කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
මනුෂ්‍යත්වය

මනුෂ්‍යත්වය

වියපත් යුවළකි
මඟ අයිනේ සෙමින් ඇවිදින
තරුණ විය සිහිකරමින්
අනිත්‍යය මෙනෙහි කරමින්
අලංකාර වාහන රැසකි
තරගයකට මෙන් වේගයෙන් යන
තරුණ බව සිතට ගනිමින්
මහමඟ තමාට නතු කරගෙන
පැමිණීය සුඛෝපභෝගී මෝටර් රථයක්
තාරුණ්‍යයේ ඉන්ධනයෙන්
යටපත් කරලීය යුවළ
ඉගිලීය මනුෂ්‍යත්වය
නතර විණි මහමඟ අනෙකුත් වාහන
වරදට හවුල් නැති වරදකරුවා නොදුටු
නිවැරැදිකරුවන් ගෙන ගියේ
යුවළ රෝහලට
මනුෂ්‍යත්වයේ අරුමය කියාපාමින්

පාණදුර තාරුකා දිල්ශානි පෙරේරා


මම සොයමි

ඉකිබිඳියි හිත නොදැක ඔය වත
අනේ මං කෝම ඉන්නද ඔය නෙතු නොදැක
මල් තුහින සේම මේ පුංචි හිතට
හිනාව කැන්දාන ආවා මතකයි මට තාම...

නෙතු සොයයි ඔය රුව
යනෙන යන එන අතර හැම මඟ
පොද වැස්සක් වෙලා එන්න
ගිම්හාන සමය නිමා කරන්න...

හීන අහුරු පොඩි මිට මොලවා
බලා හිඳිමි දෑස් අයා මම
මතුවන තුරා ඈතින් ඈතින්
මම සොයන ඔබේ රුව...

මල්කි අනුරුද්ධිකා

කැලණිය සරසවිය


හද වීණාව

ඈතින් ඇසෙන විට
බටලීයේ නාදේ..
විසිතුරු ලොවේ
පිවිතුරු සුවයක් පෑවේ....
සනසන්නට ගයා
ජීවන ගී රාවේ
තත්සර නැඟීයන්
ඔබෙ හද වීණාවේ ....
 

අනුර පණ්ඩුකාභය බාලසූරිය

තලාහේන - මාලබේ


වෙනස

සොබා දහමක සොඳුරු නිමැයුමක රස
අනිසි ලෙස රාගිකව විඳීමක විස
දැනෙනුයේ සංවේදී හදවතකට මිස
මිනිසත් බව ලබා පෝෂණය කළ කුස
තිරිසනකු වැනි රාගික
මිනිසකුට නොව, පමණක් සොයන පහස
එයයි ප්‍රේමය හා රාගය අතර වෙනස
 

මීරිගම ජේ.එස්.ඒ.සිරියානන්ද


 කහ ඉර ලඟ

එදා මගේ යතුරු පැදිය කහ ඉර ලඟ තිරිංග තද වුණේ පදිකයන් පිරිසකට පාර මාරු වෙන්න. අහම්බයක්! පුදුමයක්! දසවසරක් තිස්සෙ මා සෙව්ව ඒ රුව පාර හරහා මාරු වුණා. මගේ ඇස් අදහාගන්න බැරි වුණා. යකඩ ක‍ඳේ ඇන්ජිම සමඟ මගේ හදවතත් නතර වුණා මහපාර මැද්දෙම. අසල සිටි පොලිස් නිලධාරිනිය අපට යන ලෙස අත දිගු කළත් මා තවම හුන් තැනම. පිටු පසින් සිටින වාහන පෙළ නළා ශබ්ද කරනව මට යන්න කියල. නින්දකින් අවදි වුණා වගෙ මම යතුරු පැදිය පණ ගන්වගෙන මදක් ඉදිරියට ගොස් පාරේ අයිනකට වෙන්න නවතා කහඉර මාරු වුණ ඇගේ රුව සෙව්ව. ඇය ඉන්නව එහා පැත්තෙ බස් නැවතුම ළඟ. මං ඇය ළඟට පියමං කරල පැලඳ සිටි හෙල්මටය ගැලෙව්වෙ අඳුනාගන්න පුළුවන් ද බලන්න.

“නිලූ මං ඔයාව හෙව්ව තරම් ඔයාට මාව මතකද?”

“මම මැරිල උපන්නයැ ඔයාව අමතක වෙන්න.”

“ඔයා මාව හෙව්වෙ නැද්ද?”

“මම ගෑනියෙක් හිතෙන් සෙව්ව, ඔයා පිරිමියෙක්. ඔයාට හොයන්න තිබුණා. අඩු තරමින් අල්ලපු ක්වාටස්වලින්වත් අහන්න තිබුණ ඒ කට්ටිය කොහාටද ගියේ කියල. මම හිතුව වුවමනාවක් නැතුව ඇති කියල.”

“හරි හරි මේ කොහාටද යන්න ඉන්නෙ කියන්නකෝ.”

“ඉස්පිරිතාලෙට”

“මොන ඉස්පිරිතාලෙද නිලූ”

“මේ මහරගමනෙ, මෙතනින් යන්නේ පිළිකා රෝහලට. මගෙ අද ක්ලිනික් දවස, මාසෙකට සැරයක් එනව. මුලින් මුලින් ගිය අවුරුදුවල නැවතිලාත් හිටිය. අම්මලාත් වයසයි. තාම හයිය හත්තිය තියෙන නිසා තනිවම එන්න පුළුවන්.”

“ඔයා බැඳලද නිලූ”

“කැන්සර් එකක් තියෙන කෙල්ලෙක්ව කව්ද බඳින්නේ. නොබැන්දට මගෙ තිබුණ බැඳීමක්. මගෙ හදවත හිස් සුදු කඩදාසියක් නම් ඒකෙ ඇඳිල තිබුණ ඉස්සර ඉඳන්ම ලස්සන රූපයක්. ඒක පාර්ශ්විකව මම ඒකට ආදරය කළා. ඒ ආදරේ වසාගෙන මටත් හොරෙන් කැන්සර් එක දලු ලෑව. පහු ගිය කාලෙ මගෙ කොන්ඩෙත් ඔක්කොම ගියා. ඒත් ආයෙමත් ආව.”

“ගිය දේවල් ආයෙමත් ආව කියල හිතාගෙන නගින්න මගෙ බයික් එකට, මමත් එන්නම් යමු ක්ලිනික් එකට.”

“ඉස්සෙල්ල කියන්න ඔයාගෙ ඔය වාහනයට, ජීවිතයෙ කෙටි දුරක් යන්න ඉන්න කෙල්ලෙක්ව නග්ග ගන්න බය නැද්ද?”

“ජීවිත කාගේත් කෙටියි. යන්න තියෙන දුර සතුටින් යමු නිලූ.”

ගම්පහ සිරි පෙරේරා කහවල


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]