කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
හම්බන්තොටට කෝටි 700ක නව රෝහලක්

හම්බන්තොටට කෝටි 700ක නව රෝහලක්

හම්බන්තොට, මාතර, මොනරාගල, රත්නපුර සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවල හත් ලක්ෂයක පමණ ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාදීමේ අරමුණින් හම්බන්තොට නව නගරයේ මහල් 10 කින් සමන්විත අංග සම්පූර්ණ නව රෝහලක් ඉදිකැරේ.

නෙදර්ලන්ත රජයේ ආධාර මත ඉදිකැරෙන මේ මහ රෝහල රුපියල් කෝටි 700 ක වියදමින් ඉදිකැරෙන අතර ඇඳන් 850 කින් සමන්විත වෙයි.

මේ රෝහල වසර 2015 දෙසැම්බර් මස වන විට සම්පූර්ණයෙන් ඉදිකැර අවසන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.

මාතර - හම්බන්තොට කතරගම මහා මාර්ගයට යාබද අක්කර 25 භූමි භාගයක ඉදිකෙරෙන මෙම මහ රෝහලට නෙදර්ලන්ත රජය යටතේ ආධාර සපයන්නේ එරට රාබෝ බෑන්ක් ලෙසින් හඳුන්වන කෝපරේටිව් සෙන්ට්‍රාලේ රයිෆිෂන් බෙරෙන්ලීන් බැංකුවයි. මහජන බැංකුව ද මෙයට මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙයි.

බාහිර රෝගී අංශයක්, හදිසි ප්‍රතිකාර සේවා, සියලු රෝග සඳහා සායන පහසුකම්, අධිකරණ වෛද්‍ය ඒකක, නේවාසික රෝගීන් සඳහා වාට්ටු, දැඩි සත්කාර ඒකක ශල්‍යාගාර, ලේ බැංකුව, වෛද්‍ය රසායනාගාර පහසුකම්, සායනික අපද්‍රව්‍ය අපහරණ පද්ධතියක මධ්‍යම ජීවානුහරණ ඒකකය ගිලන් රථ සේවා සඳහා පහසුකම් ඖෂධ ගබඩා සහ සේවක කාර්ය මණ්ඩල සඳහා පහසුකම් ද මෙම නව රෝහල් සංකීර්ණයට ඇතුළත් වන බවත් රෝහලට ශල්‍ය වෛද්‍යවරු, වෛද්‍යවරු, හෙද හෙදියන් ද හිඟයකින් තොරව යෙදවීමට සැලසුම් කර ඇතැයි ද සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

මේ නව රෝහල ඉදිකිරීමේ කටයුතු ආරම්භ වූයේ පසුගිය වසරේ ජුනි 29 වැනිදාය. රෝහල සඳහා මුල්ගල් තබා ආරම්භක කටයුතු සිදු කිරීමේ අවස්ථාව කථානායක චමල් රාජක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලද අතර සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක නියෝජ්‍ය ඇමැතිනි නිරුපමා රාජපක්ෂ, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ යන මහත්වරු ද සහභාගි වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]