ඒකට එක්සත් ජාතීන්ගේ සංවිධානයට යන්න ඕන නැහැ. හැබැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ලංකාවට සම්බාධක පැනවීමේ අනතුරක් නැහැ.

මොකද එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ සම්බාධක පැනවීමේ බලය තිබෙන්නේ ජිනීවා හි පිහිටි මානව හිමිකම් කවුන්සිලයට නෙමේ නිව්යෝර්ක් නගරයේ තියන ආරක්ෂක මණ්ඩලයට, ආරක්ෂක මණ්ඩලයේ නිශේධ බලයක් තියනවා. නිෂේධ බලය තියන රටවල් පහෙන් දෙකක් රුසියාව හා චීනය වන නිසා එම රටවල් අප සමඟ සිටින නිසාත් අපට සම්බාධක පැනවීමේ අවදානමක් නැහැ.

බොරු චෝදනා

බටහිර රටවල් එපා කියද්දි ත්‍රස්තවාදය නිමා කළ නායකයා කොටු කරන්න නේද මේ බොරු චෝදනා ගෙනෙන්නෙ...?

අපේ රටේ බොහොම ප්‍රබල හැඟීමක් ති‍යනවා මේ සියල්ල සිදුවන්නේ මේක දේශපාලන සාධක මත කියලා. ඒක තමයි ඇත්ත කතාවත්. අද මානව හිමිකම් කියන්නේ සදාචාරයට සම්බන්ධ සංකල්පයක් නෙවෙයි. මානව හිමිකම් කියන්නේ තෝරාගත් රටවල්වලට විරුද්ධව පාවිච්චි කරන දේශපාලන ආයුධයක්.

අද වර්තමාන ලෝකය දෙස බැලුවොත් කිසිසේත් ලංකාව නෙමෙයි උග්‍ර ප්‍රශ්න තියන රට. හැබැයි තුන්වැනි වතාවටයි ලංකාවට විරුද්ධව මේ යෝජනාව ගේන්නේ. ඉස්සෙල්ලම ගෙනාවේ 2012 මාර්තු. ඊට පස්සේ 2013 මාර්තු. දැන් 2014 මාර්තු. බැලු බැල්මට පෙනෙන්නේ මිහිපිට ලොකුම ප්‍රශ්නය තියෙන්නේ ලංකාවේ කියලා.

ලංකාවේ කිසිම කෙනෙකුට කරදරයක් නැහැ. අපේ ඉතිහාසයේ ඉතාම අමාරු යුගයක් තිබුණා. අවුරුදු තිහක. ඊට පස්සේ දැන් ශ්‍රී ලංකාව අපේ ආර්ථිකය සීයට 7 කට වඩා වර්ධනයක් වෙනවා. මෙහෙ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. ලංකාව ලුහුබැඳගෙන යාමේ හේතුව දේශපාලන හේතුවක්. මේකට වෙන පූර්වාදර්ශ තියනවනේ.

වෙන රටවල් කීපයක් තියනවා සම්පූර්ණයෙන් අස්ථාවර වෙලා විදේශීය බලපෑම නිසා අස්ථාවර වුණ රටවල්. ඒ රටවලට මේ පිටස්තර බලවේග ඇතුළු වුණා. නිදසුන් ලෙස ලිබියාව ඉරාකය වැනි රටවල. ඒ රටවල්වල නායකයන් මරා දාල ඊට පස්සේ ඒ රටවල ආයතන සුණු විසුණු කළා. ඒ රටවල ආර්ථිකය විනාශ කරල අරාජික තත්ත්වයක් ඇතිකළා.

ඒ අරාජික තත්ත්වය ඇතිවීමට ප්‍රවේශය සකස් කළා. ප්‍රවේශය සකස් කළේ ඒ රටවල නායකයන් ජනතාවගෙන් ඈත් කිරීමෙන්. එහෙම වැඩපිළිවෙළක් විශාල ධනස්කන්ධයක් වැය කරල ජාත්‍යන්තර මාධ්‍ය පාවිච්චි කරල ක්‍රියාත්මක කළා. අවසානයේ ඒ රටවල් ආක්‍රමණය කළා. ගුවන් යානා යොදා බෝම්බ දමා ආක්‍රමණය කළා. අන්තිමට මොකද වුණේ. ඉරාකයේ අද සතිපතා විශාල ප්‍රමාණයක් අවි ආයුධ ගැටුම් බෝම්බ පිපිරීම්වලින් මිය යනවා. එහෙම තමයි දේශපාලන වශයෙන් අකමැති රටවලට පහර එල්ල කරල තියෙන්නෙ.

ඒකට විසඳුම තමයි ජනතාව ආණ්ඩුව වටා ඒකරාශී වීම.

මානව හිමිකම් ගැන කතා කරමින් යුක්තියේ සීමා බිඳ දමමිනුයි මේ බටහිර රටවල න්‍යාය පත්‍රය සැකසී තිබෙන බවක් පෙනෙන්නෙ?

ජනතාවගේ ආරක්ෂාව රජයකට නායකයකුට තියනවනම් ඒක තමයි අවසාන ආරක්ෂාව.

මේ රටේ ඒක තියන බව සක්සුදක් සේ පැහැදිලියි. හැම මැතිවරණයකින්ම ජනතාවගේ මතය තක්සේරු කරන්න පුළුවන් තත්ත්වයක් තියනවා. හැම මාස හයකටම වරක් මේ රටේ මැතිවරණයක් තියනවා. ඒ හැම මැතිවරණයකින්ම වගේ රජය ජයග්‍රහණය කරල තියනවා. හැම මැතිවරණයකම ජනතාව ජනාධිපති තුමාට හා රජයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීල තියනවා. ඒ කියන්නේ ජනමතය ඉතාම පැහැදිලියි.

මේ පිටස්තර අය දන්නවා මේ රටේ මැතිවරණ තුළින් ඔවුන් සිතන ආකාරයේ වෙනසක් කරන්න බැහැ කියලා. ඒ නිසා තමයි ඒකට විකල්පයක් ලෙස මේ ජාත්‍යන්තර තලයේ බලපෑම් කරල රට අස්ථාවර කිරීමට උත්සාහ දරන්නේ.

බටහිර රටවල් ඩයස්පෝරාව සමඟ එක්වී නොවෙයි ද ලංකාවට විරුද්ධව ජිනීවා නුවර මේ කුමන්ත්‍රණය කරන්නේ?

මේ ගොල්ලෝ කියන්නේ මේක සම්පූර්ණයෙන් පරාර්ථකාමී අදහස් ඇතුව කරන දෙයක් කියලා. අපේ රටේ ජනතාව අපේ රටේ අනාගතය ගැන හිතලා මේක කරන බව කියනවා. ඒ ගොල්ලෝ මේක කරන්නේ ඒ අයගේ රටවල දෙමළ ඩයස්පෝරාවේ උසිගැන්වීම්වලට.

ඒ අයට මුදල් බලය තියනවා. ඒක කවුරුත් අමතක කරන්න හොඳ නැහැ. අවුරුදු තිහක් යුද්ධයට වැය කළා. යුද්ධයෙන් අන්ත පරාජයට පත්වුණත් ඔවුන් රැස්කළ කෝටි සංඛ්‍යාත ධනස්කන්ධයක් ඉතුරුව තියනවා. සමහර රටවල බ්‍රිතාන්‍යයේ වගේ පෙට්ට්‍රල් ෂෙඩ්, ගෑස් මධ්‍යස්ථාන අදත් අයිති ඔය ඩයස්පෝරාවේ උදවියට. එල් ටී ටී ඊ යට මොනවද නොතිබුණේ. නැව් තිබුණා. සබ්මැරීන් තිබුණා. ලෝකයේ අහස් යානා තිබුණ එකම ත්‍රස්තවාදී සංවිධානය එල් ටී ටී ඊ සංවිධානය.

ඒ අයට කුඩා අහස් යානා හතරක් තිබුණා. ඒව පාවිච්චි කළා කොළඹට බෝම්බ දාන්න. යුද්ධය තිබුණ අවදියේ වියදම් තිබුණා. අද ඒ වියදම් නැහැ. ඒ ඉතුරු වුණ මුදලට මොකද කරන්නේ. ඒ මුදල් වලින් තමයි ඔය රටවල දේශපාලකයන්ට කිට්ටු වෙන්න හදන්නේ. ඒ මුදල් පාවිච්චි කරලා.

ඒ දේශපාලනඥයන්ට ඒ මුදල්වල ප්‍රයෝජනය තියනවා. මැතිවරණ කාලවල ඒ අය කරන දෙයක් තමයි ඒ අයගේ සංවිධාන ශක්තිය දේශපාලනඥයන්ට ලබා දෙනවා. මේවා ලංකාවට යහපතට සම්බන්ධ දේවල් නෙවෙයි ඒ රටවල දේශපාලනඥයන් මේ අයගේ මුදල් පාවිච්චි කරනවා. මේක අපේ ජනතාවට ඒත්තු ගිහින් තියනවා.

අපි ලබාගත්තු ජයග්‍රහණ ආරක්ෂා කරගන්න ඕන. මේ ගමන ඉදිරියට යන්න ඕන. ආපස්සට හරවන්න කාටවත් ඉඩ නොදිය යුතුයි කියන මතය මේ ඡන්ද කාලේ අද අපේ ගම්දනව්වල තහවුරු වෙලා තියනවා. ඒ නිසයි මේ විදියේ උද්‍යෝගයක් පළාත් සභා ඡන්දයෙන් රජය දිනවන්න මිනිසුන් අතර තිබීම අපට පේන්නේ.

බලපෑම්වලට යටත් වන්නේ නැහැ

ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනාව සම්මත වුණොත් ජාත්‍යන්තර පරීක්ෂකයන්ට ලංකාවට එන්න ඉඩ දෙනව ද?

අපි කිසිඳු බලපෑමකට යටවෙන්නේ නැහැ. අපි තීරණ ගන්නේ අපේ රටේ ජනතාවගේ සුබසිද්ධිය උන්නතිය ගැන හිතලා. අපි හොඳ දේවල් කරගෙන යනවා. යුද්ධය අවසානයේ තුන්ලක්ෂයක් පමණ නැවත පදිංචි කළා. රජයට විරුද්ධ අවි ආයුධ ගත්ත 14300 ක් අය වෘත්තීය පුහුණුවක් දීල ඒ ගොල්ලන්ගේ පවුල්වලට යැව්වා.

ළමා සොල්දාදුන් 595 ක් පමණ සමාජයට යළි සම්බන්ධ කරගෙන තියනවා. බිම්බෝම්බ සම්පූර්ණයෙන් ඉවත් කළා. නෝර්වේජියානු සමාගමක් කිව්වා බිම්බෝම්බ ඉවත් කරන්න අවුරුදු 10 ක් විතර යනවා කියලා. ශ්‍රී ලංකා හමුදා අවුරුදු 2 1/2 කින් ඒ කටයුත්ත සම්පූර්ණ කළා. අවුරුදු 28 ක් නොපැවැත්වුණ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වූවා.

උතුරේ ආර්ථිකය සියයට 20 ක වර්ධනයක් පෙන්නුම් කරනවා. මේව ඔක්කොම අපි කරගෙන යනවා. කාගෙවත් බලපෑමක් නිසා නෙවෙයි. යෝජනා නිසා නෙවෙයි. ඒ අපි කරගෙන යනවා. පිටස්තර බලවේග තියන නිසා අපි අපේ රටට අහිතකර කිසි දෙයක් කරන්න සූදානම් නැහැ.

අපි කතා කරන්නේ පළාත් ඡන්ද ප්‍රතිඵලය ගැන. ජිනීවා ඡන්ද ප්‍රතිඵලය ගැන කියන්නේ කුමක් ද?

ඒක සතියෙන් සතිය වෙනස් වන තත්ත්වයක් තියෙන්නේ. මේ ‘ප්‍රෙෂර් එක’ නිසා. මම කැමැති නැහැ. ඉලක්කම් ගැන සඳහන් කරන්න. තව සතියනේ තියෙන්නේ.

බටහිර රටවල් අතළොස්ස ඇර මානව හිමිකම් සමුළුවේ ආසියා අප්‍රිකා ලතින් ඇමෙරිකානු රටවල් සියල්ල අපේ මිත්‍රයන් නොවෙයි ද?

අපට මිත්‍රයන් ඉන්නවා. සහයෝගය දෙන්න රටවල් හුඟක් ඉන්නවා. හැබැයි ඒ හැම රටවලටම අර මම කියපු බලපෑමත් තියනවා.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]