කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දය විමසීම සම්බන්ධ ප්‍රචාරක කටයුතු අවසන් කැරෙන 26 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඡන්දය පැවැත්වෙන මාර්තු 29 වැනිදා දක්වා කෙටි පණිවුඩ (SMS) මඟින් ඡන්දය ඉල්ලා සිටීම ද සපුරා තහනම් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මේ කාලසීමාවේ නොදන්නා ග්‍රාහකයකුට ඔහුගේ හෝ ඇගේ කැමැත්ත නොමැතිව ජංගම දුරකථනයට කෙටි පණිවුඩ මඟින් ඡන්දය දෙන ලෙස ඉල්ලීමක් කිරීම මුළුමනින් තහනම් බව ද මෙවැනි පණිවුඩ යැව්වොත් ඒවා නොලැබෙන ලෙස බාධා කිරීමට (ජෑම් කිරීමට) උපදෙස් විදුලි සංදේශ හා නියාමන කොමිසමට දැනුම් දුන් බව ද මැතිවරණ කොමසාරිස්වරයා කීය. එස්. එම්. එස්. මඟින් මෙවැනි ආයාචනා කිරීම් බොහෝ විට සිදුවන ක්‍රියාවක් බව ද ඒ නිසා මේවා මැඬ පැවැත්වීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තමා පියවර ගත් බව ද කොමසාරිස්වරයා කීය.

ඡන්ද ඉල්ලීම් පිළිබඳ පටිගත කරන ලද කෙටි ඉල්ලීමක් හෝ කෙටි පණිවුඩ යැවීම නතර කරන්නට පියවර ගන්නැයි පෞද්ගලික දුරකථන සමාගම්වලින් ඉල්ලීමක් කැර ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.

ඡන්දය දින ඡන්ද මධ්‍යස්ථානයට යන එන දෙපස රැඳී සිටිමින් අත්පත්‍රිකා අපේක්ෂකයන්ගේ රුව සහිත සලකුණ හා මනාප අංකය සහිත කාඩ්පත් ‘විසිටින් කාඩ්පත්’ ප්‍රමාණයේ සහ ‘පොකට් කැලැන්ඩර්’ ප්‍රමාණයෙන් ඡන්දදායකයන්ට බෙදා දෙන පිරිස්වලට ඒ සඳහා ඉඩ ලබා නොදෙන ලෙස පොලීසියට උපදෙස් ලබා දී තිබෙන බව ද මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

ඇතැම් දේශපාලන පක්ෂ ආධාරකරුවන් ඡන්ද පොළට යන මඟ දෙපස සිට මෙවැනි දේ බිම විසුරුවා හැරීම සිදු කරන්නේ පැහැදිළිව ඒවා ඡන්දදායකයන්ට දැකබලා ගන්නට බවත් මේවා සිදුකරන අයට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බවත් වැඩිදුරටත් කීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]